Thursday, December 10, 2009

සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයි

0
මහාචාර්ය සිරි ගුනසිංහ
මහාචාර්ය සිරි ගුනසිංහ ඉංගිරිසියෙන් ලියූ’Sigiriya Kassapa’s Homage to beauty’ නම් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය පසුගියදා එළිදුටුවේය. සීගිරිය ගැනත් කාශ්‍යප රජු ගැනත් සීගිරි චිත‍්‍ර ගැනත් මහාචාර්ය ගුනසිංහ දක්වන අලුත් මත කීපයක් ම මේ ග‍්‍රන්ථයට ඇතුළත් ය. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමඟ කැරුණු සංලාපයකි.
සීගිරිය බලකොටුවක් නොවෙයි කියන එක ඔබ දක්වන අලුත් අදහසක්?
ඔව්. මේක බලකොටුවක් නෙමෙයි. මේක කාශ්‍යප රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස හිතන්න පුළුවන්. අනික කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරියේ ඉඳන් රජ කළේ නැහැ. සීගිරිය කියන්නේ මනුස්සයකුට දවස් තුන් සිය හැටපහම ජීවත්වෙලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. කාශ්‍යප රජ කළේ අනුරාධපුරයේ. අනුරාධපුරේ තමයි අපේ ජාතික සංකේත සියල්ල තිබෙන්නේ. සීගිරිය කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ නිවාඩුවක් ගතකරන්න, විනෝදයක් ගන්න හදාගත්තු තැනක්.
සීගිරියත් සමඟ කුවේර සංකල්පය බද්ධ කරගන්න මහාචාර්ය සෙනරත් පරණවිතානයන් උත්සාහයක් දරා තිබෙනවා. එය කුවේරයාගේ ආලකමන්දාවේ පිහිටි කෛලාස කූඨය බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
රජවරුන් දේවත්වයෙන් සලකන සම්ප‍්‍රදායයක් අපේ රටේ තිබුණේ නැහැ. ඔය පර්වතරාජ, චක‍්‍රවර්ති කියන සංකල්පත් ඒ වගේ. ඒ නිසා ඕවා විශ්වාස කරන්න බැහැ. කොටින්ම ඕවා මිත්‍යාවන්.
සීගිරිය උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගේ බවට අලුත් මතයක් කලකට ඉහත වටද්දර ඤාණිස්සර හිමියන් පළකර තිබුණා. (රිවිරැස 1989 ජනවාරි 29)
එහෙම අදහසක් මම මීට කලින් අහලා නැහැ. ඒක ඉතිං එක්ටැම් ගෙයක් වෙන්න බැහැනේ. ඒකට ඕනෑම කෙනකුට නඟින්න පඩිපෙළවල් හදලා තියෙනවා. ඒක විවෘත තැනක්. කාටත් ඇතුළුවෙන්න පුළුවන් තැනක්. ඔය වගෙ මත ඕනතරම් තියෙනවා. සීගිරිය නෙමෙයි මේක ‘සිහගිරි’ වෙන්න ඕනෑ කියලත් කියනවනේ. ඒක රාජා ද සිල්වාගේ අදහසක්. ඒ කියන්නේ රජු සිහි කිරීමට හදපු තැනක් කියන එක. එහෙත් සීගිරියේ පැහැදිලිවම සිංහ රූප තියෙනවා. ඒ නිසා ඒක ‘සීගිරිය’ වීම ගැන මතභේදයක තිබිය යුතු නැහැ.
සීගිරිය කාශ්‍යප රජුගේ ග‍්‍රහලෝකාගාරය බවටත් මත පළවී තියෙනවා. ආතර් සී. ක්ලාක් ලියූ ‘ෆවුන්ටන් ඔෆ් පැරඩයිස්’ (පාරාදීසයේ උල්පත්) නම් වූ විද්‍යා ප‍්‍රබන්ධයේද සීගිරිය ගැන කියැවෙනවා.
ඒකත් එක්තරා මතයක්. ආතර් සී. ක්ලාක් විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෙක්. ඔහු තමන්ගේ විෂයයට අනුව එබඳු අදහසක් දරනවා වෙන්න පුළුවන්. ඕවා නිකම් කතා කර කර ඉන්න නම් හොඳ මාතෘකා. හැබැයි ඓතිහාසික වශයෙන් නම් කිසිම වැදගත්කමක් නැහැ.
කාශ්‍යප රජ්ජුරුවෝ පීතෘ ඝාතකයෙක් නොවෙයි කියලත් ඔබ කියා තිබෙනවා.
ඔහු පීතෘ ඝාතකයෙක් කියලා මම හිතන්නේ නැහැ. ධාතුසේන රජු මැරීමේ චෝදනාව මා එල්ල කරන්නේ මිගාරටයි. මොකද ඔහුට රජු මරා දමන්න හේතුවක් තිබුණා. ඒ රජු ඔහුගේ මව මැරූ නිසයි. ඒ පලිය තමයි ඔහු ගත්තේ.
