වස් දොස් දුරලන හද්දා වලියකුම
ශ්‍රී දළදා මාලිගාවේ මහ පෙරහර අවසන් වීමත් සමඟ එදින ම මධ්‍යම රාති‍්‍රයේ සධාතුක කරඬුව රැගත් මාලිගාවේ පෙරහර ගෙඩිගේ විහාරය දක්වා ගමන් කරයි. එහි දී අස්ගිරි මහ නාහිමියන් භාරයේ සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු දේවාල පෙරහර ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි. පසුදින දහවල් පෙරහර ආදාහන මළුව අබියසින් පිටත් වී දළදා මාලිගයට ගෙවදීමෙන් පසු දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු පෙරහර සාර්ථකව නිම කළ බව සඳහන් කරමින් පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරති.
එසේ වුව ද ඇසළ පෙරහරේ චාරිත‍්‍ර වාරිත‍්‍ර එතැනින් අවසන් වන්නේ නැත. දළදා කරඬුව සහිත දහවල් පෙරහර දළදා මාලිගයට ගෙවදීමෙන් පසු පුරා හත් දවසක් වලියක් මංගල්‍යයක් ද පැවැත්විය යුතුය. මහා දේවාලයේ හෙවත් විෂ්ණු දේවාලයේ සතරවන මාලයේ පැවැත්වෙන මේ ශාන්ති කර්මය වලියක් තෝත්ත‍්‍රය, හද්දා වලියකුම, වලියකුම, වලියකුන් නැටීම ආදී වශයෙන් ද හැඳින්වේ.
දළදා පෙරහර සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා දෙවියන් ගේ ආශිර්වාදය ද අපේක්ෂා කැරේ. පෙරහර අවසන් වීමෙන් පසු දෙවියන්ට පිංපෙත් පැමිණවීම මේ ශාන්තිකර්මයේ මූලික පරමාර්ථයකි. දළදා පෙරහර සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි. ඒ සඳහා මූලික වී කටයුතු කළ දියවඩන නිලමේතුමා ප‍්‍රමුඛ නිලමේවරුන්ටත්, ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ සියලුම නිලධාරීන්ටත්, නැටුම් ශිල්පීන්, අලි ඇතුන් ඇතුළු පෙරහරේ ගමන් කළ සියලු දෙනාටත්, පෙරහර නැරඹු පිරිසටත් මොනයම් ආකාරයෙන් හෝ දළදා පෙරහර උදෙසා ආධාර උපකාර කළ පිරිසටත්, පෙරහරට සහභාගි වීම නිසා කිසියම් ආකාරයක වස්දොස්, අපල උපද්‍රව සිදුවූයේ නම් ඒ සියල්ල දුරු කිරීම ද මෙම ශාන්ති කර්මයෙන් අපේක්ෂා කැරේ.
යක් / දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන වලියකුම වර්තමානයේ දී විෂ්ණු දේවාලයේ පමණක් සිදු කැරේ. එය පැවැත්වෙන්නේ වසරකට එක්වරක් පමණි. වෙනත් කවර හේතුවක් නිසා හෝ කිසිදු තැනක වලියක් මංගල්‍යය පැවැත්වෙන්නේ නැත. ජනප‍්‍රවාදයට අනුව වලියක්කු හෙවත් වලියක් තුන්කට්ටුව විෂ්ණු දෙවියන් ගේ දරුවෝ ය. වලියකුම සහ කොහොඹායක් කංකාරිය සම්බන්ධයෙන් නම් විෂ්ණු, උපුල්වන් සහ රාම යනු එක ම පුද්ගලයකු බව පෙනේ. වලියක් තුන්කට්ටුවේ උපත පිළිබඳ ව අපූරු වෘත්තාන්තයක් වලියක් උපතෙහි සඳහන් වේ.
සෙනසුරු අපලය ලැබූ විෂ්ණු දෙවි තෙමේ ඇත් වෙසක් මවාගෙන සත් වසරක් වනවාසීව සිටියේ ය. මෙයින් අවුරුදු සයකුත් මාස එකොළසක් සහ දින විසි තුනක් ගත වූ පසු රාවණා විසින් විෂ්ණු ගේ බිසව වූ සීතා පැහැර ගනු ලැබීය. පසුව රාම, ලක්ෂ්මන සහ හනුමන්තා ආදීහු රාවණ සමඟ යුද්ධ කොට සීතා රැඟෙන ආපසු ගියහ. කලක් ගත වූ පසු, උමයංගනාව රාවණා කෙබඳු කෙනෙක් දැයි සීතාගෙන් විචාළා ය.
එවිට අළු කෙසෙල් පතක රාවණගේ රූපය සිත්තම් කළ සීතා එය උමයංගනාවට පෙන්වන අවස්ථාවේ රාම එහි එනු දුටුවේ, රාවණ රූපය සහිත අළු කෙසෙල් පත යහන යට සැඟවූවා ය. කිසිත් නො දත් රාම යහන මත සැතපිණි. ක්ෂණයකින් එය රත්වීමටත්, සෙලවීමටත් පටන් ගති. මේ අරුමය පිරික්සූ රාමට රාවණ රූපය සහිත කෙසෙල් පත හමු විය. රාවණ රූපය දුටු හෙතෙම සීතා රාවණ කෙරෙහි පිළිබඳ සිතින් පසුවන බවට සැක පහළ කළේ ය. එහෙයින් ගැබ්බර සීතා වනාන්තරයට ගෙන ගොස් මරා දමන ලෙස මළනුවන් වූ ලක්ෂ්මනට නියම කළේ ය. වනාන්තරයේ දී සීතා බිසවට අභය දානය දුන් ලක්ෂ්මන ආපසු පැමිණියේ ඇය මරා දැමු බව රාමට දැන්වූයේ ය.
