Sunday, December 15, 2013

ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන

0



ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන

රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල බවට ප්‍රබල මතයක් ඇත. අපරදිග භූ විද්‍යාඥයන් එංගලන්තයේ ග්‍රිනිච් නගරය මැදින් පතිත වන රේඛාව පළමුවැනි මධ්‍යහ්න රේඛාව සේ සැලැකූ අතර පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාඥයෝ ලක්‍ෂ්‍යභූත මධ්‍යහ්න රේඛාව රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරය මැදින් වැටී ඇතැයි සලකති.

අංශක 80-9 සේ වැටෙන පෙරදිග මධ්‍යහ්න රේඛාව භාරතයේ කෛලාසය මුල්කරගෙන කතරගම වල්ලි කන්ද මැදින් බළන්ගොඩ ඓතිහාසික කූරගල ලංකා පර්වතයට වැටෙන බව දෛවඥ කාමධේනුව දක්වා ඇත. ලංකා රාජධානිය හෙවත් ලංකාපුරය පිහිටා ඇති ආකාරය දෛවඥ කාමධේනුව නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ මෙසේය.

"අස්ති ලඛෙකති විඛ්‍යානා
රාජධානි සුරද්විෂා
හර්තුස්සා මධ්‍ය රෙඛායං
සථලස්‍ය ජලස්‍ය ච
ශෛව සීමා භවේන් භානොර්
දක්‍ෂිනොත්තර ගෝලයො--
නතත්‍ර විෂුවත් මධ්‍යච්ඡායාස්‍යාත්ගෝල
යොත්තර--" 

යනුවෙන් ලංකාපුරයෙහි ශිව දෙවොලක් සීමා කොට මෙම රේඛාව වැටී තිබෙන බව සටහන් කොට ඇත. මෙම රේඛාව වැටෙන්නේ ඓතිහාසික බළන්ගොඩ කූරගල ලංකා පර්වතය සීමා කොට ගෙන බව මැන බලන්නකුට මනාව වැටහෙනු ඇතැයි කියති. මෙම ලංකා පර්වතය මුල්කරගෙනම එදා ලංකාවට නම් තැබුණු බව පැවැසේ. ලක්‍ෂ්‍යභූත වූ 'ලක' ධාතුවෙන් 'ලක්ඛා, ලංක, ඉලක්ක, ඉලංග, ඉලක්කෙයි, ඉලංගෙයි' යනුවෙන් අප මවුබිම හැඳින්වෙනුයේ ඒ නිසාවෙනි.
මෙම කූරගල පර්වතය ඈත මුහුදේ යාත්‍රා කරන්නවුනට දර්ශනය වන චිහ්නයක් හෙවත් සංඥා දර්ශකයක් සේ සලකා ලංකා යන නම යොදා ඇති බව පෙනේ. විශේෂයෙන්ම කූරගල පර්වතය ළඟටම එදා පුරාතන යුගයේ මුහුද තිබී ඇත. අද ද මෙම ඓතිහාසික පර්වතය අවට ප්‍රදේශය ලුණු මිශ්‍ර ස්වභාවයකින් යුතු බව භූගර්භ විද්‍යාඥයකුට වුවද වටහාගත හැකිය.

ලංකා සිතියම ගැන ගවේෂණය කරන්නකුට ලංකාවේ පැරැණිම සිතියමේ අත්පිටපත භාරතයේ කල්කටා විශ්වවිද්‍යාලයේ පැරැණි ලිපි ලේඛන අතර දැකිය හැකිය. තක්කාලි ගෙඩියක හැඩය ඇති සිතියමේ ඓතිහාසික කූරගල පර්වත ප්‍රාන්තයේ ඇති මුහුදු බොක්කේ ස්වරූපය වටහාගත හැකිය. ක්‍රි. ව. 1 වැනි සියවසේ පමණ ලංකා සිතියම ලකුණු කරගත් ටොලමිගේ තැප්‍රබෝනයෙන් ඓතිහාසික කූරගල ඇති (උලිස්පදා) ශ්‍රී පාදය ගැන කරුණු වටහාගත හැකිය. ඉතා පුරාණ සමයේ ලංකාවට පැමිණි සියලුම විදේශිකයන් කූරගල 'හිටුවන්ගල' අෑතට දිස්වන ආකාරය බලා ඔවුන්ට හිතුණු නාම 75කට අධික සංඛ්‍යාවකින් ලංකාව නම්කොට ඇත්තේ මේ නිසාය.

කූරගල  - kuragala
Kuragala - කූරගල

විජය කුමරු ලක්දිව ගොඩබසින සමයෙහිද දකුණේ සිට ඇතුළට ආරා තිබූ වලවේ ගඟ ආශි්‍රත මුහුදේ මෙම පර්වතය තෙක්ම නාවික ගමනාගමනය සිදුවී ඇත. එම නාවික සටහන් අදටත් මෙම පර්වතයෙන් දැකගත හැකිය.

