-->

Sunday, August 28, 2011

කේ.බී. මානෑව ගේ “ලග්ගල ජනවහර.......

1
ලග්ගල යන්න ලක්ෂ්‍ය පර්වතය යන අරුත මෙන් ලංකා ගල යන්න ද දනවයි. කේ.ඩී. පියදාසට අනුව (ලග්ගල පුරාණය, ඓතිහාසික මාතලේ 1982) ලග්ගල පර්වතය රාම රාවණා යුගය හා බැඳුණු ප‍්‍රාග් ඓතිහාසික වෘත්තාන්ත සඟවාගත් උස් කන්දකි.
ලංකා ඉතිහාසයේ ප‍්‍රාග් කඩඉම විචිත‍්‍ර කරන යක්ෂ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය පෙදෙස මෙය බව අනුමාන කළ හැකි ය.

 ඕනෑ ම පුරාකතාවකට, භූගෝලීය (Geographycal) සමාජ විද්‍යාත්මක (Sociological) සහ විශ්වීය (Cosmological)  ආදී තල තුනක් පවත්නා බව, ලෙව්ස්ට‍්‍රවුස් නම් මානව විද්‍යාඥයා පවසයි.
 ඒ අනුව රාවණ පුරාවතට ද එය සාධාරණ වේ. ලග්ගල ආශ‍්‍රිත පෙදෙසටත් බදුල්ල, නුවරඑළිය ආදී පෙදෙස්වලටත් රාම රාවණ පුරාවතට සම්බන්ධ අනන්‍යතා ඇති භූගෝලීය ස්ථාන නාම ඇති වූයේ ඒ අනුව ය. 
 
ෆින්ලන්ත මූලධර්මයක් වූ “භූගෝල විද්‍යාත්මක ජනශ‍්‍රැති මූලධර්මයෙන් කියැවෙන්නේ යම් ශ‍්‍රැතියක් කාලය ඔස්සේ පැතිරීමේ දී ඊට භූගෝලීය අනන්‍යතා එකතු වන බව ය. 
 
රාම රාවණ පුවතට ගාල්ලේ උනවටුණ පෙදෙස ද සම්බන්ධ වී ඇත්තේ ඒ අනුව ය. පුරාවතක විශ්වීය තලය ද රාම රාවණ පුවතට සම්බන්ධ ව තිබේ. රාම යනු විදුලිය යි.
රාවණා හෙවත් රවන යනු රාවය යි. 

සීතා යනු ශීත හෙවත් පස්පිඩැල්ල යි. බුදුහිමි විසින් යකුන් ලක්දිව සිට, ගිරි නම් දිවයිනකට පලවා හරින ලදැ යි සම්ප‍්‍රදායයේ කියැවේ.
ලග්ගල ජනවහරේ මෙන් ම මධ්‍යම ප‍්‍රදේශ ජනශ‍්‍රැතියේ ද (මා කළ ගවේෂණවල දී ලැබුණු තොරතුරු අනුව) යකුන් ලග්ගලින් ලොග්ගලට පලවා හරින ලදැ යි දැක්වේ.

මේ කියන්නා වූ ලොග්ගල, රාජාවලියේ දැක්වෙන සිරිස වත්ථූපුරය හෝ ඌවේලොග්ගල නම් පෙදෙස පී.බී. මීගස්කුඹුර, (1995) ලක්දිව වැදිජන පුරාණය) විය හැකි ය.
 රාධා කෘෂ්ණන් ගේ” ඉන්දීය දර්ශනයෙහි දැක්වෙන ලෙස අථර්වවේදයේ පවා දෙවියන් හා අසුරයන් ගැන පූර්ව කතාව දැක්වේ, 
 
පසු ව දෙවියන් විසින් අසුරයන් යටත් කරගන්නා ලද බව ය ඒ. ඍග්වේදයේ එන සුරාසුර යුද්ධය පිළිබඳ මූලික පුවතේ දේශජ අනන්‍යතාව වෙනස් ව ග‍්‍රීක හෙලස් පොන්ට් සටන බවට එය රූප විපර්යස්ථ වූ බව ද, ජනශ‍්‍රැති මූලධර්ම සාක්ෂ්‍ය සපයයි. 
 
(ධර්මබන්ධු අමරසේකර (1962) ඓතිහාසික ජනකථා) රාමරාවණ පුවත බවට ක‍්‍රම විකාශ වී ඇත්තේ ද ඒ මූලික ඍග්වේද කතාව ම බව ඇතැමකු ගේ මතය යි. ඉන්දීය කෆයර් (Kafirs)  ගෝති‍්‍රකයන් ගේ විශ්වාසය නම් ශිඛරය හෝ පර්වතය දෙවියන් ගේ සංකේතයක් බව ය.
 එසේ ම මහ පොළොවට ඉහළින් වසන්නා දෙවියෙකි. ඔහු දිව්‍යමය යානා භාවිත කරයි. පියාඹන අශ්වයා (Flying horse) රාජාලියා වැනි සංකේත ඒ දිව්‍යත්වය හා බැඳී පවතින බව, හැරල්ඩ් බේලේ (harold bayley,  1951) පවසයි.

