Saturday, November 13, 2010

රාවණ අන්තර්නයන මෝස්‌තරයක්‌ද?

0

රාමායණය ඓතිහාසික කෘතියක්‌ නොවන බව රාමායණයම පවසයි. පහත සඳහන් කරුණු තුළින් එය පැහැදිලිය.

1. රාමා යනු මනුෂ්‍යයකු නොව විෂ්ණුගේ හයවැනි අවතාරයයි.

2. සීතාද මනුෂ්‍ය දුවක නොව හී විටෙන් ඕපපාතිකව උපන් තැනැත්තියකි.

3. අයෝධ්‍යාව නේත්‍රා යුගයට අයත් බව රාමායණය කීවද එය ක්‍රි. පූ. 6 සියවසේ ඉදිවූවකි.

4. රාම කුමරු මනුෂ්‍ය නොවන නිසා පරම්පරාවක්‌ නැත.

5. ආදම්ගේ පාලම රාමා බැඳි එකක්‌ නොව වසර 1,75,000 ට වඩා පැරණි එකකි.

6. මුව පැටවෙකුගේ වෙස්‌ගත් රකුසෙක්‌ සීතා ඉදිරියෙන් දිව යන ලදී.

මේ අතරම රාවණ රජු ඓතිහාසික පුද්ගලයෙකු බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක, ලේඛනගත හා ජනප්‍රවාද සාක්‍ෂි ඇත.

1. 2003 මැයි මස දී ඉන්දියානු සාගර දූෂණ කොමිසම මගින් කැම්බේ බොක්‌කෙහි මුහුදු පත්ලෙන් ජනස්‌ථානය සොයා ගැනීම.

2. රාවණ රජුගේ සෙල්ලිපි මෙරට ඇති අතර ඉන් එකක්‌ පමණක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විකෘති කර (IC 515) ලංකා ශිලාලේඛන සංග්‍රහය ෂ කාණ්‌ඩයෙහි දක්‌වා ඇත.

3. රාවණ රජුට පරපුරක්‌ හා ඥතීන් ඇත.

4. රාමායණයේ "පුෂ්පක" නාමයට සමාන්තරව ජනප්‍රවාදයේ "දඬුමොණරය" ඇත.

5. කුවේරට පාලනයට දුන් කෛලාස කූටය අදත් දක්‌නට පුළුවන. එය අද සංචාරක පුරයකි.

6. රාවණ රජු උග්‍ර තපස්‌ කරන ලද "ගෝකණ්‌ණ" අද ත්‍රිකුණාමලයයි.

වාල්මිකී ජීවත් වූ යුගය වනවිටත් සමකාලීන ලෝකය දැනගෙන සිටි මහා බලසම්පන්න රජු රාවණ විය. එබැවින් විශ්ණු විසින් රාම අවතාරයෙන් ගොස්‌ රාවණ පැරදවීම මන:කල්පිත වස්‌තු බීජයක්‌ වටා "මහා වීරකාව්‍යය" නිර්මාණය කිරීම සාහිත්‍යය පැත්තෙන් බලන විට දැවැන්ත කර්තව්‍යයකි. රටක ජනතාව විසින් සතුරා ජයගෙන විනාශ කර දැමීම ගැන කෙතරම් උද්දාම වන්නේද කෙතරම් ප්‍රීති වන්නේද යන්න ගැන කොටි ත්‍රස්‌තවාදය පරදවා ලැබූ හමුදා ජයග්‍රහණයට අප ප්‍රතිචාර දැක්‌වූ අන්දමින්ම පැහැදිලිය. වැටුප් හා ලාභ ලෙස ධනය උපයා ජීවත්වන පුරවැසියන්ගෙන් යුතු වත්මන් ශ්‍රී ලංකාව එබඳු හැසිරීම් රටාවකට පෙළඹුණද ස්‌වයංපෝෂිත කෘෂි සමාජය පැවති සිංහල රජ දවස එබඳු ආවේගශීලී උද්දාමයකට එළැඹීමක්‌ සිදු නොවිණි. ස්‌වයංපෝෂිත සමාජය බුද්ධියට බර දාර්ශනික සමාජයක්‌ විය.

