Monday, May 23, 2011

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

1
හත්තොටුවේ ඉන්දරතන හිමි

සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ දී අශෝක මහාධිරාජයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු වූ විදේශ ධර්ම ප්‍රචාර කටයුත්තේ දී මිහිඳු මහ රහතන් වහන්සේ අප ලංකාවාසීන් කෙරෙහි අනුකම්පාවෙන් (තවෙව අනුකම්පාය) දඹදිව සිට මෙරටට වැඩම කළහ. (ජම්බුදීපා ඉධාගතා)ඒ උතුම් මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ආගමික පරිසරය පිළිබඳව සාහිත්‍යමය, පුරාවිද්‍යාත්මක හා ජනශ්‍රැති පදනම් කරගෙන විමසීම මෙම ලිපියේ අපේක්‍ෂාවයි.

සිවු හෙළයන් එකතු වී සිංහලය බිහිවීමට පෙර මෙරට විසූ ගෝති‍්‍රක ජන කණ්ඩායම්, ඔවුන්ගේ ඇදහීම් අනුව වර්ග කළ බව ඉතිහාසඥයන්ගේ අදහසයි. ඔවුහු නම්, දේව, යක්‍ෂ, රාක්‍ෂ හා නාග යන සිව් කොටසයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයාව මෙගලිතික යුගයේ සිටියේ කුවේරය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සීගිරිය රාජධානිය කරගෙන විසූ කුවේරගේ සුළු මවගේ පුතා රාවණ නම් විය. රාවණට පසුව කුවේරගේ පුෂ්පක රථයත් (ගුවන් යානය) රාජධානියත් පැහැරගත් බැවින් කුවේර ඉන්දියාවේ උතුරු දිසාවේ සිට යක්‍ෂ ගෝත්‍රිකයන්ට නායකත්වය දුන්නේ ය. ඓතිහාසික ලංකාපුර රාජධානියට අයත් සීගිරිය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව විය. යක්‍ෂයන් විසූ තවත් ස්ථාන නම් කතරගම, වැඩිහිටිකන්ද, නුවරඑළිය, පිදුරුතලාගල, මහකුඩුගල හා කිකිළියමාන යන කඳු ය. “ලතා ගෘහාණි චිත්‍රාණී – චිත්‍ර ශාලා ගෘහාතිච” යැයි රාමායණයේ දැක්වෙන පරිදි අලංකාර චිත්‍රවලින් පිරි සීගිරිය යක්‍ෂයන්ගේ ලග්ගල ප්‍රදේශයට අයත් බලකොටුවකි. ඒ ආශි‍්‍රතව කැණීම් කළ ශිරාන් දැරණියගල මහතා සීගිරි ජනාවාස මහාශිලා යුගයට අයත් කරයි. (සම්භාෂා - 12 කලාපය – පි. 797 ) යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් සීගිරි චිත්‍රවල දිස්වෙතැයි ඒ.සී. ලෝරී පවසයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා, තාරා දේවියගේ රූ ලෙස මේ චිත්‍ර හඳුන්වා දෙයි. සීගිරිය, ඉනාමළුව ආදී ගම්වල වැසියන්ගේ ජනශ්‍රැති අනුව මය දානව නම් යක්‍ෂ ගෝත්‍රිකයා සීගිරි මාලිගාව සාදා ඇත. ඒ සිවුවරම් රජදරුවන්ගෙන් යක්‍ෂයන්ට අධිපති වූ වෙසවුණු මහරජු සඳහා ය. පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ දෙවියා සඳහා (ක්‍රි.පූ. 367 – 437 ) අනුරපුර නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කර බාරහාර දෙන ලදී.

