-->

Friday, September 30, 2011

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

0

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය.

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය.

සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන්වලින් ද මේ රාජධානියේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගත හැකි බැව් විශ්වාස කළ හැකිය. ගල මතුපිට ඇති ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්‌ මේ පර්වතය යට ඇති බැව් ඉන්දියාවේ ලාල් ශ්‍රී නිවාස්‌ (1983.05.08 Weekend Sun) මට පැවසුවේ දැනට වසර 15 කට පමණ පෙරය. එය කෙතරම් බුද්ධිමත් ප්‍රකාශයක්‌ද යනු මට දැන් අවබෝධ වී ඇත.

සීගිරිය වැනි උදාරතර ස්‌ථානයක්‌ පිළිබඳ පර්යේෂණයක්‌ කරන විට එය උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම පර්යේෂකයන් ගේ යුතුකම නොවේ. සමකාලීන පොත්පත්, සෙල්ලිපි, ජනකවි, ජනශ්‍රැති ආදිය පමණක්‌ නොව කාල නිර්ණය කිරීමේ විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන්ද ඊට තදාසන්න පෙදෙස්‌වල ඒ යුගයේ පැවැති සංස්‌කෘතික සාරධර්මවලින් ද ලැබෙන ආලෝකය අනුව පර්යේෂකයා ගමන් කළොත් පමණි අංග සම්පූර්ණ පර්යේෂණයක්‌ කළ හැකි වන්නේ.

එවැනි පර්යේෂණයකදී පර්යේෂකයාගේ ඇසට ලක්‌වන වැලිකැටයක්‌ වුවද නොසලකා නොහැරීම බුද්ධිමත් පර්යේෂකයන්ගේ යුතුකම බැව් අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍ය කරුණකි. මේ ඓතිහාසික සීගිරිය පිළිබඳ පර්යේෂණය කිරීම භාරධූර එමෙන්ම කර්කශක දුක්‌ගැහැට වලට මුහුණපාමින් වෙහෙසිය යුතු දුෂ්කර ක්‍රියාවකි.

අංග සම්පූර්ණ සේවයක්‌ ජනතාවට ලබාදිය හැක්‌කේ එවැනි දුෂ්කර ක්‍රියාවකට සිය කැමැත්තෙන් සම්බන්ධ වන විද්වතුන්ට මිස විදේශීය ධන ආයෝජන අනුව පර්යේෂණ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.

සීගිරි කුරුටු ගී ක්‍රි.ව. 08 වන හා 09 වන 10 වන සියවස්‌වලට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු නිගමනය කරති. මේ සියවස්‌ තුන තුළ සීගිරි පව්වට මුළුදුන් කවීන්ට ඔවුන්ගේ සිත්තුළ පහළ වූ කවි චින්තාවන් කාව්‍ය චිත්‍රයකට නැගීමට ඉවහල් වූ එකල පැවැති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුගත් විමසා බැලීම සීගිරි කුරුටු ගී රස වින්දනයට උපකාරයකි. (සීගිරි ගී සිරි, වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, පිටු XIX)

සීගිරි කුරුටු ගීය බිහි වුණේ ක්‍රි.ව. 08, 09 හා 10 වැනි සියවස්‌වල බැව් මේ ප්‍රකාශයෙන් තහවුරු වේ. නමුත් මේ ඓතිහාසික සීගිරි බළකොටුව බිහිවූවේ ඊට අවුරුදු දහස්‌ ගණනකට පෙර සිට බැව් ඉපැරණි මූලාශ්‍ර අනුව කිව හැකිය.

මහා භාරතයේ උතුරු දිසාවේ පදිංචි වීමට පෙර කුවේර වාසය කළේ ලංකාද්වීපයේය. සුළු මවු ගේ පුත්‍ර වූ රාවණා විසින් කුවේර ගේ පුෂ්පික රථයත් රාජධානියත් උදුරාගෙන ලංකාවෙන් නෙරපන ලද්දේය. (සංස්‌ක්‍ෂිප්ත රාමායණය, පිටු 200)

ලෝකයේ ප්‍රථම ගුවන් යානය හිමිකරුවා වූ කුවේර ජීවත් වූ ස්‌ථානය වර්තමාන සීගිරිය බව ඓතිහාසික ජනකවි හා ජනශ්‍රැතිවල සඳහන් වී ඇත. මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්තුමා විසින් රචිත රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය අප රටේ විවිධ රහසිගත තොරතුරු හෙළි පෙහෙළි කරන මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකිය.

සීගිරිය අයත් වන්නේ ලිත ඓතිහාසික යුගයට නොව මෙගලිතික සංස්‌කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බැව් ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදෙන විට මැනවින් පැහැදිලි වන සත්‍යයකි
ස්‌තූපය පිළිගැනීමකට බල පෑ ස්‌තූපයට ඥතිත්වයක්‌ දැක්‌වූ පුද පූජා විධි ව්‍යවහාරයක්‌ බුදු සමය පැමිණෙන විටත්, ලංකාවේ අවුරුදු සිය ගණනක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. 
ඒ පූජා ව්‍යවහාරය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර විධි පද්ධතියකට අවශ්‍ය විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩ නැගුණේ ලංකාව ජනාවාස කිරීමට හා නාගරීකරණයට ප්‍රථම පියවර තැබූ මහා ශිලා හෙවත් මෙගලිතක සංස්‌කෘතිය තුළය. ඉබ්බන්කටුව හා පොම්පරිප්පු ආදී ස්‌ථාන රාශියක සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ මගින් අද වන විට මේ සංස්‌කෘතිය පිළිබඳ සාධක රැසක්‌ සොයා ගෙන ඇත. (සම්භාෂා පිටු අංක 310)

මේ ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මහා ශිලා සංස්‌කෘතියට හෙවත් මෙගලිතික (Megalithic Culture) සංස්‌කෘතියට බැව් පැවසිය හැකිය.

