-->

Wednesday, October 13, 2010

රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය

0

ඉන්දීය ඉතිහාසය තුළත් වර්තමානය තුළත් මහාභාරතය සහ
රාමායණය යන වීරකතා දෙකට අද්විතීය තැනක්‌ හිමිව ඇත. එය කොතෙක්‌ද යත් තනි පුද්ගලයකුගේ රචනා වූවත් නැතත් ඒවාට හිමි වටිනාකම අනුව ජාතියේම හවුල්වීමකින් සකස්‌ කළා වැනිය.

රාමායනය ලේඛනගත කළ යුගය පිළිබඳ බොහෝ මතවාද ඇත. නමුත් ක්‍රි.පු. 6 වන සියවස බුද්ධ කාලය වන විට සම්පූර්ණයෙන් නිමාවූ පාටලීපුත්‍ර නගරය ගැන හෝ සොළොස්‌ මහා ජනපද ගැන හෝ සටහනක්‌ වීරකාව්‍යවල නැත. එම නිසා පාටලීපුත්‍ර නගරය ඉදිකළ යුගයට පෙර රාමායනය ලියවී ඇති බව පිළිගනී. එසේම එහි ආරම්භය බ්‍රාහ්මණ ග්‍රන්ථවල යුගයට සීමා කළ හැක. මේ නිසා සැකයකින් තොරව බ්‍රාහ්මණ ග්‍රන්ථ ලියූ ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් අතර වීරකාව්‍ය දෙකම ලියවී ඇති බව සැලකෙයි.

මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙක ප්‍රබන්ධකර ඇත්තේ සෘග් වෛදික දේව පුරාණය පදනම් කරගෙන බවට ප්‍රබල මතයක්‌ ඇත. එය සත්‍ය වුවහොත් එම වීරකතා ඉතිහාසය වටිනාකමට කුමක්‌වෙයිද? අර්ජුන සහ රාම වැනි සද්ධර්මය වෙනුවෙන් යුද වදින මහා වීරයන් සෘග් යුගයට ද අයත්ය. මේ පිළිබඳ ඇති විද්වත් මත කීපයක්‌ මෙසේය. මහාභාරතයේ “අර්ජුන” රාමායණයේ රාම බැව් ආර්. සී. දත්ත ප්‍රකාශ කරයි. සෘග් වේදයේ මනු ද රාම ම බැව් ජැකොබ් පවසයි. (නුවණ, 1998 දෙසැම්බර් 1 වෙළුම 9 කලාපය, 248 පිටුව) ප්‍රාග් වෛදික යුගයේ ආගමික වශයෙන් බලපෑ අදහස්‌ පසුකාලීනව වෙනත් මුහුණුවරකින් කාව්‍යාලංකාර ලෙස ඉදිරිපත් කිරීමෙන් වීරකාව්‍ය නිර්මාණය වූවාද යන්න සෙවිය යුතුය. මහා භාරතය පුරාණ ඉන්දීයන්ගේ කුඩා ජතකතාවකින් සකස්‌ කරගත් බවට හොප්කින්ස්‌ගෙන්ද තවත් ප්‍රබල මතයකි. හොප්කින්ස්‌ගේ මේ මතය අනුව මහා භාරතයට මුල් වූයේ භාරතී කතා නම් කුඩා කතාවකි. (W. Hopmins great epic of india 397) මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දී ගෙනා ජනකතා වලින් මහා කාව්‍යය සකස්‌ කළ බවට පැහැදිලි ඉඟියක්‌ සපයයි.

