-->

Friday, January 20, 2012

රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

1
රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

වීරසේන අල්ගෙවත්ත

අපට ඇති ප්‍රබලම ඓතිහාසික මූලාශ්‍රය මහාවංශයයි. එය අපේ ඉතිහාසය ගොඩනැගීමට කළ මෙහෙය ඉතා විශාලය. ඒ මගින් ගොඩනැඟුනේ අපේ ඉතිහාසය පමණක්‌ මැ නොවේ. අසල්වැසි භාරත දේශයේ ඇති ඉතිහාසය හා බැඳෙන sගැටලු විසදා ගැනීමට ද හැකි වූයේ මහා වංශයේ මඟ පෙන්වීමෙනි. ඉන්දීය දේශය පුරා අශෝක ස්‌ථම්භ පිහිටුවා යම් යම් තොරතුරු එහි ලියවා නව සන්නිවේදන රටාවක්‌ බිහිකළ "දෙවනපිය පියදසි" නිරිඳුන් අශෝක අධිරාජයාම බව හඳුනා ගැනීමට හැකි වූයේ මහා වංශයේ සඳහන් යම් යම් තොරතුරු නිසාය. වසර දෙදහස්‌ පන්සියයක අඛණ්‌ඩ රාජාවලියක තොරතුරු ලේඛනගත කළ ඓතිහාසික මූලාශ්‍රයක්‌ වේ නම් එය "මහාවංශය" පමණි. අපට එහි අගය මැනෙවින් පසක්‌ වන්නේ භාරතීය ඉතිහාසය හා සසඳන විටය.

මෙයින් අදහස්‌ වන්නේ මහාවංශය අංග සම්පූර්ණ මූලාශ්‍රයක්‌ බව නොවේ. එහි ඇති අඩු ලුහුඬුකම් සුළු කොට තැකිය හැකි ඒවා ද නොවේ. ඒ නිසාම බොහෝ පඬිවරු මහාවංශය මහා විහාර වංශ කථාව ලෙසින් හඳුන්වා දෙති. මහාවංශය රචනා කළ මහානාම හිමියන් ඇතැම් ඓතිහාසික තොරතුරු හිතාමතාම වසන් කරන බවක්‌ පෙනේ. එය මහාවංශයේ මුල් පරිච්ඡේදවලදී බහුල වශයෙන් දැකිය හැකි ඌනතාවයකි.

විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහු වෙත අවුත් පින්වත්නි· මේ කවර දිවයිනක්‌දැයි විචාළෝය. හේ තෙමේ ලක්‌දිව යෑයි කියා මිනිස්‌සු මෙහි නැත්තාහු යෑයිද තොපට භයක්‌ නොවන්නේ යෑයි ද කීය. මෙසේ කියා කෙණ්‌ඩියෙන් ඒ මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි (පිරිත්) හු බැඳ අහසින් ගියේය. (මහා වංශය - හත්වැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය - 2003 මුද්‍රණය)

විජය කුමාරයා මේ බිමට ගොඩ බට අවස්‌ථාවේ බුදු හිමියන් වදාළ පරිදි සක්‌දෙව් රජු ඇනැවීමෙන් පැමිණි උපුල්වන් දෙව්රජ (ලවා) පවසනුයේ මේ බිම මිනිසුන් රහිත හිස්‌ භූමියක්‌ බවයි. ඒ නිසා මෙහි පදිංචි වීමටත් රිසි සේ හැසිරීමටත් කිසිදු බාධාවක්‌ නොමැති බවකි, ඉන් පවසා ඇත්තේ.

මහාවංශයේ සඳහන් පරිදි විජය කුමාරයා ප්‍රමුඛ සත් සියක්‌ පිරිස ලක්‌බිමට සැපත් වීම සිදුවනුයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන අවස්‌ථාවේමය. බුදු සස්‌න ලක්‌දිව "පිහිටන නිසා" බුදු හිමියන් ද මේ සිදුවීම කෙරේ විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව මහා වංශ විස්‌තරයෙන් කියෑවෙයි.

බුදුහිමියෝ ලක්‌දිවට තෙවරක්‌ වැඩියහ.

"සම්‍යක්‌ සම් බෝධියනේ නව වැනි මස දුරුතු පුර පසළොස්‌වක්‌ හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්‌දිවට පැමිණි සේක."

"සම්‍යක්‌ සම්බෝධියෙන් පස්‌ වැනි වස ෙ-තවන විහාරෙහි වැඩ වසන සේක්‌ මාහෝදර නාගයා එසේම චූලෝදර නාගයා යන පිරිස්‌ සහිත වූ නාගයින්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වූ යුද්ධය දැක බක්‌මහ අමාවක්‌ පොහෝදින උදය කාලයෙහි උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

"සම්‍යක්‌ සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ෙ-තවනයෙහි වාසය කරන සේක්‌ ලෝක ස්‌වාමී වූ පස්‌ මරුන් දිනූ මුනීශ්වර තෙමේ භික්‍ෂූන් පන්සියයක්‌ විසින් පිරිවරන ලද්දේ දෙවැනි දවස භක්‌ත කාලය ආරෝචනා කළ සිවුර පොරවා පාත්‍රය ශ්‍රී හස්‌තයෙන් ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක්‌ත නා රජුහු නිවසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තැන්හි කරන ලද රත්න මණ්‌ඩපයෙහි සංඝයාද මාහැඟි වූ පළඟෙහි තමන් වහන්සේද වැඩහුන් සේක. සමූහය සමග වූ නා රජු තෙමේ සොම්නස්‌ වූයේ දිව්‍ය වූ ඛාද්‍යාදී භෝදයෙන් සංඝයා සහිත වූ සර්වඥයන් සන්තර්පණය කළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝක නායක වූ සර්වඥ තෙමේ එතන්හි ධර්ම දේශනාකොට අහසට නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පාටසහන දැක්‌වූ සේක".

(මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය 2003 මුද්‍රණය)

මේ විස්‌තරයෙන් පැහැදිලි වන්නේ උපුල්වන් දෙව් රජුන් කියන පරිදි ලක්‌දිව මිනිසුන් නැති හිස්‌ භූමියක්‌ තෙවන බවයි. බුදුන් වහන්සේගේ දෙවැනි සහ නොවන ලංකා ගමන සිදුවූයේ නාගයින්ගේ අරගල සංසිඳුවීමෙන් ඇති වූ ඉමහත් ගෞරවය හා ප්‍රසාදය නිසා කරන ඇරියුමෙනි. පන්සියයක්‌ පිරිවර කැටිව වැඩි බුදුන් වහන්සේට දිව්‍යමය ආහාරපානවලින් දන් පිරිනැමූ බවත් පැවසේ. බුදුන්වහන්සේ පන්සියයක්‌ භික්‍ෂූන් වහන්සේලා කැටුව වැඩ වදාළේ මණිඅක්‌ත නාරජුන්ගේ නිවසට මැ වීම සුවිශේෂ වැදගත්කමක්‌ දරයි. මෙහි සඳහන් නාගයන් තිර ලෙස මැ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ මිස උරග විශේෂයක්‌ නොවන බව නම් පැහැදිලිය.

බුද්ධත්වයෙන් අටවැනි වස බුදු හිමියන් ලක්‌දිවට වැඩ වදාළ විට දන් පිරිනැමූ බණ ඇසූ ඉහත කී මනුෂ්‍ය කොට්‌ඨාසය වසර පනහක්‌ ඉක්‌මැ වීමටත් පෙර වඳවී ගිය දැයි සිතිය යුත්තේ "මිනිසුන් මෙහි නැත්තාහු" යන මහාවංශ ප්‍රකාශය නිසාය. කෝට්‌ටේ යුගය වන විටත් කැලණියේ නාගයන් භක්‌තිමත් බෞද්ධයෝම ලෙසින් විසූහ. ඒ බව ළවැලි පිට සිට වෙණ වයමින් බුදුගුණ ගී ගැයූ මනහර නා මෙනවියන් ගැන සිරි රහල් මාහිමියන් කියන තොරතුරු වලින් පැහැදිලි වෙයි.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනෙහි අරමුණ "ලංකාද්වීපය ශුද්ධ කරණ පිරිස" බව පැහැදිලිව කියා ඇත. "නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්‌දිව දෙම්හ අපට අභය දුන මැනවැ" යි ආයාචනා කළ යක්‍ෂයන්ට ගිනි මවා බිය ගන්වා ඔවුන්ට හිමි බිමෙන් පලවා හැරීමට බුදුහිමි ක්‍රියා කළ අයුරු වංශකතාකරු මහත් රුචියෙන් විස්‌තර කොට ඇත.

මහා කාරුණික වූ සව් ලෝ දුක්‌ගිනි නිවූ බුදුහිමියෝ යකුන්ට මෙබඳු දෙයක්‌ කරත්ද? "සාතාගිර" "හේමවත" "අලවු" වැනි යක්‌ සෙනවියන් බුදු බැතියන් කළෝ බුදු හිමියෝය. යකුන් හා බුදු සමිඳුන් හා අතර පැවැති සම්බන්ධතාවයේ තරම "ආටානාටිය" වැනි සූත්‍ර වලින් පැහැදිලි වෙයි. මහාවංශයේම කියෑවෙන කුවේනියගේ තොරතුරුත් "පඬු අභා" කුමරුන්ගේ තොරතුරුත් විමසන විට පෙනීයන්නේ බුදු සමිඳුන් යකුන් දමා, ගිරි දිවයිනට පලවා හැරි පුවත මුසා බසක්‌ මැ බවයි. ඇරත් එය බුදුහිමි පැවැත්ම පිළිබඳව කළ මිත්‍යා ප්‍රබන්ධයක්‌ බවයි.

මේ දිවයිනේ භූමිපුත්‍රයන් වශයෙන් යක්‍ෂයෝත් නාගයෝත් "විජය" පැමිණෙන විට මෙහි සිටියෝය. ඔවුහු බුදුහිමියන් ගෙන් බණ ඇසූ එතුමා ඇසුරු කළ බෞද්ධයෝම වූහ. එසේ ව තිබියදී බුදුහිමියන් විසින් යක්‌කු පලවා හරින ලදහ යි පැවසූයේ ඇයි? "විජය" කුමාරයාගේ පැමිණීම නමැති සිද්ධියට ඉතා ඉහළ අගයක්‌ දී සිංහල ජාතියේ ආරම්භය එතැනින් ඇරැඹී යෑ යි යන ප්‍රබන්ධයට ඓතිහාසික අගයක්‌ බද්ධකොට ඉන්දීය ඥති සම්බන්ධය නීතිගත කිරීමට යෑ "අසූ කෙළක්‌ නයින් තුන් සරණයෙහිද සීලයෙහිද පිහිටු වූ සේක" (මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය) මේ ලෙසින් ලේඛනගත කළ මහානාම හිsමියන් ඉන් වසර පනහක්‌ ඉක්‌මැ යැමටත් පෙර ලක්‌බිම මිනිසුන් නැති බිමක්‌ කිරීම කවරක්‌හු අදහත් ද?

