-->

Tuesday, December 11, 2012

කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල.

2

කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල.

තාක්‍ෂනික ලෝකය විසින් සීඝ්‍රයෙන් විනාශ කර දමන සංස්‌කෘතික උරුමයන් අහිමි වීමේ තර්ජනයකට ලාංකේය සමාජය අද මුහුණ දෙමින් සිටියි.මෙයට හේතුව වන්නේ දැනට සොයා නොගත් පුරාවස්‌තු නොදැනුවත්කමින් හා විවිධ පුද්ගලයින්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් හා විනාශ වී තිබෙන නිසාය. වර්තමානයේ මෙම ව්‍යසනය වලකා ගැනීම සදහා පවතින්නේ දැඩි උදාසීන බවකි. මේ අයුරින්ම තවත් විනාශ වෙමින් අභාවයට යමින් පවතින දෙයක්‌ වන්නේ ජනශ්‍රැතිය.මේවා හොදින් අසා හොදින් විශ්ලේශනය කිරීමෙන් අප ඇස නොගැටුණු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් රැසක්‌ අපට සොයා ගත හැක.මෙයට හොදම උදාහරණය වන්නේ ග්‍රීක වීරකාව්‍යයක්‌ ඔස්‌සේ යමින් මිත්‍යාවක්‌ ලෙස සැලකූ ට්‍රෝයි පුරය පුරාවිද්‍යඥයින් විසින් සොයා ගැනීමයි.මෙය අපට මහගු ආදර්ශයකි. ඔවුන් එසේ නොකලා නම් ට්‍රෝයි පුරවරය හුදු මිත්‍යා කතාවක්‌ යැයි සිතා අද වෙනතුරුත් වැළලී පවතිනු ඇත.

එසේ නම් පුද්ගල වාසගම් වලට සම්බන්ධ, ගම් දනව් විශාල ගණනකට ද,ස්‌ථාන නාම වලටද සම්බන්ධ කමක්‌ ඇති සෙල්ලිපි ඇසුරෙන්ද ඔප්පු කල හැකි පුරාතන ග්‍රන්ථ රැසක ද නම හා විස්‌තර සදහන් රාවණා රජුට අපේ ඉතිහාසයේ නීත්‍යානුකූල ඉඩක්‌ ලබා නොදෙන්නේ මන්ද කියා මට නොවැටහේ. ලංකාපුරය හෝ දඩුමොණරය ආදිය ඉබේ මතුවන තුරු බලන් ඉන්නේ නැතිව ජනශ්‍රැති ඔස්‌සේ යමින් එම ප්‍රෞඩ ඉතිහාසය නැවතත් ගොඩ නගා ගත හැකි බවට ලාංකිකයන් නොසිතන්නේ මන්ද යන්න මාගේ ගැටලුවකි.

එසේ කියා ඉන්දියානු වීරකාව්‍යයක්‌ වන රාමායණය පසුපස හඹායාමක්‌ මා පවසන්නේ නැත. මක්‌නිසාද යත් වාල්මිකී මෙය රචනා කර ඇත්තේ තමා රාවණා රජු ගැන අසා ඇති තොරතුරු ඔස්‌සේ රාමා වීරයෙකු කිරීම සඳහාය. ඒ අනුව රාමායණය ඔස්‌සේ යමින් මැතකදි දකුනු ඉන්දියනු ද්‍රවිඩයන්ගේ දැනුමට අනුව නම් කල ස්‌ථාන වල පර්යේශණ කටයුතු නොකරන ලෙස ද මා ඉල්ලා සිටිමි. එසේ සිදුවුවහොත් එය පිදුරු ගොඩේ ඉදි කටුවක්‌ සොයනවා වැනි වැඩකි.

මට හමුවූ තොරතුරු වලට අනුව, රාවණා රජුගේ ප්‍රධාන ආරක්‍ෂිත බලකොටුවක්‌ තිබී ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේය. එයට කදිම සක්‍ෂියක්‌ ලෙස කොත්මලයෙන් හමුවන රාවණාගොඩ වැනි ප්‍රදේශ ද, පූනෑ ඔය හරහා කොණ්ඩගලට ඇති උමග ද, රාවණාගොඩ ආශ්‍රිතව පිහිටා ඇති දැනට විනාශවෙමින් පවතින උමග හා සෙල්ලිපියද, කොත්මලේ කඳු ආශ්‍රිතව හමුවන සීතා ගුලිද දැක්‌විය හැක.

