-->

Tuesday, August 23, 2011

දඹදෙණි යුගයෙන් ඇරැඹි දෙවිනුවර ඇසළ පෙරහර

0

දඹදෙණි යුගයෙන් ඇරැඹි දෙවිනුවර ඇසළ පෙරහර


කප් සිටුවීමේ මහෝත්සවයෙන් ඉකුත් 07 දා ඇරැඹි, පේළි පෙරහර 06 ක් අවසානයේ දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවන්නා විෂ්ණු මහා දේවාලයේ 754 වැනි රන්දෝලි මහා පෙරහර 13 දා සන්ධ්‍යාවේ වීදි සංචාරය කළේය. 13 දින සිට 20 දින දක්වා පෙරහර කඩයත්, 20 දා රාත්‍රී කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය හා 21 අලුයම මහා ගිනි පෑගීමේ මංගල්‍යයත් එදිනම උදෑසන දේව දානයත් පැවැත්වීමෙන් මෙවර ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ. උඩරට,, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් මාත්‍රා, වන්නම්, ශාන්තිකර්ම, ගැමි නැටුම් ආදී සියයකට ආසන්න නැටුම් ප්‍රමාණයකින් හා අලි ඇතුන්ගෙන් සමන්විත වූ මෙම පෙරහර දිවයිනේ පැරැණිතම පෙරහර ලෙස සැළකේ. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ශ්‍රී ලාංකේය ඉතිහාසයට එකතු වන්නේද දිවයිනේ පැරැණිතම දේවාලය ලෙසිනි.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඉතිහාසය සිංහලයේ ආරම්භක රජු විජය කුමරුගේ 7 වන මුණුපුරා ලෙස සැලකෙන රාවණා කුමරු, ඉන්දියාවේ රාම කුමරු සමඟ කරන ලද සුප්‍රසිද්ධ රාම රාවණා යුද සමය තෙක් දිව යයි. මෙම රාම, රාවණා යුද්ධය දෙවුන්දර ප්‍රදේශය මුල්කරගෙන පැවැති බව පැරැණි පුරාවිද්‍යාත්මක තොරතුරු සාක්ෂි දරයි. මෙහිදී රාමගේ වඳුරු හමුදාව කඳවුරු බැඳි, වඳුරුදෙණිය සහ රාවණාගේ හමුදාවන් කඳවුරු බැඳි රස්සන්දෙණිය, දෙවුන්දරට නුදුරු ගම්මාන දෙකක් ලෙස අදත් පවතී. මෙම යුද්ධයේදී රාමකුමරු රාවණා කුමරුට හිස ගැලවී යන ලෙස දුන්නෙන් විදින ලද්දේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට බව, දේවාලයේ පැරැණි ගල්කණුවක කොටා ඇති දුනුවායාගේ රුවට අදාළ ඓතිහාසික තොරතුරු සාක්ෂි දරයි. මෙම පාපයෙන් මිදීම සඳහා රාම කුමරු විසින් දෙවිනුවර ඓතිහාසික ගල්ගෙය කරවූ බවද කියවේ.



අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළ අයුරු

රාම රාවණා යුගයට නෑකම් කියන දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහර ඉතිහාසයේ දෙවිනුවර රජ කළ දාපුලසෙන් රජ සමය තෙක් දිව යයි. කෙසේ වෙතත් දඹදෙණි යුගයේ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දෙවියන්ට වූ බාරයන් ඔප්පු කිරීම වෙනුවෙන් පෙරහර ආරම්භ කර වාර්ෂිකව පවත්වාගෙන යාම සඳහා අණ ලබා දුන් බව කියවේ. එදා සිට මේ දක්වා ගණන් බැලූ කල මෙවර පැවැත්වෙන්නේ 754 වැනි පෙරහරයි. මුල් යුගයේදී පේළි පෙරහර දෙකක් සහ රන්දෝලි පෙරහර පවත්වා තිබෙන අතර පසුව පේලි 4 ක් හා රන්දෝලි පෙරහර වශයෙන් පවත්වා තිබේ. අද වන විට පේලි පෙරහර 6 ක් සහ රන්දෝලි වශයෙන් පෙරහර 7 ක් පවත්වනු ලබයි. කතරගම දේවාලයට වඩා දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පැරැණි එකක් බවට වූ සාක්ෂිද දෙවිනුවර දේවාලය ආශ්‍රිතව තිබෙන පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාදයේ එන තොරතුරු වලින් තහවුරු කර ගත හැකිය.


කතරගම දෙවියන් හා විෂ්ණු දෙවියන් දෙවිනුවරට ගොඩබැසි බවත් මත්ස්‍ය දුගද ඉවසීමට නොහැකිව කතරගම දෙවියන් සිය වාසස්ථානය ලෙස කතරගම තෝරාගත් බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. පිං ලබාගැනීම පිණිස පුද පූජා පවත්වන මිනිසුන්ට පිහිට වන දෙවි දේවතාවුන් අතර ප්‍රමුඛස්ථානය හිමි වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්ටය. ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරකිමින් තිසරණ සරණ ගිය බෞද්ධයන්ට ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට බැල්ම ආරක්ෂාව නොඅඩුව ලැබෙන බව පැරැන්නෝ දැඩි සේ විශ්වාස කළහ.


