-->

Tuesday, February 8, 2011

ඉතිහාසයේ අතීතය දකින්න නම්...

0

ඉතිහාසයේ අතීතය සිංහලෙන් හැදෑරීමට ඇති ශාස්ත්‍රීය රචනා ප්‍රමාණය ඉතා අල්ප ය. එම අඩුව පිරිමැසීමට වෙර දැරූ මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන ලියූ ලිපියක් උපුටා දක්වමින් අද දින කතු වැකිය ආරම්භ කැරේ.

“ 1637 දී පළ වූ රෙනේ දෙකාට්ගේ ‘ඩිස්කූ®ර් ද ලා මෙතොඩ් ‘ නම් කෘතිය අපරදිග විචාරාත්මක ශාස්ත්‍රී සම්ප්‍රදායයේ වර්ධනයෙහි ලා වැදගත් අවස්ථාවක් සලකුණු කළේ ය. දෙකාට්ගේ සංශයවාදි ප්‍රවේශය ‘සියලු දෙය අප විසින් සැක කට යුතු ය.’ යන සිද්ධාන්තය පදනම් කොට ගත්තේ ය. සත්‍යය යැයි පැහැදිලි ලෙස “ ඔහුට හඳුනා ගත නො හැකි ‘ කිසිවක් සත්‍යය වශයෙන් නොපිළිගත් දෙකාට් මෙම ප්‍රවේශය පදනම් කොට ගෙන ඉතිහාසය ඇතුළු එවක පැවැති සියලු ශික්ෂණයන් උග්‍ර විචාරයට ලක් කළේ ය”

“රෙනේ දෙකාට්ගේ ඩිස්කූ®ර් ද ලා මෙතොඩ් නම් කෘතියෙන් ඉදිරිපත් කළ සංශයවාදි කාටීසියානු ප්‍රවේශයේ බලපෑම යුරෝපය තුළ විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදායක වර්ධනය සම්බන්ධයෙන් පමණක් නො ව ඉතිහාසකරණයේ දියුණුව සදහා ද තියුණු ලෙස ඉවහල් විය. එහෙත් දෙකාට් විසූ සමයට අතිදීර්ඝ කාලයකට ඉහත දී ද චක්ෂු - කර්ණ ඉන්ද්‍රියන් ගෝචර වන එමගින් සන්නිවේදිත තොරතුරු ඒ ආකාරයෙන් ම පිළිගැනීමෙන් වළක්වා ලීමට තුඩු දෙන ප්‍රවේශයක් පාලි ත්‍රිපිටකයේ අංගුත්තර නිකායට අයත් කාලාම සූත්‍රයේ ද අන්තර්ගත වන බව ප්‍රකට කරුණකි. කාලාම සූත්‍රයේ ද ප්‍රකාශ වන්නේ තමන්ට පෞද්ගලිකව ම සුදුසු යැයි පෙනී යන දේ පමණක් පිළිගැනීමේ වැදගත්කම ය”

කෙ සේ වුව ද කාලාම සූත්‍රය යනු සියලු දේ ප්‍රතික්ෂේප කිරීමට දෙනු ලැබූ උපදේශයක් ලෙස සැලැකිය යුතු නැත. යමක් අන්ධානුකරණයෙන් වැලැඳ නො ගත යුතු බව කාලාම සූත්‍රයෙන් පෙන්වා දුන් බුදුරදුන් යමක් විමසා බලා නිවැරැදි තීරණයකට එළඹිය යුතු ආකාරය චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් පෙන්වා දුන් සේක. එ බඳු බුද්ධිමය සම්ප්‍රදායක් අනුගමනය නො කොට යමක් ප්‍රතික්ෂේප කිරිම බුද්ධිමතකු ගේ ලක්‍ෂණය නො වේ.

මේ කරුණු දැක්වීමට අපට සිදු වුයේ රාජකීය ආසායාතික සමිතියේ අනුග්‍රයෙන් 2010 ජූලි මස 17 වන දා මහවැලි කේන්ද්‍රයේ දී පැවැති රාවණා පුවත පිළිබද විද්වත් සාකච්ඡාවේ දී මෙන් ම 2010.8.15 වන දා ඉරිදා ලක්බිම පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ද මහාචාර්ය තිස්ස කාරියවසම් පළ කොට ඇති අදහස් නිසා ය.

ඉරිදා ලක්බිම පුවත්පතට ඔහු මෙ සේ පවසා තිබිණ.
‘රාමායනය වගේ වීර කාව්‍යයක් සම්බන්ධ කරගෙන රාවණා කියලා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න හදන්නේ විකාර මනස් තියෙන මිනිස්සු. රාමායනයෙම කියනවා රාමා, සීතා මිනිස් දරුවන් නෙවේ කියලා. එහෙව් වීර කාව්‍යයක් අරගෙන 21 වන සියවසේ ඉතිහාසයක් ඔප්පු කරන්න යනවා. ඒක මෝඩකමක්. එවැනි දෙයක් මොන අදහසකින් භාවිත කරන්න යනවද කියන එක ප්‍රශ්නයක්.”