මහා භාරතයේ ඓතිහාසික අගය ප්‍රතික්‍ෂේප කරන බෂාම්, අමතරව අවධාරණය කර ඇත්තේ මහා භාරතයෙන් තමා ඉදිරිපත් කරන යුගයට වඩා බෙහෙවින් වෙනස්‌ යුගයක තොරතුරු පවතින නිසා එය ඉතිහාසයට අදාළ කිරීම අසීරුව පවතින බවයි. මහාභාරතය තුළ රාමායන කතාව ඇතුළත්ව ඇති නිසා මහාභාරතය ලියූ පුද්ගලයන් රාමායනය දැන සිටින බව බෂාම් වැඩිදුරටත් පැහැදිලි කරයි. (අසිරිමත් ඉන්දියාව 517) ක්‍රි.පු. 1500 ට ආසන්න යුගයක ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දීම වීරකාව්‍ය දෙක දැනගෙන සිටියේද එසේ වනවානම් ලෝකය පුරා සිටින වෙනත් ආර්ය ජනතාවන්ටද මහාභාරතය සහ රාමායන වැනි වීරකාව්‍ය නැද්ද?

හෝමර් නමැති ශ්‍රික ජාතික කවියා ප්‍රබන්ධ කළ “ඉලියඩ්” සහ ඔඩිසි” යන වීර කාව්‍ය දෙකක්‌ ඉංග්‍රීසියේ ඇත. ඉලියඩ් හා ඔඩිසි වීරකාව්‍ය දෙක “රාමායනය” සහ “මහා භාරතය” යන ඉන්දිය වීරකාව්‍යවලට කතා සාරය අතින් ඉතා සමානය. මෙම සමානකමට හේතුව කුමක්‌ද? මෙයට පිළිතුරු සොයාගැනීම තුළින් මුළු මහත් වීරකාව්‍යවලට පදනම සහ ඉතිහාසය වෙනතක යවන බව නිසැකවම කිව හැකිය.

ග්‍රීසීයේත් ඉන්දියාවේත්, අතරමැද පර්සියාවේත් ජනයා ශරීර ප්‍රමාණයෙන් හා බාහිර පෙනුමෙන් සමරූපීය. ඔවුන්ගේ භාෂාවේ මූලික වචන ද සමානය. මෙයට අමතරව සංස්‌කෘතිය, ග්‍රීක, ලතින්, ජර්මන්, ඉංග්‍රීසි, පර්සියන්, සිංහල ආදි භාෂා කතා කරන ජනයාගේ පුරාණ ඇදහිලි සහ ඥති සබදතා සහ සංස්‌කෘතික කටයුතුවලට මූලිකවූත් පදනම් වූත් බොහෝ මූල වචනවල වාග්විද්‍යාත්මක සමානකම්ද හෙළිවිය. මෙයට හේතුව, යුරෝපයේ සහ ආසියාවේ ග්‍රීක්‌, ලතින්, ජර්මන්, පර්සියා, සංස්‌කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් කිසියම් දුරාතීතයක එකම ප්‍රදේශයක එකම ගෝත්‍රයක්‌ ලෙස ජීවත්වීමයි. යුරෝපයේ සහ ආසියාවේ ආර්යයන් යම් අවධියක එකම ප්‍රදේශයක වාසය කළේද එතැන “මාතෘ ආර්ය භූමිය” ලෙස හැඳින්විය. එය කැස්‌පියන් මුහුද අසල ප්‍රදේශයකි. පසුව එම ගෝත්‍රය දෙකට බෙදී යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වී ඇත. ආර්යයන් මුලින්ම (බෙදීයාමට පෙර) කතා කළ භාෂාව ප්‍රාග් ඉන්දු යුරෝපීය භාෂාව” (Photo Indo – European Langugde) ලෙස හඳුන්වයි මේ ඇසුරින් ප්‍රාග් ඉංදු- යුරෝපීය භාෂාව සංවර්ධනය වී ලතින්, ජර්මාන්, පර්සියා, ග්‍රීක්‌ සහ සංස්‌කෘතික භාෂා ඇති විය. මෙලෙස භාෂාවේ මෙන්ම නූතන ඉංදු යුරෝපීය ආර්යයන් බෙදීයැමට පෙර පොදුවේ භාවිත කළ වීරකාව්‍ය සාහිත්‍යය තිබුණේද? තිබුණේ නම් එය “ප්‍රාග් ඉන්දු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ලෙස හැඳින්විය හැකිය.

