(1) බුදුන් පිරිනිවි ක්‍රි. පූ. 543 දී ලංකාවට ගොඩබට විජය හා හත්සියයක් පිරිසගෙන් සිංහල ජාතිය ඇරඹුණු බව සහ
(2) කුවේණි කුමරිය විජයට දාව ලද දරුවන් දෙදෙනාගෙන් පුලින්දයන් පැවත එන බව
යනු එම කාරණාවෝ වෙති. ඒ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ "මේ සිංහලයන්ගේ දේශයයි" යන හිසින් 2009 මැයි මස 20 දින දිවයින බදාදා අතිරේකයට ලියන ලද ලිපිය මගිනි. ලිපියේ මාතෘකාව ගැන සලකා බලන විට එයින් ප්‍රකාශිත අදහස පිළිබඳ කිසිදු විවාදයක් පැන නොනගින නමුත්, ලිපියේ අන්තර්ගතය තුළ ලංකා රාජ්‍යයේ සිංහලයන්ගේ වාසය කිරීම විජයාගමනයට පෙර පටන් සිදුවූ බවත්, ඒ නිසා විජයගෙන් සිංහලයන් ඇතිවීම ප්‍රතික්‍ෂේප වන බවත් පවසා තිබීම නිසා දීපවංශය හා මහාවංසය අභියෝගයට ලක් වන බැවින් ඒ පිළිබඳව විමසා බැලීමේ අවශ්‍යතාවක් පැන නගී.
මීට වසර දෙකකට පමණ පෙර සූරිය ගුණසේකර මහතා තම "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 113 පිටුවේ විජයාගමනය හා සිංහල ජාතිය පිළිබඳ කර ඇත්තේ පහත සඳහන් ප්‍රකාශයකි.
"හෙළ යන හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනය සිංහල වේ. මේ අනුව සිංහල යනු සංස්‌කෘත වචනයකි. සිංහල යනු සිව්+හෙළ යන වචන දෙක සන්ධිවී සෑදුණු බව තවත් අය පවසති. එය තරමක මුළාවකි. ඊට හේතුව නම් හෙළ යුගයේ දී පවා ඔවුන් යක්, රකුස්, නා, දේව යන ප්‍රධාන කොටස් 4 කින් යුක්‌ත වීමය. නමුත් විජයාගමනයට පෙර සිංහල යනුවෙන් භාවිතයක් නොවීය."
එදා එසේ කී ගුණසේකර මහතා වසර දෙකකට පසුව දැන් පවසන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි. එනම් විජයගෙන් සිංහලයන් ඇතිවීම ප්‍රතික්‍ෂේප වන බවය. යම් කාරණයක් පිළිබඳ නව පර්යේෂණ මගින් අලුතින් සාක්‍ෂි සොයා ගත් විට විද්වතුන්ගේ මුල් අදහස් වෙනස්‌වීම බලාපොරොත්තු විය හැකි දෙයකි. නමුත් සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ කලින් ප්‍රකාශ කළ දෙයට ඉඳුරාම පටහැනි අලුත් නිගමනයකට එළඹීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි එතුමාට ලැබී තිබේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
සූරිය ගුණසේකර මහතාගේ ලිපියෙන් පෙනෙන පරිදි එතුමා තුළ මෙම නව අදහස පහළවී ඇත්තේ කාරණා දෙකක් නිසාය. පළමුවැන්න, ලෝක බැංකුවේ සභාපති මැක්‌නමාරා මහතා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකි. අනෙක එතුමාට මෑතකදී "මහාභාරත" මහා කාව්‍යයේ මුල්ම ඉංගී්‍රසි පරිවර්තනයක් කියන්නට ලැබී එහි කීප පළක "සිංහල" යන වචනය යෙදී තිබෙනු දකින්නට ලැබීමය.
මුල් කාරණය ගැන සඳහන් කරන ගුණසේකර මහතා "මනුෂ්‍යයන් මුල් වරට මෙරට පදිංචි වී වසර 383 ක් ගතවූ පසු දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑය කළ බව අනුරාධපුර දිසාපති විසින් කී විට ලෝක බැංකුවේ සභාපති මැක්‌නමාරා පැවසුවේ අඩුම තරමින් වසර 1000 ක් හෝ ගත නොවී එවැනි කාර්යයක් කළ නොහැකි බව" යෑයි සඳහන් කර ඇත. "මනුෂ්‍යයන් මුල් වරට මෙරට පදිංචි වී" යන පාඨයෙන් අදහස් වන්නේ පිටතින් පැමිණි පිරිසක් මුලින්ම මෙහි පදිංචිවීම බව අප විසින් තේරුම් ගත යුතුව ඇත. ලංකා පොළොවෙන්ම ජනනය වූ මනුෂ්‍ය පිරිසකට "පදිංචිවීම" පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගින හෙයිනි. ඒ අනුව දිසාපතිවරයා අදහස් කර ඇත්තේ විජයාගමනය විය හැකිය. මැක්‌නමාරා මහතාගේ ප්‍රකාශයෙන් අදහස් කර ඇත්තේ එවැනි පිරිසකට වසර 1000 ක් පමණ ගත වන තුරු රුවන්වැලිසෑ කර්මාන්තය වැනි කාර්යයක් නිම කිරීමට නොහැකි බවද? නැතහොත් වසර 383 කට පසුව එවැන්නක් කිරීම විශ්මයජනක බව වක්‍රොක්‌තියෙන් ප්‍රකාශ කළ බව දැයි හරිහැටි නොදනිමු. සූරිය ගුණසේකර මහතා තේරුම් ගෙන ඇත්තේ පළමුවැන්න බව පෙනේ.