සීගිරි චිත‍්‍ර ගැන ඔබේ අලුත් ආකල්පයක් එහෙම තිබෙනවද?
මේ චිත‍්‍ර මාලිගාව සරසන්න, යන එන මාර්ගය ලස්සන කරන්න ඇඳපු නිකම් ගැහැනු රූප. ඉන් එහාට දෙයක් නැහැ.
සීගිරි චිත‍්‍ර ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන ප‍්‍රමුඛ විද්වතුන් එකිනෙකට පරස්පර වූ විවිධ මත පළකරලා තිබෙනවා. ඔබ කියන්නේ ඒවා වැරැදියි කියලද?
මම කියන්නේ මේකයි. මේවා හිතින් මවාගත්තු කල්පිත. මේ චිත‍්‍රවලින් නිරූපණය වන්නේ මේඝලතා හා විජ්ජුලතා යැයි මහාචාර්ය පරණවිතාන කියලා තියෙනවා. ඒ අදහස කල්පිතයක්. කල්පිත මතවල හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. මේක නම් ගන්නම ගන්න දෙයක් නැති කල්පිතයක්. පරණවිතාන කරන්නේ (ඔහු විතරක් නෙමෙයි මේක හුඟදෙනෙක් කරන දෙයක්) කිසියම් නිගමනයකට බැහැලා ඒක තහවුරු කරන්න සාධක හොයාගෙන යන එකයි. හරිනම් මුලින්ම කරන්න ඕනෑ සාධක හොයලා ඒ ඇසුරෙන් කිසියම් නිගමනයකට බහින එක.
පරණවිතාන තරම් මේ රටේ පුරාවිද්‍යාවට සේවය කරපු කෙනෙක් තවත් නැහැ. අපි ඒකට ගරු කරන්න ඕනෑ. එහෙත් ඔහුගේ මත දිහා වුණත් අභියෝගාත්මකව බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මෙතෙක් එහෙම අභියෝගයක් කරලා නැහැ කවුරුත්. ඔහු කියවපු ශිලාලේඛන ගැන වුණත් සීගිරි කුරුටු ගී ගැන වුණත් එහෙමයි. ඒවායින් සියයට අනූවක් ඇත්ත. ඉතිරි සියයට දහය සැක කටයුතුයි. ඒ සියයට දහය ගැන අලුත් කියැවීමක් කවුරුහරි කරන්න ඕනැ.
සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන්ය කියන ආනන්ද කුමාරස්වාමිගේ මතය තමයි අපේ රටේ බෙහෙවින්ම ජනප‍්‍රිය මතය.
ඒකත් මම පිළිගන්නේ නැහැ. අපේ රටේ තියෙන එක් වරදක් තමයි කවුරුහරි යමක් කිව්වොත් ඒ ගැන වැඩිදුරටත් හොයන්නෙ බලන්නේ නැතිව ඒ මතයේම එල්බගෙන ඉන්නවා. පොළොන්නරුවේ පොත් ගුල් විහාරයේ තියෙන පිළිමය මහා පරාක‍්‍රමබාහු රජු නිරූපණය වන්නක්ය කියලා කවුරුහරි කිව්වා.
ඊට පස්සේ අනික් ඔක්කෝම පිළිගත්තේ ඒ මතය. මොනව කිව්වත් මිනිස්සු ඒ අදහස වෙනස් කරන්නේ නැහැ.
ඇයි ඒක පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේ ප‍්‍රතිමාව නෙමෙයිද?
නැහැ. ඒ සෘෂිවරයකුගේ පිළිරුවක්. ඒක එක්කෝ අගස්ති සෘෂිවරයාගේ. එහෙමත් නැත්නම් පුලස්ති සෘෂිවරයාගේ. පොත්ගුල් විහාරය පවා හින්දු භක්තිකයන්ගේ මධ්‍යස්ථානයක්ව තිබූ බව පෙනී යනවා. ඒ කොටස විතරක් බෞද්ධ නොවෙයි.
සීගිරිය සොයාගත්තු එච්.සී.පී.බෙල් සීගිරි චිත‍්‍රවලින් සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති පිදුරංගල විහාරයේ වන්දනාවට යන බිසෝවරුන් හා පරිවාරිකාවන් නිරූපණය වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අදහස තවදුරටත් වර්ධනය කරන ඊ.බී.හැවල් කියා තිබෙන්නේ ඔවුන් තව්තිසා දෙව්ලොව පිහිටි විහාරයක් වඳින්න යන බිසෝවරුන්ය යන්නයි. ඒ වගේම ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතය තමයි ඔවුන් රජුගේ වියෝවෙන් තැවෙන බිසෝවරුන්ය කියන එක?
