Friday, May 13, 2011
අපේ කඳුකරය තුළ තැනින් තැන සැඟව ගිය රාවණා - සීතා පුරාවෘත්ත
0ඉන්දියානු සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‌ෂ මනිරත්නම්ගේ රාවණන් චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වී මත් සමගම ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලය ද තායිලන්තයේදී රාම - රාවණා කතාව ගෙන හැර දක්‌වමින් ශ්‍රී ලංකාවට සංචාරයකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රචාරණ වැඩ සටහනක් දියත් කිරීමයි. මේ සමගම ඉන්දියාව ක්‍රියාවට නැංවීමට සූදානම් වූ සේතුසමුද්‍රම් නාවික ගමනා ගමන මාර්ගය (පෝක් සමුද්‍ර සන්ධිය හා රාමේෂ්වරම් අතර) යෝජනා ක්‍රමය ඉන්දීය විරෝධතා මධ්‍යයේ අත්හැර දැමීමයි.
ඉන්දියානුවන් එකී විරුද්ධත්වය ගෙනහැර පෑවේ එකී නාවික ගමනා ගමන මාර්ගය ඉදි කළහොත් රාම - රාවණා ඉන්දීය ශ්‍රී ලංකා සංකල්පය බිඳ වැටෙන බවට හේතු දක්‌වමිනි. රාමගේ හනුමන්තා ප්‍රධාන වානර හමුදාව විසින් තනන ලදැයි ප්‍රකට පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති ගල් අතිරූ ඉන්දීය ලංකා පැරණි පාලම යටකී නාවික ගමනාගමනය හේතුවෙන් ගලවා දැමීමට සිදුවීම ඊට හේතුවයි. එසේ වුවහොත් රාමායනයන් රාම රාවණා කතාවත්, සනාථ කිරීම ඉන්දියානුවන්ට උගහට වන්නේය.
රාම - රාවණා සංකල්පය ඉදිරිපත් කිරීමෙන් ඉන්දිය හා තායිලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකිවේවිද? ඇත්ත වශයෙන්ම රාම - රාවණා කතාව ඇත්තක්‌ද මෙය ඉන්දියානු වතු කම්කරුවන්ගේ නිර්මාණයක්‌ද?
පුරාණයේ සීත එළිය දැන් දමිළ වතුකම්කරුවන් විසින් "සීතාඑළිය" ලෙස නම් කොට රාවණා සීතාවන් හක්‌ගල මල්වත්ත සමීපයට ගෙනැවිත් ඇති බව කියයි. සීතාගේ අග්ගලා ගුලි නමින් ලෝකාන්තයේ කිරීවත්ත (නැග්රෙක් ප්‍රදේශයේ අළුපැහැගති ගල් වර්ගයක් තිබේ. මේවා උරගා බීමෙන් බඩේ අමාරු මෙන්ම ශරීරයේ වෙනත් ආබාධද සුවවන බව කියති. රාවණා, සීතාවන් පැහැරගෙන දඬුමොරණයෙන් පැමිණෙන විට තමා පැහැරගෙන ආ මාර්ගය රාමාට දැනගැනීම පිණිස තමා සන්තකයෙහි තිබූ අග්ගලා ගෙඩි මල්ලෙන් එක එක බැගින් බිමට හෙලු බවත්, ඒවා, පසුව සීතා ගේ අග්ගලා වී යයි මෙම දමිළ වතු කම්කරුවන්ගේ අදහසයි. තවද සීතා එළිය, මහ එළිය, කරීවත්ත යන පෙදෙස්‌හි දිය පොකුණුවල වැවෙන විල්ලුණු නම් ලුණු වර්ගයක් වෙයි. මෙම විල්ලුණු ගැලවීම තුරුලතා ආරක්‌ෂිත පනත යටතේ තහනම්ය. නමුත් දමිළ වතුකම්කරුවෝ ඒවා ගලවා වෙළෙඳපොළට ගෙනැවිත් විකුණති. මෙම විල්ලුණු සිSතාවන් විසින් ජල පොකුණුවලට විසි කරන ලද තමාගේ ආහාර කොටසින් හටගත් පැළෑටියක් බව දමිළ වතුකම්කරුවන්ගේ මතයයි.