මට මෙහිදී කොත්මලේ ආශ්‍රිතව අසන්නට ලැබෙන ජනකතා කිහිපයක්‌ ගෙන හැර දැක්‌වීම සුදුසු යැයි සිතේ. කොත්මලේ ජනකතා වලට අනුව රාවණා රජු ත්‍රීකූටය මතුපිටෙහි රාජධානිය පිහිටුවාගෙන සිටියේය. කූට 3ක්‌ ලෙස සැලකෙන මෙය ආශ්‍රිතව ඔහුගේ ඇතුලු නුවර පිහිටියේය. මෙය කොත්නුගොඩ කන්ද ලෙස හදුන්වයි. රාමාගේ ඔත්තු කරුවන්ගෙන් වසන් කිරීමට සීතාව තම ඇතුල් රාජ්‍ය වූ කොත්මලයට පිටත් කර එවා තිබේ. කොත්මලේ ඇති පොළව යට වූ රාජ්‍යයේ ඇය සැගවීම සුදුසු යැයි සිතූ එතුමා ඇය කොණ්ඩගල ට කපා ඇති දුර්ගයේ සගවා තබන ලදි. මා කලින් සදහන් කල පරිදි පූනෑව ඇල්ලේ සිට කොණ්ඩගල ට යා හැකි උමගක්‌ ඇත. ඉන්පසු ඇයව රැගෙන ගොස්‌ පොළව යට රාජ්‍යයේ සගවන ලදි. ඇය එහි සිරකොට එතුමා දඩුමොණරයෙන් විත් ගොඩ බැසූ ස්‌ථානය රාවණාගොඩ ලෙස හදුන්වන බවට ගම්මුන් පවසයි. එහෙත් රෝගාතුර වූ සීතා හට දක්‍ෂ වෛද්‍යවරයෙකු වූ රාවණා රජු බෙහෙත් මිශ්‍ර අග්ගලා යවා ඇත. කෝපයට පත් සීතා ඒ සියල්ල විසිකර දමා ඇත. අද ද කොත්මලේ කදු ආශ්‍රිතව සොයාගත හැකි මෙම ගුලි විශේෂය බඩේ රුදාවට යොදාගන්නා ඉතා වටිනා බෙහෙතක්‌ ලෙස ගම්මුන් පරිහරණය කරනු ලබයි.

රාවණා රජුකල ඔහුගේ රහස්‌ බලකොටුවක්‌ ලෙස භාවිතා වූ කොත්මලය එකල හඳුන්වා ඇත්තේ "කොට්‌බල" ලෙසටය.මේ අනුව කරුණු සලකා බැලූ මට පෙනී ගියේ ඔහුගේ රහස්‌ බලකොටුවක්‌ කොත්මලේ වූ බවයි. ඒ අනුව පෞද්ගලිකව පර්යේශන කටයුතු කරගෙන ගිය මා හට හමු වූ ජනකතා කිහිපයක්‌ වේ.එම ජනකතා මා පෞද්ගලිකව හදුනනා අයගෙන් ලබාගත් ඒවා වේ.