මිනිසාට සතා සිව්පාවාට මෙන්ම ගහකොළවලට සිදුවන විපත්, අපල උපද්‍රවවලින් ආරක්ෂාව පතා දෙවියන්ට කන්නලව් කිරීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. දෙවියන් සහ වර්ෂාව අතර ඇත්තේද සහ සම්බන්ධයකි. මිනිස් තිරිසන් ආදී සෑම වර්ගවල මෙන්ම සතුන්ගේත් ගහකොළවලත් පණ රැකෙන්නේ වර්ෂාවෙන් බව නොකිවමනාය. වසර දෙක තුනක් කලට හෝ අකලට වැසි නොලැබුණහොත් මහා විනාශයකට මුහුණ පෑමට සිදු වේ.


එනිසා අතීතයේ වර්ෂාව කොතරම් වැදගත්වීද යත් පැරැණි රජවරු වර්ෂාව භාර ඇමැතිවරයකුද පත් කිරීමට කටයුතු කර තිබුණි. පැරැණි පාලි පොත පතෙහි ‘වස්සකර’ යන නමින් හැඳින්වූයේ මොහුය. මෙම වැසි වැස්සවීම් සඳහා දෙවියන් වෙනුවෙන් කරන පූජෝපහාරයක් ලෙස පෙරහර ආරම්භ වී තිබේ. ඒ සඳහා ඇසල මස තෝරා ගෙන ඇත්තේ ආගමික වැදගත්කම මුල් කරගෙනය. පෙරහර ඇරඹෙන්නේ සුබ මොහොතින් කප් සිටුවීමෙනි. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කප් සිටුවීම ඉකුත් 30 දා පැවැත්විණි. කපයන්නේ තේරුම කණුවයි. රුක්අත්තන, කොස්, ආදි කිරිගහක කඳක් කපා කප සාදා ගනී. මේ සඳහා කිරි ගසක් යොදා ගන්නේ පාරිශුද්ධත්වය හා සශ්‍රීකත්වය සංකේතවත් කිරීමටය. මෙය නිවසක කණුවකට වඩා කුඩා විය යුතුය. බෞද්ධ ආගමික හා හෙල සිරිතට අනුව සුබ මොහොතින් කප් සිටුවීමෙන් ස්ථිරත්වය හා චිරාත් කාලයක් පැවැත්ම අපේක්ෂා කෙරේ.



බස්නායක නිලමේ, ආරච්චිල සහ පෙරමුණේ රාලලා, දේව පූජාව පැවැත්වීමෙන් අනතුරුව විෂ්ණු දේවාලයේ සිට පැමිණෙන අයුරු


පෙරහර ගමන් කරන බස්නායක නිලමේවරයා සංකේතවත් කරන්නේ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාය. පරාක්‍රමබාහු රජතුමා පෙරහැරේ ගමන් කරන විට ඊට පිටුපසින් ගමන් කළේ එතුමාගේ බිසව සහ ඇයගේ ඥාතීන්ය. එම බිසවගෙන් පැවත එන ඥාතීන් පෙරමුණේ රාලලා ලෙස අදත් අභිමානවත් ලෙස පෙරහරේ ගමන් කරයි. වර්තමානයේ ඔවුන් පරම්පරා දෙකකට අයත්ය. නිලවීර හා මුහන්දිරම් පරම්පරාවට අයත් මොවුන් අදත් ඇවරිය පන්දම බාරව පෙරහරේ ගමන් කරයි. පෙරමුණේ රාලලා බස්නායක නිලමේවරයාට පෙරහර ආරම්භ කරන ලෙස යෂ්ඨිය පිරිනැමීමෙන් ආරාධනා කරයි. එයින් පසුව පෙරමුණේ රාල සහ ආරච්චිල 4 දෙනා සමග බස්නායක නිලමේ දෙවිනුවර රජමහා විහාරයට ගොස් ආගමික වතාවත් සිදු කර ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් දේව පූජාව පවත්වනු ලබයි.


මෙම දේව පූජාවට සහභාගි විය හැක්කේ බස්නායක නිලමේ ප්‍රධාන කපු මහතා පෙරමුණේ රාලලා සහ ආරච්චිල හතර දෙනාට පමණි. මේ අතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සධාතුක කරඩුව අළුත්ගම කන්දේවිහාරයේ මංගල හස්තිරාජයා මත තැන්පත් කළ අතර සෙසු ආරාධිතයන් සධාතුක කරඬුවට මල් මාලා පූජා කළෝය. දේව පූජාවෙන් පසුව ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණා තේනබදු මහතා විසින් දේවාලයේ දොළොස් මහේ පහනෙන් ඇවරිය පන්දම දල්වන අතර චාරිත්‍රයක් ලෙස අනෙකුත් අය ඇවරිය පන්දම අල්ලාගෙන සිටී.