 මේ නිසා ම ඇතැම්හු සීගිරිය ද රාවණ රාජ්‍යය බවත්, ඊට කාශ්‍යප ආරූඪ වූයේ පසු ව බවත් පවසති. (ආරියදාස සෙනවිරත්න (1991), ශ‍්‍රී ලංකා රාවණ රාජධානිය) මේ කියන්නාවූ විශ්වශ‍්‍රැති න්‍යායට ම, ආදම් හා ඊවා පුරාවෘත්තය ද එක්වන්නේ නිතැතිනි.
 ඇස්.ඩී. ද ලැනරෝල් (අපේ සමාජ ඉතිහාසය, 1950) ට අනුව දේව යනු ආර්ය වර්ගයේ ජනකොටසකි. ආදම් හා ඒව පලවා හරින ලද්දේ ද ඔවුන් විසිනි. දිව්‍යාවදාන නම් සංස්කෘත ග‍්‍රන්ථ යේ වලාහකස්ස ජාතකයේ ආභාසය සහිත ව ලියැවුණු සිංහල නම් වෙළෙන්දා ගේ කතාව කියැවේ. 
 
මිහිඳු කුලසූරිය සුසන්ත ප‍්‍රනාන්දු නම් අන්තර්ජාතික මාධ්‍යවේදියා ලියූ Alien Mysteries in Sri Lanka & Egypt (1997)  ග‍්‍රන්ථයේ , සමනොළ කන්ද , රිටිගල , සීගිරිය ආදී ස්ථාන පුරාණ ලෝක ශිෂ්ටාචාරයේ නොවිසැඳුණු අබිරහස් හා සම්බන්ධ කර ඇත.
 මේ හැම ස්ථානයක ම භූගෝලීය වශයෙන් එක් තැනක සිට තව තැනකට පුද්ගල නෙරපා දැමීමක් හෝ පලායෑමක් දැක්වේ. 
 
අධි ශක්තියකින් හෙබි යානයක් (අශ්වයකු , කුරුල්ලකු වැනි ) පිළිබඳ ව ද ඒ ඒ තැන දැක්වේ. කේ.ආර්. නෝමන්  (K.R. Norman) දක්වන අන්දමට, ගී‍්‍රක හා යුරෝපා දේශවලට විශ්ව පුරාණෝක්ති හා ජනකතා පැතිර ගියේ පුරාණ ඉන්දියාවෙනි.
ඔඩිසි හා ඉලියඩ් වැනි වීරකාව්‍ය වෙතට දේව අසුර සටන් කාන්දු වූයේ ඒ අනුව ඉන්දීය ඍග් වේදයෙනැ යි නොකිව හැකි ද?
  පුරා කතාවක වූ සමාජ විද්‍යාත්මක තලය රාම රාවණ කතාවට විශේෂයෙන් සුසන්ධි වෙයි. ඩී. ඩී. රණසිංහ (1959, පුරාවෘත්ත) දක්වන ලෙස රාවණ යනු පුලහස්ති ඍෂිවරයාට දාව අසුර කන්‍යාවකට උපන් පුත‍්‍රයෙකි.
එනයින් ඔහු අසුර හෙවත් යක්‍ෂ ගෝති‍්‍රකයෙක් වූයේ ය. ලග්ගල පෙදෙසේ අදත් “ අසුරමාන ජේඩිගේ “අසුරමානදේව ගේ “ ආදී වාසගම් කියැවීමෙන් මේ යක්ෂ පුරාවෘත්තයේ ඇති බලවත් සමාජ විද්‍යාත්මක සාක්ෂ්‍යය අප හමුවේ පෙනේ. 
 
චන්ද්‍රසේන තැන්නේ නම් මහතකු 1965 දී සංග‍්‍රහ කළ “ සිහිගිරි “ නම් පොතක, සීගිරිය ආශි‍්‍රත පෙදෙසෙහි ගැමියකු හා කරන ලද සම්මුඛ සාකච්ඡාවක් දැක්වේ. 
 
ඒ මිනිසා ඉතා ආඩම්බරයෙන් යුතු ව “ අපි පැවතෙන්නෙ යක්කුන්ගෙන් “ යි එහි පවසයි. මානෑව සූරීන්ගේ ලග්ගල ජනවහරෙහි තැන තැන පුද්ගල වාගාලාප අතර “ යකෝ” යන්න සඳහන් වේ. මේ වනාහි මේ පෙදෙසෙහි ජනයා යක්ෂ ගෝති‍්‍රකයන් සමඟ වූ සමීප සබඳතාව පෙන්වන්නකි.
  පුරාකතාවේදයට අදාළ ව පෙර තැනෙක දැක්වූ තුන් ඈඳුතු තල අතරින් සමාජ විද්‍යාත්මක තලය සම්බන්ධ තොරතුරු මානෑවයන් ගේ කෘතියෙහි වැඩිතර ව හමු වන බව පෙනේ.