ලෝකාන්තය හා හෝර්ටන් තැන්න බද පෙදෙස රාම - සීතා කතාවේ මුල් භූමිය ලෙස ප්‍රචලිතකර හැරීමට දකුණු ඉන්දියානු දමිළ වතුකම්කරුවන්ට අවශ්‍ය වූයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඔවුන්ගේම මව් භූමියක් ලෙස හැඟවීමට බව පෙනේ. රාවණා දිය ඇළි, රාවණා ගල්ගුහා, රාවණා විවේකයට වාඩිවී සිටියා යෑයි කියෑවෙන ගල් ආසනයක්‌ද "ලෝකාන්තය" පහළ වනයේ තිබේ. මේවා දමිළ වතුකම්කරුවන් තමන් ඉන්දියාව සමග පවත්නා සම්බන්ධතාව සනාථ කිරීමට නිර්මාණය කළ ඒවාදැයි අප නොදනිමු. නමුත් අපට ඒ ගැන අමුතුවෙන් සිතන්නට දැන් අවස්‌ථාවක් පැමිණ තිබේ. එනම් මතු සඳහන් කරන ලද මිනරත්නම්ගේ රාවණන් චිත්‍රපටයක් සංචාරක මණ්‌ඩලයේ ඉන්දිය සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීම පිණිස රාම - රාවණා කතාව යළි මතුකොට ඉන්දීය ජනතාව අතර ව්‍යාපාරයක් ගෙන යැමයි.
තවද ඉන්දීය වතු කම්කරුවනට විශේෂයෙන් නුවරඑළිය බද වතුවල කම්කරුවන්ට ඉන්දිය දෙවිදේවතාවුන් ඔවුන්ගේ වතුකරයට ගෙන්වා වැදුම් පිදුම් කිරීමට අවශ්‍ය වූ බව කියනු ලැබේ. ඊට පදනම යෙදීමට සීතාවන්, රාවණා විසින් සඟවා තබන ලදැයි කියෑවෙන සීතාඑළිය, මහඑළිය, ලෝකාන්තය, හෝටර්න්තැන්න වැනි ප්‍රදේශ මෙම කම්කරුවන් විසින් උපයෝගි කොටගෙන ඇති වග පෙනේ. රාස්‌සගල, උඩකන්ද, පෙදෙසේ ඇති කුඩා ගම්මානයක් වන සීතගල (ශීතල පර්වත) දැන් සීතාගල් වශයෙන් හැඳින්වීමට එම පෙදෙසේ වතු කම්කරුවෝ පුරුදු වී සිටිති. නව සිය හැට හැත්තෑව දශකයේ හග්ගල මල්වත්තට නුදුරුව තනා තිබූ සීතාකෝවිල නමින් හැඳින්වෙන කුඩා පූජනීය ස්‌ථානය අද දැවැන්ත සීතා කෝවිලකි.
මෙම ප්‍රදේශ පවත්නා දියඇලි එක්‌කෝ සීතා ඇල්ලයි නැත්නම් රාවණා ඇල්ලයි. නමුත් ශ්‍රී පාද මාර්ගයේ ඇති සීතගඟුල් නම් තවම සීතාගඟුල් වී නැත. අනාගතයේදී එයද සීතා ගඟුල් වීමට ඉඩ තිබේ. රාවණ - සීතාවන්ට සම්බන්ධයක් නොමැති වූවත් එදා සුද්දන් නන්පෙරිල් (අගාධයක් නොවේ) නමින් හැඳින්වූ ලෝකාන්තය පහළ පිහිටිවත්ත නන්පෙරිල් තේවත්ත අද දමිළ කම්කරුවන් විසින් නන්පේරියල් නමින් හඳුන්වනු ලබයි.
අපේ රාවණා රජු ගැන සැලකීමේදී බඹරවාන" උඩුරාවණ යටිරාවණ කඩුරාවණ යනාදී පෙළපත් නාම උඩරට රාජධානිය පුරා පවතී. මෙම නම්වලට රාවණගේ සම්බන්ධක් තිsබිය හැකිද? තවද මොණරාගල රාවණාගේ දඬුමොණරය නිපදවීමට යොදාගත් ස්‌ථානයද? මේවා නොවිසඳී පවත්නා ගැටලුය. වයඹ පළාතේ වඳුරාගලත් දකුණු පළාතේ වඳුරඹ පෙදෙසත් රාමාගේ හනුමන්තා නිසා යොදන ලද නාමයන්ද? තායිලන්තයේ රාමායනය නැටුමට විශාල ප්‍රසිද්ධියක් ඇත. එනිසා මෙම නැටුම හා ශ්‍රී ලංකාවේ රාමායන කතාව සම්බන්ධකොට ආගමට බර වූ තායිලන්ත ජාතිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සංචාරක මණ්‌ඩලය වැඩසටහන සාර්ථකවේද? ශ්‍රී ලාංකික බෞද්ධ වියතුන් පවසන්නේ තායි ජාතිකයන් සංචාරක වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් සියම් මහා නිකාය සම්බන්ධ ඉතිහාසගත තොරතුරු හා පැරණි ලංකා - තායි සියම් නිකායික සම්බන්ධතාවය ගෙනහැර දැක්‌විය යුතු බවයි.