මේ ස්‌ථානය සිහිගිරි මිස සිහගිරි යනු නොවූ බවත් සිහිගිරි සතිගිරි යන්නෙන් බිඳුණු බවත් මෙතැන සතිගිරි යනු භාවනානුයෝගය පිළිගත් භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට නව මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා කැමති බැව් ප්‍රවීණ විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ප්‍රකාශ කරයි. (සිංහලයන් ගේ මූලාරම්භය පිටු 56-57)

මහාචාර්ය අභය ආරියසිංහ ගේ මතය අනුව "අලහබාද් ප්‍රශසති ලිපියෙහි සමුද්‍රගුප්ත රජතුමා, සෛංහලකාන, යන ජන කොටසක්‌ ගැන සඳහන් කොට ඇති බවත් මේ ජනයා සිංහල රටේ වැස්‌සන් බවත් ටොලමි මේ සෛංහලකාන නැතහොත් සිහලක වචනයෙන් "සලිකේ" නාමය මෙරටට යෙදූ බවත් මේ නිරුක්‌තිය සිහලක සිහිලක වී නැවත සිරිලක වූ බවත් මෙය සිහගිරි - සිහිගිරි - සීගිරි වූ නිරුක්‌තිය අනුව යෙදී ඇති බවත් පෙන්වා දී ඇත. (දිවයින 1989.10.29)

අවුරුදු දහස්‌ ගණනක්‌ කිසියම් රටකට ගමකට හෝ නගරයකට එකම නමක්‌ පවතින්නේ නැති බැව් ඓතිහාසික මූලාශ්‍ර අනුව කිව යුතුය. ලංකාවට මෙන්ම සීගිරියටද විවිධ යුගවල විවිධ නම් පාවිච්චි කර ඇත. නමුත් වැදගත් ඓතිහාසික ප්‍රශ්නයක්‌ පිළිබඳ සාධාරණ නිගමනයකට එළඹීමට ලිත සාක්‍ෂි කිහිපයක්‌ පමණක්‌ කිසිවිට ප්‍රමාණවත් නොවේ.

ලංකාවේ අති පුරාණ ලිත මූලාශ්‍රය වූ මහාවංශයත්, දීපවංශය, පූජාවලිය, රාජාවලී සහ නිකාය සංග්‍රහයත් සීගිරිය පිළිබඳ සටහන් කර තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. මහාවංශයේ කර්තෘ මහානාම හිමියන් ගේ බෑනා කෙනෙක්‌ වූ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ගෙන් සිහසුන උදුරා ගත් කස්‌සප (ක්‍රි.ව. 477-495) රජු පිළිබඳ දැඩි පිළිකුලක්‌ මිස ප්‍රසාදයක්‌ මහානාම හිමියන් තුළ නොතිබුණ නිසාම ඒ පීතෘ ඝාතකයා පිළිබඳ හෝ ඔහුගේ මාළිගය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ දීමට මහාවංශ කතුවරයා මැළි වූවාට සැක නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනී විතාරණ ඒ පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වයි. "වත්මන්හි අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික ස්‌ථාන අතුරෙන් මුල් තැනක්‌ ගන්නේ සීගිරිය වෙතැයි සිතමි. ඓතිහාසික ස්‌ථාන අතරින් නම් එයම බව නිසැකය. එහෙත් මහාවංශයේ එය සඳහන් වන්නේ ගාථා හතක පමණි. පාපී නර පාලක කාශ්‍යප වියපත්ව ඒ පර්වතය මත අලංකාර පුරවරයක්‌, තවත් ආලකමන්දාවක්‌ ඉදිකොට කුවේර විලාසයෙන් එහි ජීවත් වුණු බවත් ඒ සමීපයෙහි විහාරයක්‌ පිහිටුවා එය ධම්මරුචි නිකායික භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කළ බවත් මොග්ගල්ලාන රජු සිහගිරි මත පිහිටි දාල්හ හා දාඨා කොණ්‌ඩඤaඤ යන දෙවි හාරයක්‌ උන්වහන්සේලා වෙතම පූජා කළ බවත් තවත් සියවසකට පමණ පසු ඒ සමීපයෙහි දී සංඝතිස්‌ස රජුගේද පුත් කුමරාගේද තවත් හය වසරකට පසු අනුප්‍රාප්තික තෙවන මොග්ගල්ලාන රජුගේ ද හිස ගසා ලන ලද බවත් එයින් කියෑවේ. (සිළුමිණ, 1994.04.17)

ඒ ස්‌ථානයේ සති භාවනාවේ යෙදුණ භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ඉදිරිපත් කළ අදහසට මහාවංශයෙන් එළියක්‌ ලැබෙන බැව් මේ අනුව පෙනී යයි. (රාජ වර්ෂ විමර්ශ, පිටුව 58)

සීගිරිය පිළිබඳ වත්මන් ලොවට දැන ගැනීමට අවස්‌ථාව ලැබුණේ මේජර් ජොනතන් ෆොaබ්ස්‌ගෙනි. 1831-1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස්‌ සමීක්‍ෂණයක්‌ කළ මේජර් ෆොaබ්ස්‌ Eleven Years of Ceylon නමින් පළ කළ සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නගින්නේ නැතිව සීගිරිය පිළිබඳ ලියාපළ කළ ෆොaබ්ස්‌ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.

ඒ. වයි. ඇඩම්ස්‌ හා ඡේ.බේලි නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා පළමු වරට සීගිරිය තරණය කළ අතර පෙරදිග භාෂා විශාරදයෙක්‌ වූ ටී. ඩබ්ලිව්. රීස්‌. ඩේවිස්‌ මහතා සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. (පරණවිතාන The lllustrated News 1945 අප්‍රේල් 03)

සීගිරියේ ඇති අලංකාර චිත්‍රවලින් කුල්මත් වන නරඹන්නන් එහි අතීතය හාරා අවුස්‌සා බැලීමට වඩා ඒ චිත්‍ර හා ඒ අසල ඇති කුරුටු ගී කියවා රස විඳීමට පෙළඹීම පුදුමයට කරුණක්‌ නොවේ.

පුරාවිද්‍යාඥයන්, සරසවි ඇඳුරන්, කවීන් මෙන්ම ලේඛකයන් පමණක්‌ නොව ඇතැම් පර්යේෂකයන් පවා සීගිරි විත්‍ර හා කුරුටු ගී පසුපස හඹා යන බැවින් ගල් අතර සැඟවී ඇති මේ ස්‌ථානයේ තේජාන්විත අතීතය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට බාධාවක්‌ වී ඇත.

කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත.

රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘතාන්තයට නව එළියක්‌ ගෙන දෙයි. (හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම සිළුමිණ, 1991.06.16)

සීගිරිය ඓතිහාසික ලංකාපුර රාජධානියේ ම එක්‌ කොටසක්‌ බැව් ලග්ගල ප්‍රදේශය පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන කරුණකි. ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව මෙය වූවාට සැක නැත. කතරගම වැඩිහිටි කන්ද, නුවරඑළියේ පිදුරුතලාගල, මහකුඩුගල සහ කිකිළියමාන වැනි ස්‌ථාන යක්‍ෂ ගෝත්‍රික ආදිවාසීන් ගේ මධ්‍යස්‌ථාන ලෙස පැවැති බවට අපමණ මූලාශ්‍ර ඇත. "ලතා ගෘහාණි චිත්‍රණි - චිත්‍ර ශාලා ගෘහනිච" යනුවෙන් "රාමායණම්" (චොකම්හ විද්‍යාවන් ගේ නාගර අක්‌ෂර) ග්‍රන්ථය අනුව රාවණ යුගයේ සීගිරියේ අගනා චිත්‍ර ඇති බැව් මැනවින් සනාථ වේ. (ශ්‍රී.ල.රා. රාජධානිය, පිටු 180)

"සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැගෙනහිර පැත්තේ අලිගල නම් ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බැව් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල පවසයි. (සිළුමිණ, 1994.04.17)

ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මේ මතයෙන් ද තහවුරු වන්නේ සීගිරිය මෙගලිතික සංස්‌කෘතියට හෙවත් මහා ශිලා යුගයට අයත් බවයි.