1990 පමණ යුගයෙන් පසුව ගවේෂණවල නියුතු වූ නව පරපුරේ ඇමෙරිකන් මානව විද්‍යාඥයන් විසින් හෙළයන්ගේ අසුර නම් සංස්‌කෘතික අධිරාජ්‍යයක්‌ හැඳිනගෙන ඇත. නිවර්තනික ලෝකය තුළ තිබූ සමාන සංස්‌කෘතික ලක්‍ෂණවලින් යුත් මෙම දේශයන් බටහිරින් දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල ආශ්‍රිත පාතාල රාජ්‍යයේ පටන් නැගෙනහිර දිගට පැසිපික්‌ සයුරේ රමණක දේශය (හීජි දූපත්) දක්‌වා විහිදී තිබිණි. ඉංග්‍රීසින් වන්දනා කරන ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් තවමත් මෙය පිළිනොගනී. ඊට හේතුව බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ඔවුන් විසින් මෙය ප්‍රකාශ කර නැතිවීමය. එබැවින් මෙම හෙළ අසුර සංස්‌කෘතික අධිරාජ්‍ය බටහිර ඉතිහාසඥයන් විසින් හඳුන්වන්නේ "රාමා අධිරාජ්‍යය" (Rama Empire) නමිනි. රාවණ රජුගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා මෙම අධිරාජ්‍යය බිඳවැටීයාමේ ඓතිහාසික ක්‍රියාදාමය රාමායණය තුළ ප්‍රබන්ධ වී ඇත්තේ රාම කුමරකු හා ඇතිවූ යුද්ධයකින් සිදුවූ ලෙසටය. සාහිත්‍යයේ ස්‌වරූපය එයයි. රස නිෂ්පාදනය එහි එකම අරමුණය.

හෙළ-අසුර සංස්‌කෘතික අධිරාජ්‍යයට කණකොකා හැඬුවේ තාරකගේ හා සුරගුප්තගේ ඉල්ලීම පිට විශ්වකර්ම (මායා අසුර) විසින් ගොඩනංවන ලද "ලංකාපුරය" බිහිවීමෙන් පසුවය. රට අරාජික වූ විට කුවේර (කුබිර) විසින් ලංකාපුරය අත්පත්කරගතී. විශ්‍රාවස්‌ මුණිගේ (විසව) ඉන්දීය බිරියකගේ දරුවා වූ කුවේර රජකමින් නෙරපූ රාමණ විසින් රජකම, ලංකාපුරය හා පුෂ්පක ගුවන් යානය තමන් සතුකර ගනී. අධික යසස්‌කාමී රාවණ තමාගේ පුද්ගලික සිතැඟි අනුව අධිරාජ්‍යය හසුරුවන්නට විය. සංස්‌කෘතික ඒකීය බව බිඳී කේන්ද්‍රයේ සිට පරිධිය හසුරුවන දේශපාලන අධිරාජ්‍යයක ස්‌වරූපය ඉන්පසු මතුවන්නට විය. නිර්මාංශිකයෙකු වූ රාවණ දණ්‌ඩකාරණ්‍යයේ සෘසිවරුන්ගේ හා මුණිවරුන්ගේ බිලි පූජා සහිත හෝම පූජා කඩාකප්පල් කරවීමට දණ්‌ඩක වනයේ රකුසන්ට අණ දුනි. ඔවුහු එසේ කළහ. (වෛදික යුගයේ බමුණන්ගේ බිලි පූජා සහිත යාගහෝම ඉන් අවුරුදු දහස්‌ ගණනකට ඉහත සිටි සත්‍යලෙස ඒවාහි නොයෙදුන සෘෂිවරුනට හා මුණිවරුනට ආදේශ කිරීම වාල්මිකී කළ දෙයකි). දණ්‌ඩකාරණ්‍යයේ සිටි ප්‍රාථමික දේව ආගම් ඇදහූ අය සමග රකුසන් ගැටී පරාජය වීම රාම කුමරුගේ පළමුවැනි අවස්‌ථාවේ කාඩකා ඇතුලු 12,000 ක්‌ රකුසන් ඝාතනය යනුවෙන් රාමායණය හඳුන්වයි. සුපර්ණකාගේ සැමියා වන විද්යුත පාතාල රජ්‍යයට යෑවුණේ ස්‌වාධීනව සිටි එම රාජ්‍යය යටත්කර ගැනීමටය. නමුත් විද්යුත පරාජය වී ඝාතනය විය.

