-->

Thursday, October 14, 2010

රාජාවලිය - රාවණා රජු

0

“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”
(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)

රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)

රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.

ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.

කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.

රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. එම වැඩසටහන සඳහා මා ඇතුළු පිරිසක් සහභාගි විය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.

රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.

උපුටා ගැනීම - http://buddhistculture.weebly.com/1/post/2010/09/-1997-168.html

No Response to "රාජාවලිය - රාවණා රජු"

Post a Comment

අදහස් සහ උදහස්