ඉන්දිය සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අමුතුවෙන් නාඩගමක් නටන්නට වුවමනා නැත. ඔවුහු රාම - සීතා හා රාම රාවණ සහ රාවණ සීතා කතාව මැනවින් දනිති. රාවණා සිSතා කතාව ඇත්ත වශයෙන්ම සත්‍යයද? නැත්නම් මිථ්‍යාවක්‌ද? එසේත් නැත්නම් බ්‍රිතාන්‍ය ජාතික අධිරාජ්‍යවාදීන් විsසින් තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආනයනය කරන ලද දමිළ කුලී කරුවන් (කෝපි හා තේ වගා කිරීමට) විසින් වර්ධනය හෝ සංවර්ධනය කරන ලද ප්‍රබන්ධයක්‌ද? දකුණු ඉන්දියාවේද ලංකා පුරාණයක් වෙයි. සීතා ගෙන එනු ලැබුවේ එම ලංකාපුරයටද? ඉන්දියාවේ ඇතැම් කොටසක් මේ කතාව පිළිගනිති. මනිරත්නම් විසින් මෑතකදී නිපදවන ලද රාවණන් චිත්‍රපටයෙන් රාවණාට සාධාරණය ඉටුකොට දී ඇති බව පෙනේ යයි සිනමා විචාරකයෝ පවසති. අයිෆා සම්මාන උළෙල පවා වර්ජනය කළ මනිරත්නම් රාවණන් චිත්‍රපටය මගින් රාමා චරිතය අමුතුම ස්‌වරූපයකට පරිවර්තනය කළේ ඇයිද යනු විචාරකයන්ට කුතුහලයකි.
ඇත්තවශයෙන්ම රාවණා යුගයක් ලංකාවේ තිබුණේද නැතිනම් එය ශ්‍රී ලාංකික ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ නිර්මාණයක්‌ද? මෙම ප්‍රශ්න අප ඉදිරියේ මැවෙමින් පවතී. අපේ මහා ඉතිහාසය ග්‍රන්ථය වන මහාවංශයෙහි රාවණා ගැන කිසිවක් අඩංගු නොවෙයි. එතෙකුදු තබා සම්බුදුරජාණන් වහන්සේ ලක්‌දිව වැඩි තුන් ගමන ගැන ත්‍රිපිටකයෙහිද සඳහන් නොවන්නා මෙනි. මහාචාර්ය සෙනරත් පරණ විතාන වියතාණන් පවසන්නේ ලක්‌දිව රාවණයන්ගේ ලංකාව නොවේ. රාමායනය කියන ලංකාව කිසිකලක නොවූ වීරු මිථ්‍යා ප්‍රදේශයක් යයි බවයි. (රාජකීය ආසියාතික සමිතියේ සංග්‍රහය ඪදක ඞඞඞෂ-82-328) මේ අයුරින්ම රාමා රාවණා සීතා ආදීහු ලොව විසූ පුද්ගලයන් නොව ආදී කාලීන කෘෂකයන් විසින් ස්‌වභාවික වස්‌තූන්ද ධර්මතාද ඇසුරුකොට නිපදවන ලද මිථ්‍යා කතාවක නායකයන් බවයි පරණවිතාන සූරීන් පවසන්නේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රාවණාගේ කතාව මහාවංශයෙහි ඇතුළත් නොවන්නේ මහානාම හිමියන් රාවණයාගේ කතාව පැරණි ලංකාව පිළිබඳ කතාවක ලෙස නොසැලකුණු බැවින් එය මහාවංශයෙහි සඳහන් නොකරන්නට ඇතැයි යන ආකල්පය නිසාය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිය බුදුසමය හා සමාජ දර්ශනය ග්‍රන්ථයෙන් පෙන්වා දෙන්නේ රාම කතාව ලංකාවේ පැතිරුණේ 12 වන සියවසින් පසුව බවත් එය දකුණු ඉන්දියාවේ වෛෂ්ණාව සමයේදී පැතිරි ගිය එකක් බවයි. රාවණ කතාව ලංකා ඉතිහාසය පිළිබඳ කඩඉම් පොත්වලට ඇතුළු වී ඇත්තේ මහනුවර රාජ සමයේදී බව වික්‍රමසිංහ සූරීන්ගේ අදහසයි.
