-->

Wednesday, July 8, 2009

රාවණා හස්ත්‍රම්

1


රාවණා හස්ත්‍රම් ලාංකික උරුමයක්


ලෝකයේ පැරැණි ම තත් භාණ්ඩය වන රාවණහස්ත්‍රම් වයන දිනේෂ් සුබසිංහ

වාල්මිකී නමැති ඍෂිවරයා විසින් ක්‍රි.පූ. 4 වන සියවසෙහි දී පමණ රචනා කළ ‘ රාමායනය ‘ වීර කාව්‍යය සඳහා පාදක වී ඇත්තේ රාම - රාවණ පුවතයි. සංස්කෘත ශ්ලෝක 24, 000 කින් සමන්විත රාමායනය භාරත දේශයේ රචිත ප්‍රථම පද්‍ය කාව්‍යය ලෙස සැලැකේ. වාල්මිකී හැඳින්වීම පිණිස ‘ආදි කවි’ නමැති විශේෂණය යොදා ගැනීමට හේතුව ද ‘ රාමායනය’ භාරත දේශයේ ප්‍රථම පද්‍ය කාව්‍යය වීමය.

සත්‍යය හා මිථ්‍යාව සංකලනය වූ මේ වීර කාව්‍යයෙහි වීරයා රාම ය. රාම යනු විෂ්ණු අවතාරය ලෙස ද සැලැකේ. පිවිතුරු පතිවතෙහි සංකේතය සීතා ය. රාවණ යනු දුෂ්ටත්වයේ සංකේතයයි.

රාවණා විසින් සීතා පැහැරගෙන ඒම සිදු වූයේ ඔහුගේ සහෝදරියට කළ නින්දාවකට පළිගැනීමක් වශයෙනි. රාමායනයේ දුෂ්ටයා ලෙස නිරූපණය කළ ද රාවණ, සීතාවන්ට කිසිදු අතවරයක් නො කළේ ය.

රාවණ රජ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ද ජය ගෙන සිය අණසක ඒ ප්‍රදේශයන්හිද පැතිර වූයේය. සීතා කුමරිය පැහැර ගෙන ඒම නිසා රාවණ රජු හා රාම කුමාරයා අතර යුද්ධයක් ඇති විය. දොළොස් වසරක් පුරා පැවැති ඒ යුද්ධයේ දී රාම කුමාරයාට ජය ලැබිණ. එහිදී රාම කුමාරයාට දෙවියන් ගේ උපකාරය ලැබුණු බව හින්දූන්ගේ විශ්වාසයයි. නා නා විද්‍යාවන්හි හසළ බුද්ධිමතකු වූ රාවණ රජතුමා “ අර්ක ප්‍රකාශ ‘ නමැති වෛද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කැර තිබේ.

රාම - සීතා කතා පුවත සමඟ බැඳී ඇති ස්ථාන නාම ආදිය අදටත් ශ්‍රී ලංකාවේ දකින්නට තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා ඇල්ල, සීතා එළිය හා සීතා කොණ්ඩ එවැනි ස්ථාන තුනකි . සීතා නැවතී සිටි ප්‍රදේශය සීතා එළියයි. සීතා දිය නෑ ස්ථානය සීතා ඇල්ල නම් වේ. සීතා කොණ්ඩය පීරූ ස්ථානය සීතා කොණ්ඩ නම් වන බව ජනප්‍රවාදයේ කියැවේ.

උඩුරාවණ හා යටිරාවණ යැයි හඳුන්වනු ලබන මහනුවර ප්‍රදේශයේ ගම් දෙක රාවණ රජුගේ වනෝද්‍යානයන්ය. රාවණ රජු දිය නෑ ඇල්ල රාවණ ඇල්ලය. ගාල්ලේ රූමස්සල කන්ද පිහිටි උණවටුනට ඒ නම ලැබී ඇත්තේ යුද බිමෙහි දී තුවාල ලත් වානරයන් සුවපත් කිරීම සඳහා හනුමාන් රැගෙන ආ ඖෂධ පර්වතය උණා වැටුණු ස්ථානය නිසා යැයි ජනවහරේ එයි.

මෙසේ රාමායණය හා රාම - සීතා අන්දරය සමඟ බැඳී පවත්නා ජනප්‍රවාද ආදිය ගැන කතා කිරීමට විශේෂ හේතුවක් තිබේ. ඒ ගැන කතා කිරීමට අප පොළඹවාලූ පුද්ගලයා දිනේෂ් සුබසිංහය. තරුණ සංගීතඥයකු වන ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් ගේ නිර්මාණ චාරිකාවට එක් වූයේ 2002 වසරේ දීය. ගීත හයසියයකට අධික ප්‍රමාණයකට, ටෙලිනාට්‍ය හැත්තෑවකට හා චිත්‍රපට විස්සකට ඔහු වාදකයකු ලෙස දායක වී ඇත. රාවණ පුවත ඔස්සේ අපගේ ජාතික අනන්‍යතාව සොයා යන මේ තරුණ සංගීතඥයාට සවන්දීම අප සැමගේ යුතුකමය. මේ ඔහු ගේ හඬයි. “ අළුවකින් ( BOW ) වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.