ග්‍රීක ආර්යයන් (ඉලියඩ් සහ ඔඩිසි) ග්‍රීසියේදීත් ඉන්දු ආර්යයන් (රාමායනය සහ මහා භාරතය) ඉන්දියාවේදීත් රචනා කර වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ගොඩනැගුවේ ප්‍රාග් ඉංදු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ඇසුරින් බව සිතීමට ප්‍රමාණවත් සාධක සහ සමානතා මෙම වීරකාව්‍ය යුගල දෙකේ තිබේද? යම් ලෙසකින් එය සනාත වුවහොත් වීරකාව්‍ය යුගල දෙකටම පදනම් වූ සත්‍ය ඉතිහාස සිදුවීමක්‌ තිබුණත් ඒවා අදාළ වන්නේ කැස්‌පියන් මුහුqදු අසල ප්‍රදේශයකටයි. ඒ අනුව රාමායනයේ සහ මහාභාරතයේ සිදුවීම සහ චරිත කිසිසේත් ඉංදිය භූගෝලීය සීමාවට අයත් නැත. එම වීරකාව්‍ය සාහිත්‍යයේ සිදුවීම් සහ චරිත ඉන්දියාවට සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත කැස්‌පියන් මුහුද අවට භූගෝලීය සීමාවට අයත් විය යුතුය. මේ සඳහා වීරකාව්‍ය යුගල දෙක සමානද යන්න තුලනාත්මකව විග්‍රහ කර බලමු.

ග්‍රික මහා කවි හෝමර්ගේ ඉලියඩ් වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.

ස්‌පාර්ටාවේ මෙනෙල්අස්‌ කුමරුගේ ආගන්තුකයෙකු ලෙස, ට්‍රොයි පුරයේ ප්‍රියම් අග රජුගේ පුත් පැරිස්‌ පැමිණෙයි. නමුත් මෙනෙලෙස්‌ට හදිසි මුහුදු ගමනක්‌ යැමට සිදුවෙයි. අතරතුරදී පැරිස්‌ කුමරා හෙලන් කුමරිය පැහැරගෙන ට්‍රොaයිවලට යාත්‍රා කරයි. හෙලන් යනු මෙනෙලෙස්‌ගේ බිරිඳයි. ආපසු පැමිණි මෙනෙලෙස්‌ කුමරා හෙලන් ආපසු ලබා ගැනීමට යුද්ධ කරයි. මෙනෙලෙස්‌ගේ ග්‍රීක පාර්ශ්වය මෙහෙයවන්නේ මෙනෙලෙස්‌ගේ සොයුරු ඇගමෙම්නොන්ය මුළු ග්‍රීසියේම මිතුරන් වූ අසල්වැසි රටවල් විශාල ගණනාවක ඒකාබද්ධ හමුදාවක්‌ ග්‍රීකයන් එකතුකර ගනී. එහි නායකත්වය සත්කීර්තිමතෙකු වූ යුලීසස්‌ ය. මහාවීරයෙකු වූ ඇවිලිස්‌ යෝධ බලැති ඇජැක්‌ස්‌ දෛවෝපගත දීයෝමෙඩීස්‌ ඥණවෘද්ධ නෙස්‌ටල් යන ප්‍රධානීන් පස්‌ දෙනාය.