ගැහැනු රූපයක් තිබූ පමණින් ඒක අහවල් රජ්ජුරුවන්ගේ බිසවය කියලා කොහොමද කියන්නේ?
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වාගෙත් මහාචාර්ය අභය ආර්යසිංහගේත් මත ඊට වඩා හුඟාක් වෙනස්.
රාජා ද සිල්වා කියන්නේ ඔවුන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිසව වන තාරා දෙවඟන බවයි. ඔවුන් කාශ්‍යප රජ්ජුරුවන්ගේ දූකුමාරිකාවන් වූ බෝධි සහ උප්පලවණ්ණා බව මහාචාර්ය ආර්යසිංහගේ මතයයි.
ඒවත් මම අර කලින් කියාපු විදියේ කල්පිත මත.
ජනශ‍්‍රැතිවල දැක්වෙන ආකාරයට නම් එයින් නිරූපණය වන්නේ රාවණා රජුගේ බිසව වන මන්දෝදරී. පහත එන්නේ ඒ හා සම්බන්ධ තේරවිලි ජනකවියක්.
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරි සිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා
මම නම් ඔය කතාවවත්, කවියවත් අහලා නැහැ. ජනශ‍්‍රැතිවල වැදගත් සමාජ ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. ඒක මම නොපිළිගන්නවා නෙමෙයි. එහෙත් ඔය වගෙ අදහසක් පිළිගන්න අමාරුයි.
ඒ අතර මේ ඔක්කොටම වඩා වෙනස් මතයක් මාර්ටින් වික‍්‍රමසිංහ දරනවා. ඔහු කියන්නේ ඔවුන් දියකෙළින අන්තºපුරයේ බිසෝවරුන් බවයි.
ඒක දියකෙළින දර්ශනයක් නෙමෙයිනේ. අනික වික‍්‍රමසිංහට ඔය ගැන දැනුමක් නැහැ. තමන්ගෙ ඔළුවට ආපු අදහසක් තමයි ඔහු කියලා තියෙන්නේ. වික‍්‍රමසිංහ මේ විෂය ගැන දැනුමක් තියෙන කෙනෙක් නොවන නිසා ඒක විශේෂඥයකුගේ අදහසක් හැටියට ගණන් ගන්න බැහැ.
සීගිරිය නිර්මාණය කිරීමේ කාල නිර්ණය නිවැරැදි යැයි ඔබ හිතනවාද?
සීගිරි චිත‍්‍ර අයිති වෙන්නේ කාශ්‍යප යුගයට තමයි. එහෙත් ඔහු රජවුණායින් පස්සේ සීගිරිය නිර්මාණය කළායි කියලා හිතන එක නිවැරැදි නැහැ. ඔහුට රජකම් කරන්නයි, යුද්ධ කරන්නයි සීගිරිය හදන්නයි මේ ඔක්කොම එකට කරන්න වෙලාවක් නැහැ. ඔහු යුව රජ කෙනෙක් විදියට දක්ෂිණ දේශය පාලනය කරන කාලේ ටික ටික ඕක හදාගෙන එන්න ඇති.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ඉන්දියාවේ අජන්තා ලෙන් චිත‍්‍ර අතරත් සමානතා විද්වතුන් දකිනවා නේද?
ඔය මතය මුලින්ම පළ කළේ එච්.සී.පී.බෙල්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම අජන්තා චිත‍්‍ර දැකලා තියෙනවා. රසායන ශාස්ත‍්‍රයට අනුව ගත්තත් අජන්තා චිත‍්‍රවල රසායනික ලක්ෂණ සීගිරි චිත‍්‍රවල නැහැ. ඔතැන වෙලා තියෙන්නේ මේකයි.
බෙල් වගෙ අය සීගිරි චිත‍්‍ර දැක්කට ලංකාව පුරාම තැන් තැන්වල තිබුණු වෙනත් චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. ඔවුන් ගොනාගොල්ල, ඉසුරුමුණිය, කරඹගල වගෙ තැන්වල චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. දැක්කත් ගණන් ගත්තේ නැහැ. ඒවා බොහෝදුරට සීගිරි චිත‍්‍රවලට සමානයි. ඒවා නොදැක සීගිරි චිත‍්‍ර විතරක් දැක්කම ඔවුන්ට එහි අමුත්තක් පෙනුණා. ඔවුන් ඊට කලින් දැකලා තිබුණේ අජන්තා චිත‍්‍ර විතරයි. ඉතිං ඒවායේ සමානකමක් දැක්කා.
ආනන්ද කුමාරස්වාමි නම් සෘජුවම කියලා තියෙන්නේ සීගිරි චිත‍්‍ර ඉන්දීය ශිල්පීන් විසින් අඳිනු ලැබූ බවයි.