කෙසේ වෙතත් මැක්‌නමාරා මහතාගේ දේශනය දිසාපතිවරයාගේ කතාවට පසුව යෙදෙන්නට ඇති නිසා එම ප්‍රකාශයට පිළිතුරක් දීමට දිසාපතිවරයාට අවස්‌ථාව නොලැබෙන්නට ඇත. එසේ ලැබුණා නම් දිසාපතිවරයා විසින් කිවයුතුව තිබුණේ වර්ෂ 1492 දී කොළොම්බස් විසින් මුල් වරට සොයා දැනගැනීමෙන් පසු 1565 දී මුල්ම ස්‌පාඤ්ඤ ජනපදයත් 1733 දී අවසන් ඉංගී්‍රසි හමුදා ජනපදයත් පිහිටුවා 1776 දී නිදහස් රාජ්‍යයක් බවට පත්වූ අමෙරිකාවට වසර 165 ක් තරම් කෙටි කාලයකදී ජපානයට පරමාණු බෝම්බ හෙළා ලෝක සංග්‍රාමයෙන් බ්‍රිතාන්‍යයට ජය ලබා දීමට තරම් ප්‍රබල රාජ්‍යයක් වීමට හැකි වූයේ නම් ලක්‌දිව ආර්ය ජනපද පිහිටුවූ සිංහල සංක්‍රමණිකයන්ට වසර 383 කට පසුව රුවන්වැලි සෑය ඉදිකිරීමට නොහැකි වන්නේ කුමක් නිසා ද යන්නය.
විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් සිටි බව ඔප්පු කිරීම සඳහා ගුණසේකර මහතා සාක්‌ෂි වශයෙන් ඊළඟට ඉදිරිපත් කර ඇත්තේ රාමායනය සහ මහාභාරතය යන භාරතීය මහා කාව්‍ය දෙකෙහි ලංකාව හා සිංහලයන් පිළිබඳ කර ඇති යම් යම් සටහන්ය. ඒ පිළිබඳ ගුණසේකර මහතා මෙසේ සඳහන් කරයි.
"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය."
ගුණසේකර මහතා එසේ සඳහන් කර ඇතත් එම මහා කාව්‍ය කියවා ඇති අතීත සහ නූතන වෙනත් කිසිදු පඬිවරයකු විසින් එම ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරු අප රටේ ඉතිහාසය නිශ්චය කිරීම සඳහා සාක්‍ෂි වශයෙන් සලකා නැත. විශේෂයෙන්ම සිංහල ජාතියේ ඉතිහාසය පිළිබඳ මුලාශ්‍රය ග්‍රන්ථයක් ලෙස රාමායණයේ කිසිදු වටිනාකමක් නොමැත්තේ එහි සිංහලයන් පිළිබඳ කිසිවක් සඳහන් නොවන නිසාය.
විජයාගමනයට පෙරත් ලංකාවේ සිංහලයන් විසූ බව සූරිය ගුණසේකර මහතා පවසන්නේ රාමායණය සහ මහාභාරතය යන ග්‍රන්ථ දෙකම ක්‍රි. පූ. 6-9 සියවස් අතර ලියෑවී ඇතැයි යන නිගමනයෙහි පිහිටාගෙනය. මෙම ග්‍රන්ථ දෙක ලියන ලද කාල වකවානුවක් ගැන ඒවායේ සඳහන්ව නැති නිසා සූරිය ගුණසේකර මහතා එම නිගමනයට එළඹ ඇත්තේ කෙසේ දැයි පැහැදිලි කළේ නම් පාඨකයාට ඒ පිළිබඳ අදහසක් ඇතිකර ගත හැකිවනු ඇත. මෙම ග්‍රන්ථ දෙක පිළිබඳ සඳහන් කරන විද්වතුන් බහුතරයක් විසින් එම නාමයන් පෙළගස්‌වනු ලැබ ඇත්තේ රාමායණ, මහා භාරත යන අනුපිළිවෙළ අනුවය. ඒ රාමායණයට පසුව මහා භාරතය ලියෑවී ඇතැයි යන අදහසිනි. සූරිය ගුණසේකර මහතා එම නාමයන් පෙළගස්‌වා ඇත්තේ මහාභාරතය, රාමායණය යන අනුපිළිවෙළ අනුවය. එතුමා සිතන්නේ මහාභාරතය රාමායණයට වඩා බොහෝ පැරණි ග්‍රන්ථයක් බවය.