"හුදීජන පහන් සංවේගය පිණිස" කළ මහාවංශයේ සියලු වෘතාන්ත සිත් බඳනා දහම් කරුණු ලෙසින් දිගු කලක්‌ තිස්‌සේ ජන විඥනය තුළ තැන්පත් වී තිබිණි. යුරෝපීය ජාතීන් තුනක දැඩි බලපෑම් මාලාවකට හසුවී මේ ප්‍රතිඵලයක්‌ ලෙසින් අපේ සියලුම දේ දැඩි වෙනස්‌වීම් වලට භාජන විය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ සියලු සමාජ හා ආධ්‍යාත්මික ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා දෙමින් ලොවට හරවත් යම් යම් දේ දායාද කළ ජාතියේ ප්‍රඥාව මෙලැවූ පිරිවෙනින්, පාසලට අධ්‍යාපනය මාරු විය. පිරිවෙන් අධ්‍යාපනයේ නියමුයෝ මහ ථෙරවරුය. එහෙත් නවීන පාසල්, පල්ලිය සෙවනේ බිහිව මිෂනාරි පූජකවරුන් වෙතින් බවුතීස්‌ම ලබා ගුරුන්නාන්සේලා යටතේ නැණ පහන දල්වන ආයතන බවට පත්විය. පාසල්වල උගැන්වූ විෂය මාලාව විවිධ හැල හැප්පීම් ඔස්‌සේ ඇදි ඇදී ආවක්‌ම විය.

දේව ධර්මය යුරෝපීය පාලන බස අනිවාර්ය විෂය මාලාව වූ අතර පසු කාලීනව මවුබස, ගණිතය හා ඉතිහාසය ද පාසල් විෂය මාලාවට එක්‌විය. ඉංග්‍රීසි පාලනයේ මුල් සමයේ සිට ඉතිහාසය උගැන්වීම සඳහා කිසියම් ප්‍රයත්නයක්‌ දරනු දැකිය හැකිය.

1847 කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශයන් අනුව අවලංගු කරන ලද සිංහල පාසල් නැවත පිහිටුවීමට 1847 දී පාසල් කොමිසමට සිදුවිය. මෙම පාසල්වල දේශීය බස ඉගැන්වීම පිළිබඳ ඒකකාර තත්ත්වයක්‌ නොතිබිණි. සමහර පාසල්වල මවුබස පහළ පංතිවලට සීමා කරන ලද අතර සමහර පාසල්වල එය තුන් වැනි හෝ හතරවැනි හෝ පාසල් වර්ෂය දක්‌වා උගන්වන ලදී. සිංහල සහ දෙමළ පෙළ පොත්වල ඇති වූ අඩුව නැති කිරීමට අනුවාදක කමිටුවක්‌ පත් කැරිණි. මේ කමිටුව විසින් පුරාණ ඉතිහාසය නූතන, ඉතිහාසය, ආගමික ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික කියවීම් පොත සහ "ලංකා ඉතිහාසය" යන ග්‍රන්ථ සකස්‌ කරන ලදී.

"ලංකාවේ අධ්‍යාපනය" සියවස ප්‍රකාශනය අධ්‍යාපන සහ සංස්‌කෘතික අමාත්‍යාංශය රජයේ මුද්‍රණාලය - 1969)

ඉංග්‍රීසි ජාතිකයන් මේ රටේ පාලන බලය අල්ලාගත් පසු ඔවුනට අවශ්‍ය පරිදි අධ්‍යාපනික ක්‍රියාවලිය පවත්වාගෙන යැමට විවිධ අවස්‌ථාවලදී නොයෙක්‌ වෙනස්‌කම් සිදු කළ අතර විශේෂයෙන් ලංකා ඉතිහාසය පාසල් විෂය මාලාවට ඇතුළත් කළේ යුරෝපීය ඉතිහාසය එංගලන්ත ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික වෘතාන්ත ආදියට අතිරේකවය.

ලංකා ඉතිහාසය ඉගෙනීමේදී අතිශයින්ම වැදගත් බටහිර ජාතිකයන් තිදෙනෙක්‌ සිහිපත් කළ යුතුය. "H.P.C බෙල්" මහාචාර්ය, "විල්හෙට්‌ ගෛගර්" සහ "H.W. කෝඩ්රින්ටන්", ඒ තිදෙනායි. අපේ ඉතිහාසය හැදැරීමට අතිශයින් වැදගත් පුරා විද්‍යාත්මක පරීක්‍ෂණ හා සංරක්‍ෂණය ආරම්භ කළේ H.P.C" මහතායි. මහාවංශය ඉංගී්‍රසි බසට පරිවර්තනය කොට ලංකා ඉතිහාසයේ හැඩරුව ලොවට විවර කළේ ගෛගර් පඬිතුමාය. ලංකා ඉතිහාසය ඉතිහාස පොතක්‌ ලෙස උගෙනීමට සකස්‌ කළේ කොඩ්රින්ටන් මහතාය. (A Short. History of Ceylon) වංශ කතාවල සඳහන් (එතුමාට) පිළිගත හැකි, කරුණු පමණක්‌ම පාදක කරගනිමින් රචිත මේ ඉතිහාසය ග්‍රන්ථය ලංකා ඉතිහාසයට කළ බලපෑම අතිශයින්ම ප්‍රබල එකක්‌ විය. එතුමාගේ මතය අනුව හැබෑ ලංකා ඉතිහාස ආරම්භ වන්නේ මහින්දාගමනයෙනි. විෂය මාලාව පුළුල් වීමත් උසස්‌ අධ්‍යාපනය සඳහා ලංකා ඉතිහාසය පිළිගත් විෂයයක්‌ වීමත් නිසා මේ පිළිබඳව කෙරෙන සෙවීම් බැලීම් ක්‍රමයෙන් ඉහළ ගියේය. "G.C මෙන්ඩිස්‌" "සෙනරත් පරණවිතාන" ප්‍රමුඛ වියත්හු මේ පිළිබඳව ප්‍රමුඛයෝ වූහ. ලංකා ඉතිහාසය ගැන අධ්‍යයනය කළ හැම පඬිවරයෙක්‌ම පාහේ "කොඩ්රින්ටන්" මහතාගේ ඉතිහාසය දැක්‌ම ඉක්‌මවා යැමට මැළි විය. මහාවංශ කතුවරයා වසාලූ "විජය" ට පෙර යුගය කුමක්‌ දැයි සෙවීමට තබා සිතීමට වත් උනන්දු නොවූ මොවුහු විජය පිළිබඳ තොරතුරට විවිධ අර්ථකතන සැපයූහ.