මෙම ඓතිහාසික කූරගල පර්වතය තරම් දර්ශනීය වූත්, මනස්කාන්ත වූත්, ප්‍රෞඪත්වයෙන් යුක්ත වූත් ස්ථානයක් තවත් නොමැති තරම්ය. රා. ව/පූ. 2-3 වැනි සියවස්වලට අයත් අක්‍ෂරයෙන් සෙල්ලිපි කෙටූ, දහස් සංඛ්‍යාත කටාරම් කෙටූ ගල්ගුහාවලින් යුක්ත වූත් මෙවන් මහානුභාවසම්පන්න පර්වතයක් භාරත දේශයේවත් නැත. එහෙත් අද එහි පවතින විනාශකාරී, අවාසනාවන්ත තත්ත්වය අසන දකින කෙනකුට ඇතිවන සංවේගය අපමණ යැයි 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය සඳහන් කරයි.

'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අපේ මේ රමණීය රටට එදා හෙළදිව කීවේද මෙම පර්වතය මුල්කොට ගෙනය. එහි එන විස්තරයට අනුව සෙලදීප, සෙලදිව වී ඇත. සෙල යනු ශෛල හෙවත් ගල් පර්වතයයි. ඒ මුල් කොටගෙන හෙළදිව වන්නට ඇතැයි ඒ අනුව දැක්වෙන මතයකි. කලෙක මේ රටට ගිරිහෙල පුර යනුවෙන් ව්‍යවහාර වී ඇත්තේද මේ පර්වතය දෙස බලාගෙන බව තවත් මතයකි. 'ලංකාදීප' කියුවේද මේ මහා පර්වතය දෙස බලාගෙනමය.

ඉංග්‍රීසි බසින් සිලෝන් කීවේද සෙයිලාන් යන ගල්පර්වත වාචී ශබ්දයට අනුව වර නැඟීම අනුව යැයි විශ්වාස කළ හැකිය. පුරාණ සිංහලයෝ නගරයකට යන විට 'සෙයිලමට යනවා' යැයි වහරති. එම වහර අප වෙත පැමිණ ඇත්තේ රාවණාගේ 'සෙයිලම' හෙවත් නගරය ඇසුරෙන් බව මේ සම්බන්ධ පර්යේෂණ කර ඇති විද්වත්හු පවසති.

රාවණාගේ ලංකාපුරය පිහිටා ඇත්තේද තංජන් තැන්නෙහි බව මෙම ග්‍රන්ථයේ දැක්වේ. 'සබරගමු දර්ශන, බළන්ගොඩ යුගය, අල්ලා හු අක්බර්, මහාවංස ටීකාව, භාරතීය සංස්කෘතික ඉතිහාසය, සංස්කෘතික පුරාණය' මෙන්ම තවත් පර්යේෂණාත්මක වටිනා ග්‍රන්ථ ඇසුරෙන් ලබාගත් කරුණු කාරණාවලින් සම්පාදනය වී ඇති 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය දක්වන පරිදි කූරගල අසල ඇති තංජන් තැන්න යනු පැරැණි තම්බපණ්ණි නගරයයි. කලක් යෑමෙන් එහි ව්‍යවහාරය වෙනස් වී ඇත. මෙම සෙයිලම අද 'පේයිලානය' ලෙස ඇතැම්හු වහරති.

රාමායණය පවසනුයේ රාවණාගේ ලංකා පුරය දක්‍ෂිණ ලංකාවේ පිහිටි බවයි.
'තනු ලංකෙති නගරී
රාවණස්‍ය දුරාත්මජ--
දක්‍ෂිණස්‍ය සමුද්‍රස්‍ය
තීරෙ වසති දක්‍ෂිණෙ" 

යනුවෙන් රාවණාගේ ලංකාපුරය දක්‍ෂිණ ලංකාවේ මුහුද අද්දර පිහිටි බව පැවැසේ. ඓතිහාසික කූරගල පර්වතය දක්වාම පුරාණ කාලයේ මුහුද තිබූ බව මින් පැහැදිලිය.

රාවණාගේ මාලිගාව පිහිටා තිබී ඇත්තේ ලංකාපුරයෙහි නිතම්බයෙහි බව ගරුඬ පුරාණයේ දැක්වෙයි. මෙම ලංකා නිතම්බය පුරාණ කාලයේ ලෝක ප්‍රකට බිමකි. නිතම්බය යනු ස්ත්‍රියකගේ උකුල වැනි තැනකි. අක්කර පන්දහසක් පමණ දිග පළලැති කූරගල පර්වතය ඉවුර වැනි තැනක පිහිටා ඇත.
එමෙන්ම බුදුන් වහන්සේද පසු කලෙක මෙම ලංකා නිතම්බයට වැඩමකොට බුදු සිරිපතුල පිහිටුවා මෙහිම සමන් දෙව් විමනේ දිවා විහරණය කළ බව 'සමන්තකූට වර්ණනාව' දක්වයි.
"තස්මිං නිතම්බෙ ගිරි ගබ්භාරයං

දිවා විහාරය නිසදී යත්ථ" යනුවෙන් එහි දැක්වේ.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම - http://mawbima.lk/55-17133-news-detail.html



No Response to "ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන"

Post a Comment

අදහස් සහ උදහස්

..