රාමායණය ලියවී ඇති කාලවකවානුව ගැන පෙර අපර දෙදිග පඬුවන්ගේ අදහස් මෙන්ම සංස්‌කෘත සාහිත්‍යය, ශිලාලේඛන, ශිව, ජෛන, බෞද්ධ මූලාශ්‍ර ආදිය ද ඇසුරු කරමින් දීර්ඝ විග්‍රහයක යෙදෙන අප රටේ විශිෂ්ට සංස්‌කෘත පඩිවරයකු වන ආනන්ද ගුරුගේ මහතා ,ඔයෑ Sදජසැඑහ දෙ එයෑ Raප්හ්බ්, නමැති තම ග්‍රන්ථයේ 41 පිටුවේ දක්‌වා ඇති නිගමනයන් හි සිංහල අදහස මෙසේය.
(1) රාමායණයට පාදක වූ කතා පුවත යටත් පිරිසෙයින් ක්‍රි. පූ. 400 ට පෙර පැවති අතර එහි පූර්ව රචනය ක්‍රි. පූ. 300 පමණේදී බිහිවන්නට ඇත.
(2) එම මහා කාව්‍යයේ තුන්වන හා සිවුවැනි වර්ධනීය අවස්‌ථාව ක්‍රි. පු. 300 හා ක්‍රි. ව. 100 අතර කාලයට අයත් වේ.
(3) එහි උත්තර කාණ්‌ඩය ක්‍රි. ව. 1 වන සියවසේ මැද භාගයේදී පැවැතී ඇත.
(4) වාල්මීකිට අදාළ නව ශ්ලෝක බන්ධනය ක්‍රි. ව. 2 වන ශතවර්ෂයේදී බිහි විය. ඒ අනුව රාමායණයේ ඇතුළත් සමාජ තොරතුරු ක්‍රි. පූ. 4 වන හා ක්‍රි. ව. 2 වන සියවස් අතර කාලයට අයත් වේ.
ජී. එස්. බී. සේනානායක මහතා විසින් පරිවර්තිත ඒ. බැරිඩේල්කීත්ගේ "සංස්‌කෘත සාහිත්‍ය ඉතිහාසය" ග්‍රන්ථයේ (ඇම්. ඩී. ගුණසේන) 59 පිටුවේ රාමායනය ගැන මෙසේ සඳහන් වේ.
"ක්‍රි. පූ. 400-200 අතරතුර කාලයේ වෙසෙන්නට ඇතැයි සැලකෙන වාල්මීකි සහ ඔහුගේ සහායකයෝ පැහැදිලිවම මේ රාජකීය මහා කාව්‍යයේ නිත්‍යානුකූල පෞරාණිකයෝ වෙති."
ඉහත සඳහන් කරන ලද ආනන්ද ගුරුගේ මහතාගේ ග්‍රන්ථයේම 50 වන පිටුවේ දක්‌වා ඇති විස්‌තරයෙන් මහා භාරතය රාමායණයට පසුව ලියන ලද්දක් බව පැහැදිලි කර ඇත.
"එය (මහාභාරතය) ඉතා විශාල කෘතියක් වන අතර වැඩී වර්ධනය වීමේදී පුළුල් කාල පරාසයක් ආවරණය වී ඇත. මහා භාරතය පිළිබඳ දැන සිටි බවත් රාමායණයෙන් අනාවරණය නොවන අතර මහා භාරතයේ අග කොටසේදී රාමායණ කතා පුවතේ සාරාංශය පමණක් නොව රාමායන ග්‍රන්ථය ගැන හා එහි කතුවර වාල්මීකි ගැන ද සඳහන් කර තිබේ. මහාභාරතයේ රාමායණයට පූර්ව තොරතුරු මෙන්ම රාමායණයෙන් පසු කාලයේ තොරතුරු ද සඳහන් වෙයි. එහෙත් වැඩි වශයෙන්ම තොරතුරු ඇතුළත් වන්නේ රාමායණය රචනා කරන ලදැයි සැලකෙන ක්‍රි. පූ. 400 සිට ක්‍රි. ව. 200 දක්‌වා කාල පරාසය තුළය."
