පද්මා එදිරිසිංහ
වසර කීපකට පෙර භාරතයේ පිටම්පූර්හි වෛශාලයේ සති තුනක් පමණ ගත කළෙමි. මේ බුදුන් දවස රෝග බියෙන් ඇළලී ගිය විශාලා මහ නුවර නොවේ. නව දිල්ලියට ආසන්න කුඩා නරගයකි. එහි වැඩි වශයෙන් නිවැසියන් වූයේ සරසවි ඇදුරු පවුල් ය. මට ආගන්තුක සත්කාර සැපයූ නිවසේ අයද එවැන්නන් ය. නමින් භාතියා ය. කලින් ලාහෝර්හි පදිංචි ව සිටි වැඩිමහල් යුවල භාරතය අධිරාජ්‍යවාදි බැමි වලින් නිදහස් වීම සමඟ ඇතිවූ රට දෙකඩ වීමේ සංසිද්ධිය නිසා එහි සිට පලා ආ අය ය.
එවිට තරමක කුඩා රැකියාවක යෙදී සිටි භාතියා මහතා අද විශ්‍රාම සුවයෙන් පසු වන්නේ නව දිල්ලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවියට ආයුබෝවන් කියා ය. ඔහුගේ දියණියෝ දෙදෙනෙකු ම අද එහි ඇදුරු මඩුල්ලේ සේවය කරති. මාතෘකාවට අදාළ නොවුවද මේ කරුණ ද සඳහන් කරමි.
මේ නිවසේ චන්ද්‍රිකා කුමාරණතුංග නම් පුටුවක් ඇත. එය ඇය එහි ආ විටක වාඩි වූ පුටුවලු. පැම්න්ස් ඔෆ් ඉන්ඩියා (ඉන්දියාවේ දුර්භික්ෂ) යන පොත සොයා ඇය එහි ආවේලු. ඒ කිසියම් පර්යේෂණයකට ය. මේ පොතේ කර්තෘ, භාතියා මහතා ද නැද්ද යන්න මට අමතක ය. එක් සැන්දෑවක ඔවුහු මට කිසියම් උළෙලකට ආරාධනා කළහ. ඒ රාවණා උළෙලයි. රාවණා! මම ඔහු ගැන ආඩම්බරයෙන් ඇළලී ගියෙමි. ඔහු සමරන උළෙලකට යාම වාසනාවක් කොට සැලැකීමි. ඔහු මගේ රට වැසියෙකි. එහෙත් ඔවුන්ගේ මේ වදන් වලින් මම පුදුමයට පත්වීමි.
”අපි ඔහු පුලුස්සන්ටයි යන්නේ. වාර්ෂික ව අපි ඔහු පුලුස්සනවා”
ඇත්තට ම ඔහු පුලුස්සනු මම බලා සිටියෙමි. ඒ කනස්සල්ලෙන් ය. මගේ රටේ ඔහු වීරයෙකි. ලොව ප්‍රථම ගුවන් යානය සෑදුවේ ඔහු ය.
ඔහුගේ සමය ඉතා සෞභාග්‍යමත් යුගයක් වශයෙන් සැලැකේ. හෙළ ජාතියේ ආරම්භකයා විජය නොව රාවණායයි කියන්නෝ ද වෙති.
මේ මතයට දැඩි විරෝධය දක්වන්නෝ ද වෙති. එහෙත් ඔහු පිලිස්සීමේ උත්සව නම් මෙහි නැත.
උතුරු ඉන්දියාවේ මේ දැඩි රාවණා විරෝධයට හේතු කවරේද? ඒ ඉන්දියාව ආක්‍රමණය කිරීම අන් සතු ගැහැණියක බලෙන් පැහැර ගෙන අවුත් මේ දිවයිනේ කලක් තම බිරිය වශයෙන් බලහත්කාරයෙන් තබා ගැනීම ආදී නොකටයුතු නිසාලු.
