Thursday, December 19, 2013

බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?

1



බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?


පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

සිව්වන ලිපිය


මේ වරිගයාගේ ඉතිහාසය මැනැවින් කියාපාන වරිග පූර්ණිකා ග්‍රන්ථයේ සාරාංශගත විස්තරයකි. මෙම වරිග පූර්ණිකා ග්‍රන්ථය රචනා කළ ආකාරය වරිග පූර්ණිකාවේ මෙසේ දක්වා ඇත.


වරිග පූර්ණිකාව ඇතුළත් පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කිරීමේදී කුටිර අරණේ අඩ මසක්ද, කන්තිර කද්දිර අරණේ සිවු මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළෙමි.


ඒ පංචරක්ඛාවලි කතුවරයාණන් වූ ශ්‍රී  බෝධිවංශාභය හිමිපාණන් තබා ඇති සටහනයි. මෙම පංච රක්ඛාවලිය රචනා කිරීමේදී තමන් වහන්සේ විසින් ගුරුකොට ගන්නා ලද්දේ රාවණා යුගයේ සිට සුරක්‍ෂිත කළ පුස්කොළ හා ගොස්සර ග්‍රන්ථ සමූහය බව පවසන උන්වහන්සේ, පංච රක්ඛාවලියට ඇතුළත් ග්‍රන්ථ පහ මෙසේ දක්වයි. වරිග පූර්ණිකාව, විභූෂ පූර්ණිකාව, සලසාන පූර්ණිකාව, සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව.


පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කරන්නට යෙදුණු යක්‍ෂ ගෝත්‍රික ඍෂිවරුන් රචනා කළ පුස්තක විශාල සංඛ්‍යාවක් මානෑවේ මුණමුර පුස්තක ලෙන් විහාරයේ සඟවා තබා තිබිණි. එසමයෙහි මෙම ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ මහානාම රජු විසිනි. මහානාම රජුට විරුද්ධව එසමයෙහි උර්දුලන් නීලවේලදු නම් ද්‍රවිඩ සෙන්පතියා ගැසූ කැරැල්ලෙන් පසු, එම සෙන්පතියා මුණමුර පුස්තක ලෙනට ගිනි තබා ඇත. මුණමුර පුස්තක ලෙන ගිනිදැල්වලින් වැසෙන විට එය තුළට කඩා පැන්න මානාපවි තබාධම්ම හිමියන් නොදැවී තිබූ ග්‍රන්ථ රැසක් බේරාගෙන තිබිණි. මේ ඒ ග්‍රන්ථ නාමාවලයයි.


කවිලාශපාලි පැදිය, රවිශෛලාෂ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛාන සැරය, සිළිඹියාපාන, විෂකුම්භන පැදිය, නීලගිරි සන්තය, කාලම් අග්නිසන්දය, රක්ඛාන ගර්ජය, මුණමුර කෞරවය, කවිලාශ අග්නිය, කුම්භණී මුරාග්‍රථය, රකුන් අනාඥාවලිය, මුරාතන්ත්‍රය, ගෞර නිගාතය, ගෝරාභිග්‍රය, රක්ඛ විජලතාව, රිරි කොළය, ගිරිඛණ්ඩජල පැදිය, සුන්දල පුරාණය, සලම්භි අග්නිය, වෙසමුණි ධරණිවතය, සුබෝධි පුරාණය, ගොරාපාසලම, විසිකාග්‍රවරණය, තෝරතිගාතය, රක්ඛසුලාධිය, කුකුරමාන පැදිය, උත්තාචක්‍ර සැදිය, අසුර අත්විසය, කෝසල්ල කේඨුව, විෂකම්හණ ද්වතන්ත්‍රය, මවුරි වතය, දද්දල සෙලිය, ඔරුමාලපටිදය, රක්ඛ ඉලෝනිලෝව, සිරි මේඝාවතය, කවිලාශවන්ඨය, රක්ඛ විදාසනය.