මෙම කරුණු අනුව රාමායණය හා මහා භාරතය යන කෘතීන් දෙකම රචනාවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකදී බව කිව හැකිය. ඒ වන විට විජයාගමනය සිදුවී තිබිණි. එසේ නම් රාමායණයේ සිංහලයන් ගැන සඳහන් නොවන්නේ කුමක් නිසැදැයි කෙනකුට ප්‍රශ්නයක් නැගීමට පුළුවන. එම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ඇත. රාමායණයේ සඳහන් "ලංකා පුරය" යනු අපගේ ලංකා දිවයින නොවේය යනු එම පිළිතුරය. එම ලංකා පුරය කල්පිත නගරයකි. එහි රාවණ රජු සහ ඔහුගේ රාක්‌ෂය ජනයා වාසය කළ බව රාමායණය. දක්‌වයි. විවිධ ජාතීන් විසින් අපේ දිවයින හඳුන්වා තිබුණේ තම්බපණ්‌ණි, තැප්‍රොබේන්, ස්‌වර්ණදීප, සෙරන්ඩිබ්, රත්නදීප, සීහලක, සිංහලද්වීප, සිහිලක, සලිකේ යනාදී නම්වලිනි. රාවණගේ ලංකාපුරය දක්‌ෂිණ භාරතයේ මුහුදෙන් එතෙර පිහිටි බව රාමායණයේ සඳහන්වීම නිසා එම පුවත සත්‍ය කතාවක් ලෙස විශ්වාස කළ ජනයා එම මුහුදෙන් එතෙර පිහිටි "ලංකාපුරය" යනු අපගේ දිවයින ලෙස සිතන්නට පෙළඹීම නිසා ඊට "ලංකා" නාමය ද තහවුරු විය. මෙය කොලොම්බස් විසින් කැතරි දිවයින් බටහිර ඉන්දියා දූපත් ලෙස වරදවා නම් කිරීම හා සමකළ හැකි සිද්ධියකි. කොලොම්බස්‌ගේ එම වැරදීම නිසා අදත් එම දූපත් වාසීහු බටහිර ඉන්දියානු කොදෙව්වන් නොහොත් රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වෙති.
රාමායණයේ සඳහන් "ලංකාපුරය" අපගේ දිවයින නොවන්නාසේම එහි සඳහන් වන රාවණ, කුම්භකර්ණ, විභීෂණ ආදීහු ද අප රටට සම්බන්ධයක් ඇති චරිත නොවෙති. රාමායණය ලියෑවී ඇත්තේ කතාන්තර දෙකක් එකතු කිරීමෙනි. එකක් බෞද්ධ දශරථ ජාතකයයි. එහි සඳහන් වන පරිදි රාමකුමරු සීතා සහ ලක්‌ෂමන් සමග වනවාසයට ගිය අවස්‌ථාවේදී සීතාව රකුසකු විසින් පැහැරගෙන යැමේ පුවත අනෙක් කතාවය. ඊට පසුබිම් වන්නේ දක්‌ෂිණ භාරතයේ (වත්මන් ඩකෑන් ප්‍රදේශය) රාක්‌ෂස නමින් එවක හඳුන්වන ලද වනචාරී ජනයා වාසය කළ ප්‍රදේශයයි. ආර්ය ව්‍යාප්තිය දක්‍ෂිණ භාරතීය ප්‍රදේශ කරා යොමු වුණු වකවානුවේදී එහි පුරෝගාමීන් වූයේ සෘෂිවරුන් නමින් හැඳින්වුණු පූජක පන්තියයි. මෙම පූජකයන්ගේ ආශ්‍රමවල යාගහෝම පූජාවලට රාක්‍ෂසයන්ගෙන් නිතර බාධා හිරිහැර පැමිණුන බව සකු සාහිත්‍යයේ සඳහන් වේ. සීතා පැහැරගෙන යැමේ සිද්ධියෙන් නිරූපණය වන්නේ ද මෙම ගැටුමය. එම පැහැරගෙන යැමේ සිද්ධියට යොදාගෙන ඇති රාවණ වනාහි සංස්‌කෘත පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් පෞලස්‌ත්‍ය රාක්‌ෂස ගෝත්‍රයට අයත් චරිතයකි. පෞලස්‌ත්‍ය Rෂිවරයාගෙන් පැවත එන මෙම ගෝත්‍රය පිළිබඳ ඉතිහාසය වායුපුරාණය (70-29(56) බ්‍රහ්මාණ්‌ඩ පුරාණය (සසස-ඊල 34-62) ලිංගපුරාණය (1, 63, 55-66) කුර්ම පුරාණය පද්මපුරාණය යන ග්‍රන්ථවල ද මහාභාරතයේ (1(66(2751) ද සඳහන් වේ.