කලක්‌ බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස සිට පසුව හින්දු පූජකවරයෙක්‌ වූ ජර්මන් ජාතික ස්‌වාමි ගෞරී බාලාගේ අදහස්‌ අනුව 'It was a centre for the initation of Buddhists in the Mahayana Tradition and that Paintings represent the goddess Tara of the Mahayana Buddhist Pantheon who is also the consort of Bodhisathva Avalokteswara" (Sri Lanka Today-Raja de Silva pp-12)

කෙසේ හෝ බොහෝ විද්වතුන් කථා කළේ මේ දැවැන්ත ස්‌ථානය පිළිබඳ නොව එහි වූ චිත්‍ර හා කවි පිළිබඳවය. දැවැන්ත බලකොටුවක්‌ තුළට ගොස්‌ එහි තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම වෙනුවට එහි විසිතුරු චිත්‍ර හා ළගන්නා සුළු රසවත් ගී රස විඳීම පමණකි බොහෝ විට සිදුවී තිබෙන්නේ.

භූත විද්‍යාව අනුව ඓතිහාසික සිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන මහනුවර හේ. මාකස්‌ ප්‍රනාන්දු ගේ පර්යේෂණ අනුව පෙනී යන්නේද සීගිරියේ විසූ ආදි පුරුෂයන් රාවණ හා කුවේර බැව්ය. (Weekend Sun 1994-April 01)

රාම - රාවණ මහා සංග්‍රාමයෙන් පසු විනාශයට පත් ලංකාපුර රාජධානියට අයත් වූ සීගිරි බලකොටුව අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ කස්‌සප (ක්‍රි.ව.477-495) රජු විසින් බැව් පැවසීම සාධාරණය. එයට තවත් හේතුවක්‌ තිබුණි. එනම්, කාශ්‍යප රජුගේ මෑණියන් යක්‍ෂ ගෝත්‍රික කුමරියක්‌ වීම නිසා ඔහුට මවු පස උරුමයක්‌ සීගිරියට තිබීමය. (රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය)

මේ සීගිරි නිර්මාණ ශිල්පය දැනට වසර 5000 කට වඩා පැරණි මොහන්දොජාරොහරප්පා සංස්‌කෘතියට සම කළ හැකි බැව් හේ මාකස්‌ ප්‍රනාන්දු ගේ අදහසයි. (Weekend Su 1994.04.01)

නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ

සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ

සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ

මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා

සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා

මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.

තල්කොටේ ගමෙන් දැනට වර්ෂ 65 කට පෙර සොයාගෙන තිබුණ ජනකවිවලින් පුරාවිද්‍යාඥයන්ට මෙතෙක්‌ සොයා ගත නොහැකිවූ ආලෝක ධාරාවක්‌ මුළු මහත් සීගිරි පර්වතයටම වැටෙන බැව් අමුතුවෙන් කිව යුතු නැත.

මේ සීගිරිය ප්‍රදේශයේ ආදි කාලයේ යක්‍ෂ ග්‍රෝතිකයන් විසූ බැව් ප්‍රකට ඉතිහාසඥයෙක්‌ වූ ඒ. සී. ලෝරි පවසයි.

The Native Traditions tell of the occupation of Sigiriya by the Aboriginayakkha Another Local Tradition Connect the rock with King Devanampiyathissa who reigned about 266 BC. They say that the King found on the rock a Golden Bamboo which had three trunks called "Yako - Ykahkti- Kusuma Yakhthi and Yakuna Yahkti. In the first trunk there were golden figures of women in the Second golden flowers and in the third Golden Figures of Gods. The King said let this rock be always remembered by me. Hence. the name of the Centra; Province of Ceylon pp.791)

ඒ. සී. ලෝරි ගේ මේ අදහසින් පෙනෙන්නේ සීගිරි චිත්‍රවලින් දිස්‌වන්නේ ලංකාවේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් බවට ඉඟියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජා ද සිල්වා මේ කාන්තා රුව තාරා දේවිය ගේ යෑයි ඉදිරිපත් කරන මතය ඛණ්‌ඩනය වීමත් තල්කොටේ ජනකවිවලින් ඉදිරිපත් කරන සීගිරි රුවින් මන්දොaදරී දිස්‌වෙනවා" යෑයි පවසන මතය සනාථ වීමත්ය.

මන්දොaරී (Thinwaist) යනු සිහින් ඉඟටිය ඇත්තී යන අරුත දෙන කාන්තා නාමයකි. ඇතැමෙක්‌ මෙය මන්ඩෝදරී (කළයක්‌ වැනි බඩක්‌ ඇත්තිය කැයි) වරදවා තේරුම් ගෙන ඇත. (මහාචාර්ය විමල විජයසූරිය)

මන්දොaරී රැජින ලංකේශ්වර රාවණයන් ගේ බිරිඳ වූ අතර රාවණ ගේ ඇවෑමෙන් රාවණ සොයුරු විභීෂණ ගේ බිරිඳ වූවාය. මන්දොaදරිය ගේ පියා මය දානවය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සීගිරි බලකොටු සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා මය දානවයෝ යෑයි කිව හැකි ජනශ්‍රැතියක්‌ ගලහිටියාගම ගම්වැසියෙක්‌ වූ පුංචි බණ්‌ඩා ඉදිරිපත් කරයි. වෙසමුණි රඡ්ජුරුවන්ට ඕනෑ වුණා ලෝකෙන් ම ලස්‌සන මාළිගාවක්‌ හදාගන්ඩ. මය යක්‍ෂයා, ඒ කාලේ හොඳ ම වඩුරාළ ඒ වෙසමුණි රඡ්ජුරුවෝ මය යක්‍ෂයාට කතා කරල කිව්වලු ලෝකෙන් ලස්‌සන ම මාළිගාව හදා දෙන්න කියලා. ලස්‌සන විතරක්‌ නොවේ. සවි ශක්‌තියත් හොඳට තිබෙන්න ඕනෑ. භූමි කම්පාවකට, ගංවතුරට හෝ කිසිම උවදුරකට විනාශ නොවෙන විදිහට එය හදන්න ඕන කියලා තියෙනවා. ඒ කාලේ සීගිරි ගල තිබුණේ ගල් ගොඩක්‌ වැනි ගල් කන්දක· මේ ගල් කන්ද පෙන්නල මය යකා වෙසමුණි රඡ්ජුරුවන් ගෙන් ඇසුවේ "මෙතන හොඳ ද?" කියලා. වෙසමුණි රඡ්ජුරුවොත් එතැනට කැමති වුණාලු."