ලක්‌දිව ජනාවාස වූයේ "ඉන්දියාවෙන් පැමිණි විවිධ ජන කොටස්‌වලින්ය" යන මතයක්‌ මේ පඬිවරු සමාජගත කළහ.

එය වනාහි "මිනිස්‌සු මෙහි නැත්තාහු යන මහාවංශ මුසාවම වෙනත් අයුරකින් අර්ථවත් කිරීමකි. වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත ඉතිහාස ග්‍රන්ථයක ලංකාවේ ජනාවාස ආරම්භ වීම පිළිබඳව දක්‌වා ඇති කරුණු පරීක්‍ෂා කිරීමෙන් මෙය වටහාගත හැකිය.

I. "මෙම පුරාවෘත්තවල ඇති පරස්‌පර විරෝධතා හා මිථ්‍යා තොරතුරු අත්හැර දමා ඒවායේ හරය පරීක්‍ෂා කළ කල්හි මෙරට අවස්‌ථා කීපයකදී ආර්ය ජන සමූහ සංක්‍රමණය වූ බව පැහැදිලි වේ."

II. විජයගේ ගමන ආරම්භ වූයේ වංශ දේශය අසල වූ "ලාල" රටින් යෑයි සඳහන් වන නිසා මේ පුරාවෘත්තය විග්‍රහ කළ උගත්තු භූගෝලීය උපදෙස්‌ ගැන නා නා මත ඉදිරිපත් කර ඇත. එහෙත් සුප්පාරක (නූතන සොපාරා" සහ භාරුකච්ච (නූතන බ්‍රොaච්) යන වරාය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බටහිර වෙරළේය. මේ අනුව ආර්යයන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ සිට ලංකාවට පැමිණි බවට තර්ක කරන විද්වත් පිරිසක්‌ වෙති.

III. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ලක්‍ෂිණා පථයේ කෙළවර පදිංචි වී සිටි ආර්ය ජන සමූහයක්‌ පසුව ලංකාවට සංක්‍රමණය වූ බව මහාචාර්ය රත්වැල්ල නිගමනය කර ඇත.

IV ලංකාව ජනාවාස කිරීම ගැන තොරතුරු සපයන ජනප්‍රවාද වල දැක්‌වෙන අන්දමට බටහිර නැගෙනහිර හා දකුණු ඉන්දියානුවන් මෙරට ජනාවාස කිරීමෙහි ප්‍රමුඛ වූ බව අපි මීට ඉහත දී දුටිමු.

V. මෙරට ජනාවාස කිරීමට ජන සමූහ කීපයක්‌ වරින් වර සංක්‍රමණය වූ බව එයින් හෙළිවෙයි. මෙම සංක්‍රමණය යම් කිසි රජයකින් හෝ සංවිධානයකින් සංවිධානාත්මක ලෙස පිටත් කළ ඒවා නොවේ. ඒ ඒ අවස්‌ථාවල ජනයාට ඇති වූ අවශ්‍යතා නැතහොත් අහම්බෙන් ඇති වූ ගොඩ බැසීම් හේතුකොට ගෙන ලංකාව ජනාවාස වීම සිදුවිය.

VI ස්‌ථිර වශයෙන් පැහැදිලි මූලාශ්‍රවල මෙරට ජනාවාස කළේ උතුරු ඉන්දියාවේ සිට පැමිණි ජනකොටසක්‌ බව දැක්‌වේ.

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමුවැනි කොටස අනුරාධපුර යුගය, අනුරාධපුර යුගයේ ජනාවාස ව්‍යාප්තිය, මහාචාර්ය G.V.P සෝමරත්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

"P.E.P. දැරණියගල" මහතා මහාවංශයේ වැට කඩොලු වලින් ඔබ්බෙහි මානව චර්යාව සොයාබැලූ ප්‍රථම විද්වතාය. එතුමා ලංකාවේ ජනාවාස පිළිබඳ වංශකතාව බලංගොඩ මානවයා දක්‌වා අතීතයට ගෙන ගියේය. ඒ හැරුණු විට පුරාණ ලංකාවේ ජීවත් ව ඇති එහෙත් අභාවයට ගිය "නිට්‌ටෑවා" නම් වනචාරී මනුෂ්‍ය කොටසක්‌ ගැන ද තොරතුරු අනාවරණය කළේය.