එම තොරතුරු අනුව "මනුගෙන් ආරම්භ වන වෛශාලී පරපුරට අයත් තෘණබින්දුගේ දුහිතෘ "ඉල්විලා" කුමරිය පෞලස්‌ත්‍ය හට පාවා දෙනු ලැබිණ. එම දෙදෙනාට උපන් පුත්‍රයා "වෛශ්‍රවස් ඉල්විලා" නම් වූ අතර ඔහු නර්මදා නදී තීරය සිය වාසභූමිය කර ගත්තේය. වෛශ්‍රවස් හට භාර්යාවන් සිවුදෙනකු වූ අතර ඔවුන් අතරින් බ්‍රහස්‌පතීගේ දියණිය වූ "දේව වර්ණනිය" කුස උපන් පුත්‍රයා කුවේර වෛශ්‍රවණ නම් විය. ඔහුට දරුවෝ සිවුදෙනෙක් වූහ. "නලකූබර, රාවණ, කුම්භකර්න, විභීෂණ යන පිරිමි දරුවන් සහ "ශුර්පනඛා" යනු දුවණියයි. සීතා පැහැරගෙන යැමේ කතා පුවතට මෙම චරිත සම්බන්ධ කරගෙන ඇත. ඉහත සඳහන් "කුවේර" සියලු යක්‌ෂයන්ගේත්, පෞලස්‌ත්‍ය සියලු රාක්‌ෂයන්ගේත් රජුන් ලෙස පුරාණ සාහිත්‍යයේ සඳහන් වේ. ඒ නිසා රාක්‌ෂසයෝ "පෞලස්‌ත්‍ය රාක්‌ෂස" නමින් හැඳින්වෙති. පෞලස්‌ත්‍ය රාක්‌ෂසයන් හිමාල අඩවිය වාසභූමි කරගත් බවට සටහන් රාමායණයේ හා මහාභාරතයේ ඇත. යක්‌ෂයින්ගේ නායකයා වන කුවේරගේ "ලංකා පුරය" පිළිබඳව ප්‍රථමයෙන් සඳහන් වන්නේ රාමායණයේය. එබැවින් "ලංකාපුර" පිළිබඳ සංකල්පය රාමායණය විසින් ගොඩනගන ලද්දක් බව පෙනේ. මෙම කරුණු අනුව අප රටේ සිංහල ජාතිය පිළිබඳ කෙරෙන විමර්ශනයකදී රාමායණයේ සඳහන් රාවණදී චරිත ලංකාවාසීන් ලෙස සැලකිය නොහැකිය.
විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක් සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක් නැත.
සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස් වල නිරවද්‍යතාවය කෙතෙක් දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.
අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙ�නුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක් ද ගොම වලින් සවර හමුදාවක් ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක් නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.
අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස් දුවක් දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක් බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.
සූරිය ගුණසේකර මහතාගේ දෙවන උපුටනයෙහි දක්‌වා ඇත්තේ යුධීෂ්ථිර රජුගේ "රාජසූයා" යාගයට පැමිණි රජවරුන්ගේ නාමලේඛනයයි. මෙහිදී පූජ්‍යෙdතිශයෙහි භාගදත්ත රජු, වෘහද්වාල රජු, පූන්දායන්ගේ වාසුදේව රජු, කුන්තිභෝද රජු, ගෞරවාහන රජු, විරත රජු ආදී වශයෙන් ඇතැම් ජාතීන්ගේ රජවරුන්ගේ නම් දක්‌වා ඇති නමුත් වංග, කාලිංග, ආන්ද්‍රක, ද්‍රවිඩ, සිංහල හා කාශ්මීර ඇතුළු ඇතැම් ජාතීන්ගේ රජවරුන්ගේ නම් සඳහන් කර නැත. හේතුව කුමක්‌ද? සත්‍ය වශයෙන් මෙය හුදු අතිශයෝක්‌තියයි. මෙහි සඳහන් ඇතැම් ජන වර්ග සතුන් මරා බිලිපූජා කරන යාග කර්ම විශ්වාස නොකළ බැවින් මෙම යාගයට ඔවුන් සහභාගි වන්නට නැත. මහා භාරත කතුවරුන් එම රජවරුන්ගේ නම් දැන නොසිටින්නටද ඇත. සිංහල රජුගේ නම ද සඳහන් නොවන්නේ ඒ නිසා විය හැකිය.
තුන්වන උපුටා ගැනීමේ සඳහන් වන තෑගි භෝග රැගෙන ආ රජවරුන්ගේ නම් ද සඳහන් නොවේ. සිංහලයන්ගේ රජු මුහුදේ සෑදුණු ඉතා වටිනා මැණික් ද මුතු ගොඩවල් ද හස්‌ති ආවරණ සිය ගණනක් ද රැගෙන ආ බව සඳහන් නමුත් රජුගේ නම සඳහන්ව නැත.