මය යක්‍ෂයා ඔහු ගේ සහචර පිරිස එකතු කර ගෙන අර ගල් කන්දෙ සමහර ගල් ඉවත් කරලා ලොකු කළුගල ලස්‌සනට හැඩවැඩ දාල කපලා ඒ ගල මාළිගාවක්‌ බවට පත්කළා. නිකම් මාළිගාවක්‌ නොවේ.· තට්‌ටු මාළිගාවක්‌· වෙසමුණි රඡ්ජුරුවන්ට ගුවන් යානයක්‌ තිබිල තියෙනවා· ඒක නවතලා තියෙන්නේ මාළිගාවේ වහලේ·

සීගිරිය, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී ගම්වල පැරැන්නන් අතර මුඛ පරම්පරාගතව පැවැති මේ ජනශ්‍රැතියෙන් සීගිරියේ අතීත ඉතිහාසයට ගෙන දෙන්නේ සුවිසල් ආලෝක ධාරාවකි. සීගිරියේ හා එයට තදාසන්න සියලුම ගම් නියම්ගම්වල පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ය. වැද්ද ගේ හේන, වැද්දි ගෙ වත්ත, වැදි යාය ආදී නම් තිබෙන ඉඩම් කඩම් මේ ප්‍රදේශයේ බහුලය. වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසී (Aborigines) යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවේ.

වෙසමුණි රඡ්ජුරුවෝ ලෙසින් පුංචි බණ්‌ඩා සඳහන් කළේ විශ්‍රවස්‌මුණි හෙවත් වෛශ්‍රවණ නමැති යක්‍ෂ රාජායා ය. පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 367-437) වෛශ්‍රවණ යක්‍ෂයා සඳහා නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කළේය. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා පිටු 102)

මේ විශ්‍රවස්‌මුණි, රාවණ මහ රජු ගේද කුවේර ගේද පියාවන අතර මහරිසි පුලස්‌ති ගේ පුත්‍රයාය. එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සතර වරම් දෙවිවරුන් ගෙන් එක්‌ දෙවියෙක්‌ වූ වෙසමුණිය.

නාග, යක්‍ෂ, දේව හා රාක්‍ෂ නම්වලින් හැඳින්වූවද මොවුන් මනුෂ්‍යයන් මිස වෙනත් අමනුෂ්‍ය වර්ගයක්‌ නොවන බැව් ඉඳුරාම කිව හැකිය.

විශ්‍රවස්‌මුණි ගෙන් පසු ඔහු ගේ දෙටු පුත් කුවේරට මේ මාළිගය හා ඔහු ගේ ගුවන් රිය පුෂ්පිකයානය අයිති වූ නමුත් තරුණ වියට පත් රාවණයෝ ලංකාපුර රාජධානිය ඇතුළු චංචල නිශ්චල සම්පත් සියල්ල උදුරාගත් බැව් රාමායණය කියයි.

"කාශ්‍යප රාජ්‍යෙdaදයට වසර 500 කට පූර්වයෙහි දී ස්‌වකීය රාජ්‍යයේ කාසි 1600 ක්‌ ආගමික මධ්‍යස්‌ථානයක්‌, තොටමුණක්‌ වෙළඳ නගරයක්‌ හෝ නොවන සීගිරියට පැමිණ රන් කාසි විසුරුවා ගිය ධනවත් රෝම පුරවැසියෝ එහි පැමිණ ඇත්තේ ගිරග්ග සමඡ්ජ වැනි උළෙලකට බැව් මහාචාර්ය විනී විතාරණ අදහස්‌ කරයි. (සිළුමිණ 1994 අප්‍රේල් 17)
Sihigiriya remembrance rock (The Gazetteer )මේ අනුව පළමුවෙන්ම පෙනී යන සත්‍යය නම් කාශ්‍යප (ක්‍රි.ව. 704-711) රජුටත් වර්ෂ 500 කට පමණ පෙර මේ ස්‌ථානය ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණ ස්‌ථානයක්‌ බැව් සත්‍ය මූලාශ්‍ර අනුව පෙනී යන බවයි.

ගිරග්ග සමඡ්ජ යනු පැරණි ඉන්දියාවේ උළෙළකි. ගලක්‌ හීතර සමඡ්සමඡ්ජ නම් නැටුම් හෝ ගලක්‌ හී තරණ පියවියෙන් ගිරග්ග නම් (දම්පියා අටුවා ගැටපදය 36 පිටු)

7-8 හා 9 වැනි සියවස්‌වල ලංකාවේ නොයෙක්‌ දෙසින් ජනයා සීගිරියට ආහ. සීගිරි ගල මුදුනට ජනයා එකතු වීමේ පරමාර්ථය නම් සීගිරි රූප බැලීමට පමණක්‌ නොව "ගිරග්ග සමඡ්ජ" වැනි උත්සවවලටද සහභාගි වීම බැව් මාර්ටින් වික්‍රමසිංහ අදහස්‌ කරයි. (Sigirigraffiti Vol pp CCXV)

සීගිරියට රෝම ධනපතියන් පැමිණේ ගිරග්ග සමඡ්ජයට ද එසේත් නැතිනම් ඒ ස්‌ථානයේ පදිංචි වී සිටි ප්‍රභූවරුන්ගේ මැණික්‌ මිලදී ගැනීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නැගෙනු ඇත.

විශ්‍රවස්‌මුණි (වෙසමුණි) කුවේර ආදීන් මුළු මහත් ලෝකයේම ධනපතීන් ලෙස බැබළුණේ ලංකාපුර රාජධානියේ (ලග්ගල) තිබුණ අසීමිත වටිනාකමක්‌ ඇති අගනා මැණික්‌ නිසා බැව් කිව හැකිය. ලංකාපුර රාජධානිය සමඟ සම්බන්ධකම් පැවැති හලාවත මුතු රාජධානිය අයත් වූවේද යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. කුවේණි රැජින තම්මැන්නාවේ තාවකාලික පදිංචි වූවේද සිරිස වස්‌තු පුරය මෙන්ම හලාවත මුතු රාජධානිය ද ඔවුන්ට උරුම වූ ස්‌ථාන බැවිනි.