පංච රක්ඛාවලිය රචනා කළ බෝධිවංශ හිමිගේ බුද්ධ කාලයේ සිට පැවැත එන යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පරපුරක් ගැනද සටහන් තබා ඇත. බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට දෙසූ බණ අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‍ෂ සෙන්පතිතුමා ප්‍රථම යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂුව ලෙස එහි සඳහන්ව තිබේ. මේ සෙන්පති පැවිදිවි බිහිකළ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී  ලංකාවේ බුදු දහම පැවැතුණ බවට තොරතුරු අල්ප වශයෙන් සඳහන්ව ඇත. මේ විභීෂභද්‍ර හිමිගේ ශිෂ්‍ය පරපුර නොහොත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රථම භික්‍ෂු පරපුරයි.


විභීෂභද්‍ර හිමි, උලපාතල හිමි, මකුභාණ හිමි, කිත්හිරණ හිමි, සසදික හිමි, ප්‍රපථ හිමි, දිස්සි හිමි, රක්සික හිමි, කෞෂාලා හිමි, කුගාර හිමි, අක්විසල හිමි.


වරිග පූර්ණිකාවේ වේශෛලාෂ වංසයේ වංස කතාව ආරම්භ වනුයේ කවිලාශපාලි දේවියගෙනි. ඇය එකල ගිරිදේශයේ ගිරිබද්‍ර සෙන්පතිගේ බිසව වූවාය. කවිලාශපාලි බුදුන් වහන්සේ පිළිබඳ අසා ගත්තේ එකල යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ දැඩි වෙළෙඳ සබඳතා පැවැත්වූ පුණ්ණ වෙළෙන්දාගෙනි. බුදුන් සරණ ගොස් සිටි ඉන්දියානු සංචාරක පුණ්ණ වෙළෙන්දා උගෙන සිටි බුදු ගුණ භාවනාව කවිලාශපාලි දේවියට ඉගැන්වීය. උගෙනගත් එම භාවනාව නීලගිරි කන්ද අබියස පොකුණ අසබඩ සිට ඇය ප්‍රගුණ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සෝවාන් භාවයට පත්වූවාය. ඉක්බිති ඇය පුණ්ණ වෙළෙන්දා හරහා බුදුන් වහන්සේට හෙළ දිවයිනට වඩින ලෙස ආරාධනා කළාය. එම ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ, බුදුවීමෙන් සත්වැනි වස ලංකාවට වැඩම කළහ. ඒ ලලාට දේශයේ මුහුදු වෙරළටයි. උන්වහන්සේ එහි ධුමක කද්දරිය අසලදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කළහ.


මේ ධුමක කද්දිරය යනු කළාමයයි. මෙය විශාල ගඟක් වශයෙන් ගැලූ අවස්ථාද තිබී ඇත. ධුමක කද්දිරයේ වම් ඉවුර වූයේ ගිරි දේශයයි. බුද්ධ කාලයේ ලලාට දේශය දක්වා වූ ප්‍රදේශය ගිරි දේශයට අයත්ව තිබිණි. ලලාට දේශය වූයේ පුත්තලම් - හලාවත දක්වා වන මුහුදුබඩ ප්‍රදේශයයි. බුදුන් වහන්සේ එකල ලංකාව හැඳින් වූ මිණිමිනි දේශයට ශ්‍රී  පාදය තබන විට උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ශ්‍රී  පාදය වැල්ලේ එරිණි. එම ස්ථානය එදා හැඳින්වූයේ මක්කම යන නමිනි.


බුදු රජාණන්ගේ මෙම වැඩම කිරීම පිළිබඳ සඳහන් කරන වරිග පූර්ණිකා ඡේදයේ සිංහල අරුත මෙසේ දැක්විය හැකිය.


ලලාට දේශයට වැඩම කළ උන්වහන්සේ මුහුදු වෙරළේදී පළමුකොට ශ්‍රී  පාදය තැබූ විට එම ස්ථානයේ උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ස්වර්ණමය ශ්‍රී  පාදයක් මතුවී එයින් රශ්මි කදම්බය නිකුත් කරන්නට වූයෙන් එම දර්ශනය දුටු යක්‍ෂ ගෝත්‍රිකයෝ මහත් භක්තියෙන් උන්වහන්සේගේ ශ්‍රී  පාදය වන්දනා කළහ. ශ්‍රී  පාද පද්ම සලකුණ පිහිටි එම ශුද්ධ භූමිය එදා යක්‍ෂ භාෂාවෙන් හඳුන්වනු ලැබුවේ මක්කාමම යන නමිනි.