හතරවන උපුටා ගැනීමේ "වංග, අංග පූන්ද්‍ර, ඖද්‍ර, චෝල, ද්‍රවිඩ, අන්ධක, සිංහල ඇතුළු සමුද්‍රතීරය අසල හා දූපත්වල ද එමෙන්ම දේශසීමා අසල රාජ්‍යවල සියලුම පාලකයන් ගැන ද සඳහන් කර නැවත ලංකාවේ නොයෙක් ස්‌වදේශික කොටස් නායකයන් ද ම්ලේච්ඡ වනචාරීන් ද යනුවෙන් සඳහන්ව ඇත. සිංහලයන් ගැන සඳහන් කරද්දී ලංකාව ගැන නොකියා වෙනත් තැනක ලංකවේ ස්‌වදේශික කොටස් යනුවෙන් අදහස් කර ඇත්තේ කවුරුන් ගැනද? යනු ප්‍රශ්නයකි. සිංහලයන් ගැන සඳහන්ව තිබූ කිසිදු ස්‌ථානයක ලංකාව ගැන සඳහන්ව නොතිබීමත්, ලංකාව ගැන සඳහන් වූ එකම ස්‌ථානයේ සිංහලයන් ගැන "නොපවසා" "ස්‌වදේශික කොටස්" යනුවෙන් ජාතියක්, වර්ගයක් නොමැති පිරිසක් ගැන සඳහන් කළේ කුමක් නිසාද යනු සිතා බැලිය යුතු කරුණකි. අපට වැටහෙන ආකාරයට මහා භාරත කතුවරුන් දැනසිටි ලංකාව වූයේ රාමායණයේ සඳහන් රාවණගේ ලංකාවය. එය පිහිටි ස්‌ථානය ඔවුන් නිසැකව දැන සිටින්නට නැත. ඒ නිසා ලංකාවේ ස්‌වදේශික කොටස් හා ම්ලේච්ඡයන් ලෙස තමන් හරිහැටි නොදන්නා පිරිසක් ගැන සඳහන් කළා විය හැකිය. එසේම භාරතයේ විසූ ජන වර්ග ගණනාවක්‌ම (යවන, තුසර, හූත ආදී) විදේශිකයන්ව සිටියදී භාරතයේ විසූ ස්‌වදේශිකයන් ගැන කිසිදු සඳහනක් නොකොට පිටස්‌තර රටක් වූ ලංකාවේ ස්‌වදේශිකයන් ගැන වෙසෙසා හැඳින්වීමට තරම් පණ්‌ඩිතකමක් මහා භාරත කතුවරුන් තුළ තිබිණැයි විශ්වාස කළ නොහැකි හෙයින් අපේ පැරකුම්බා සිරිතේ කවි විකෘති කර දැක්‌වූයේ මෙයද සූරිය ගුණසේකර මහතා විසින්ම කරන ලද විකෘති අර්ථදැක්‌වීමකැයි ද සැක කළ හැකිය. මෙම පසුබිම යටතේ විජයාගමනය මිත්‍යාවක් ලෙස සැලකීමට මහාභාරතයෙන් ගෙනහැර දැක්‌වූ සාක්‍ෂි කිසිදු ආකාරයකින් අදාළ වන්නේ නැත.
ක්‍රි. ව. 2 වන සියවස තරම් ඈත කාලයේ රචනා කර ඇති දිව්‍යාවදාන නමැති සකු මහායාන ග්‍රන්ථයේත්, වලාහස්‌ස ජාතකයේත්
සඳහන් වන පරිදි දඹදිව සිට පැමිණ සිංහල නම් වූ වෙළෙඳ පුත්‍රයකුගේ මූලිකත්වයෙන් රත්නද්වීපයේ සිංහල රාජ්‍යයක් පිහිටු වූ පුවත ද දීපවංස, මහාවංස ආදියේ සඳහන් විජයාගමන පුවත ද අනුව සිංහලයන්ගේ රාජ්‍යය භාරතීය සංක්‍රමණයකින් බිහිවූ බවට ඇති පිළිගැනීම මිථ්‍යාවක් ලෙස බැහැර කළ හැකි නොවේ. භාෂාව හා සංස්‌කෘතිය අතින්ද එය සනාථ කෙරෙන සාධක බහුලය. එසේ වුවත් විජයාවතරණය සිදුවූයේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණ දිනයේදීම ද යන්න ගැන අප තුළ වුවද ඇත්තේ සාධාරණ සැකයකි. ක්‍රි. පූ. 