එතුමාගේ පුත්‍ර "ශිරාන් දැරණියගල" විද්වතා තම පියාගේ පිය සටහන් ඔස්‌සේ ඉදිරියට යමින් කළ පර්යේෂණ රාශියක්‌ ඉතිහාසයේ හා මානව ශිෂ්ටාචාරයේ නව පිවිසුම් මාර්ගයක්‌ විය. "පාහියන්ගල" "බටදොඹ ලෙන්" ආදී ස්‌ථාන රාශියක කළ පර්යේෂණ මේ සඳහා සාක්‍ෂි සපයයි. "විජය" ගැන සඳහන් වකවානුවට පෙර ලක්‌බිමේ විසූ අය යකඩ භාවිතයත් ලේඛනයත් දැන සිටි පිරිසක්‌ බවට සාධක ඉදිරිපත් කළේද විජයගෙන් මෙරට ජනාවාස වීය යන ප්‍රවාදය බිඳ දමමිනි. "රාඡ් සෝමදේව" මහතා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම් කළ විවිධ පර්යේෂණ මානව වංශකථාවට සැපයූවේ නව ආලෝකයකි. "රංචාමඩම", "බූන්දල", "හෝටන් තැන්න", "ඉබ්බන්කටුව" ආදී ස්‌ථානවල කළ විවිධ සොයා බැලීම්වලින් සනාථ වූයේ ලංකාවේ ජනාවාස බිහිවීම, වසර විසිපන් දහසකට වඩා ඈත කාලයකට හිමිකම් කියන බවකි.

ඉහත විද්වතුන් සියල්ලන්ගේ සොයාබැලීම්වලින් පැහැදිලි වන සත්‍යය නම් මහාවංශයෙන් හා ඒ අනුදත් ඉතිහාසඥයන්ගෙන් කියෑවෙන "විජයගෙන්" හෝ දඹදිවින් පැමිණි පිරිස්‌වලින් හෝ මේ රට ජනාවාස වීය යන මතය හුදු ප්‍රබන්ධයක්‌ පමණක්‌ම බවයි. ලක්‌ පොළොවෙහි විවිධ ස්‌ථාන තෝරාගෙන පර්යේෂණ කොට මානව වංශකථාව දුරාතීතයට ගෙන ගිය පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට පෙර අපේ අතීත කථාව විජය සිද්ධියට වඩා පැරැණිය යන මතය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළාහු මහපඬි "කුමාරතුංග මුනිදස්‌" හුය.

අනුරාධපුර යුගයේ ලියෑවුණු ජානකී හරණය සකු බසින් රචිත කාව්‍යයකි. එය කලෝ කුමාරදාස නිරිඳුතුමෝය. "සලමෙවන්" නිරිඳුන් කළ සියබස්‌ ලකර "දාර්ඩීන්ගේ කාව්‍යාදර්ශය" ගුරු තැන්හිලා කළ කෘතියකි. "ජානකී හරණය" යනු සීතා පැහැරගෙන යැමය. එය කළෝ රාවණ නිරිෙ¹aය. ඒ බව සඳහන් වන්නේ රාමායනය සතු වීර කාව්‍යයෙහිය. සකු සාහිත්‍යයත් ඒ හා බැඳුණු පුරාවෘතත් අනුරපුර යුගයේ අය දැන සිටියහ.

කෝට්‌ටේ යුගය වන විට "රාමසීතා" කතා සාමාන්‍ය ජනතාව අතර පවා ප්‍රකටව තිබූ බව ගිරා සන්දේශයේ එන අම්බලමේ කතාවලින් පැහැදිලි වේ.

අයෙක්‌ මිසදිටු ගත්

නොයෙක්‌ කව් නළු රස දත්

පෙර තම තමනු ගත්

රාමසීතා කතා පවසත්

(ගිරා සන්දේශ විවරණය කුමාරතුංග මුනිදාස සංස්‌කරණය 2002 ගොඩගේ ප්‍රකාශන)

තොටගමුවේ සිරි රහල් මාහිමිගේ රාවණ රජුත්, ඔහු පරපුරත් පිළිබඳව ඓතිහාසික තොරතුරු දැනසිටි මහ පඬිවරුවණක්‌ බව එතුමාගේ පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

තන් ලෝ තමා නතු කළ රවුළු සොහොයුරු

තුන්කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු

තුන් වේ පසිඳු පුලතිසි කුල මිණ තඹුරු

තුන් විට කම වදු එසුරිඳු පාතඹුරු

(සැලළිහිණි විවරණය - කුමාරතුංග මුනිදස්‌ - දසවැනි පැහැරුවුම - ගුණසේන සමාගම)

"රාමායණය" වීර කාව්‍යයක්‌මැ පමණක්‌ නොවේ. එය හින්දු ආගමික ග්‍රන්ථයකි. බහු දේව වාදයෙන් ඇරැඹි හින්දු ආගමික සංකල්ප "ත්‍රිමූර්තිය" දක්‌වා වර්ධනය වෙද්දී ලෝපාලක "විෂ්ණු" දෙවියන්ට ලැබුණේ ප්‍රමුඛත්වයකි. "රාම" යනු විෂ්ණු දෙවියන්ගේ එක්‌ පහළ වීමෙකි. ඉන්දියානුවෝ කිසි විටෙක "රාම" චරිතය කල්පිතයක්‌ සේ නොගනිති. රාම, ලක්‍ෂ්මන්, සීතා ආදීන් ඉන්දියානුවන් සලකන්නේ එක්‌ යුගයක ජීවත් වු චරිත ලෙසිනි. ඒ චරිත සත්‍ය ඒවා ලෙස සලකන විට "රාවණා" රජු ද ඉබේම සත්‍ය චරිතයක්‌ වෙයි. ඒ නිසා සියලුම භාරතවාසීන් රාමායනය සිදුවීම් සලකන්නේ එක්‌ කලෙක සිදුවූ සිද්ධි දාමයක්‌ වශයෙනි. "රාම රාවණා" යුද්ධය පිළිබඳව භාරතීය උගතුන් අතර මතභේද තිබුණද එය බොරුවක්‌ යෑයි කියන්නෝ නොවෙති.