එහෙත් අද මේ තත්ත්වයේ වෙනසක් පෙනේ. ඇතැම් විට එය රාවණා කෙරෙහි ඉන්දියාවේ උතුර හා දකුණ දක්වන ආකල්ප වල වෙනසින් ජනිත වූවක් විය හැකි ය.
අපේ සංචාරක ආයතන අද ඉන්දීය සංචාරකයින් මෙරටට ඇද ගැනීමේ ප්‍රධාන ඇම වශයෙන් යෙදීමට වෑයම් කරන්නේ රාවණා පුරාණයයි.
රාවණා ජීවත් වූ තැන්, ඔහු ආ ගිය තැන්, ඔහු මිය ගිය තැන්, රාවණාගේ සොහොන මෙසේ මේ තැන් ප්‍රධාන ආකර්ෂණ බවට පත් වී ඇත.
රාවණා සොහොනක් මෙහි තිබේ ද? මා නම් මෙවැන්නක් ගැන අසා නැත. මේ නිසා රාවණා විදේශීය සංචාරකයින්ට විකුණා ගෙන කෑමට යන අය රාවණා සොහොනක් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. මෙය යටකී පුටුව මෙන් සත්‍ය සිහිවටනයක් නොවේ. එකිනෙකාගේ වීරයින් සුවිශේෂ වේ.
තවද විරාභිමානය ඉන්දියාවේ දැඩි ව විද්‍යමාන ය. පූජකත්වයට පත්වන ඇතැම් ජන නායකයින් යන එන පාර වල ඔවුන්ගේ පයට පෑගෙන දූවිලි පවා නිවෙස් වලට ගෙන ගොස් වන්දන මාන කරන බව මා අසා ඇත. බුදු දහමේ තාර්කික ඥානයෙන් ආර්ද්‍ර වූ මනසක් ඇති අපේ ගැමියෝ පවා කිසි දිනක මෙවැනි චර්යා වල නොයෙදෙති.
එහෙත් වීරාභිමානය පුදුම තැන් වල හිස ඔසවයි. මා විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ එහි ඉතා රූමත් ශිෂ්‍යාවක් විය. වයඹ දිග ලංකාවෙන් එහි පැමිණි ඇය පසු ව විදේශගත විය.
ඇය ආපසු ආවේ ඇය ඇඳ ගෙන ගිය උඩරට ඔසරියෙන් සැරසී නොවේ. ලිබියානු නායක ගඩාෆි මෙන් විවිධ සාටක පොරවා ගෙන ය. කටුනායක අංගනයට බට ඈ පුවත්පත් වලට පුදුම නිවේදනයක් නිකුත් කළා ය. ඒ ඈ කුමරියක බව ද රාවණා රජුගෙන් පැවැතෙන බවත් ය.
අද ඇය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇය පැවැතෙන රජ පරම්පරාව ඇයට බරක් වන්නට ඇත. එවැනි බරකින් මුක්ත වන මම තව ම ජීවන ගමන ඔස්සේ යමි. අරුම පුදුම දේ දකිමි. අසමි.
භාතියා නිවස අසල නිවසේ ආලින්දයේ එල්ලා තිබූ පින්තූරයද එවැන්නකි. එය අපේ බුදුන් වහන්සේගේ යැයි මම සිතුවෙමි. එය දකින සෑම විට ම ශ්‍රද්ධාවෙන් ඇළලී ගියෙමි. ගෞතම බුදුන් සෙසු බුදු වරු මෙන් භාරතීය පුතකු වුවද එම රටට දැන් ඔවුන් එක්තරා අමුත්තෙකි. ඒ එහි ප්‍රධාන ආගම හින්දු ආගම වීම ය.