 ඒ කෘතියට ආමුඛ සටහනක් සපයන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර , රාවණ අනන්‍යතාව හා ලග්ගල පිළිබඳව වැඩිතර අවධානයක් යොදයි. 
 
වසර 5000 ක් පැරැණි රාවණ කොඩිය ද , මේ කෘතියේ මුලට යොදා \නම විශේෂයකි. රාවණ රජු පිළිබඳ ව , ඉන්දීය පුරාණෝක්ති ඉක්ම වු විශේෂ අනන්‍යතාවක් ලග්ගල ජනවහර කෘතියෙන් අපට ලැබෙතැයි ද ඒ අනුව කිය යුතුවේ .

 ‘History repeat it self ’’ හෙවත් ඉතිහාසය පුනරාවර්තනය වේ යැයි කියමනක් ඇත. එය විල්හෙල්ම් වුන්ඩ් වර්ධනය කරනුයේ Teleological airection at human destinies  හෙවත් මනුෂ්‍ය දෛවයේ අවසාන හේතුව පිළිබඳ දිශාව “ යනුවෙනි.

 අප , පුරාකතා ගුඪ සංසිද්ධීන් ලෙස අඳුරට දමා තිබෙන දේ, නූතන විෂය මූලධර්ම දෙදරවමින් හිටිහැටියේ කි‍්‍රයාත්මක වෙයි. සුනාමි ව්‍යසනය ද “ කැලණිතිස්ස - විහාරදේවී “ පුරා කතාවේ පුනර්ප‍්‍රවර්තනයක් වූයේ ඒ අනුව ය.

 රාවණ ගේ වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ පුරාණ දැනුමකින් සන්නද්ධ වයස අවුරුදු අනූහතරක් වූ ප‍්‍රාංශුදේහධාරි මුදලිහාමි වර්ණසූරීය නමැත්තෙක් මේ මෑත දිනක දී, රෝගීව වෙසෙන මහැ’දුරු අනුරාධ සෙනෙවිරතත්න බැලීමට ආයේ ද ඉහත දැක් වූ පුනර්ප‍්‍රවර්තන කි‍්‍රයාවලියේ අවිවරණීය සාධකයක් ලෙසිනි.
ඒ වෛද්‍යවරයා ‘Doctor’ යන ඉංගී‍්‍රසි වචනය හඳුන්වන්නේ “ දොස්තොර “ යන සිංහල ඌරුවෙනි. ඒ මහතා විසින් ලියන ලද ඉංගී‍්‍රසි ග‍්‍රන්ථයක රාවණ රජු හැඳීන්වූණේ මෙසේ ය.
’ Ravana is the auther of Deha Dhmma , the Sri Lankan Herbalogy and Acupunture.. රාවණ වූකලී , ශී‍්‍ර ලාංකේය දේශිත ශාඛ ඖෂධවේදයේ හා කටුචිකිත්සාව හෙවත් දේහධර්ම විද්‍යාවේ කතුවරයා ය.”

 රාවණ රජු ශාඛ භක්‍ෂකයකු බවත්, නූතන අරිෂ්ට පෙරීමේ ආදි කර්තෘ ඔහු බවත් ඒ ලේඛනයේ දැක්වේ. අර්කප‍්‍රකාශ, කුමාර තන්ත‍්‍රය, නදී ප‍්‍රකාශ , ආදී පැරැණි ග‍්‍රන්ථයන්හි කර්තෘ රාවණ රජු බව “දොස්තොර මුදලිහාමි වර්ණසූරිය පවසයි. 

විලියම් ආර්. බැස්කොම් (William R. Bascom ) නම් මානෑව සූරින් ගේ ලග්ගල ජනවහර කෘතියෙහි අගය හා ගළපනු වටී. “ජනශ‍්‍රැතිය සන්නිවේදනයේ උපාංගයකි. (ශ‍්‍රැතිසන්නිවේදනය සිදු වන්නේ භාෂාව, වහර ප‍්‍රධාන වාහකය කරගෙන ය.
 එය සමාජයේ සියලු ආයතන අතර සංස්කෘතික පාලමක් සාදයි. ඒ පාලම හරහා ඊළඟ පරපුරට ද යුග අතර සංචාර කළ හැකි ය.” මානැවයන් ගේ “ලග්ගල ජනවහර” කෘතිය ද අධ්‍යහාරයෙන් ම යුග අතර බැඳුණු පාලමකි.

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20080914/_art.asp?fn=ar08091411

1 Response to කේ.බී. මානෑව ගේ “ලග්ගල ජනවහර.......

August 1, 2012 at 12:18 PM

api laggala kollo

Post a Comment

අදහස් සහ උදහස්