දෙවිනුවර පෙරහරට පමණක් ආවේණික මෙම ඇවරිය පන්දම අතීතයේ පෙරහර රාත්‍රී කාලයේ ගමන් කල බැවින් එයට ආලෝකය ලබාදීම පිණිස භාවිතා කළා යැයි සැලකේ. පෙරහර ගමන් කරන අතරතුර මග දෙපස රැඳී සිටින බැතිමතුන් ඇවරිය පන්දමට තෙල් වත්කරන අතර පන්දම යටින් බේරෙන තෙල් නැවත ඔවුන් තෙල් ගෙනා භාජනවලට එකතු කරගනු ලබයි. මෙම තෙල් නිවසේ තබා ගැනීමෙන් නිවසට විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බවත් ඒවා ශරීරයේ ආලේප කිරීමෙන් ලෙඩ රෝග සුව වෙන බවත්, ඔවුන් විශ්වාස කරයි.


ඊට පසුව දේවාලයේ සඳකඩ පහණ අසලට ඇවරිය පන්දම රැගෙන එන අතර ප්‍රථමයෙන් පෙරමුණේ රාලලා එයට තෙල් වත්කරනු ලබයි. ඊට පසුව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් ඇවරිය පන්දමට තෙල් වත්කිරීමෙන් අනතුරුව පෙරහර ඇරඹිනි. දෙවියන් වෙනුවෙන් පවත්වනු ලැබූ නැටුම් අංග කීපයක්ම අවසන් රන්දෝලි පෙරහරේ ගමන් කළේය. පත්තිනි දෙවියන් වෙනුවෙන් තෙල්මේ නැටුම, දෙවොල් දෙවියන් වෙනුවෙන් දෙවොල් නැටුම, කතරගම දෙවියන් වෙනුවෙන් මොණර නැටුම හා විෂ්ණු දෙවියන් උදෙසා විෂ්ණු මල් අස්න ආදී නැටුම් අංග ඒ අතර විය. පන්දම් පාලිය, මහාසෝනා යක්ෂ නැටුම, සැන්දෑ සමය, කලස් පාලිය, සළුපාලිය, හැන්දා කුමාර සමයම ආදී ශාන්ති කර්ම පදනම් කරගත් නැටුම් ද ශුද්‍ර මාත්‍රා, වඩිග පටුන, ගජගා වන්නම, සින්දු වන්නම, රිද්දියාගය, මාත්‍රා පහ ආදි පහතරට නැටුම් ද ලී කෙලි, මෝල්ගස් නැටුම, කොතලපදය, වේවැල් දඟරය, සමනල නැටුම ආදී ගැමි නැටුම්ද, පෙරහර වර්ණවත් කළේය.


සම්ප්‍රදායානුකූලව උඩරට වෙස් නැටුම පෙරටුකොට රජතුමා නියෝජනය කරමින් මහත් තේජසින් යුතුව, පෙරහරේ මහා භාරකාරවරයා ලෙස බස්නායක නිලමේ වරයාද ගමන් ගත්තේය. ‘දෙවිනුවර පෙරහර හා දේවාලය සම්බන්ධව දෙවිනුවර ධීවර ජනතාවගේ ඇත්තේද සහ සම්බන්ධයකි. පෙරහර කාලය තුල දෙවිනුවර ධීවර ජනතාව රස්සාවේ යෑම සම්පූර්ණයෙන්ම නවතා දමයි. ඔවුන් මහත් භක්තියෙන් යුතුව කාවඩී නැටුම් නටමින් පෙරහරේ ගමන් කිරීම දෙවිනුවර පෙරහරටම ආවේණික වූ අංගයකි.’ මුහුදේදී සිය ජීවිතවලට පූර්ණ ආරක්ෂාව රැකවරණය ලබා දෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔවුන් දැඩි සේ විශ්වාස කරයි. මෙවර පෙරහරේ ගෙනියන ලද කාවඩියක් ඊළඟ පෙරහර එනතෙක් සිය බෝට්ටුවේ රැගෙන යාමත් රස්සාවේ යෑමට ආහාර, ජලය, අයිස් ආදි සියලු සකලමනා බෝට්ටුවේ අඩුක්කුකර දේවාලයට පැමිණ පුද පූජා පවත්වා දේව රැකවරණය අයැද සිටීමත් මීට හොඳම නිදසුන්ය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට වඩා දෙවිනුවර ජනතාවට ඇසළ මංගල්‍යය භක්තිමත් සැණකෙලි සිරියක් ගෙන දෙන්නේද ඒ නිසාය.


ජයකාන්ත ලියනගේ

ප්‍රවෘත්ති නිලධාරී යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය



 

No Response to "දඹදෙණි යුගයෙන් ඇරැඹි දෙවිනුවර ඇසළ පෙරහර"

Post a Comment

අදහස් සහ උදහස්