හලාවත මුන්නේශ්වරම් මහා ශිව දේවාලය රාවණ රජු ගේ පමණක්‌ නොව ඔහුගේ පරපුරේ සූර්යය භක්‌තිකයන් ගේද මධ්‍යස්‌ථානයකි. 
Our Past Kings Figure in very many episodes connected with Munneswaram for history cantrace back only to the time of Ravana (Sri Lanaka to day pp. 18)

මේ අනුව විමසා බලන විට ඌවේ ලග්ගල සහ සබරගමුවේ මැණික, හලාවත මුතු ආදී වස්‌තුවෙන් පොහොසත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරයෙක්‌ ක්‍රි.ව. 20 - 21 යුගයේ පමණ නිකුත් වූ කාසි විය හැකිය.

දේවානම්පියතිස්‌ස රජතුමා ද සීගිරියේ සිටි බැව් ඒ. සී. ලෝරි කියයි. (The Gazatter of Cantral Province..........)

ඒ අනුව විමසා බලන විට මේ ස්‌ථානය මුරුණ්‌ඩ වංශික රජ දරුවන්ද පාවිච්චි කළ ජය භූමියක්‌ ලෙස විශ්වාස කළ හැකිය. පණ්‌ඩුකාභය රජතුමාට ද යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාව තිබුණ බැවින් විශ්‍රවස්‌මුණි ගේ මාලිගය පසු කලෙක මුරුණ්‌ඩ ශිව (The Greeks & Mauriyas) ගේ පුත්‍ර දේවානම්පියතිස්‌ස රජු සිය පරිහරණයට ගන්නා විය හැකිය.

සංඝතිස්‌ස රජු සහ සිය පුත්‍රයා සීගිරියේ දී සතුරන්ට අසු වී මැරුම් කෑ පුවත "මහාවංශයේ" 44 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. පරාක්‍රමබාහු (1164-97) රජතුමා ද සීගිරිය අලුත්වැඩියා කර ඇත. (The Gazetteer of the Central Province pp.792)

ගිරග්ග සමඡ්ජ වැනි උලෙළක්‌ ලංකාවේ පැවැත්වූ බවට සෑහෙන තරම් මූලාශ්‍ර මෙතෙක්‌ හමුවී නැතැයි කිව හැකිය. එසේ වුවද පණ්‌ඩුකාභය රජ යුගයේ කාමෝත්සව පැවැති බැව් මහාවංශය (මහාවංශය X 64-65 පිටු) කියයි.

බෞද්ධාගම හෙළිදිවට පැමිණීමට පෙර ලංකාවේ දුරාචාර, පුද පූජා පැවැත්වූ බැව් හියුං සාං ප්‍රකාශ කර ඇත. (Buddhist Records of the Westen World pp 206)

කෙසේ වුවද සීගිරිය ආරම්භයේ සිට රජවරු ප්‍රභූවරු ජීවත් වූ මාලිගයක්‌ ලෙස හැදින්වීමට සාධාරණය.

මහා දාඨික, මහා නාග රජු (ක්‍රි.ව. 06-18) දවස ගිරිභාණ්‌ඩ පූජා නම් උත්සවයක්‌ පවත්වා ඇති බවත් එයට හේතුව මිහින්තලේ චෛත්‍යයේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් වීම යෑයි මහාවංශය - රසවාහිනී, විසූධි මාර්ග ග්‍රන්ථවල සඳහන් වේ.

ගිරිභාණ්‌ඩ පූජාව ඒ යුගයේ පැවැති සුවිසල් පුණ්‍ය කර්මයක්‌ බවට අපමණ මූලාශ්‍ර බෞද්ධ සාහිත්‍යයේ ගිරිභාණ්‌ඩ පූජාය - නම් ෙච්තිය ගිරිය ආදි කොට සියලු සිංහල ද්වීපයෙන් යොදුනක්‌ තැන් දක්‌වා සමුද්‍රයෙන් පැවැත්වූ මහා ප්‍රදීප පූජාවයි (විසුද්ධි මාර්ග සන්නස - 12 සෘද්ධි විධි නිද්දේශ)

මේ අනුව තව තවත් විමසා බලන විට සීගිරියට රන්කාසි පිදුවේ "ගිරිභාණ්‌ඩ පූජාවක්‌" සඳහා ඒ යුගයේ විසූ සිංහල රජ කෙනෙක්‌ විසින් විය හැකිය. විදේශ රටවල් සමඟ දිගු කලක්‌ වෙළෙඳ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවේ ධනවතුන් හා ප්‍රභූවරුන් සතුව තිබුණ රන්කාසි මේ මහා පූජාව පිණිස ඒ පූජාව පැවැත්වූ මධ්‍යස්‌ථානයෙහි විසුරුවා හැරීමට ඉඩ ඇත.

මේ රන්කාසි පොළොව මතුපිට විසුරුවා තිබීමෙන් මෙය පූජාවක්‌ සඳහා විසුරුවා දැමූ පූජා භාණ්‌ඩ විය හැකි බවත්, රාජ අනුග්‍රහයෙන් පැවැත්වූ පූජාවක භාණ්‌ඩ සොරුන්ට ගෙන යැමට නොහැකිවූ නිසා ඒවා කාලයේ වැලි තලාවට යට වී පසුව එම ස්‌ථානය පිළිසකර කරන කැණීම්වල දී හමුවූ බවත් සිතීමට බොහෝ ඉඩකඩ ඇත.

ගිරග්ග සම-ජ වැනි උත්සවයකට රෝම ජාතිකයන් පැමිණ මේ රන්කාසි විසුරුවා දායි නම් ඒ රන්කාසි එවේලෙහිම කවුරුත් අසුලාගනු නිසැකය.

ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණ බව රාමායණයෙන් කියෑවේ.

කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැති මගින් කියෑවේ.

මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකි යෑයි දොස්‌තර ශ්‍රී වාත්සව මහතා මා සමඟ ප්‍රකාශ කර ඇත. (1982.05.03) සාකච්ඡාව - නුවරඑළිය)

එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. (පෙරියසාමි වයියාපුර - බදුල්ල සාකච්ඡාව 80.02.14)

ගල්කඳු හා වනාන්තර පිළිබඳ ප්‍රායෝගික දැනුමක්‌ තිබුණ වයියාපුරි ගේ අදහස නිවැරැදි බැව් පසුගිය දිනෙක ලග්ගල දී මට හමුවූ කිහිප දෙනකු ගේම අදහස්‌වලින් තහවුරු වේ.