මා ජීවත් වන ප්‍රදේශයේ අපූරු කන්දක්‌ ඇත. මෙය ඉතා ගුප්ත කන්දකි. කන්දේ පහළ කොටස ජනාවාස වී ඇති අතර ඉහළ කොටසේ ඇත්තේ ලඳු කැලෑවකි. මෙම කන්දේ දිවියන්, වලසුන්, කුලුහරකුන් බහුලව වෙසෙන නිසා මෙම කන්දේ ඉහළ කොටසට මිනිසුන් යන්නේ අල්ප වශයෙනි. 1940 ගණන් වල මෙම කන්දෙන් විශාල කොටසක්‌ නාය වශයෙන් අඹතලාව යන ග්‍රාමය හරහා පහලට විත් ඇත. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇද හැළුණු වර්ශාව හේතුවෙන් මෙය සිදුවූ බව බොහෝදෙනා පවසයි.එහෙත් කිහිපදෙනෙකු පැවසු අත්භූත කතාවක්‌ මෙහි සදහන් කිරීම සුදුසු යැයි මට සිතේ. නාය යාමට කෙටි වෙලාවකට පෙර දේවතා එළි ලෙස ගම්මු හැදින්වු කිසියම් දීප්තිමත් එළි පේලියක්‌ නාය ගිය ස්‌ථානයට පැමින රවුමක ආකාරයට එක තැන වටේ යමින් දීප්තිමත්ව බැබළුණු බවත් පසුව එය නොපෙනී ගිය බවත් ඉන් සුලු වේලාවකට පසුව නාය ගිය බවත් ඔවුන් පැවසුහ. මෙම දේවතා එළි නමින් හදුන්වන ද්‍රවිඩ ජාතිකයින් රාමසැර ලෙස හදුන්වන දීප්තිමත් එළි මෙම කන්ද අවට ගමන් කිරීම සුලභ දසුනකි. මා මෙතෙක්‌ එය නොදැක්‌කත් ගමේ බහුතරයක්‌ මෙම දේවතා එලි දැක ඇත .දින කිහිපයකට පෙර මෙම ලිපිය ලියන මාගේ මවද එවැනි දීප්තිමක්‌ එළියක්‌ මෙම කන්ද දෙසට අහසින් පහත් වී එක්‌වරම නැතිවී ගිය බවක්‌ මා හට පවසන ලදි.


පෙට්ටිගල කන්ද

මෙහි ගුප්ත බව වැඩි කරන තවත් කරුණක්‌ වන්නේ මෙම කන්දේ සුරක්‍ෂිතව ඇතැයි පවසන තාපසයෙකු ඔරුවක වාඩිවී සිටින රනින් කරන ලද පිලිමයයි. මෙය සදහා කදිම සාක්‍ෂියක්‌ වනුයේ මගේ හිතවත් අයෙකු ලද අත්දැකීමකි. ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු මීට කලකට ඉහතදී කදිම සිද්ධියකට මුහුණ පා ඇත. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක්‌ මා ඉහත සදහන් කල රන් පිලිරුවක්‌ තිබෙන කන්දක්‌ තිබෙනවා දැයි මොහුගෙන් අසා ඇත. තමා අත වූ ග්‍රන්ථයක්‌ පෙන්වමින් ඔහු එය මේ ප්‍රදේශයේ ඇති බවත් එය ඉන්දියානු ග්‍රන්ථයක්‌ බවත් පවසා ඇත. ඒ වන විට එවැනි පිලිමයක්‌ ගැන දැන නොසිටි මාගේ හිතවතා ඔහුව ආපසු හරවා යවා තිබේ.

කොත්මලයේ ඇති අනෙකුත් සියලුම කඳු මෙන්ම මෙම කන්ද ද සැදී ඇත්තේ තද කලු ගලෙනි.මේ බව බැලූ බැල්මට ඕන කෙනෙකුට පෙනී යයි. විජයාගමනයෙන් පසු බිහිවූ රජවරුන් තම මාළිගා හා වාසස්‌ථාන එලිමහනේ ඉදිකරගෙන තිබුනත් මගේ අදහසට අනුව ඊට පෙර විසූ රාවණා රජු ඇතුලු අනෙකුත් හෙළ රජවරු තම මාළිගා හා වාසස්‌ථාන ඉදිකර ගෙන ඇත්තේ පර්වත තුල හා පර්වත උඩය. හෙළ ගවේශකයින්ට මෙතෙක්‌ මොවුන් ගැන කිසිම ප්‍රභල සාක්‍ෂියක්‌වත් නොලැබී ඇත්තේ ඔවුන් මෙම මතය බැහැර කරන හෙයිනි. මගේ අදහසට අනුව එම යුගය විශේෂයෙන්ම රාවණ යුගය පිලිබදව කරුණු සොයනවා නම් ඒ ගැන සෙවිය යුත්තේ ජනශ්‍රැති අනුව යමින් පර්වතයන් තුල හා ආසන්නයේය.හොදම උදාහරණයක්‌ ලෙස සීගිරිය යනු රාවණා රජුගේ සහෝදරයෙකු වන කුවේර විසින් පරිහරණය කරන ලද බලකොටුවකි. මෙය සිංහමුඛ නැමැති හෙළ රජවරයාද ඊට පෙර පරිහරණය කර ඇත. පසුව කාශ්‍යප රජු විසින් එය අළුත්වැඩියා කර පර්වත මුදුනේ මාලිගය ඉදිකරවා රජකම් කර ඇත. එසේ නම් ඊට පෙර සීගිරියේ රජකම් කල රජවරුගේ මාළිගා කොටස්‌ හමු නොවූයේ මන්ද? ඊට කදිම පිලිතුරක්‌ සීගිරිය ආශ්‍රිතව ජීවත්වන ගම්මුන් පවසයි.ඔවුන් පවසන විදියට සීගිරිය පර්වතය තුල මාලිගයක්‌ වන බවයි. ඒ තුලින්ද විජයට පෙර සිටි හෙළ රජවරු පර්වත තුල මාලිගා කරවූ බවට පැහැදිලි වේ.