පැරිස්‌ගේ ට්‍රොaයි පාර්ශ්වයට හෙක්‌ටර් නමැති ප්‍රියම් රජුගේ පුත්‍රයකු නායකත්වය දෙයි. මෙම මහා සෙනගට ට්‍රොaයි අවට සුවිශාල රාජධානි ගණනාවක්‌ම ආධාර සේනා එවයි. දෙවියෝද දෙපැත්තෙන් එක්‌ පැත්තක්‌ ගනී. යුද්ධය දේවයා ට්‍රොaයි පාර්ශ්වයටද සමුද්‍ර දේවයා යවන පාර්ශ්වයටද උපකාර කරයි. වසර ගණනක්‌ යුද්ධය ඇදීයයි. පරම අහිංසක පූජකයෙකු වූ ක්‍රයිසියිගේ දුවට ග්‍රීක පාර්ශ්වයේ ඇගමෙම්තෙන්ගෙන් අසාධාරණයක්‌ වෙයි. මේ නිසා මහා රණ ශූර ඇචිලිස්‌ ඔහු සමග මත ගැටුමකින් ග්‍රිSක පිරිස හැරයයි. නමවන වසර අවසානයේ දී පැරිස්‌ හා මෙනලෙස්‌ අතර ද්වන්ධව සටනකි. ජයග්‍රාහකයාට හෙලන් අයිතිවිය යුතු බව සටනේ කොන්දේසියයි. සටනින් පැරිස්‌ පරාජය වෙයි. නමුත් ගිවිසුම කඩ කරයි. යළිත් දෙපක්‌ෂය යුදවදී ග්‍රීකයන් බලවත් පරාජයකට ළඟාවෙයි. ග්‍රීක පාක්‌ෂික දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් ඇවිලිස්‌ ආපසු සටහන එකතු වෙයි. දහඅට වසරක්‌ අවසානයේදී ට්‍රොaයි පාර්ශ්වයේ මහ සෙන්පති වූ හෙක්‌ටර්, ආචිලීස්‌ අතින් මිය යයි. ග්‍රීකයන් ජයගත් බැවින් හෙලන් කුමරිය මෙනෙලෙස්‌ කුමරාට ආපසු බාර දෙයි. නැව්වලින් ජයග්‍රාහක පිරවර ආපසු ග්‍රීසියට ළඟා වෙයි.

ඉලියඩ් කාව්‍යයේ සහ මහාභාරතයේ සමානතා

මහාභාරතය තුළ රාමායණය ඇති සේම ඉලියඩ් කතාව තුළ ඔඩිසි කතාව දැකිය හැකිය. මහාභාරතයේ ප්‍රධාන වීරයන් පස්‌දෙනෙකි. ඔවුන් වන්නේ යුධීස්‌වර අර්ජුන, නකුල, සහ හීම, දේව යන පස්‌දෙනයි. ඉලියඩ්හි වීරයන් වන්නේ යුලීසස්‌, ඇජැක්‌ස්‌, නෙස්‌ටර්, ඩියෝමෙඩෙස්‌, ඇචිලීස්‌ යන අය ගේ නම් පවා යුගල වශයෙන් ගත් කළ මහා භාරතවීරයන්ට සමාන වේ. මහා භාරතයේ දෞපදී කුමරිය මෙන්ම හෙලන් කුමරිය ද පිටුවහල්ව සටනකට මැදිවී කල් ගත කරයි. දෞපදී කුමරිය සහෝදරයන් සියලු දෙනාම බලාපොරොත්තු වීම නිසා සොහොයුරන් අතර සටනක්‌ ඇතිවීම වැළැක්‌වීම සඳහා ඔවුන් සියල්ලන්ටම පොදු භාර්යාව විය. මෙලෙස ඉලියඩ්හි Agememnon හා Achiles වීරයන් එකම යුවතියක්‌ නිසා අරගලයක්‌ කරයි. අර්ජුන ඇතුළු පිරිස වසර 13 ක්‌ පිටුවහල්ව සිට ඊළඟ වසරේ රාජ්‍යය දීමට දුර්යෝධන පොරොන්දු වී එම පොරොන්දුව කඩ කිරීම නිසා මහා සටනක්‌ ඇති වෙයි. ඉලියඩ් හිද පැරිස්‌ හා මෙනෙල්ස්‌ අතර ද්වන්ධව සටනෙන් ගැටලුව විසඳුවද පැරීස්‌ගේ පාර්ශ්වය ගිවිසුම කඩකර මහා සටහන් පටන් ගනී. මහා භාරතයේද, ඉලියඩ්කාව්‍යයේද ජයග්‍රාහක වූ වීරයන් පස්‌දෙනාගේ පාර්ශ්වය සමාන වේ. ඔඩිසිහි දේව වර්ගයා (Corons) කොරොන්ස්‌ පුත්‍ර ලෙස හැඳින්වීම හා මහා භාරතයේ කුරු වංශය අතර ද විශාල සමානකමකි.