එය රාවණා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.රාවණා හත්ත යැයි කියන ඒ සංගීත භාණ්ඩය දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

‘ඉන්දියාවේ විවිධ ගෝත්‍රික ජන කොට්ඨාස එය අදටත් නිපදවනවා. ඉන්දියාවේ මහාරාෂ්ඨ හා රාජාස්ථාන් යන ප්‍රදේශ වල මෙය බොහෝ ජනපි‍්‍රයයි. ‘රාවණා යනු ලාංකික රජ කෙනෙක්. ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ හිස් දහයක් සහිත රාක්ෂයකු ලෙසයි. එසේ හැඳින්වුවත් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට සැකයක් නැහැ. සීතාට අතවර නො කළ රාවණා, මිය යන විට සීතා හඬන්නේ ද ඔහු යහපත් මිනිසකු නිසයි “.

“මිසරයේ පිරමිඩ නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු ඥානය දෙනු ලැබුවේ රාවණා රජු යැයි ද මතයක් තිබේ. ඔහු හිස් දහයකින් යුත් පුද්ගලයකු යැයි හඳුන්වන්නේ ඔහු සතුව තිබූ එම විශිෂ්ට ඥානය ගැන කීමට මිස යක්‍ෂයකු නිසා නොවිය යුතුයි. අළුවකින් වැයූ පැරණිම සංගීත භාණ්ඩය රාවණා හත්ත නම්, එය වයලීන පවුලේ ආරම්භකයා වේ. අප අද භාවිතා කරන බටහිර වයලීනය ක්‍රි.ව. 15 - 16 සියවස් අතර කාලයේ දී ඉතාලි ජාතික ඇන්ඩෘ අමාටි පවුල විසින් ලොවට හඳුන්වා දුන් එකක්. එසේ නම් මේ සංගීත භාණ්ඩ පවුලේ ආරම්භක භාණ්ඩය රාවණා නමැති ලාංකිකයා වයා තිබීම අපට ආඩම්බරයක් නොවේ ද?”

“මේ වාදන භාණ්ඩයේ රූප මෙරට මාධ්‍යයන්ට මුලින්ම හඳුන්වා දුන්නේ මා ය. රාවණා හත්ත හා මහා භාරතය නම් මහා කාව්‍යයේ සඳහන් කිංගිරි නමැති වයලීන පවුලේ සංගීත භාණ්ඩය යොදා ගෙන මා කළ නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටියක් දැනටමත් නිකුත් කැර ඇත්තෙමි. කිංගිරි නම් සංගීත භාණ්ඩය පොල්කටුවක්, බට හා එළු හමක් යොදා ගෙන සාදා ගනු ලබන්නකි. එය ඉතිහාසයේ සඳහන් වයලීන පවුලේ දෙවන පැරණිම භාණ්ඩයයි. වයලීනයේ ඉතිහාසය ගැන අන්තර්ජාලයේ හා සෙසු සියලු වාර්තාවල සඳහන් වන්නේ බටහිර මතය පමණයි. පළමු තත් භාණ්ඩය වන රාවණාහත්ත රාවණ රජුගේ නිර්මාණයක් බව ලොවට හඬ ගා කියන්නට මා උත්සාහ කරන්නේ එය ශ්‍රී ලාංකිකයන්ට විශාල අභිමාණයක් නිසයි. මෙය අප ගේ අනන්‍යතාව ලෝකයට පෙන්විය හැකි එක් සාධකයක්. ඒ නිසා අපට හිමි ඒ උදාර අතීතය ලෝකය හමුවට රැගෙන යෑමට, මට සහය දෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් මා ඉල්ලා සිටිනවා”.

සැබවින්ම දිනේෂ් සුබසිංහගේ හඬට සවන් දී ඔහුගේ උදාර පරමාර්ථය ඉටු කැර ගැනීම සඳහා සහයෝගය දීම අප සියලු දෙනාගේ යුතුකමකි.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2008/04/05/PrintPage.asp?REF=fea02


1 Response to රාවණා හස්ත්‍රම්

August 25, 2012 at 5:09 PM

අගේ ඇති ලිපියක්

Post a Comment

අදහස් සහ උදහස්