අනතුරුව වැන්දඹු සොයුරිය සුපර්ණකා දණ්‌ඩකාරණ්‍යයේ පරිපාලනයට යෑවීය. රාම, ලක්‍ෂමන හා සීතා සමග ඇගේ ඇතිවූ ගැටුම දිග්ගැස්‌සී අන්තිමට සීතා පැහැරගෙන අවුත් රාම-රාවණා යුද්ධයද ඇතිවුණි. සීතා පැහැරගෙන ඒම යනුවෙන් සංකේත ලෙස දක්‌වන්නේ උතුරු ඉන්දියානු තාක්‍ෂණයක්‌ හෝ ඖෂධ ක්‍රමයක්‌ හෝ ඇඟළුම් ක්‍රමයක්‌ වැනි කිසිවක්‌ අත්පත්කර ගැනීම විය හැක. මේ ගැන යුද්ධයක්‌ද ඇතිවූවා පවා විය හැක. තම සිතැඟි අනුව සම්ප්‍රදායික සංස්‌කෘතික අධිරාජ්‍යයක්‌ හැසිරවීමට දැරූ අසාර්ථක උත්සාහය නිසා සතුරන් වැඩි වී එම සතුරුකම් වලට ඔරොත්තු නොදීමෙන් හෙළ අසුර අධිරාජ්‍යය බිඳ වැටුන බව පැහැදිලිව දැකිය හැක. විශ්ණු භක්‌තිකයන් තම දෙවියන්ගේ තෙදබල වර්ණනා කිරීම සඳහා මෙම සිදුවීම විශ්ණුගේ රාම අවතාරය මගින් යුද්ධයෙන් රාමණ නැසීම ලෙස රාමායණය දක්‌වයි. නිමිත්ත ලෙස සීතා පැහැරගෙන ඒමද දක්‌වයි.