ලග්ගල බොහෝ දෙනෙක්‌ද අදහස්‌ කරන්නේ සීගිරියේ සිට ලකේගලට උමං මාර්ගයක්‌ ඇති බවය. රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන පද්ධතියක්‌ වී තිබුණ බැව් සිතිය හැකිය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වැලිමඩ ඌව පරණගම ස්‌ත්‍රීපුර කන්දට හක්‌ගල (නුවරඑළියේ) කන්දේ සිට උමං මාර්ගයක්‌ ඇති බැව් ඒ ප්‍රදේශවාසීන්ගේ විශ්වාස යයි (Cultural Heritage at King Ravana pp12)

මේ අනුව සීගිරියේ සිට ලක්‌ගලටත් ලක්‌ගල සිට බිම්තැන්නේ සිරිසවසකු පුරයටත් උමං මාර්ග පද්ධතියක්‌ තිබුණ බවට සැක නැත.

සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිට යෑයි ශ්‍රී වාත්සව අදහස්‌ කරයි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ ශ්‍රී වාත්සව මහතා ඉන්දියානු ජාතිකයෙකි. ඉන්දියාවේ හිමාලයේ ද ලංකාවේ විවිධ පළාත්වලද රාවණ රජු සහ ඔහු ගේ පා පහස ලත් ස්‌ථාන පිළිබඳ ගවේෂණයක යෙදුණ ඔහුට රාවණ රජතුමා ගේ විවිධ චර්යාවන් පිළිබඳ අවබෝධයක්‌ ඇත්තෙකි.

"සීගිරිය" තල්කොටේ අසල පදිංචිකරුවෙක්‌ වූ පුංචි බණ්‌ඩාගේ සාක්‍ෂියෙන් ද තහවුරු වුණේ දොස්‌තර ශ්‍රී වාත්සව ගේ මතය ම බැව් කිව යුතුය.

මාතලේ දිසා ඇමැති ධුරය දැරූ දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතාද සීගිරියට දැඩි ඇල්මක්‌ තිබුණ දේශපාලනඥයෙකි.

සීගිරිය බළකොටුවේ ජීවත් වූ ආදි පුරුෂයා රාවණා රජු විය හැකි බැව් තමා විශ්වාස කරන බවත්, ඒ ගැන මුඛ පරම්පරා කථාවක්‌ ඉහළ තල්කොටේ ටිකිරි බණ්‌ඩා නමැත්තෙක්‌ දැනට වසර 15 කට පමණ පෙර කියා ඇති බවත් දිසා ඇමැති ඒකනායක මහතා කීවේය. (1981 ජුනි මස සාකච්ඡාව)

සීගිරියේ විසූ කස්‌සප (477-495) රජතුමා තරුණ කාලයේ මාග බ්‍රාහ්මණයා ගෙන් ජ්‍යෙතිෂය හැදැරූ බවත්, එයට පූර්ණ අනුග්‍රහය ධාතුසේන රජතුමාගෙන් ලැබුණ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සීගිරිය ග්‍රහලෝක පරීක්‍ෂණ කටයුතු කරන විද්‍යාගාරයක්‌ ලෙස පැවැති බවත් ප්‍රවීණ ජ්‍යෙdaතිෂ ශාස්‌ත්‍රඥයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක කියයි.

ධාතුසේන රජතුමා ගේ අන්ත(පුරය ද සීගිරියේ පැවැති බැව් ආචාර්ය ගුණතිලක ගේ මතයයි. 

Prince Kassapa Studied Astrology thoroughly with the help of king Dhatusena's Court astrologer Brahmin Rishi Kevala Maga. One of his texts in ola leaf on astrology still remain in the British Museum. Kassapa knew that according to his stars he should become king before his brother Mugalan. So he suddenly arranged a coup d' etat and became the king of Sri Lanka in 497 A. D.

His Astrologer friend Brahmin Kewala Muga instructed king Kassapa to conver Sigiriya in to a planetorium. Sigiriya was rebuilt under the guidance of Brahmin Maga (The Island 3. 11.1982)

සීගිරි පර්වතය වටා කැටපත් පවුරක්‌ (Mirror Wall) තිබුණ බැව් පුරාවිද්‍යාඥයන් කියන බැව් ගුණතිලක සඳහන් කරයි. ඒ කැටපත් පවුර අංශක 80% වෘත්තයකට තිබුණ අතර, නැකැත් පිළියෙල කිරීම වැනි ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂණ කටයුතුවලට එය ප්‍රයෝජනවත් වී යෑයි ද ආචාර්ය ගුණතිලක ගේ මතය වී ඇත. සීගිරි ප්‍රදේශයේ වූ 'නයි පෙණ ගුහාව' පරුමක නගුලිය ලෙන යනුවෙන් සඳහන් වී තිබෙන්නේ සීතා දේවිය විසූ ගුහාව එය නිසා බවත් නගුලිය යනු සීතාවන්ට (නඟුලෙන් උපන් ලිය) යෙදූ නමක්‌ බවත් ශ්‍රී. ල. රා. රාජධානිය (පිටු 171) කියයි.

මාක්‌ස්‌ ප්‍රනාන්දු ගේ අදහස සීගිරිය රාවණ විසින් ගොඩනංවා ඇති බවකි. නමුත් ලග්ගල, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී තදාසන්න පෙදෙස්‌වල ජනශ්‍රැති අනුව පෙනී යන එක ම සත්‍යය නම් වෙසමුණි (විශ්‍රවස්‌මුණි) රජ අණ ලෙස මය දානව විසින් මේ ශෛලමය මාලිගය ගොඩනඟා ඇති බවයි.

මෙවැනි අතිශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයක්‌ කළ මය දානව කවුද යනු විමසා බැලිය යුත්තකි. 'මහා භාරත කාව්‍යයේ දැක්‌වෙන ඛාණ්‌ඩව වනය දැවීමේ දී සිය දිවි ගලවා ගැනීමට ආධාර දීම ගැන කෘතඥ වූ 'මය' තෙමේ පාණ්‌ඩවයන් ගේ නායක යුඬිශ්ඨිර නරේන්ද්‍රයාට විසිතුරු ශාලාවක්‌ නිම කර දුන්නේ ය. මය වනාහි ලංකේශ්වර රාවණ ගේ මයිලණුවෝ ය. 'දුන්දාහී' සහ 'මායාවී' නම් රාක්‍ෂ වීරයින් ගේ පියාණෝ ය. දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 'මයමතය' නම් ගෘහ නිර්මාණ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය කරන ලද්දේ මය දානවයා විසින් යෑයි කියනු ලැබේ. 'සූර්යා සිද්ධාන්තය' ද මය ගේ එක්‌ ග්‍රන්ථයකි. මය ගේ දියණිය වූ මන්දොaදරී සමඟ රාවණ රජු විවාහ වූ දිනයේ රාවණට සිය බලසම්පන්න ත්‍රිශූලය දායාද වශයෙන් ප්‍රදානය කළේය. (සංක්‍ෂිප්ත රාමායණය, පිටු.190).