543 හෝ 483 වනතුරුම අපගේ දිවයින පිළිබඳ භාරතීය නාවික වෙළෙඳ ජනයා දැන් නොසිටියේ යෑයි කිසිසේත් විශ්වාස කළ නොහැක්‌කේ අරාබි මුහුදේ යාත්‍රා කරන රුවල් නැව් කුණාටුවලට හසුවී අපගේ වෙරළට පාවී ඒම බුද්ධ පරිනිර්වාණ දිනයට පෙර කාලයේදීත් සිදුවන්නට ඇති නිසාය. ඉන්දියාවේ වයඹදිග වෙරළේ පිහිටි "කල්‍යාණි" වරාය නාමයෙන් අප රටේ ද බටහිර වෙරළේ කල්‍යාණියක් (කැලණිය) බිහිවී තිබීම මීට එක් සාධකයකි. ඉන්දියාවේ කල්‍යාණි වරායේ වෙළෙඳුන් පැමිණ වෙළෙ¹ම් කළ ස්‌ථානයට "කල්‍යාණි" ලෙස නම් තැබීම නිසා අප රටේ කැලණිය වරාය ආරම්භ වන්නට ඇත්තේ අනුරාධපුරයට පෙරදී විය හැකිය. අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම්වලින් ක්‍රි. පූ. 900 දක්‌වා ඈතට යන බ්‍රාහ්මී අක්‌ෂර සංකේත සහිත වලං කැබලි මෙන්ම ජනාවාස ස්‌ථිර හමුවී ඇතැයි කියනු ලැබේ. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවන ආකාරයේ සුසාන භූමි ඉබ්බන්කට්‌ටුව ආදී ස්‌ථානවලින් මතුකර ඇති අතර ඒවා ද ක්‍රි. පූ. 9 වන සියවසට කාලනිර්ණය කර ඇත. සිංහලයන් සමගම කාම්බෝජ යවන ආදී ආර්ය ගෝත්‍රවලට අයත් ජනයා ද මෙහි පැමිණ ජනාවාස තනා පදිංචි වූ බවට ශිලා ලේඛන මෙන්ම වෙනත් මූලාශ්‍ර සාක්‍ෂි ද පවතී. විජයාගමනය යනු මේ රටේ රාජ්‍ය පාලනයක් ආරම්භ කිරීමට තරම් ප්‍රබල වූ කේවළ ආර්ය සංක්‍රමණය විය හැකිය. එය බුද්ධ පරිනිර්වාණයට සියවස් කීපයකට පෙරදී වුවද සිදු වී තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ ඉන්දු නිම්නයට ආර්ය සංක්‍රමණය සිදුවූයේ ක්‍රි. පූ. 2000-1500 අතර කාලයේදී යෑයි පිළිගෙන ඇති නිසාය. සිදුහත් කුමරු උපන් වංශය පවා පර්සියානු රජ පෙළපතට සම්බන්ධ බවට තදබල විශ්වාසයක් පවතින හෙයින් වයඹ දිගින් ඇතුළු වූ ආර්යයන් ගංගා නිම්නය දක්‌වා නැගෙනහිරට සංක්‍රමණය වන විට ඔවුන්ගෙන් කොටසක් මුහුදු මාර්ගයෙන් තම්බපණ්‌ණි දිවයිනට ළඟා නොවූයේ යයි සිතිය නොහැකිය.
එසේම විජයගේ සිට දේවානම්පියතිස්‌ස දක්‌වා රාජාවලියේ සැක සහිත තැන් ගණනාවකි. විජයගේ සිට මුටසීව රජු දක්‌වා රජවරුන් 5 දෙනකුගේ කාලය වසර 17 ක අරාජික කාලයක් ද සමග වසර 236 කි. ඉන්පසු රජ වූ දෙවනපෑතිස්‌සගේ සිට සේන ගුත්තික දක්‌වා රජවරුන් 5 දෙනාගේ කාලය වසර 82 කි. ඉන් අනතුරුව රජවූ 5 දෙනාගේ කාලය වසර 36 කි. ඊළඟ පස්‌දෙනාගේ කාලය වසර 46 ක් වූ අතර එම පස්‌දෙනාට පසුව රජවූ රජවරුන් 5 දෙනාගේ කාලය වසර 31 කි. පණ්‌ඩුකාභය වසර 70 ක් ද මුටසීව වසර 60 ක් ද ඔහුගේ දරුවන් හතරදෙනකුට වසර 70 ක් ද ආදී වශයෙන් කාලය ගලපා ඇත්තේ විජයාගමනය බුද්ධ පරිනිර්වාණ දිනයේදී සිදුවූ බව තහවුරු කිරීම සඳහා දැයි සැකයක් ඇතිවේ. රටක් ජනාවාස වන ආකාරය පිළිබඳ නූතන උදාහරණ ලෙස අමරිකා එක්‌සත් ජනපදය හෝ ඕස්‌ටේ්‍රලියාව ගැන සලකා බලන විට ඒවායේ රාජ්‍යත්වය ඇති වූයේ වසර ගණනාවක සංක්‍රමණික ක්‍රියාවලියකට අනතුරුවය. එම කාලය තුළදී ස්‌වදේශික ජනතාවගේ ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමේ ගැටලුව ද පැනනගී. දිවයිනට මුලින්ම පැමිණි වෙළෙඳුන් ස්‌වදේශිකයන් සමග ගනුදෙනු කළ ආකාරය පිළිබඳ ජනප්‍රවාදය හියුංසාන් වාර්තා කර තිබේ.