මෙබඳු සාහිත්‍ය සම්ප්‍රදායක්‌ ලංකා ඉතිහාසය බවට පත් කිරීමට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටය. ඉමර්සන් ටෙනන්ට්‌ පවසන පරිදි අප්‍රේල් මස වසන්ත නිවාඩුවට නුවරඑළියට (N'Eliya Scason) එකතුවන යුරෝපීය සිවිල් සේවකයන් ව්‍යාපාරිකයන්, වතු පාලකයන්, විවිධ රාජ්‍ය සේවකයන් විනෝද වූයේ යුරෝපයේ පරිදිය. එහි යුරෝපීය දේශගුණය තුළ තම රටේදී මෙන් කමින්, බොමින්, ආලිංගන නැටුම් වල යෙදෙමින් සිටි පිරිස අතර උගත් ශාස්‌ත්‍රවන්ත සිවිල් සේවකයන් අතළොස්‌සක්‌ මීවිත තොලගාමින් දොඩමළු වූයේ නව සොයාගැනීම් ගැනය. කෝපි වතුවලට හා පසුකලෙක තේ වතුවලට ආ දකුණු ඉන්දියානු පූසාරින් සංගම් සාහිත්‍යය අනුව යමින් ආධිපත්‍යවාදී කතාන්තර ප්‍රබන්ධ කළහ. මෙම දොඩමළු උගත් සිවිල් සේවකයන් අතින් ඔපදමා අවසානයේ රාජකීය ආසියාතික සංගමයේ ලේඛන හා දේශන ලෙස ශාස්‌ත්‍රීය ස්‌වරූපය ගැනීමද සිදුවිය. සීතා-රාවණ නුවරඑළියට පැමිණියේ මෙසේය.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වතු කම්කරුවන්ගේ කෝවිල් සේවාව සඳහා පැමිණි දකුණු ඉන්දියානු දෙමළ පූසාරිවරු අලුත් නිර්මාණයන් කළහ. දෙමළ සාහිත්‍යයට (සංගම්) පුරුදු පරිදි තම අයිතිය හා ආධිපත්‍යය හැඟවෙන කතා සම්පාදනය එම කාර්යයයි. "ශීත එළිය", "ශීත ගුහාව", "ශීත කොටුව", "ශීත ඇල්ල" ආදී ශීතල හඟවන නම් "සීතා" බවට පරිවර්තනය කර රාමායණයේ සීතා කුමරිය සඟවා තිබූ ප්‍රදේශය නුවරඑළිය අවට බව ඒත්තු යන කතා ප්‍රබන්ධ කළහ. අප්‍රේල් වසන්ත සමයේ නුවරඑළියට ඇදී ආ උගත් සිවිල් සේවකයන්ගේ ඉහත සඳහන් කරන ලද සාකච්ඡා තුළින් නුවරඑළිය යනු රාවණාට හා සීතාට සම්බන්ධ ප්‍රදේශයක්‌ කළහ.

මේ අතර ජෝන් ද සිල්වා හා සී. දොන් බස්‌තියන් වැනි නූර්තිකරුවන් අතින්ද "රාමායණය" නාට්‍යය නිපද වූ අතර සමකාලීන පුවත්පත් සඟරාවලින් හා උගතුන් අතින් ඊට ප්‍රශංසා සම්මාන ලැබුණි. දෙමළ රාමායණය වූ බාල රාමායණය ඇසුරින් නිපදවූ මෙම නාට්‍යවල සුපර්ණකා හැඳින්වීමට.. "පරට්‌ට බැල්ලි, වේසාවි...." ආදී වශයෙන් හා රාවණ හැඳින්වීමට "දුෂ්ට සල්ලාලයා..." වැනි අශික්‌ෂිත වචන භාවිත විය.

අවසානයේ පාසල් පන්ති කාමරය තුළට රාමායණය පිවිසුනේ මාරි මියුසියස්‌ හිඟින්ස්‌ මැතිනිය අතිනි. ඇය ලියූ පාසැල් දරුවන් සඳහා ඉතිහාස කථා (Historical Tales for School Children) පොතෙහි ශීත යන්න 'Sitha හා Sita', ලෙස සඳහන්ව "සීතා" ලෙස උච්චාරණය කරමින් සීතා කුමරියගේ නුවරඑළිය වාසය ගැන ඉංග්‍රීසි පාසල්වල උගැන්වීමට සමකාලීනවම සිංහල පාසල්වලටද ඇතුළු විය. විජය, පණ්‌ඩුකාභය, විහාර මහා දේවි, දුටුගැමුණු, පරාක්‍රමබාහු සමග රාවණා රජු ගැනද ඉගැන්වීම තුළින් මෙය සිදුවිය. මහාවංශය හා රාමායණය යුරෝපීය ඇසට සමාන කතාන්තර විය. ඉහත සඳහන් කළ පරිදි ඩොනමෝර් යුගයේදී දෙමළ දේශපාලනය විසින් "දුස්‌රා" උත්සවය ඇසුරින් දීපවාලී අර්ථකථනය ශ්‍රී ලංකාව තුළදී අලුත් වූ අතර වර්තමානයේදී සිංහල දේශපාලඥයන් හා රාජ්‍ය නායකයන්ද එයම උච්චාරණය දක්‌වා අපහාසය වැඩී ගියේය.