ලග්ගල ප්‍රදේශයේ වූ මැණික් මිලදී ගැනීමටත්, සීගිරි කඳු මුදුනේ පැවති ගිරග්ග සමජ්ජ වැනි බිහිසුණු ක්‍රීඩා බැලීමටත් රෝම ධනපතීන් පැමිණි බවද ඉතිහාසඥයෝ පවසති. පණ්ඩුකාභය රජසමයේ දී කාමෝත්සව පැවති බවට තොරතුරු මහාවංසයේ එයි. බුද්ධාගම ගෙන ඒමට පෙර ලංකාවේ දුරාචාර පුද පූජා පැවති බව හියුං සියැං වාර්තාවේද දැක්වේ. පුලස්ති, සෘෂි, වෛශ්‍රවණ, රාවණා දී යක්‍ෂනායකයන් ඉතා දක්‍ෂ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වූ බවට ද ජනප්‍රවාද හා සාහිත්‍ය මූලාශ්‍ර සාක්‍ෂි දරයි. සීගිරිය ග්‍රහලෝක හා තාරකා පර්යේෂණගාරයක් ලෙසට ද ප්‍රකට ය. එය පසුකාලීනව සීගිරි කාශ්‍යපගේ ද ග්‍රහලෝකාගාරය විය. නැකැත් තරු ඇදහීම, නැකැත් පිළිබඳ විශ්වාස ආදිම යුගයේ සිට ලක්දිව පැවතියේ ය. යක්‍ෂ ගෝත්‍රික ආභාසය ලැබූ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යයන් ද මහා කාළ හා මා කාලි වන්දනාවේ නිතර වූ බවට ඇස්.ඩී. ද ලැනරෝල් මහතා කරුණු දක්වයි. මහා කාලි වන්දනාව ඉන්දියාවේ ද ඉතා ප්‍රකට ඇදහීමකි. චිත්‍රකූට නම් වූ සීගිරියේ ආරක්‍ෂක සෙන්පති චිත්‍රරාජ විය. පණ්ඩුකාභය සමයේ චිත්‍රරාජ දේවත්වයෙන් අදහන ලදී.

පුරිමං දිසං ධතරට්ඨෝ - පච්ඡිමෙත විරූළ්හකො
පච්ථි මෙන විරුපක්ඛෝ - කුවෙරො උත්තරං දිසං

සිවුවරම් රජදරුවෝ මහින්දාගමනයට පෙර සිටම ලංකාරක්‍ෂක දෙවියන් ලෙස අදහන ලදී. පෙරදිගට අධිපති ධෘතරාෂ්ට්‍ර ගන්ධබ්බයන්ගේ ප්‍රධානයා විය. කුම්භාණ්ඩයන්ට අධිපති වූ විරුළ්හක දකුණු දිශාව පාලනය කළේ ය. බටහිර දිග පාලනය කළ විරූපාක්‍ෂ දෙවිඳු නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. උතුරු දෙසට අධිපතියා වූයේ යක්‍ෂ ගෝත්‍රික නායකයා වූ කුවේර ය.

මණි අක්ඛිත කැලණියේ විසූ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. චූලෝදර, මහෝදර යාපන ප්‍රදේශයේ දිය - තල නාග ගෝත්‍රික නායකයන් විය. මේ නාග ගෝත්‍රිකයෝ නාග වන්දනාවේ නිරත වූහ. ජලාශි‍්‍රතව නාග ඇදහීම අද ද අප රටේ ඇත. වැව් ආශි‍්‍රතව නාග රූ සහිත ගල් කැටයම් දක්නට ඇත. නාවිමන, නාගපටුන ආදී නාගයන් සම්බන්ධ ග්‍රාම, ස්ථාන නාම රැසකි. පැරණි ලක්දිව වෘක්‍ෂ වන්දනාව ද විය. පණ්ඩුකාභය ව්‍යාධ දෙවියාට තල්ගසක් ද වෛශ්‍රවණට නුග ගසක් ද දෙයි. දෙවනපෑතිස් හමුවේ පැන දිවූ මුවා එම පර්වතයට අධිගෘහිත දෙවියා බව සමන්තපාසාදිකාව කියයි. වැද්දන් අතර අද පවා රුක් දේව ඇදහීම ඇත. ශ්‍රී මහාබෝධිය රැගෙන ඒමත් සමඟ ලංකාවේ වූ වෘක්‍ෂ වන්දනාවට ආදේශකයක් ලැබිණි. බෝධි වෘක්‍ෂ වන්දනාව කෙටි කලකින් ලක්දිව පුරාම ව්‍යාප්ත වූයේ පුරාණ ලක්වැසි ගෝත්‍රිකයන් අතර මුල් බැසගත් වෘක්‍ෂ වන්දනා ආභාසයේ බලපෑම නිසා විය හැකි ය. ව්‍යාධි දෙවියා වැද්දන් ඇදහූ දඩයමට අධිපති දෙවියෙකි. ඉර, හඳ, තාරකා මෙන්ම කඳු පර්වත, වෘක්‍ෂ, ජලය දේවත්වයෙන් අදහන ස්වභාවික වස්තු වන්දනාව ද පෙර ලක්දිව විය. පණ්ඩුකාභය සමයේ රාජ්‍යානුග්‍රහයෙන් කාලවේල, චිත්‍රරාජ, මහේජ, ජුතින්ධර, විභීෂණ, කාලශෝධර යන යක්‍ෂයන් පිදීම, ඇදහීම වූ බවට වංසත්ථප්පකාසිනිය හා මහාවංසය සාක්‍ෂි දරයි. වඩවාමුඛී හා පශ්චිම රාජිනී පුද ලැබූ යක්‍ෂණියන් විය. දේවතාවියන් ලෙස ද ඔවුහු පූජෝපහාරයට පත් වූහ.