"තම වෙළෙඳ බඩු මාර්ගය අසල තබා සැඟවී සිටිති. වෙළෙන්දෝ එම බඩුවලට සාධාරණ මිල (හුවමාරු ද්‍රව්‍ය) එම ස්‌ථානයේ තබා පිටවී යති." මීට බොහෝ පසු කායකදී පවා ආර්යයන්ගේ කම්මල් වලින් ඊතල සාදවා ගැනීම සඳහා පැමිණි වැද්දන්ගේ සන්නිවේදන උපාය ද මීට සමාන බව වාර්තා වී තිබේ. මෙම විදේශීය වෙළෙඳුන්ගේ මුල්ම කුඩා කඳවුරු තොටුපළ ආශ්‍රිතව බිහිවන්නට ඇත. පසු කලෙක පෘතුගීසි, ලන්දේසි ආදීන් විසින් ද යොදා ගන්නා ලද්දේ එම උපක්‍රමය විය. කල්යාමේදී ස්‌වදේශිකයන් අතරින් යම් යම් පුද්ගලයන් මෙම විදේශික පිරිස් හා කුළුපගවන්නට පටන් ගැනීම සන්නිවේදනයේ ඊළඟ පියවර විය. ඔවුන්ගෙන් ස්‌වදේශිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමත් තමන්ට අවනත පිරිස් වැඩිකර ගැනීමත් සිදුවිය. ඒ අතර විදේශිකයන්ගේ යම් යම් සංස්‌කෘතික පුරුදුවලට ස්‌වදේශික පිරිස් ද ඇබ්බැහි වෙති. ඊට එරෙහි වන ස්‌වදේශික නායකයන් අතර බලය පිළිබඳ සැකය හා කම්පනය ඇතිවෙයි. ඉන්පසුව ඇතිවන්නේ ගැටුම්කාරී යුගයයි. එහිදී වැඩිදියුණු වූ නව තාක්‍ෂණයෙන් හෙබි විදේශිකයෝ අවසන් ජයග්‍රහණය ලබති. ස්‌වදේශිකයෝ පරාජිතව නව සංස්‌කෘතිය තුළ ගිලීයති. මෙම ක්‍රියාදාමය සිදුවන්නට දීර්ඝ කාලයක් අවශ්‍ය බව ඉතිහාසයෙන් සනාථ වී තිබේ. යුරෝපීයන්ට ඒ සඳහා 1505 සිට 1815 දක්‌වා වසර 310 ක් ගතවිය. විජයාවතරණ කතාවෙන් හා කුවේණි ජනප්‍රවාදයෙන් සංකේතවත් කරන ආර්ය සංක්‍රමණයට ඊට වඩා කාලයක් ගතවන්නට ඇතැයි විශ්වාස කළ හැක්‌කේ එම යුගයේ පැවති තාක්‍ෂණ මට්‌ටම අනුව සලකා බැලීමෙනි.
දීර්ඝ කාලයක් තුළ සිදුවූ මෙම ක්‍රියාවලිය පිළිබඳ වාර්තා ලියා තබන්නට පිරිසක් එවක නොවූ හෙයින් ඉතිහාසය ලියන ලද්දේ රාජ්‍යත්වය ඇතිවී තවත් වසර ගණනාවකට පසුව බුදු දහම තහවුරු වීමෙන් පසුවය. කටින් කට ආ තොරතුරු හා මතකයෙහි තිබුණු යුද්ධ වීරයන් පුරෝගාමීන් පිළිබඳ විස්‌තර පමණක් මුල් යුගයට අදාළව ලියවෙන්නට ඇත. ජයග්‍රාහී වීරයා "විජය" නම් විය පරාජිත පාර්ශ්වය කුවේණි සහ ඇගේ ඥති පිරිසය. මතකයෙහි තිබූ නම් කීපයකින් පාණ්‌ඩ්‍ය වාසුදේව, පාණ්‌ඩ්‍ය අභය, සීව ආදීන්ගෙන් රාජාවලිය ගලපමින් මෙම රාජ්‍යය පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය හා ආරක්‍ෂාව ලැබුණු බව පෙන්වීම සඳහා විජයාගමනය බුද්ධ පරිනිර්වාණ දිනයේදීම සිදුවූ බවද සඳහන් කරන්නට ඇත. මෙම කරුණු අනුව විජයාගමනය මිථ්‍යාවක් ලෙස සැලකිය හැකි නොවේ.
පුලින්දයන් නමින් ජනවර්ගයක් පුරාණ ඉන්දියාවේ මිස ලංකාවේ වාසය කර ඇති බවට සාධක නැති හෙයින් සූරිය ගුණසේකර මහතා යෝජනා කර ඇති දෙවැනි කාරණය වන කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් පුලින්දයන් බිහිවූ බවට මහාවංසයේ ඇති සඳහන ප්‍රතික්‍ෂේප වීම අපගේ ඉතිහාසයට බලපාන ප්‍රශ්නයක් නොවන බව ද අවසන් වශයෙන් සඳහන් කරමි.
විජයපාල වීරවර්ධන
උපුටා ගැනීම - http://www.divaina.com/2009/07/15/feature02.html
No Response to "විජයාගමනය මිථ්‍යාවක්‌ද?"
Post a Comment
අදහස් සහ උදහස්