-->

Sunday, July 5, 2009

රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු

0

දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍ය වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණ
ය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

රාමායනය පැරණි කෘතියක්‌ හැටියට වැදගත් වූවත් වීරකාව්‍යයක්‌ හැටියට අපට වැදගත් වන්නේ නැත. කුමක්‌ හෙයින්ද, ශ්‍රී ලාංකික රාවණා පිළිබඳ තොරතුරු නොදැන රාමට අත්පුඩි ගැසීම අපට තරම් නොමැති බැවිනි. ශ්‍රී ලාංකිකයාට පැරණි වීර කාව්‍ය සාහිත්‍යයක්‌ නොමැත. තිබුණත් ඒවා වැළලී ගොසිනි. අපට යම්තම් හෝ අභිමානයක්‌ ඇතිවන්නේ දුටුගැමුණු රජතුමාගේ කථා ප්‍රවෘත්තියෙනි. විජයගෙන් පැවත එනවා යෑයි විශ්වාස කරන අපට යක්‌ෂගෝත්‍රිකයන්ගෙන් පැවත එන රාවණා නින්දිතයෙකි. සීතාව දූෂණය කළේ යෑයි රාමායනයේ බැරිවීමකින් හෝ සඳහන් වූවා නම් රාවණ අපට සල්ලාලයෙකි. වරක්‌ බුදුන්වහන්සේ ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ අසංවර යක්‌ෂ ගෝත්‍රිකයන් පෙළහර පා දමනය කොට ගිරි දිවයිනට පන්නා දැමූ බවක්‌ සඳහන් වෙයි.
විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික ග්‍රන්ථවලින් මග හැරී තිබීම කනගාටුවට කරුණකි.

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

"ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ"

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය - දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය - රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය - හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය - මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය - කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය - තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය - නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය - ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය - බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. දඹුලු විහාරයේ අදත් ඒ ලෙන නිරුපද්‍රිතව පවති. මූලින්ම බුදුන් වහන්සේට පූජා කළ විහාරය දඹුලු විහාරයයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපිය පහත දැක්‌වේ.

ගෞතම ශ්‍රමණේ බඩගරික අනද තෙරශ, පුණ තෙරශ, පුස තෙරශ අගමාගත ලෙන මනස දසන නම අගත අනගත වතුදශ ශගස (උපුටා ගැනීම - අපට අහිමි වූ අපේ උරුමය මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි)

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

ත්‍රිපිඨකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
පූජ්‍ය මැනෑවේ විමලරතන හිමි

No Response to "රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු"

Post a Comment

අදහස් සහ උදහස්

..