“රාමායනයේ හා ජනශ්‍රැතියේ එන දේවල් පිළිබඳ ව ඇතැම් පිරිස් විද්‍යාත්මක පදනමකින් කතා කරන්න උත්සාහගෙන තියෙනවා. යම් කෙනෙක් සාහිත්‍ය උපයෝගි කරගෙන ඉතිහාසයක් ගොඩනගන්න යනව නම් එතැන විද්‍යාත්මක සාධක තියෙන්න ඕන. ජනශ්‍රැතිය හා සාහිත්‍ය කෘතියක් කියන්නෙ සැබෑවක් ම නො වේ. නමුත් මේ දිනවල ඇතැම් පිරිස් වීර කාව්‍යයක හා ජනශ්‍රැතියේ තියෙන දෙයක් ඉතිහාසය කියලා ඔප්පු කරන්න උත්සාහ ගන්නවා .”

එහෙත් පිළිගත් මතය මෙය නො වේ. ඒ බැව් සනාථ කිරීම පිණිස මෙහි දී සිංහල විශ්වකෝෂය උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“ඉතිහාසය හැදෑරීමේ දී ඉතිහාසඥයාට උපකාරී වන්නේ මූලාශ්‍රයන් ය. මූලාශ්‍රයන් යනුවෙන් හැඳින්වෙන්නේ අතීත පරම්පරාවන් විසින් ඉතිරි කොට තබන ලද දේයි. මූලාශ්‍රයයෝ ලේඛනගත වාර්තාවන්ට පමණක් සීමා නොවෙත්. අතීතය විසින් ඉතිරි කරන ලද දේත් අතීතයේ සිට පරම්පරානුගතව ස්මෘති මාර්ගයෙන් ගෙනෙන ලද දේත් ඉතිහාසඥයාට උපකාරී වේ. මූලාශ්‍රයන්ට ලේඛන ගත වාර්තාවන්, ගොඩනැඟිලි, අවි ආයුධ, කලා කෘති වැනි පුරාවිශිෂ්ටත් එමෙන් ම ඇදහිලි හා විශ්වාස, ජනකතා ආදියත් ඇතුළත් වේ. “

ක්‍රි.පූ. 8 වන සියවසෙහි විසු හෝමර් විසින් ලියන ලද ඉලියඩ් හා ඔඩිසි යන වීර කාව්‍ය දෙක සැබෑ ඉතිහාසය මත පදනම් වී ඇති බව පර්යේෂණ මඟින් ඔප්පු කැර තිබේ. ටෙ‍්‍රීයි පුර සංග්‍රාමය හෝමර් ගේ හුදු ප්‍රබන්ධයක් නො වන බව සනාථ කිරීම සඳහා මයිකල් යාඩ්ලි නමැති ඇමරිකානු යුද විශේෂඥයා කළ පර්යේෂණය ඩිස්කවරි චැනලය ඔස්සේ විකාශය විය. එ බඳු ලොවක වෙසෙන උගත් මහාචාර්යවරයා පවසන්නේ, වීර කාව්‍යයකින් 21 වන සියවසේ ඉතිහාසය ඔප්පු කිරීමට යෑම මෝඩකමක් බව ය. උගත් මහාචාර්යවරයා තම අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන්නේ, රාවණා කෙනෙක් නැහැයි කියූ සෙනරත් පරණවිතානට වරදින්න විදියක් නැතැයි ‘ යන බොළඳ තර්කය යි. සාහිත්‍ය කෘතියක් යනු සැබෑවක් නො වේ යැයි පවසන උගත් මහාචාර්යවරයා රාවණා පුවත ප්‍රතික්ෂේප කිරීම සඳහා රාමායනය යොදා ගනී.

සෙනරත් පරණවිතාන සූරීන් ඉටු කළ සේවය අතිවිශිෂ්ට බවට විවාදයක් නොමැති වුව ද එතුමාට වරදින්න විදිහක් නැතැයි කීම අන්ධානුකරණයක් බව කිව යුතු ය. එ බැවින්, රාවණා පුවත ප්‍රතික්ෂේප කිරීම සඳහා වෙනත් සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට මහාචාර්ය තිස්ස කාරියවසම්ට සිදුවනු ඇත.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2010/09/01/main_editorial.asp

 

 

No Response to "ඉතිහාසයේ අතීතය දකින්න නම්..."

Post a Comment

අදහස් සහ උදහස්

..