වත්මන් ගැමියන් මය යක්‍ෂයා යනුවෙන් හඳුන්වන්නේ මය දානව බවට සැක නැත. වෛශ්‍රවණ හෙවත් විශ්‍රවස්‌මුණි ගේ නාමය ඔහු ගේ පුත්‍ර කුවේරට ද පාවිච්චි කළ බැව් මූලාශ්‍රවලින් පෙනේ. 'අනුරාධපුර යුගයේ දී වෛශ්‍රවණ නම් යක්‍ෂයා පුදන ලදී. ඔහු කුවේරයා ලෙස සාහිත්‍ය ග්‍රන්ථවල එයි. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා, පිටු 97).

ලංකාවේ යක්‍ෂයන් උසස්‌ සභ්‍යත්වයක්‌ ඇති, නගරවල විසූ, කපු පිළි ආදී රෙදි විවීම කළ, විදේශික ප්‍රජාවට අකමැති, වෙළෙන්දන් මරා දැමූ වර්ගයකැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ 'The Pali Literature of Ceylon" ග්‍රන්ථය කියයි.

සීගිරිය අවට පැවති සංස්‌කෘතිය මේ අනුව අනුමාන ව සිතා ගත හැකි ය. මේ ස්‌ථානය මාතලේ දුම්රිය පොළට සැතපුම් 35 ක්‌ ඈතින් පිහිටා ඇති අතර, එය අඩි 600 ක්‌ උසැති ගිරිකුළක්‌ බවත් අක්‌කර 3 1/2 ක පෙදෙසක මේ සීගිරිය සංකීර්ණය පැතිර ඇති බවත් ලිත සාක්‍ෂි අනුව කිව හැකි ය. (Tutor - Vol. 01. Wool. P.P. 35)

අක්‌කර 300 ක භූමි ප්‍රමාණයක්‌ එදා සීsගිරියට අයත් ව තිබිණැයි ඒ. සී. ලෝරි කියයි The Gazetteer of Central Province pp.791).

මෙගලිතික සංස්‌කෘතියට අයත් යක්‍ෂ ගෝත්‍රිකයින් කළුගල් නිර්මාණ කටයුතුවලට දක්‍ෂයන් වූ බැව් දැඩිමුණ්‌ඩ පුවතේ කවිවලින් සනාථ වේ.

මෙලෙස කපා ගල යකුන් ලවා යේ
එලෙස සෙනඟ රැස්‌ කළ එකලා යේ
යසස මෙලක්‌ දිව පතළ කළා යේ
සතොස වඩන සුර විමන කළා යේ

(පරණවිතාන සමර දෙසුම්, පිටු 25)

මේ අනුව විමසා බැලීමේ දී මෙගලිතික සංස්‌කෘතිය තුළ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික නිර්මාණ ශිල්පීන් අතින් සීගිරිය බිහි වීම පුදුමයට කරුණක්‌ නො වේ.

සීගිරියේ කැටපත් පවුරේ වත්මන් ගී ලියා තිබෙන්නේ ඊට පෙර එහි ලියා ඇති ගී සය වෙනත් සටහන් මතූ පිට බැව් කිව යුතු ය (Weekend Sun - H. Marcus Fernando 1/4/1984). එසේ නම් එම ගීවලින් සීගිරිය පිළිබඳ සත්‍යය හෙළිවිය හැකි ව තිබුණි.


මෙගලිතික යුගයේ මේ ප්‍රදේශය ඉතා දියුණු ජනාවාසයක්‌ බැව් පර්යේෂණවලින් පෙනී ඇත. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය මගින් සීගිරියේ සිට සැතපුම් 02 ක්‌ වයඹ දිගින් පිහිටි නාගල වැව ග්‍රාම නිලධාරී වසමේ කුඩා නිකකටුව වැව ප්‍රතිසංස්‌කරණ කටයුතුවල දී ඒ වැවේ පස්‌ කපන විට වැව පතුලේ තිබී පුරාණ කඩු 12 ක්‌ හා හෙල්ලයක්‌ හමු වුණි. මේ අනුව සොයා බලන විට සීගිරිය අවට සැතපුම් ගණනක්‌ ඈතට විහිදී ගිය පැරණි ශිෂ්ටාචාරයක්‌ තිබූ බවට සාක්‍ෂි එමට ඇති බැව් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඩන්ස්‌ටන් ප්‍රනාන්දු කියයි (සිළුමිණ, 1994.04.24).

ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂකයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක තරයේ ම ප්‍රකාශ කරන්නේ මේ ස්‌ථානය කාශ්‍යප රජු ගේ ග්‍රහලෝකාගාරය ලෙසයි.

'Megalithic Satrological Computer of England which was built about 2000 years ago to check the movements of the stars. It is now an accepted theory of Archaeologists who have strained this, similar structures are seen in the Mexico Caracol observatory chichen itza in the Maya Culture Buildings.There are many similar ruins in India too' (The Island 3-11-19852).

ආචාර්ය ගුණතිලක සීගිරිය පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රහලෝකාගාර සංකල්පය ද තරමක්‌ දුරට හෝ පිළිගත හැක්‌කේ රාවණ ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි පමණක්‌ නොව රාවණ ගේ සීයා වූ පුලස්‌ති මහ සෘෂිවරයා සහ රාවණ ද දක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥවරු බැවිනි.

ලකේගල මුදුනේ සිට පුලස්‌ති සෘෂිවරයා තාරකා විද්‍යා කටයුතු පර්යේෂණ පැවැත්වූ පරිදි පුලස්‌ති පුත්‍ර විශ්‍රවස්‌මුණි (වෙසමුණි) සහ විශ්‍රවස්‌ පුත්‍ර රාවණයෝ ද ජ්‍යෙdතිෂ විද්‍යා පර්යේෂණ කළ බැව් ලොව පිළිගත් සත්‍යයකි. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධයක්‌ සිය මවු පසින් ලත් කාශ්‍යපයෝ ද පසු කලෙක මාග බ්‍රාහ්මණයා ගේ උපදෙස්‌ පිට ජ්‍යෙdaතිෂය හදාරන්න ඇතැයි සිතිය හැකිය.

සීගිරිය, ලකේගල ආදී උභය ස්‌ථානයන් යක්‍ෂගෝත්‍රික ආදිවාසී විද්වතුන් ගේ මාලිගා මෙන් ම විද්‍යා නිකේතන වූවාට සැක නැත.

පසු කලෙක හෙළදිවට පැමිණි ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයින් ගේ වැඳුම් පිදුම් අනුගමනය කර ඇති බැව් යුතු ය. මේ ආර්ය සිංහලයින් මෙන් ම ඉන්දු ආර්ය ජනකොටස්‌ ද මහාකාල සහ මහාකාලි වන්දනාවේ යෙදෙන්නේ එබැවිනි. මේ පිළිබඳ ව ඇස්‌. ඩී. ද ලැනරෝල් මෙසේ අදහස්‌ දක්‌වයි.