හෝමර්ගේ ඔඩිසි (වීර චාරිකාව) වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.

මෙය ඉලියඩ් කාව්‍යයටම බද්ධ වූවකි. ට්‍රොaයි සටහන ඉතාකා දේශයෙන් පැමිණි ඔඩිසියස්‌ නම් වීරයා ආපසු යද්දී කැලිප්සෝ නම් මුහුqදු කින්නරාවියක විසින් දූපතක සිරකර ගනී. ඔඩිසියස්‌ ගේ පෙන්ලොප් (ඡැබැකදචැ) නම් රූපසුන්දරියක වූ බිරිඳ පරම පතිවෘතාවයෙන් ඔඩිසියස්‌ එනතුරු වසර ගණනාවක්‌ බලාහිඳියි. ග්‍රීක පිරිස ඔහුගේ (ඔඩිසියස්‌) සිරගත කිරීම නොදනී. එකැස්‌ යක්‌ෂයන්ගේ දූපතකදී පොලිප්හෙමිස්‌ නම් නායකයාගේ එකම ඇස ඔඩිසියස්‌ අන්ධ කිරීම නිසා මේ සිරගත කිරීමට ඔවුන්ට පක්‌ෂ දෙවිවරු ද උපකාර කරයි.

දේව සභාව රැස්‌වී කාලිප්සියෝට පණිවිඩයක්‌ යවමින් ඔවිසියස්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලයි. පණිවිඩකරු හාමර් ඔහු පණිවිඩය ගෙන යන්නේ කඳු පර්වත දෙදරවා අහසට පැන අහසේ යන අතරතුරදී විශාල සිරුරු සහිත යක්‌ෂණියක්‌ බාධා කරයි. හාමර් ඔවුන් විනාශ කර කාලිප්සියෝට පණිවිඩය කයයි. නිදහස ලැබූ ඔඩිසියස්‌ අතර මැද ෆිනිසියන් රජවරු හා නොයෙක්‌ දෙවිවරුන්ගේ උපකාර ලබමින් සිය රටට එයි. මේ අතරතුර පවතින රකින ඔහුගේ දේවිය වසර ගණනාවක්‌ පුරා සරණාපේක්‍ෂක අසල්වැසි කුමරුන්ගෙන් පීඩා විඳී. තෙලිමැවස්‌ නම් ඇගේ පුත්‍රයා ඔවුන්ට විරුද්ධව කටයුතු කර පෙන්ලොප් රැකගනියි.

ඔඩියස්‌ට උපකාර කරන දෙවිවරු කොරොනොස්‌ පුත්‍රයන් ලෙසින් හඳුන්වයි. මහ දෙවිගේ උපකාරයෙන් ඔඩිසි වෙස්‌වලාගෙන තම රාජධානියට ඇතුල් වෙයි. මේ අතරතුරදී සරණාපේක්‌ෂක අනතන්යුස්‌, යුරිමාවස්‌ වැන්නවුන් ස්‌වයං වරයකින් ඔවුන් අතරින් කෙනෙකු තෝරා ගැනීමට බල කරයි. අවසානයේදී ඔඩිසියස්‌ගේ පුත්‍ර තෙලිමාවස්‌ තරුණයා වෙස්‌මාරු කරවාගෙන ඔඩිසියස්‌ද ස්‌වයංවර පැවැත්වෙන තැනට ගෙන එයි. මෙම සරණපේක්‌ෂක තරුණයන්ගෙන් ගැලවීමට සිතු පැතිලෝපා ලෝකයේ කිසිදු රණශූරයකුට විදිය නොහැකි දුන්නක්‌ පෙන්වා එයින් විදින තැනැත්තා සමග විවාහ වන බව කියයි. තරුණයන් මෙයට අසමර්ථ වනමුත් මහල්ලකුගේ වේශයෙන් සිටි ඔඩිසියස්‌ දුන්නෙන් විදී. එයින් විදිය හැක්‌කෙ ඔහුට පමණි. තරුණයන් මරා දමා ඔඩිසියස්‌ කුමරිය හා රාජ්‍යය අත්පත් කරගනී.