එහෙත් එම කඩඉම් පොත්වල දැක්‌වෙන්නේ විජයාවතරණයට පෙර රාක්‍ෂ ග්‍රෝතික රාවණා වත්මන් ඌව පළාත් අගනුවර වූ බදුල්ලෙහි ස්‌වකීය රාජධානිය පිහිටුවාගෙන රජකළ බවයි. ලංකා පුරාවෘත්තය නමැති පොතේ දැක්‌වෙනුයේ රම් සෙන් අගනුවර ගිනිලුකළ එය විශාල ගිනි ජාලාවක් මෙන් බොහෝ ඈතට පෙනෙන්නට වූ බවත් යුද්ධ තත්ත්වය දැනගනු රිසියෙන් පිදුරුතලාගල කඳු මුදුනට රැස්‌ව සිටි ජනයා අර නුවරඑළිය කුමක්‌දැයි පිළිsවිසූ බවත් එතැන් පටන් අග නුවර දැවෙන එළිය දුටු පෙදෙස "නුවරඑළිය" නමින් ප්‍රසිද්ධ වූ බවත්ය. කුමාරදාස රජු විසින් රචනය කරන ලද සංස්‌කෘතික කාව්‍යයක්‌වූ ජානකී හරණයෙහි රාම සීතා කතාව ගැන සඳහන් වෙනත් සාමාන්‍ය ජනතාව සතු බස් නොඋගත් කොටසක් බැවින් ඉන් පලක්‌වී නොමැති බව පෙනේ. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ රාමායනය හා මහා භාරතය සම්පප්‍රලාප යයි පහත දැක්‌වෙන සිය කාව්‍ය ශේඛරයෙන් පවසති එනම්,
රාමායණ බරන
ඇතුළුව දෙසුම් මුළු යුත
කීමුත් බස් නිරත
යුතුව දෙ අගින් දනුව නියවත
එහෙත් මෙම රාහුල හිමියන්ම යටකී ග්‍රන්ථයෙන්ම සීතාදේවිය ගැන මෙසේ කියති
රුසිරු ගුණ සීතා
සුරතුර දිනූ දෑතා
විලසින් වි නීතා
ලොවට කුළුණෙත් සදිසි මාතා
ගරුඬ පුරාණය පවසන්නේ රාම
- රවණා සටන ශ්‍රී ලංකාවේදී සිදුවූ වගයි. අධ්‍යාය 55)
කෙසේ වෙතත් අප රටේ නොයෙකුත් ප්‍රදේශවල විශේෂයෙන් කඳුකරයේ රාවණ ගැන කියෑවෙන තැන් බොහෝය. මාතලේ ලග්ගල, ලොග්ගල පැත්තද බදුල්ල ප්‍රදේශයද විශේෂයෙන් සීතා කෝවිල ගොඩනැගී ඇති නුවරඑළිය හා ඊට ආසන්න ලෝකාන්තයද බලංගොඩ "දෙතනගල කඳු පෙදෙසද එහිම කූරගල පූජනීය පෙදෙසද දක්‌ෂිණ ශ්‍රී ලංකාවේ මුහුදු වෙරෙළට ඔබ්බෙන් පිහිටි මහාරාවණා කෝට්‌ටේ සහ කුඩා රාවණා කෝට්‌ටේද යනාදි ස්‌ථානයන්හි රාවණා පිළිබඳව තොරතුරු කියෑවේ. රාවණා ඇල්ල නමින් දිය ඇල්ලක්‌ද ඌවේ පිහිටා ඇත. මෙවැනි ස්‌ථානීය සාක්‌ෂි තිබෙද්දී රාම -රාවණ සංකල්පය මිථ්‍යාවකැයි කෙලෙස බැහැර කරමුද?