පණ්ඩුකාභය සමයේ ජෝතිය, කුම්භණ්ඩ යන නිගන්ඨයන්ඨට ආරාම කරවා දුන් බව මහාවංසයේ දැක්වේ. ජෝතිය සිටි ආරාමයේ වළගම්බා රජ සමයේ සිටි ගිරි නිගන්ඨයා වාසය කළ බව වපංසත්ථප්පකාසිනිය කියයි. මහින්දාගමනයෙන් පසු නිගන්ඨාගම ලක්දිවට පැමිණියා වන්නට නොහැක. අශෝක බුදුදහම වැලැඳ ගැනීමත් සමඟ භාරතයේ වූ අනෙකුත් ශ්‍රමණ කොටස් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. ඒ අනුව බුද්ධකාලීනව සිටි ජෛන මහාවීරගේ නිගන්ඨ ශාසනය ද ලක්දිව ප්‍රාග්මහින්ද යුගයේ තිබූ බව පෙනේ. ආජීවකයන් ද මෙරට විසූ බවට තොරතුරු ඇත. භද්දකච්චායනා පිරිස පරිබ්‍රාජක වේශයෙන් පැමිණේ. ආජීවකයන්ට ද පණ්ඩුකාභය සමයේ නිවාස වෙන් කර දී ඇත. බුද්ධකාලීනව සිටි මක්ඛලී ගෝසාල ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වූ ආජීවක පිරිස්ද මහින්දාගමනයට පෙර ලක්දිව විසූ බව ඒ අනුව පෙනී යයි. පණ්ඩුකාභය සමයේ ශිවිකා ශාලා ද කරවා ඇත. ශිව දේවාල අනුරපුර පොළොන්නරු ප්‍රදේශවල අද ද දක්නට ඇත. රාවණා ශිව භක්තිකයකු ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති. ශිව භක්තික රාවණා ප්‍රධාන පිරිස් සඳහා මුන්නේශ්වරම් ශිව දේවාලයේ අද ද ප්‍රධානත්වයක් හිමිවේ. මේ අනුව ප්‍රාග් මහින්ද ලංකාවේ ශිව ආගමද තිබූ බව පිළිගත හැකි ය.