මේ නිසා මේ බුද්ධ පින්තූරයේ දර්ශනය මට අමුතු විය. වරෙක මම එහි ගොඩ වැදී ඒ පවුලේ අය බෞද්ධ දැයි විපරම් කළෙමි. නැත යන්න පිළිතුර විය. එල්ලා ඇත්තේ බුද්ධ පින්තූරයක් නොවන බවත් එය ඔවුන් අදහන මහ වීර නම් ශාස්තෘන්ගේ පින්තූරයක් බවත් ඔවුහු කීය. මේ ශාස්තෘ ගැන විස්තර ද ඔව්හු මට කීහ. පියා ශුද්ධෝදන රජු ය. මව මහාමායා ය. බිරිය යශෝධරා නම් වේ.
පංච ශීලය රැකීම ඔවුන්ගේ උතුම් ම ආගමික මෙහෙවර යි. මගේ සිත තවත් අවුල් වීමට පෙර මම ඒ නිවසෙන් මෑත් වූයෙමි. ඔවුන් වන්දනා මාන කරන්නේ බුදුන්ට නොවේ. සෑම අතින් ම බුදුන්ට සමාන වූ වෙනත් ශාස්තෘවරයකුට ය.
සෑම තැන අවුල් ය. රාවණා මිථ්‍යා චරිතයක් බව කියන්නෝ වෙති. ඔහු සැබෑ ඓතිහාසික චරිතයක් බව කියන්නෝ ද වෙති.
සත්‍යය කුමක් ද? පංචශීලය පාදක ශීලය වූ අපේ රටේ සංචාරකයින් ආකර්ෂණය කිරීමට ප්‍රසිද්ධියේ අමුතු තැන් නිර්මාණය කිරීම ද විශාල පාපයකි. විදේශිකයන් රවටන නොමනා චාටුවකි. රාවණාගේ සොහොනක් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය.
ඔහු උපන් තැන අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. ඔහු ආගිය තැන් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. මේ සඳහා බොරු මල්ලක් ම සංචාරකයින් පිනවීමට අප ලිහා ඇද බෑ යුතු ය. එය අප කළ යුතු ද? පංචශීලය රකින රටක් වශයෙන් මේ රට නම් දරා ඇත. මේ අතර සුප්‍රකට රාමායන කතාවට සම්බන්ධ රට ලංකාව නොවන බවටද මතයකි.
මේ ලිපිය රාවණා රජුට විරුද්ධ ව ලියූවක් නොවේ. ඔහු ආදරණීය චරිතයකි. අපකීර්තියක් මෙන් ම ඊට සමබර ව ඔහු විශාල කීර්තියක් ද අප රටට ගෙන දී ඇත. අපේ සාහිත්‍යයද කලා ශිල්පද ජනප්‍රවාද සංකල්පනය ද (සරසවි සිසුවියන්ගේ සංකල්පනය ඇතුළු) ඔහු ශතවර්ෂ ගණනාවක් තිස්සේ දැඩි පෝෂණයකට ලක් කර ඇත.
එහෙත් ඔහු ඇත්තට ම මේ මිහිපිට ඇවිද්දේ දැයි යන්න තහවුරු කිරීමට කාලය පැමිණ ඇත. විජයාවතරණයට ශත වර්ෂ කිහිපයකට පමණ පෙර මෙහි ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට පුරාවිද්‍යාඥයන් දැන් සාධක සොයා ගෙන ඇත. මේ රාවණා යුගය ද? එවැනි පර්යේෂණ මඟින් කරුණු තහවුරු වන තුරු ඉවසීම හා අමු අමුවෙන් රාවණා දිවියට ස්මාරක තැනීම අතර වඩා හොඳ ක්‍රියා මාර්ගය කවරක් වේද?
උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20091122/_art.asp?fn=ar09112210
Sunday, December 13, 2009
Subscribe to:
Post Comments (Atom)
No Response to "රාවණා නමින් අලුතින් සොහොනක් සෑදිය හැකිද?"
Post a Comment
අදහස් සහ උදහස්