ඉලියඩ් කාව්‍යයේ සහ රාමායනයේ සමානතා

රාමායනයේ සීතා පැහැර ගැනීම හා ඉලියඩ් කාව්‍යයේ හෙලන් පැහැර ගැනීම සමානය. රාමායනයේ සීතාගේ අති පිවිතුරු පතිවෘතාවය හා ඔඩිසිකාව්‍යයේ පැනිපෙලෝප්ගේ පතිවෘතාවය එකසේ සමානය. රාමගෙන් යක්‌ෂ ගෝත්‍රිකයන්ට අසාධාරණයක්‌ වීම නිසා සීතා සිර කිරීම හා ඔඩිසියස්‌ එකැස්‌ යකුන්ට අසාධාරණයක්‌ කිරීම නිසා දූපතක සිරකිරීම සමාන වේ. අහසින් ගොස්‌ දූපතකට පණිවිඩ ගෙනගිය හනුමාගේ ගමන් විස්‌තරය හා දූපතකට පණිවිඩය ගෙන යන ඔඩිසි කාව්‍යයේ හාමගේ ගමන් විස්‌තරය හා නම් දෙක පවා සමානය. මීට අමතරව දරුවකු සමග පැනිලොපාගේ පතිභක්‌තිය හා ඔඩිසියස්‌ ගේ අප්‍රමාණ දුක්‌ කරදර විඳිමින් බිසව සොයා ඒම මහාභාරතයේ අතුරු කතාවක්‌ වූ නල දමයන්ති කතාවේ නල කුමරාගේ ගමනට සහ දමයන්තිය ගේ ඉරණමට සමානය.

සීතාගේ පතිවෘතාව වෙනුවෙන් සටන් කරන විභීෂණ හා ඔඩිසියස්‌ හි ඔඩිසිගේ පුත්‍ර තිලිමාවස්‌ගේ කාර්ය සපුරා සමානය. සීතා සොයා මුහුදු ගමනකින් එන රාම හා පැතිලෝපා සොයා එන ඔඩිසිගේ ගමන සමානය. එනම් ස්‌ව පක්‌ෂයේ සේනාවක සහාය නැත. දෙවිවරු හා අදෘෂ්‍යමාන බලවේගවල බාධා හා උපකාර ඇත. එසේම රාමායනයේ රාම සේද, ඔඩිසියස්‌ ද ස්‌යංවරයකදී තම බිරිඳ දිනාගනි. මෙම ස්‌යංවරයේ මහා දනුද්ධර යුධයකදී අසාමාන්‍ය දුන්නකින් රාම මෙන්ම ඔඩිසියස්‌ද විදියි. රාමායනයේදී රාමාද ඔඩිසියස්‌ ද තම බිරිඳ අවසානයේදී දිනාගනී. වීරකාව්‍ය යුගල දෙකේම යුරෝපීය සහ ඉන්දු වෙනස පුද්ගල නාම කීපයක්‌ සහ භූගෝලීය විස්‌තරවල පමණි. කතා සාරය එකක්‌මය. එක කතාවක්‌ ප්‍රධාන කතාවක දෙවන කොටසකි. මේ කතා දෙකටම පොදු වූ කුඩා මුල් වීරකතා දෙකක්‌ තිබෙන්නට ඇත. මූලික සමානකම් අනුව එම (Photo Indo – European epies) දෙකෙන් ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක්‌ ප්‍රතිනිර්මාණය කළ හැකිය.