විජය සමඟ පැමිණි පිරිසේ සිටි, උපතිස්ස ග්‍රාමය පිහිට වූ උපතිස්ස පෙරෙවි බමුණා පසුව වසරක් ලංකාවේ රජකම ද කළේ ය. ශ්‍රී මහා බෝධිය වැඩම වූ විස්තරයේ දී තිවක්ක බමුණුගමේ වැදගත් කම මහාබෝධිවංශයේ දී ප්‍රකට කෙරේ. පණ්ඩුකාභයට සිප් සතර හැදෑරුවේ පණ්ඩුල බ්‍රාහ්මණයාය.මේ තොරතුරු අනුව පුරාණ ලංකාවේ බ්‍රාහ්මණ ආගම ද පැවැති බව පැවසිය හැකි ය. විජයගේ පටන් භාරතයේ වූ කුල භේදය ලංකාවේ ව්‍යාප්ත වූ බවද මතයකි. (ලංකා කථාව - සයිමොන් ද සිල්වා - පි.28 ) ඒ අනුව රජුන්ට උපදේශ සේවාවද යාගහෝමාදිය ද අධ්‍යාපනයද භාරව පුරාණ ලංකාවේ නියාමකයන් ලෙස බ්‍රාහ්මණ වංශය බැබළෙන්නට ඇත. බුද්ධ කාලීනව මණි අක්ඛිත, චූලෝදර, මහෝදර, සුමන සමන් ආදී යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික නායකයෝ බුදුදහම වැලඳගෙන බෞද්ධයෝ වූහ. සුද්ධෝදන මහරජුගේ මල්ලී වූ අමිතෝදනගේ මිණිබිරියකි භද්ද කච්චායනා. භද්‍රකත්‍යායනාගේ හා සහෝදරයන්ගේ ලංකාගමනට විඩුඪභයන්ගේ ශාක්‍ය සංහාරයද හේතුවන්නට ඇත. ක්‍රි.පූ. 504 රජ පැමිණි පඬුවස්දෙව්ගේ අගබිසව වන භද්දකච්චායනා හා රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු, ;රීහණ යන කුමාරවරු ද බුදුසමය වැලඳ ගත් බෞද්ධයන් විය යුතු ය. ඔවුන් තමන් ඇති කළ ජනපද වල සිට බුදුදහම පෞද්ගලිකව අදහන්නට ඇත. මෙරට පැවති මුල් ආගම් ද විශ්වාස ද ගරු කරන්නට ඇත.

මේ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ආගමික පරිසරය ඉතා සංකීර්ණ බව පෙනී යයි. යක්‍ෂ ඇදහීම, නාග ඇදහීම, දේව ඇදහීම, රුක් වන්දනාව, තාරකා, නැකැත් ආදී විශ්වාස, ස්වභාවික වස්තු වන්දනාව, ලිංග ඇදහීම, ශිව ආගම, ජල ක්‍රීඩා, ගිරග්ගසමජ්ජ වැනි මිථ්‍යා විශ්වාස හා බැඳි පූජාක්‍රම, කාමෝත්සව, බ්‍රාහ්මණ ආගම, ශිව ආගම ජෛන හා ආජීවක ශාසන මෙන්ම බුදුදහම ද ඉපැරණි ලක්දිව පැවති ආකාරය සාහිත්‍යමය, ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව වටහාගත හැකි ය. මහින්දාගමනයෙන් පසු බොහෝ ඇදහීම් ඊට අවශෝෂණය කර ගැනුණි. ගල් පර්වත ඇදහීම චෛත්‍යය වන්දනාවටත්, රුක් පූජාව, දේව ඇදහීම් බෝධි වෘක්‍ෂයටත් සම්බන්ධ කෙරුණි. මිථ්‍යා ඇදහීම්, ඉවත් වූ අතර බුදුදහමට උචිත ව දේව, නාග, යක්‍ෂ, බහිරව විශ්වාස හා ඇදහීම් පරිනාමයට පත්විය. එතෙක් සංකීර්ණව පැවති ආගමික පරිසරය මහින්දාගමනයත් සමඟ සරල ආගමික පරිසරයක් උදා විය.

උපුටා ගැනීම

1 Response to මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

November 22, 2013 at 6:18 PM

මෙහිදී සතරවරම් පාලකයින්ගේ නාම පැවතියේ කුල නාමයෙන් යන්න මගේ අදහසයි , උදාහරණ ලෙස වෙසමුණි(විශ්‍රවස්) යන නාමයෙන් රාවන රජුගේ පියා ද ගෞතම බුදුන් සමයේ සිටි වෙසමුණි(වෛශ්‍රවන) ද දැක්විය හැක.

Post a Comment

අදහස් සහ උදහස්

..