මක්කම ශ්‍රී  පාද ලාංඡනයක් තිබූ බව ගැමියන් අතර අදද භාවිත වන මෙම කව හොඳම නිදසුනකි.


මක්කම වැඩ සිට තිබූ වම් පා    දෙක

එක්කම මිණි මේකල දවසින්     දැක

සක් දෙවිඳුට උපමා කළ අණ     සක

නික්මෙති සිවු ජලකඳ ගිරි     අරණෙක     


මෙයට අමතරව ධාතු විස්තරයේ එක් කාව්‍යයකින් සමනල ගිරි මුදුනේ ඇත්තේ වම් සිරිපතුල බවත්, දකුණු සිරි පතුල ඇත්තේ මක්කම වැල්ලේ බවත් මෙසේ සඳහන් වේ.


වැටුණි තලිය තලි තුනකට     එල්ලේයා

ඉසුණු බුදු රැසින් මහ මෙර    එල්ලේයා

ලකුණු බලාලා මහ මෙර    පල්ලේයා

දකුණු සිරිපතුල මක්කම    වැල්ලේයා


තවද තොවිල් කවියක් වන කොහොඹ යක්කම හෙවත් විජේරාජ් කතාවේ ප්‍රාරම්භයේ එන කාව්‍යයකින්ද සිරිපතුල පිහිටි මක්කම ලක්දිව පිහිටි ස්ථානයක් බව කියැවෙයි.


මොක් හිමි    පදක්කම

ලක් සඳු පියස    මක්කම

සිවු මුරු වැඩක්    කම

සරණ වැඳලා කියමි    යක්කම


මෙයට අමතරව සක්දෙවි උපත නම් ශාස්ත්‍ර ප්‍රකරණයෙහිද ඒ බව කියැවෙයි.

සත්පුර ඔබ දෙවියන් දැක මුනිඳුන් අණ සිරස    දරයි

මක්කම සිරි පතුල තබා දෙව්රම් වෙහෙරට    වැඩියයි

මේ සිරිපතුල පිහිටි මක්කම පිහිටියේ අන් කිසි තැනක නොව ලංකාවේ මුහුදුබඩ ස්ථානයක බව නිශ්චය කරන්නට අවශ්‍ය අපමණ සාධක අප හමුවේ ඇත.


දෙවුන්දර සිට යාපා පටුන දක්වා සන්දේශයක් රැගෙන යන ලෙසින් ලියන ලද කෝකිල සන්දේශයේත් මුහුදු බඩ ස්ථාන රැසක නම් ඇතුළත්ය. මුන්නේශ්වරම්, වෙල්ලාවල, තම්මැන්නා අඩවිය, පුත්තලම පොන්පරිප්පුව, මුව‍ෙදාරගම මුසලිය, මොරවල, මන්නාරම, ඇත්තල, මක්කම එම ස්ථානයි. තම්මැන්නා අඩවිය පුත්තලමට පළමුවෙන් පිහිටා තිබේ. මෙකී ස්ථානවල නාමවල යම් අපිළිවෙළක් දක්නට ලැබුණත්, මක්කම ස්ථානය පිහිටා තිබුණේ පුත්තලමට ආසන්න ප්‍රදේශයක බව කිව හැකියි.


ඇත්තල නම් ස්ථානය පුත්තලමට නුදුරු කල්පිටියේ පිහිටියකි. ඇත්තල, මක්කම අසලම පිහිටි තැනකි.

මුල්ම අවධියේ යක්ෂ ගෝත්‍රිකයන් බුදුන් වහන්සේ වන්දනා කිරීම සඳහා භාවිත කළේ ලාංඡන දෙකකි. ඉන් එකක් වූයේ ශ්‍රී  පාද ලාංඡනයයි. අනෙක වූයේ බුදුන් වහන්සේට වැඩවිසීම සඳහා නිම කරන ලද ගල් ආසනයයි.


බුදුරජාණන් වහන්සේ විසින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට දේශනා කරන ලද සූත්‍ර කිහිපයක් වරිග පූර්ණිකාව ග්‍රන්ථයේ දැක්වේ. එය සිංහල භාෂාවෙන් මෙසේය.