යක්‌ෂ, නාග, දේව, රාක්‌ෂ නමින් ගෝත්‍ර හතරක් ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබූ බවට බොහෝ තැන්වල සඳහන් වෙයි. මෙයින් රාවණා රාක්‌ෂය ගෝත්‍රික නායකයා වන්නට පිළිවනැයි බොහෝ දෙනකුගේ මතයයි.
රාමකුමරුගේ සේනාධිනායකයා යයි සැලකිය හැකි හනුමන්තා (ඉන්දීය හනුමන්) පැරණි ලංකාවට ගුවනින් පැමිණ එවකට ලංකා පුරයට නුදුරින් පිහිටි කුලපව්වට ගොඩබැස්‌ස වගක් කියෑවේ. මෙම ස්‌ථානය වත්මන් නමුනුකුල වන්නට ඇතැයි විචාරක මතයයි. හනුමන් කුල පව්ව යන්න පසුව නමුනුකුල වන්නට ඇතැයි කියති.
භාරත යුද සෙනගට ලංකාවට පා ගමනින් පැමිණීම සඳහා මන්නාරම සහ රාමේශ්වරම් අතර නොගැඹුරු මුහුදේ එවකට වානර හමුදාව විසින් තනන ලදැයි විශ්වාස කෙරෙන ගල් පාලම මීට කලකට පෙර අමෙරිකානු නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් මගින් රූ ගතකොට ඉදිරිපත් කරනු ලැෙබීමෙන් පසු මහත් ආන්දෝලනයක් තමිල් නාඩු ප්‍රාන්තයේද අපේ ශ්‍රී ලංකාවේද ඇතිවිය සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියානු රජය විසින් බැහැර කිරීමටද එය හේතුවක් විය. ඉන්දියානුවන් දේශපාලනික භේද නොතකා ජාතික ප්‍රශ්නවලදී එකට එකමුතුවන ජාතියක් නිසා (අපමෙන් නොවේ) රාමායන කතාව සුරක්‌ෂිතව තව කාලයක් පැවතීමට නම් මෙම වානර පාලම එලෙසම මුහුදෙහි තිබීමට ඉඩ හැරිය යුතු යයි ඉන්දියානුවෝ එකහඩින් ප්‍රකාශ කර සිටියහ. රාවණා පළමුව සීතාවන් ගෙනැවිත් සඟවා තබා ඇත්තේ ඌවේ පරණගම ගල් ගෙයක යෑයි ජනවහරෙහි එන කතාවක පවතී. ඉන්පසු මනා හිරුඑළියක් සහිත වත්මන් සීතාඑළියට ඇය ගෙනැවිත් මුරකාවල්ලා තබන්නට ඇතැයි සැලකේ.
එම ස්‌ථානය වැරදි හෝ නිවැරදි හෝ වේවා අද හක්‌ගල මල්වත්තට නුදුරින් සුවිශාල වූ සීතා කෝවිලක් ගොඩනගා තිබේ. රාම - රාවණා අවසන් සටන වත්මන් මයියංගනයේදී සිදුවනු බවට ඌව ජනවහර කියයි. එම ප්‍රදේශයෙහි සීතා කොටුව නම් ස්‌ථානයක් වෙයි. එහි නිෂ්ඨාවශේෂ අදත් දක්‌නට ඇති බව කියති. පතිවත බවට සීතාවන් දිවුරුම් දුන් ස්‌ථානය අද දිවුරුම්පොල් වශයෙන්ද එහි බෝධිවෘක්‌ෂයක් දිවුරුම් බෝධිය නමින්ද අද හැඳින්වේ. ඇතමෙකු මිථ්‍යාවකැයි පවසන රාම - රාවණා සීතා තුන්කොත් කතාව තව ඉදිරියටත් මේ අන්දමට භාවිත වනවා ඇත. කඳුකරයේ වතුකම්කරුවෝ එය යටපත්වීමට ඉඩ නොසලසන බව ඔවුන්ගේ කතාවලින් පෙනේ.
ස්‌ටැන්ලි සේනාධීර
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/08/feature04.html
වර්ගකිරීම් :
රාමායනය
Subscribe to:
Post Comments (Atom)
No Response to "අපේ කඳුකරය තුළ තැනින් තැන සැඟව ගිය රාවණා - සීතා පුරාවෘත්ත"
Post a Comment
අදහස් සහ උදහස්