ඒක මම විශ්වාස කරන්නෙ නැහැ. සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයක්. අපේ රටේ අඛණ්ඩ චිත‍්‍ර සම්ප‍්‍රදායයක් තිබුණා. මේ රටේ එක වරදක් තමයි සිංහලයන් යමක් නිර්මාණය කළයි කියලා පිළිගන්න බයයි.
විජය රජ්ජුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි, මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි බුද්ධාගමත් ඉන්දියාවෙන් ආව තමයි. ඒත් හැම දෙයක්ම ඉන්දියාවෙන් ආවයි කියලා කියන එක නම් අතිශයෝක්තියක්. සීගිරි චිත‍්‍ර ඇඳපු සිත්තරාම එහෙමත් නැත්නම් ඒ පරම්පරාවම තමයි ඉසුරුමුණියේ චිත‍්‍ර ඇන්දෙත්. ඒවායේ යම් යම් සමානකම් තිබෙනවා.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ආසියාවේ විශේෂයෙන් පර්සියාවේ චිත‍්‍ර අතරත් යම් යම් සමානකම් තිබෙන බව බෙනිල් ප‍්‍රියන්තගේ අලුත් මතයක්. ඒ මතය වඩාත් තහවුරු වෙන්නේ මහාචාර්ය සිරාන් දැරණියගලගේ එක්තරා ප‍්‍රකාශයකින්. ඔහු කියා ඇත්තේ සීගිරි චිත‍්‍ර ඇඳීමට භාවිත කළ ඇතැම් වර්ණ (නිල්පාට) ඇෆ්ගනිස්ථානයෙන් ගෙන එන ලද බවයි. අජන්තා චිත‍්‍ර පවා පර්සියානුවන් ගේ නිර්මාණ බව පර්සි බ‍්‍රවුන්ගේ අදහස වී තිබෙනවා.
ඔය ගැන බෙනිල් ප‍්‍රියන්ත මාත් එක්ක කතා කර තියෙනවා. ඒත් සමානකම් තිබූ පමණින්ම එහෙම කියන්න බැහැ.
සීගිරි චිත‍්‍ර ඇඳීම සඳහා යොදාගෙන ඇති ශිල්ප ක‍්‍රමය මොකක්ද? විහාර බිතු සිතුවම් කලාවේ ෆෙ‍්‍රස්කෝ (FRESCO)හා ටෙම්පරා (Tempera)යනාදි වශයෙන් රීතින් දෙකක් තිබෙනවනේ.
මේක ටෙම්පරා. ඒ කියන්නේ වියළි බදාමයක් මත ඇඳපු චිත‍්‍ර විදියට ගන්න පුළුවන්.
හිඳගල විහාරයේ බිතුසිතුවම් සීගිරි චිත‍්‍රවල වර්ණ හා ශිල්ප ක‍්‍රමය අනුව නිමවන ලද බව මහාචාර්ය පරණවිතාන කියලා තිබෙනවා. ඔබ මේ චිත‍්‍රවල සමානකමක් දැකලා තිබෙනවද?
මම නම් එහෙම සමානකමක් දැකලා නෑ. පොළොන්නරු යුගයේ වෙනකොටම එතෙක් තිබුණු චිත‍්‍ර සම්ප‍්‍රදායය වෙනස් වෙලා.
සීගිරියට ආසන්න ලෙන්වලත් (විශේෂයෙන් නයි පෙන ගුහාවේ, දැරණියගල ගුහාවේ) චිත‍්‍ර තිබෙනවා. එසේම මේ මෑත (2004 දී) සීගිරියෙන්ම (කැටපත් පවුරේ පිටත බිත්තියේ) තවත් චිත‍්‍ර සටහන් හමුවී තිබෙනවා. මුලින්ම දක්වපු ලෙන් චිත‍්‍ර අතිශය සුවිශේෂත්වයකින් හා විචිත‍්‍රත්වයකින් පරිපූර්ණයි කියා මහාචාර්ය සේනක බණ්ඩාරනායක කියා තිබෙනවා.
සීගිරි ගලේම චිත‍්‍ර 500ක් විතර තිබුණයි කියලා කියනවනේ. ඉතිං ඒ චිත‍්‍රවල යම් යම් රූපසටහන් ඉරිකෑලී වරින් වර මතුවෙන්න පුළුවන්. නයි පෙන ගුහාවෙත් චිත‍්‍ර තිබෙනවා. ඒත් ඒවායේ සමානකම් නම් මම ඒතරම්ම දැක්කේ නැහැ. සමාන වුණත් නැතත් ඒකේ ප‍්‍රශ්නයක් නැහැ. ඒවායින් අලුත් අදහසක් මතුකරගන්න බැහැ.
උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20080601/_art.asp?fn=ar0806011

No Response to "සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයි"

Post a Comment

අදහස් සහ උදහස්

..