ලංකාවේ ඈත අතීතයේ ජීවත් වූ ප්‍රතාපවත් "රාවණ" රජුන් පිළිබඳව සවිස්‌තර තොරතුරු ඉන්දියාවෙන් කියෑවෙන විට අපේ වංශකථාකරුවෝ ඒ කිසිවක්‌ නො ඇසූ කන්ව මුනිවත රකිති. "විජය" එනවිට මෙහි මනුෂ්‍ය වාසයක්‌ නැතැයි මුසා බස්‌ ද බෙනෙති. මේ නිසාම ඉන්දීය පුරාවෘත්තවල එන තොරතුරු විමර්ශනය කොට වංශකතාකරුවන් හිතාමතාම වසන් කළ පුවත් සොයා බැලීමට අපේ සමහර පඬිවරු පසුබට නොවූහ. "රාවණ" රජු ඓතිහාසික චරිතයක්‌ ද යන ප්‍රශ්නය නැගෙන්නේ මේ හේතුවෙනි. මහාවංශය වසන් කළ, කොඩ්රින්ටන් වැනි සුදු සිවිල් සේවා නිලධාරීන් උගැන්වූ ඉතිහාසය පිළිගන්නා, හැම විටම පුරා විද්‍යා සාධකම පතන්නා වූ සමහරු "රාවණ" රජුන් ගැන සිතීමටත් මැලිවෙති. ඔවුහු එය එකළොහට ප්‍රතික්‌ෂේප කරති. සකු සාහිත්‍යය මැනෙවින් හදාල කුමාරතුංග මුනිදස්‌ මහ පඬිහු මේ අතීත තොරතුරු විටින් විට ඉස්‌මතු කළහ.

"සිංහල නාමය ඇති වූයේ මෑතකදී ඒ නමට වයස අවුරුදු දෙදහස්‌ හාරසියයක්‌ පමණ වෙයි. හතර අවධියකට අපට නම් හතරක්‌ වූයේය.

දෛත්‍ය නාමය, රාක්‍ෂස නාමය, යක්‍ෂ නාමය, සිංහල නාමය මේ හතරයි. රාක්‍ෂස කාලයේ අපේ "රාවණ" රජතුමන් පමණ බලවතකු කිසිම රටක කිසිම කලෙක සිටි බවෙක්‌ නොපෙනේ. රාක්‍ෂයන්ට භය වූවෝ අපේ හතුරෝ."

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය දෙවැනි පොත 15 අපේ ජාතිය - කුමාරතුංග මුනිදාස කෘති එකතුව - පළමු වෙළුම සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව)

අවුරුදු හාර දහසකට පමණ පෙර මේ ලංකාද්වීපයේ රජතුමෝ "රාවණ" නම් වූහ. දක්‍ෂිණ ජම්බුද්වීපය ඇතුළු මහරට දසයකට අධිරාජ වූ හෙයින් "දශශීර්ෂ" යන විරුද නාමයෙන් ද ඔහු දක්‌නා ලදහ. විරුදනාමයන්ගේ වචනාර්ථයම සැලකූ ඇතැම්හු මෑත භාගයෙහි රාවණයන් සැබැවින්ම හිස්‌ දසයක්‌ ද අත් විස්‌සක්‌ ද ශ්‍රීවා දසයක්‌ ද ඇති ආශ්චර්ය සත්ත්වයකු කොට ගත්හ.

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය - හතරවැනි පොත - 4 රාවණ රජ)

දෛත්‍ය, රාක්‍ෂස සමයෙහි මෙන් යක්‍ෂ සමයෙහි ලංකාව ආඪ්‍ය වූ බවෙක්‌ නොපෙනේ. එහෙත් යක්‍ෂයන් බලවත් වූ බවටද මන්ත්‍රාදී ශාස්‌ත්‍රයෙහි නිපුණ වූ බවටද සැක නැත. ඔවුන් රිසි පරිදි අනූනම පෙනී හෝ නොපෙනී හෝ සිටි බව ඉතිහාසයෙහි සඳහන් වේ. ජම්බුද්වීප වාසීන් ඔවුනට මහත් බයින් විසූ බව එරට පවත්නා "යක්‍ෂ" කථාවන්ගෙන් මොනවට පැහැදිලි වේ.

(කුමාරතුංග මුනිදාස - ශික්‍ෂාමාර්ගය - හතරවැනි පොත - 8 තුන් නින්දාව)

රාවණ චරිතය ගැන කරුණු හැදැරීමට ඇති එකම ප්‍රබලම මූලාශ්‍රය රාමායණයයි. ඒ හැරුණු විට මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ ද යම් යම් තොරතුරු ඇතුළත්ය.


රාමායණය ඇසුරින් විවිධ පත පොත ලියූ ඉන්දීය පඬිවරුන්ගේ ලේඛනද දැන් දැන් පරිහරණය කරන බවක්‌ පෙනේ. රාවණ චරිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අපේ උගතුන් ඉදිරිපත් කරන්නේ පර්යේෂණාත්මක තාර්කික කරුණු වලට වඩා තමා ප්‍රිය කරන චරිතයට හා දෙයට අර්ථකතන සැපයීමය. මේ නිසා ඉදිරිපත් කරන කරුණු වල විශ්වාසනීය භාවයේ අගය අඩු වී ඇති බවක්‌ පෙනේ. රාවණ පරපුර ආරම්භ වූ අන්දම දක්‌වන්නේ මෙසේය. "මහා බ්‍රහ්මයාගේ" පුත් පුලස්‌ති රාවණ පරපුරේ ආදි පුරුෂයාය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිවු දෙනෙක්‌ සමග විවාහ වී ඇත. තෙවැනි බිරිය වූ "කෙකසී" (කේසනී) රාවණ, කුම්භකර්ණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය.