මා හට මැතකදී ඉතා අපුර්ව කතාවක්‌ අසන්නට ලැබුණි. මා විසින් මෙහි දක්වා කන්දෙහි පෙට්‌ටිගල යනුවෙන් හදුන්වන පර්වතයක්‌ ඇත. මෙය පහසුවෙන්ම හදුනාගත හැක්‌කේ ඒ මත ඉදිකර ඇති අතහැර දැමූ තේ කම්හල නිසාය. කෙසේ වෙතත් වරක්‌ මා මෙහි ඇති ඉතා පුදුමාකාර දොරක්‌ වැනි දෙයක්‌ දැක ඒ පිලිබඳව සොයන්නට විමි.

ඇතමුන් ප්‍රකාශ කලේ මේ ගල් දොරටුව රාවණා රජු විසින් භාවිතා කල එකක්‌ බවයි.ඒ අනුව මෙම පර්වත පාමුලට ගොස්‌ එහි වෙසෙන දමිළ ජනතාවගෙන් තොරතුරු විමසූ නමුත් ඔවුන් කිසිම පිලිතුරක්‌ මා හට දීමට මැලි වූහ. ඔවුන් මේ පිලිබදව කිසිවක්‌ නොදන්නා බවත් නිකරුනේ කලය නාස්‌ති නොකරගන්නා ලෙසත්, යලි මෙහි නොපැමිනෙන ලෙසටත් ඔවුන් මට අවවාද කලහ. එහෙත් උපක්‍රමශීලීව ප්‍රදේශයේ වෙසෙන ළමයෙකු ලවා තොරතුරක්‌ ලබා ගැනීමට මා හට හැකි විය.

එම ප්‍රදේශයේ පේන කියනා වයෝවෘද දමිළ කාන්තාවක්‌ ඇත. ඇයගෙන් ඉතා වටිනා තොරතුරු රැසක්‌ දැන ගැනීමට එම ළමයා සමත් වී ඇත. ඒ අනුව ඇය පවසා ඇති පරිදි මෙම පර්වතයේ පිහිටා ඇත්තේ රාවණා රජු භාවිතා කර ඇති රහසිගත ස්‌ථානයකි. අප එහි ඇති දොරටුවක හැඩය ඇති ස්‌ථානය දොරටුවක්‌ නොවන බවත්, එය ජනේලයක්‌ බවත් ඇය පවසා ඇත.