1. ස්‌වකීය උරුමයන් නොලැබීම මුල් කරගත් වීරයන් පස්‌දෙනකු උරුමය ලබාගැනීමට එකාබද්ධ හමුදාවක්‌ මෙහෙයවයි. ප්‍රතිපක්‌ෂයද පුළුල් ඒකාබද්ධ හමුදාවක්‌ මෙහෙවයි. මෙලෙස එකම ගෝත්‍රය යටතේ රාජධානි ගණනාවක්‌ මහා යුද්ධයක්‌ කරයි. දේව උපකාර ලබන යුක්‌තිය වෙනුවෙන් සටන් වදින වීරයන් පස්‌ දෙනාත් ඔවුන්ට සම්බන්ධ කාන්තාවත් අවසානයේදී ජයගනී. සෘග්වේදයේ පුරු- භරත ගෝත්‍ර දෙක අතර සටන මෙනි. එම සටන පසුකාලයේදී මහාභාරතය ලෙස ප්‍රසාරණය කර ඇති බව පෙනෙයි.

2. යුක්‌තිධර්මය ශක්‌තිය කරගත් වීරයෙකු විසින් ධනුද්ධර යුද්ධයක්‌ සහිත ස්‌යංවරයකදී රූප සුන්දරියක්‌ දිනා ගනී. පරම පිරිසිදු පතිවත රකින ඇය සැමියා කළ වරදකට පළිගැනීමක්‌ සඳහා පැහැර ගනී. දෙවිවරුන් ඔහුට උපකාර කරයි. සැමියා ඇය සොයා අති දුෂ්කර ගමනක්‌ එයි. අහසින් ගමන් කරන පණිවිඩකරුවන්, දෙවිවරුන්, යක්‌ෂයන් කුමරිය බේරා ගැනීමට යන ගමනට සම්බන්ධ වෙති. පතිවත රකින ස්‌ත්‍රිය වීරයා විසින් බේරාගෙන තම රටට ගෙනයයි. මොහු (රූප සුන්දරියගේ සැමියා) යුක්‌ති ධර්මයේ දෙවියා හා සමාන ධර්ම නීතිය වෙනුවෙන් දඬුවම් කරන්නෙකි.

අදට වසර හාරදහස්‌ පන්සීයට පෙර නූතන ඉන්දියානුවන් සහ ගී්‍රක ජාතිකයන් ගේ මුතුන් මිත්තන් ද පර්සියානුවන් සහ ජර්මන් මුතුන් මිත්තන් ද එකම ප්‍රදේශයක, එක ගෝත්‍රයක්‌ ලෙස ජීවත් විය. ඔවුනොවුන්ගේ භාෂාවලත් ආගම්වලත් ජනකතාවලත් මේ සමානකමේ සෙවනැල්ල වැටී ඇත. මෙලෙස එක ගෝත්‍රයක්‌ ලෙස වාසය කළ ප්‍රදේශය (මාතෘආර්ය භූමිය) නැතහොත් දකුණු කැස්‌පීයන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශකදීය.

මහා භාරතය හා ඉලියඩ් යුගලයත් රාමායනය හා ඔඩිසි යුගලයත් එකම ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක්‌ පදනම්ව ප්‍රබන්ධකර ඇති බව පෙනෙයි. ඉන්දු ආර්යෝ මෙය ඉන්දියාවට අදාළව නොයෙක්‌ වෙනස්‌කම් කළහ. එහිදී ඉන්දිය භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත. ග්‍රීකයන්ද සමකාලීන ග්‍රීක භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත.

ආගමික සංස්‌කෘතික වචන භාවිතයේදී ඉන්දු යුරෝපීය ආර්යයන් දක්‌වන සමාන්තර ව්‍යවහාරයන් ඔවුන්ගේ දේව පුරාණයටද සමානය. ඉලියඩ්, ඔඩිසි සහ මහා භාරතයේ – රාමායනය සමාන වූයේ ඒවාට මුල්වූ ප්‍රාග් ඉංදු, යුරෝපීය වීරකතා දෙකක්‌ පදනම් කරගෙනය. ඒවා පිළියෙල කර ඇත්තේ මාතෘආර්ය භූමිය තුළදීය. නැතහොත් දකුණු කැස්‌පියන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශයකදීය. එම ප්‍රදේශවලින් දකුණට ගමන් කළ ආර්යයන් දෙකට බෙදී ඉංදියාවට හා ග්‍රීසියට පැමිණ වසර දහස්‌ ගණනක්‌ ප්‍රාග් ඉංදු යුරෝපීය ජනතකා පවත්වාගෙන විත් ඇත. ඉංන්දියාවේ දී හා ග්‍රීසියේදී ඒවාට අමතර කරුණු එකතුකර මහාකාව්‍ය ලෙස ප්‍රසාරණ කර ඇත.