(දිවයින බදාදා අතිරේකය - 2011 -08- 03 ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය - මිරැන්ඩෝ අබේසේකර )

මේ පැහැදිලි කිරීම අනුව "රාවණ" මහා බ්‍රහ්මයාගෙන් ඇරැඹි පරපුරේ කෙනෙකි. එනම් ඉන්දියානුවෙකි. රාමායනයේ මේ පරම්පරා කථාව ඇතැම්හු පිළි නොගනිති. "රාවණ"යින්ගේ මෑණියන් වූ "කේසනී" අයත් වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවැතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ."

(දිවයින බදාදා අතිරේකය 2011-08-03 මිරැන්ඩෝ අබේසේකර)

සකු සාහිත්‍යයේ සඳහන් මේ තොරතුරු පිළිගන්නා අපේ පඬිවරු විටෙක රාවණ යකෙකු ලෙසත් තවත් විටෙක රකුසෙකු ලෙසත් දකිති. එසේම මහා බ්‍රහ්මයාගෙන් පැවත එනවාය යන පෙළපත් පුරාවෘත්තයද අදහති. "රාවණ" ලක්‌බිමෙහි සම්භවයක්‌ ඇත්තෙකු නම් ඔහු රකුසෙකු හෝ යකෙකු හෝ විය යුතුය. එවිට මහාබ්‍රහ්මයාගේ පෙළපත හා නොබැඳේ. "ශ්‍රී ලංකා රාවණ රජතුමාගේ රාක්‍ෂස රාජධානිය රාමායන කර්තෘ "වාල්මිකී" මුනිවරයාගේ හෝ වෙනයම් කවියකුගේ මනඃකල්පිත නගරයක්‌ නොවේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න - 7 අදියර 2010 කෘතිය මුද්‍රණය)

රාවණ සහ කුවෙර එකම පියෙකුට දාව (විශ්‍රවස්‌ට) මවුවරුන් දෙදෙනකු බිහිකළ සහෝදරයෝය. එහිදී රාවණ රකුසෙකු ලෙසත් කුවෙර යකෙකු ලෙසත් හැඳින්වීම සැබැවින්ම ගැටලු සහිතය. "කුවෙර" "වෛශ්‍රවණ", වෙසමුණි", "වෙසවන", යම යන නම් වලින් ද හැඳින්වේ. "ආටානාටිය" සූත්‍රයේ ද වෛශ්‍රවණ ගැන මනහර විස්‌තරයක්‌ එයි. එහි සඳහන් පරිදි හේ උතුරු දෙසට අධිපති වරම් දෙවි රජුය."

මේ පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ මහතා මෙබඳු අදහසක්‌ දරයි. "රාවණ" "විභීෂණ" ගේ සොහොයුරකු බවත් "රාවණ" විසින් සොහොයුරු "කුවේර" සිහසුනෙන් පහකරන ලද බවත් යට කියන ලදී. එසේ හෙයින් "යක්‍ෂයෙක්‌" වන "විභීෂණ" කුවේර රාක්‍ෂයෙක්‌ වන්නාසේම රාක්‍ෂයකු වූ රාවණා ද යක්‍ෂයෙක්‌ වේ. (සිංහලයන්ගේ මූලාරම්භය ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ ප්‍රථම මුද්‍රණය - 1993 ගුණසේන සමාගම)

මේ විග්‍රහයෙන් පැහැදිලි වන්නේ අපේ පඬිවරුන් "යක්‍ෂ - රාක්‍ෂ" යන වර්ගීකරණය පිළිබඳව නිරවුල් පැහැදිලි අවබෝධයක්‌ නොමැති බවකි. යක්‍ෂ හා රාක්‍ෂ - තනතුරු නාමයක්‌ ද මානව ග්‍රෝතයක්‌ ද නොවේ නම් ජෛව වර්ගීකරණයක්‌ ද යන්න සොයා බැලී නම් අගනේ ය. එසේ නොකරමින් පැරැණි වර්ගීකරණ නාමයක්‌ එසේම ග්‍රහණයට ගැනීම ශාස්‌ත්‍රීය කටයුත්තක්‌ නොවේ.

කාණ්‌ඩ හතකට බෙදා ශ්ලෝක 24,000 කින් ලියෑවී ඇති රාමායනය ක්‍රි. පූ. 3 වැනි සියවස වන විට සම්පූර්ණ වී තිබෙන්නට ඇතැයි නිශ්චය කෙරේ. (සංස්‌කෘත සාහිත්‍ය - ඨගීගඊග සේනානායක, ස්‌විතීය මුද්‍රණය 1960 ඵෘ. ගුණසේන සමාගම)

මේ යුගය වන විට හින්දු ආගමික සංකල්ප ඉතාම ශක්‌තිමත් වී "බ්‍රහ්ම විශ්ණු මහේෂ්වර" යන දේව ත්‍රිත්වයේ ප්‍රමුඛත්වය තහවුරු වී තිබුණි. එසේ නම් රාවණ පරපුර හා බැඳුණු තොරතුරු කාලීන වශයෙන් මෙය හා සම විය යුතුය. එහෙත් "රාවණ"රජුන් විසූ යුගය ලෙසින් ගැනෙන්නේ මීට වඩා වසර දෙදහසක්‌ තරම් ඈත යුගයකි. ඒ නිසා රාවණා රජුන් විසූයේ කවර කලෙක දැයි යන්න පවා නිරවුල්ව පැහැදිලි කරගත් බවක්‌ නොපෙනේ.