රකුන් කයියෝ රකුන් පතිහු වඩිති.රකුන් කයියෝ සම්භාර ධර්ම පත රක්කහු වියෝ ඊමග මෙසේ වම්හ බුරුතුලු සිහි නුවණ කොටැරක්ඛ වරිගයෙහිම.

විෂකුම්භණ සුතුර දෙසා පියේ මැ

උත්‍රාවත්‍ර දැහැන් සුතුර ලෙසා පියේ මැ

බ්‍රහ්ම දැහැන් සුතුර දෙසා පියේ මැ

පතිනි ප්‍රමෝද්‍යා සුතුර දෙසා පියේ මැ

බිම්බා අරහත් මාතා සුතුර දෙසා පියේ මැ

සදෙස් දැහැන් සුතුර දෙසා පියේ මැ

තවද වරිග පූර්ණිකා මෙසේ දක්වයි.


ශ්‍රී  ලංකාවේ (හෙළදිව) මුලින්ම පිහිටියේ මෙහෙණි සස්නයි. කවිලාශපාලී රහත් මෙහෙණියගෙන් ආරම්භ වන මේ මෙහෙණි සස්න දීර්ඝ කාලයක් පැවැති බවට සාධක තිබේ. කවිලාශපාලී රහත් මෙහෙණිය, ගිහි කාලයේදී ලැබූ දියණිය වන මහාපාලි (කුවේණිය) කුමරිය බුදු රදුන් පිරිනිවන් පෑ දින උන්වහන්සේ සිහිවීම සඳහා නීලගිරියේ දල්වන ලද පහන නිවා දමා පැවිදි දිවියට පත්වූවාය. තම මෑණියන් වැඩසිටි ස්ථානයට වැඩම කළ මහාපාලිය, එම ස්ථානයේ මෙහෙණි ආරණ්‍යයක් පිහිටුවා ගත්තාය. අදත් මෙම ස්ථානය මහාපාලි මෙහෙණවර නමින් හඳුන්වනු ලබයි. මහාපාලිය (කුවේණිය) පැවිදිවීමට පෙර වෙසමුණි ධරණි සේනාසනයේ කාලයක් බ්‍රහ්මචාරීව වැඩ සිටියාය. ඇය විජය නම් පරදෙස්සා සමඟ විවාහ ගිවිස ගැනීම කළා යන්න සාවද්‍ය මතයකි. මේ එතැනින් ඇරැඹුණු පළමු මෙහෙණිසස්නයි.


රකුන් කෙනෙහිනාදි කවිලාශපාලි මෙහෙරුක මාතාන පෙවෙසි

සෝර ගානිති තදල් යැ කෙළෙමි කිරාණ

අරාධ කවිලාශ පාලි සෝරභි ආඩිසවිමැ

අරාධ සුවිසල් පාලි (මහාපාලි) සෝරති  ආඩිසවි මැ

අරාධ කමරාහුවා පාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සොලිස්ගාලි සෝරගී ආඩිසවී මැ

අරාධ කෞෂධිපාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සුධාපාලි සෝරගි ආඩිසවි මැ


තවද බුදුරජාණන් වහන්සේ රිටිගල දී යකුන් දමනය සඳහා යමා මහ පෙළහර පැවැත් වූ විට එයින් දමනය වූ යක්‍ෂ සෙන්පතිවරු බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත්විය.


මෙයින් පසුව ලක්දිව භික්‍ෂු ශාසනය ආරම්භ විය. මුලින්ම පැවිදි බවට පත්වූයේ විභීෂභද්‍ර නම් සෙන්පතියාය. මෙසේ බුදුන් ඉදිරියේ පැවිදි බවට පත්වූ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පිරිස වරිගපූර්ණිකාව මෙසේ දක්වයි.

රක්ඛානුවර රක්ඛ විෂකුම්භාණු සෝරත කිවිසිතේ කරාපි ඊවග තියාපතලුකි.



අරුණඩේල් විජේරත්න


උපුටා ගැනීම - http://mawbima.lk/55-14498-news-detail.html





1 Response to බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?

December 20, 2013 at 12:42 PM

Yak

Post a Comment

අදහස් සහ උදහස්

..