1990 දශකයේදී යුද්ධය මුල්කරගෙන සාමය පතා රාජ්‍ය අනුග්‍රහය ඇතිව රාමා කෝවිල, සීතා අම්මාන් කෝවිල හා හනුමන් කෝවිල්ද බිහිවිය. නුවරඑළිය ප්‍රදේශය ඉක්‌මවා ගිය මෙම කෝවිල් මහ කොළඹ ප්‍රදේශයටද පැමිණියේය. අන්තිමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (ලංකා සංචාරක මණ්‌ඩලය (SLTDA) විසින් මෙසේ හතු පිපෙන්නා සේ ඇතිවූ රාමායන කෝවිල් හඳුන්වා ඇත්තේ "රාවණාගේ පිය සටහන්" ලෙසටය. දකුණු කොළඹ කළුබෝවිල රෝහල අසලද එබඳු ස්‌ථානයක හනුමන්තාගේ කෝවිලක්‌ ඇති බව සංචාරක මණ්‌ඩල ලියවිලිවල ඇත. ඊටත් වඩා රසවත් විහිළුවක්‌ වන්නේ වේර+ගං+තොට (මහියංගණය) නාමයේ "තොට" ඇති නිසා එය රාවණ රජුගේ ගුවන්යානය ගොඩ බැස්‌ වූ ගුවන් තොටුපළ ලෙස විස්‌තර කිරීමය. "වෙහෙර" සහ "ගංගාව" අමතක වී ඇත. සංචාරක මණ්‌ඩලයේ "රාවණ පියසටහන් කමිටු" රැස්‌වීම් කොළඹ හා තදාසන්නයේ කෝවිල් තුළ මසල වඩේ හා උළුඳු වඩේ බුදිමින් පැවැත්විණි. 2008 හා 2009 තුළ ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාදාමය 2009 මැද භාගයෙන් පසු කඩා වැටුන තත්ත්වයක ඇත. ඉන්දියානු එක්‌ සංස්‌කෘතික ආක්‍රමණයක්‌ මෙසේ වැටුනද "අයිෆා" සිනමා උලෙළ ලෙසට එය 2010 ජුනි මුලදී පැමිණ තිබුණි.

අන්තර්නයන මෝස්‌තර (Patteerns of Interferance) යනුවෙන් බටහිර ලෝකයේදී හඳුන්වන යෙදුම අර්ථවත් වන සැටි දැකීමට සංචාරක මණ්‌ඩලයේ රාමායණ උෙද්‍යාaගය හොඳම නිදසුනකි. යෝජිත සීපා ගිවිසුම් ගැන ව්‍යාපාරිකයන් අතර ඇත්තේ බලවත් විරෝධයකි. අප කුඩා කාලයේ ඇසූ හා යෙදුණු ක්‍රීඩාවක්‌ වූයේ "යොන් මැරීමයි". නැව ගිලෙන විට එහි සිටියවුන් 50% මුහුදට දැමීමට අවශ්‍ය විය. සිංහල නැව්පතියා රවුමක්‌ ගණන් කර අවසානයට එන එකා මුහුදට දැමීමේදී යෝනකයන්ම එසේ තේරීමට හැකිවන අයුරු වෘත්තය සැදීම යොන් මැරීමේ ක්‍රීඩාවයි. නමුත් රාවණා සෙල්ලම හැරුණු විට ලංකාවට මැදිහත්වීමේ වෙනත් උපාය මාර්ග ඉන්දියාවට දැන් ඇත.

No Response to "රාවණ අන්තර්නයන මෝස්‌තරයක්‌ද?"

Post a Comment

අදහස් සහ උදහස්

..