රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය
සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
- ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
- සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතයත්
- රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහසත්
- මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු [මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් ලෙස ලාංකිකයන් වන්දනා කරන බවත් ප්‍රසිද්ධ මත කීපයක්.
කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.
සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.
ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ තියෙන සබරගමු මහ සමන් දේවාලය ඇරුණාම තවත් සමන් දේවාල 3 ක් තියෙනවා කියන එකනේ.
ඒ එක සමන් දේවාලයක් බලංගොඩ, බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බලංගොඩ ඉදන් පින්නවල හරහා බගවන්තලාවට වැටිලා තියෙන පාරේ කිලෝමීටර් 14 ක් විතර ගියාම මේ කියන බොල්තුඹේ සමන් දේවාලයට එන්න පුලුවන්.
මේ ප්‍රදේශයට භාවිතා වෙන බොල්තුඹේ කියන ග්‍රාම නාමය හැදුණු ආකාරය ගැන මත 2 ක් දැකගන්න පුලුවන්. එකක් තමා මේ දේවාලය ආසන්නයේ තියෙන වෙල් යායේ අස්වැන්න ගත්තු එක් අවස්ථාවක බොල් තුඹක් [?] විතරක් ඉතුරු වෙලා තිබුණු නිසා බොල්තිඹේ කියලා ව්‍යවහාර වෙලා පස්සේ බොල්තුඹේ කියලා සකක් වුණා කියලා.
අනෙක් මතය අපි කතා කරන්න යන මාතෘකාවලට අදාළයි. ඒ මතය තමා රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටලා තියෙන බිමට වැටුණු බවත්ය.
ඉතින් ඒ ප්‍රදේශයේ මිනිස්සු හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්‍යවහාර වෙලා බොල්තුඹේ වුණා කියන එකයි.
මේ දේවාලයත් සබරගමුවේ මහ සමන් දේවාලයේ ආකෘතියටම සකස් කරපු එකක්. ඒ සඳහා මූලික වුණේ සීතාවක රාජසිංහ රජතුමා බවත් එතුමාගේ නියෝග පරිදි මෙම දේවාලයේ ගොඩනැගිලි හදලා ගම් බිම් පුදලා බොල්තුඹේ සමන් දේවාලය කියලා මේ දේවාලය නම් කරලා සබරගමු මහ සමන් දේවාලයට අයිති දේවාලයක් බවට පත් කරපු බව සබරගමු මහ සමන් දේවාලයේ පැරණි ලිපි ලේඛනවල දකින්න පුලුවන්.
ඒ වගේම සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක් වුණොත් දේවාභරණ වගේම වටිනා වස්තුව බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කළ යුතුයි කියලා රජතුමා නියෝග කරලා ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් මේ දේවාලය සකස් කරා කියලා දක්වනවා.
ඒක නිසා බොල්තුඹේ සමන් දේවාලය සබරගමු මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වෙන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රී පාදයේ ඉදන් ඉතාමත්ම ආසන්නයෙන් මේ දේවාලය පිහිටලා තියෙන නිසා සමන් දේව බැල්ම බොල්තුඹේ දේවාලයේ වැඩි බවයි.
නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙටත් බොහෝ කාලෙකට ඉස්සර ඉදන් මේ ස්ථානයේ දේවාලයක් තිබුණු බවත් එය රාවණා රජතුමා වෙනුවෙන් ඉදිකර තිබුණු බවත් ජනවහරේ දැක්වෙනවා. මේ ප්‍රදේශයට නම සෑදෙන්නත් මේ රාවණා රජතුමා මුල් වුණා කියලා මම මුලින් කිව්වේ. ඉතින් මේ ආසන්නයේ තියෙන දෙතනගල කන්ද ආසන්නයේ රාම රාවණ ගැටුම වුණු බවත් එය සිහිවීමට මේ දේවාලය කරවූ බව බොල්තුඹේ සමන් දේවාලයේ කපුරාළගේ යාතිකාවේ දැක්වෙනවා.
ඒ වගේම මේ දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වලා තියෙනවා.
නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බවයි ජනප්‍රවාදවල කියන්නේ.
කොහොම වෙතත් මේ වෙද්දී රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාලවල පෙරහැරවල්වලදී රැගෙන යාමක් කරනවා.
ඒ වගේම තාමත් මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවෙන බවත් ඒවා දේවාලයට භාරදීමක් ගැමියන් සිදු කරනවා. ගැමියන් විශ්වාස කරන්නේ ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල විදිහටයි.
වර්තමානය වෙද්දී දේවාල බිමේ තිබෙන ගොඩනැගිලි ගැන විස්තරයක් කළොත් ප්‍රධාන දේවාලය ඇතුළු වැඩසිටින මාළිගාව, ඒකට දකුණු දෙසින් චෛත්‍යය හා විහාර ගෙයත්, වම් පසින් පත්තිනි දේවාලයත්, පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත් සිංහාසන ගොඩනැගිල්ලත් පිහිටා තිබෙනවා.
පියගැට පෙළ සහ දඩුහැල
දඩුහැල පසුකර දික් ගෙයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
දික් ගෙය
දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්
දික් ගෙයින් වැඩ සිටින මාළිගයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
වැඩ සිටින මාළිගාවේ දේව පූජා හා යාතිකා කරන ස්ථානය
දඩුහැල පසුකර දික් ගෙයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
දික් ගෙය
දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්
දික් ගෙයින් වැඩ සිටින මාළිගයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
වැඩ සිටින මාළිගාවේ දේව පූජා හා යාතිකා කරන ස්ථානය
ඉතින් මේ ඉපැරණි සමන් දේවාලයේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක් සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. මේ ඇසළ පෙරහැරේ සුවිශේෂී ලක්ෂණයක් තමා අලි ඇතුන් මේ පෙරහැරේ ගමන් නොකිරීමයි. ඒක ගැන මටත් පුදුම හිතුණා. සමන් දෙවියන්ගේ වාහනය වෙන්නෙත් සුදු ඇතෙක් වෙන නිසා. ඒත් දැනගන්න ලැබුණේ අලි ඇතුන් දේවාල භූමියට අරගෙන ආපුවාම සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවයි.
ඔයාලටත් හැකියාවක්, වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්න මේ බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලය.
ලිපිය ලියන්න පාදක වුණේ,
- 2007 මැයි 13 ඉරිදා ලක්බිම පුවත්පතේ "රාවණා රජුගේ දඬු මොණරය අදත් බලංගොඩ ප්‍රදේශයේ" ලිපිය
- 2009 බොල්තුඹේ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය
No Response to "බොල්තුඹේ සමන් දේවාලය"
Post a Comment
අදහස් සහ උදහස්