'The Aryans tagged on the rituals performed in the worship of Yakkha deity known as Mahakala the supreme Yakkha deity must have originated from a natural sight seen on the top of a rocky mound'.

'The worship of Mahakali the Yakkhini the spouse of Mahakala is still full of savage rites performed by the ancient Yakkhas' (Orignis of Sinhala Culture, PP 30-31).

මේ මහා කාලි මෙන් ම මහා කාල වන්දනාව ඉන්දියාවේ ද පැතිර ඇති අතර මහා කාල සහ මහා කාලි රාවණ ගේ හමුදාවේ සිටි ප්‍රබල සෙන්පතියන් බැව් ඇතැමෙක්‌ විශ්වාස කරති.

මේ සීගිරිය 'චිත්‍රකුට' නමින් ද හඳුන්වා ඇත. එයට හේතුව එය අලංකාර චිත්‍රවලින් පිරි කලාගාරයක්‌ වූ නිසා යෑයි සිතිය හැකිය. (Week end Sun). චිත්‍රරාජ නමැති යක්‍ෂ සේනාධිපතියා ද මේ චිත්‍ර කූටයේ ජීවත් වූ බවට මූලාශ්‍ර ඇත. පණ්‌ඩුකාභය රජතුමා දේවත්වයෙන් පුදන ලද්දේ මේ සෙන්පතියා යෑයි අනුමාන ය.

මේ සීගිරිය හෙවත් චිත්‍රකූටය තදාසන්න ගම්වල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වල් අලි, කොටි, වලස්‌, නයි, පොළොං ආදී වන සතුන් සමඟ සහජීවනයෙන් හා සාමදානයෙන් සිටි බවත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයින් වන සතුන් හීලෑ කර ගැනීමට බලගතු මන්ත්‍ර පාවිච්චි කළ බවත් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ යෑයි පැවසූ රාවණා ගේ කෙන්දා නමැත්තෙක්‌ අප සමඟ කීවේ ය. (1980.01.05 සාකච්ඡාව).

වත්මන් වැදි ජනයා ලෙස සැලකෙන අපේ ආදිවාසීන් ගේ මන්ත්‍ර හා විවිධ යාතුකර්ම සඳහා ව්‍යවහාර වන්නේ ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික සිංහල බවත් ඒ මන්ත්‍ර හා යාතු කර්ම විධි පෙරදා ලෙස පැවැත්වීමට තබා මන්ත්‍රයක්‌ නිවැරදි ලෙස උච්චාරණය කිරීමට වත් වත්මන් තරුණයින්ට නො හැකි බවත් කෙන්දා ගේ අදහසයි.

තව ද, ලංකාවේ සතර වරම් දෙවියන් ලෙස සැලකෙන විරුඪ - විරූපාක්‍ෂ, ධෘතරාෂ්ඨ හා වෛශ්‍රවණ ආදින් යක්‍ෂ, දේව, නාග ගෝත්‍රික නායකයින් බැව් පිළිගත හැකි සත්‍යයකි. ඒ සතරවරම් දෙවියන් ගෙන් වෛශ්‍රවණ යනුවෙන් හඳුන්වන්නේ කුවේර, රාවණ, විභීෂණ, කුම්භකර්ණ ආදී රාක්‍ෂ වීරයින් ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි රජතුමා ය.
 
නිගමනය

සීගිරිය නිර්මාතෘවරයා මය දානව නමැති ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියා බවත් එහි ආදි පුරුෂයා විශ්‍රවස්‌මුණි රජතුමා බවත් මේ දත්ත සමූහයෙන් මැනවින් පැහැදිලි වනු ඇත. විශ්‍රවස්‌මුණි ගෙන් කුවේරටත් කුවේරගෙන් රාවණටත් රාවණ ගෙන් පසු විභීෂණටත් සීගිරියේ උරුමය ලැබුණ නමුත් සිය සොයුරාට සතුරුකම් කළ විභීෂණ ව පිළිගැනීමට කන්ද උඩරට යක්‍ෂ ගෝත්‍රිකයින් නොමැති වීම නිසා කැලණි පුරය දක්‌වා මන්දොaදරී ද සමඟ පසුබැසීමට විභීෂණට සිදු වුණි.

එයින් පසු රාවණ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරු අතින් අත මාරු වෙමින් පැවැති මේ ඓතිහාසික බළකොටු මැදුරට නව එළියක්‌ ලැබුණේ පණ්‌ඩුකාභය රජතුමා හෙළදිව පාලනයට පත්වීමෙන් පසු වය. පණ්‌ඩුකාභ්‍ය පුත් 'මුරුණ්‌ඩශිව' (මුට ශිව) රජතුමා ද ඔහු ගේ පුත් දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 307-267) රජතුමා ද මේ ස්‌ථානයට සම්බන්ධ වූවේ ඔවුන් ගේ පාරම්පරික උරුමයකට බැව් විශ්වාස කළ හැකි ය. විවිධ රජවරුන් විසින් වරින් වර සීගිරිය ප්‍රතිසංස්‌කරණය කර ඇත. කාශ්‍යප රජතුමා ද එයින් එක්‌ කෙනෙක්‌ පමණි. යක්‍ෂයින් ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක්‌ නො වේ. ඒ ස්‌ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කය තුළ දැනුදු හඳුනාගෙන ඇති බැව් ස්‌පෙන්සර් හාඩි ප්‍රකාශ කර ඇත (ශ්‍රී.ල.රා.රා., පිටු. 135).

රාවණ ගේ නාමය සීගිරියෙන් ඈත් කළ හැකි ද? මෙය ඉතිහාසය හා පුරාවිද්‍යාව එකට එතුන ප්‍රශ්නයකි. සීගිරියේ ඈත අතීතය කළුගල් පතුරු හා කාලයේ වැලි තට්‌ටු අතරින් ඉතා සූක්‍ෂම ලෙස සොයා බලන විට නුදුරු අනාගතයේ යම් දිනෙක සීගිරි ගල පතුලින් සැතපුම් සිය ගණනක්‌ දිග උමං මාර්ගයක්‌ හමුවූවත් පුදුම විය නො හැකි බැව් විශ්වාස කළ හැකි ය. එමෙන්ම එහි අඩි දහස්‌ ගණනක්‌ යටින් පොළොව කුහරය තුළ ගරා වැටුණ නගරයක නටබුන් හමු වූවත් එය ගැන පුදුම නො විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය අදට වඩා දියුණු යුගයක්‌ බැව් ප්‍රත්‍යක්‍ෂ වී ඇති බැවිනි.

උපුටා ගැන්ම - http://www.divaina.com/2011/09/28/badada04.html


No Response to "සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?"

Post a Comment

අදහස් සහ උදහස්