මේ නිසා මතුපිටින් අසමානකම් ඇති වුවද කතාසාරය අතින් ඉංදු ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකම ඉදුරා එක සමානය. ඉලියඩ් හි ට්‍රොaයි පුරය සේම, මහා භාරතයේ හස්‌තිනා පුරය ලෙස නගර දෙකක්‌ පවා හඳුනාගෙන ඇත. එහෙත් ඒවා වීරකාව්‍ය යුගල දෙකට ඉංදිය අගයක්‌ හෝ ග්‍රීක අගයක්‌ ලබාදීමට අදාළ රටවල භූගෝලීය විස්‌තර ආදේශ කිරීමකි. නැතිව, එකී සටන්වලට ඇත්ත වශයෙන් සම්බන්ධ නගර විය නොහැක. ඊට හේතුව වීරකාව්‍ය දෙකට පදනම් වූ කතාව ඉන්දියාවේදී හා ග්‍රීසියේදී සිදුවී නැති නිසාය. මේ නිසා රාමායනයට අදාළ භූගෝලීය විස්‌තර සොයා ගැනීම කතාවේ ඓතිහාසික බව සනාත නොවීමකි. එයට අදාළ කතාවල යම් සත්‍ය තාවක්‌ තිබුණේ වූ නමුදු ඒවා කැස්‌පියන් මුහුද අසල පිහිටි මාතෘආර්ය භූමියට අදාළ වෙයි. මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුල් වෙත්දීම වීරකාව්‍ය දෙක භාවිත කර ඇත.

ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකේ නැති එහෙත් ඉන්දීය වීරකාව්‍ය දෙකේ ඇති සුවිශේෂ ලක්‌ෂණය වන්නේ ගුවනින් ගමන් කරන යානා පිළිබඳ ඇති විස්‌තරයි. මේ කොටස ඉන්දිය වීරකාව්‍ය දෙකට ඇතුල් වයේ කැප්පියන් ප්‍රදේශයත්, ඉන්දියාවත් අතර පිහිටි පර්සියාවේ සුමේරියානු ශිෂ්ටාචාරයේ බලපෑම නිසාය. ඉන්දිය වීරකාව්‍ය දෙකටම වඩා වසර සියගණනක්‌ පැරණි ගුවනින් ගමන් පිළිබඳ විස්‌තර හා කැටයම් ඵලක ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරයේය. සුමේරියාව පසුකර ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාව හා ලංකාව අතර රාමායනයේ ඇති.

රාම රාවණා සටනක්‌ ඉතිහාසයේ මොනම යුගයකවත් සිදුව නැති බව මෙයින් පැහැදිලිය. මේ අනුව කතාවේ රාවණා රාම හා ඔවුන්ගේ ඥතීන් කිසිවකු හෝ ඓතිහාසික චරිත නොවේ. රාවණා ලංකාවේ සිටි පාලකයෙකු විය නොහැක. මොහු තෙදවත් රජකෙනෙකු ලෙස සකස්‌ කර ඇත්තේ හුදෙක්‌ රාමගේ පූජනීය අගය වැඩිකර ගැනීමේ උපක්‍රමයක්‌ ලෙසය. රාමායණයෙන් ලංකා ඉතිහාසය ගොඩනැගීමට තැත්කිරීම කෙසෙල් ගසක පතුරු ගලවා අරටුව සෙවීම වැනි නිස්‌සාර දෙයකි.

උපුටා ගැනීම -
http://apethana.com/urumayaweb/?p=41

No Response to "රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය"

Post a Comment

අදහස් සහ උදහස්

..