"රාවණ" පොළොන්නරුව (පුලත්නුවර) තම නමින් නම්කළ පුලතිසි (පුලස්‌ති) මහ රජුගේ මුණුපුරාද විස්‌වස්‌ (විස්‌රවස්‌) (ක්‍රි. පෙ. 2616-2556) රජුගේ හා නිකසාවගේ දෙටු පුත් කුමරාද වෙයි. (අරුන නිරුත අරිසෙන් අහුබුදු 2000 මුද්‍රණය සදීපා ප්‍රකාශන)

අරිසෙන් අහුබුදු සූරීන් රාවණා රජුන් විසූ යුගය දක්‌වන්නේ එසේය.

ක්‍රි. පූ. 1500 ට ආසන්න වකවානුවකදී ආර්යයන් ඉන්දියාවට පිවිසියේ කණ්‌ඩායම් වශයෙනි. (ඉන්දියාවේ ඉතිහාසය - ඈත අතීතයේ සිට ක්‍රි. ව. 1206 දක්‌වා අධ්‍යාපන ප්‍රකාශන දෙ. දෙවැනි මුද්‍රණය 2007)

අහුබුදු සූරීන්ගේ කාලනිර්මාණය පිළිගන්නේ නම් රාවණ රජුන් විසුවේ ආර්යයන් භාරතයට පැමිණීමට බොහෝ කලකට පෙරය.

රාවණ රජු ලංකා පුරයෙහි සිටියේ තුන්වැනි බුදු රදුන් වන "කාශ්‍යප" බුද්ධ කාලයේ බවට මෙයින් ඉගියක්‌ ලැබේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න 2010 සමයවර්ධන මුද්‍රණය)

මේ අතර මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණ රජුන් ගැනද සමහරු අවධානය යොමු කරති. සිවු හෙලය සිංහල වීයෑයි අදහන පඬිවරු සිව්හෙළය බෙදා දක්‌වන්නේද විවිධ අයුරිනි. නා කුලයේ හෙළයෝ ය. යක්‌ කුලයේ හෙළයෝයෑ, රකුස්‌ කුලයේ හෙළයෝයෑ අසුරු කුලයේ හෙළයෝය, යන මේ සිව් කුලයේ හෙළ ජනතාව දැයක්‌ වශයෙන් පෙනී සිටිනා විට ඔවුන් සිව් හෙළ යන නමින් එදා ලෙවියෝ හැදින්වූහ. (රුවන් පබැඳ - අලවුඉසිසැබිහෙළ - 1961 - ගුණසේන සමාගම)

අරිසෙන් අහුබුදු සූරීන්ද මේ සිංහල විග්‍රහය හා අර්ථකතනය පිළිගනී.

සූරිය ගුණසේකර සූරීහු "අසුර" යනු හෙළ ජාතියේ සාමූහික නාමය ලෙස දක්‌වති. ඔහු යක්‌, යකුස්‌, නා, දේව යන සතර කොටස අසුර යන නමින් එක්‌සත්ත්ව විසූ බව විශ්වාස කරති. (රිවිර - 2007 අප්‍රේaල් 22) මහාවංශයේද බුදුන් දවස ලක්‌දිව විසූ "දේව" නම් ජනකොටසක්‌ ගැන සඳහන් කරයි. "යක්‌, රකුස්‌, නා, අසුර යන සිව් හෙළයන් එකතුවී සිsංහල ජාතිය සැදුණු බව ඇතැමුහු පවසතුදු එය සාවද්‍යය. අසුර යනු හෙළ අධිරාජ්‍යයේ නමයි. (සූරිය ගුණසේකර -ලංකා ඉතිහාසයේ හෙළ යුගය) අසුරයින් යෑයි මා ප්‍රකාශ කළේ ඉරානයේ වාසය කළ ඇසිරියන්වරුන්ටය. ඔවුන්ගේ ජාතික සලකුණ සිංහයා. ඉරානයේ වාසය කළ අසුරයන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ඔවුන් පසු කලෙක උතුරු ඉන්දියානුවන් සමග මිශ්‍ර වූහ. (ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර කුලසාධනය විෂබීජයකි. දිවයින බදාදා අතිරේකය 2011 ජුනි 29)"

නාගොඩ ආරියදාස සෙනෙවිරත්න මහතා රාවණ පරපුර කතරගම "ධමරජ" පෙළපතට සම්බන්ධ කර දක්‌වන අතර ආරම්භකයා ලෙස දක්‌වන්නේ ස්‌වයංභූ නාරායනයි. "රාවණ" රජුන් ලියූ ග්‍රන්ථ රාශියක්‌ ගැන තොරතුරු දක්‌වන ඒ මහතා රාවණ රජුන් සිව බැතිමතෙක්‌ බවත් "ශිව භාණ්‌ඩ ස්‌තෝත්‍ර" නම් සකු නිර්මාණය එතුමාගේ බවත් පවසයි. මේ කරුණු වල විශාල පරස්‌පරතා ඇත. රාවණ ජීවත් වූ යුගය, සකු රචනා බිහිවූ කාලය රාවණ රජු භාවිත භාෂාව ගැන අළුතෙන් සොයා බැලිය යුතුය. "රාවණ" රජුන් ගැන රාමායනයේ සඳහන් තොරතුරු වලට අර්ථකථන සපයනවා වෙනුවට ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ සඳහා යොමු වන්නේ නම් මැනවි.

රාවණ යුගය, පිළිබඳ නව සොයා බැලීමක්‌ තුළින් නැවත රාවණ රජුන් සොයා යැම වඩා ශාස්‌ත්‍රීය වන්නේය.


1 Response to රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

December 20, 2012 at 4:36 AM

ravana raju yanu devathwayen tharam edahiya yuthu pudgalayeki.

Post a Comment

අදහස් සහ උදහස්