මෙම ජනේලය වැසී පවතින නමුත් සතියකට දෙවරක්‌ මධ්‍යම රාත්‍රියේදි අඩ පැයකට පමණක්‌ මෙය විවෘත වන බවට පවසා ඇත.මෙහි ප්‍රධාන දොරටුව ඒ අවටම පිහිටා ඇති බවත්, එය ඒ කාලයේ සිටම වැසී තිබී ඇති බවත් එය විවෘත වන්නේ දොරටුව අසල ඇති සෙල් ලිපිය කියවූ විට බවත් වැඩිදුරටත් පවසා ඇත. එය එසේ නම් මෙය නියමිත ශබ්දයකට අනුව ක්‍රියාත්මක වන දොරටුවක්‌ විය හැක.ඇය ප්‍රකාශ කර තිබූ වැදගත්ම දෙය වනුයේ මෙම පර්වතය තුල මමීකරණය කරන ලද ශරීර දෙකක්‌ පවතින බවයි. එකක්‌ ජනේලය ලග තැම්පත් කර ඇති බවටත්, අනෙක දොරටුව අසල තැම්පත් කර ඇති බවටත් ඇය පවසා ඇත. මෙයින් එක්‌ ශරීරයක්‌ රාවණා රජුගේ බවට ඇය පවසා ඇත.

මෙයින් පිබිඳුනු මා 2011.09.24 වන දින පාසල් ළමුන් සිවුදෙනෙකු සමග අදාල පර්වතය ආසන්නයට ගොස්‌ එය ඡායාරූප ගත කරගත්තේය. එහිදී මා දුටු දේවල් වලට අනුව මෙහි ඇය සදහන් කල කිසියම් හෝ රහසක්‌ සැගව ඇති බවට හැඟී ගියේය. එම පර්වතයේ තේජාන්විත භාවය තවමත් නොඅඩුව පවතින අතර ලෝකයේ මුළු ඉතිහාසයම වෙනස්‌ කල හැකි යමක්‌ ඒ තුල ඇති බව මාගේ විශ්වාසයයි.

ස්තූතියි.

චානක දේව් චතුරංග.
Chanky Dev

(මෙය මා විසින්ම පෞද්ගලිකව ගවේශණය කර ලබා ගත් තොරතුරු පදනම් කරගෙන ලියූ ලිපියකි.මෙම ගවේශණ කටයුතු මා විසින් සිදු කරන ලද්දේ 2011 වර්ශයේ ය. හෙළසුර ආරම්භක සාමාජිකයින් වන මමත්, අකිල ගුණතිලක සහ ක්‍රිෂාන් වීරසිංහ පමණක් දැන සිටි මෙම තොරතුරු සංක්ෂිප්තව ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා දිරිමත් කල සියළුම දෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.)


උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2012/11/blog-post.html

2 Response to කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල.

December 11, 2012 at 2:45 PM

හරිම වටින විස්තර ටිකක් සහෝ..
ජය!!

DG
December 12, 2012 at 12:28 PM

මම පත්තරයක් තිබල තමා මේක දැන ගත්තේ. ඉස්සර සුද්දෝ ලංකාවට ඇවිල්ල උන් සීගිරිය හොයා ගෙන පරීක්ෂන කරන කොට එතන බාරව හිටපු සුද්දා කියල තියෙනවා සීගිරි ගල හිල් කරල විදල තියෙන හරියට ලිෆ්ට් එකක් වගෙ එකක් තියෙන විදුම ක්‍රොන්ක්‍රීට් කරන්න කියල. ඉතින් ඒ කාලේ හිටපු කම්කරුවෝ ඒක ක්‍රොන්ක්‍රීට් කලාලු. ඒක ක්‍රොන්ක්‍රීට් කරපු උන් ඔක්කොම දැන් මැරිලා. නමුත් එක්කෙනෙක් ඉන්නවලු. සීගිරිය ගලා ගාව. එයා තමා කියල තියෙන්නේ. ඉතින්වෙන්න පුලුවන් සීගිරි ගලඇතුලෙ මාලිගයක් තියෙනව කියන එක. මොනවා වුනත් දැන් වෙන කොට රාවණා රජතුමා ගැන හොයන එක මව්බිම, රන්දිව, හිරු ටීවී, ස්වර්නවාහිනිය වගේ මාධ්‍යා උත්සාහ කරනෑක ගැන නම් මට සතුටුයි. ඇත්තෙන්ම සතුටුයි. සුද්ද මොන සීල් ගහල වැහුවත් කවදා හරි මේ විශාල ඉතිහාසය ගොඩ ගන්න අපට පුලුවන් වේවී.

Post a Comment

අදහස් සහ උදහස්

..