වනයේ තනි වූ සීතා බිසවට වාල්මිකි (මාලමිග) නම් සෘෂිවරයෙක් හමු වූයේ, ඔහු ගේ අසපුවේ ඇයට නවාතැන් ලැබිණි. දින කිහිපයක් ගත වූයේ ගැබ්බර සීතා දරුවකු ප‍්‍රසූත කළා ය. සීතා තම දරුවා යහන මත තබා පලවැල නෙලීමට ගිය එක් දිනෙක දරුවා යහනෙන් බිමට වැටුණි. දරුවා ස්පර්ශ කිරීම තමාට තරම් නොවන හෙයිනුත්, සීතා පැමිණි පසු යහන මත දරුවා නො සිටියහොත් කලබල වීමෙන් ඇයට අනතුරක් වේ යැයි සිතූ සෘෂිවරයා මානෙල් මලක් ගෙන එයින් දරුවෙක් මැවෙන ලෙස අධිෂ්ඨාන කොට යහනට දැමූයේ එයින් දරුවකු මැවිණි.
මේ කිසිවක් නො දත් සීතා ආපසු පැමිණියේ යහන මත සිටි දරුවා වඩා ගනිත් ම යහන යට තවත් දරුවකු හඬන හඬ ඇසී බලන්නී ඔහුත් රැගෙන සෘෂිවරයා හමුවට ගොස් කරුණු විමසුවා ය. සෘෂිවරයා සියලු විස්තර දැන්වූ නමුත් ඇය ඒවා විශ්වාස නොකළා ය. එහෙයින් ඊතණ කෙන්දක් කඩා යළිත් පෙර අවස්ථාවේ මෙන් අධිෂ්ඨාන කොට යහන මතට දැමූයේ එයින් තවත් දරුවකු මැවුණි.
මේ දරුවන් තිදෙන ක්ෂති‍්‍රය, මලය හා සඳලිඳු නමින් හැඳින්වෙත්. කංකාරියේ සහ වලියකුමේ දී මල රජ තුන් කට්ටුව නමින් හඳුන්වන්නෝ මොවුහු වෙති.
මේ අවදියේ එම වනාන්තරයේ අඹ පල නෙලීමට පත්තිනි දේවිය සහ පාලඟ ගියාහුය. පත්තිනි සහ පාලඟ ලී කෙකි (දෙබල්) දෙකකින් අඹ කඩත්හු පත්තිනය ගේ කෙක්ක පාලඟ ගේ කෙක්කෙහි දැවටී ඇමිනිණි. එය ගලවා ගත නොහැකිව ලජ්ජාවෙන් සිටි පත්තිනියට පාලඟ උසුලු විසුලු කළේ ය. මේ අවස්ථාවේ අකුරට ගොස් ආපසු එමින් සිටි ක්ෂති‍්‍රය, මලය හා සඳලිඳු කුමරුවන් තිදෙනා දුටු පත්තිනිය ඇය ගේ කෙක්ක ඇද දෙන ලෙස ඉල්ලීමක් කළාය. ඔවුහු තිදෙන එක් වලියට (එක්වරම) කෙක්ක ඇද්දාහු පාලඟ ගේ කෙක්ක පවා කඩා දැමූහ. එක් වරම එක් වලියට ම කෙක්ක ඇද දුන් හෙයින් ‘වලියට යක්කු’ යැයි කී පත්තිනි දේවිය ඔවුන්ට වරම් දුන්නා ය. වලියක් මංගල්‍යය පැවැත්වෙන්නේ මේ දෙවිවරුන් තිදෙනා වෙනුවෙනි.
වලියක් මංගල්‍යය පැවැත්වීමට නම්, පළමුව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ගෙන් අවසරය ලැබිය යුතුය. ඉන්පසු විෂ්ණු දේවාලයේ වන්නකු රාළ නම් වූ ඇතුල් කට්ටලේ නිලධාරියා විසින් ශාන්තිකර්මයට සහභාගිවන ශිල්පීන් ගේ නළලෙහි පරහද ආලේප කොට වලියක් මංගල්‍යය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා දේ. ශාන්ති කර්මය ඇරැඹෙන්නේ මේ දෙදෙනා ගේම අවසරය ලද පසුවය.
හත්දාවලියක් මංගල්‍යයට සහභාගිවන පිරිස් දින හතක් මස් මාංශ අනුභවය, මත්පැන් පානය, ස්තී‍්‍ර සේවනය ආදී කිළිවලින් වැළැකී සිටීම අනිවාර්්‍යය වේ. පේවීම නමින් හැඳින්වෙන්නේ එයයි.
ලංකාවේ ඕනෑම ශාන්තිකර්මයක නියැලෙන ශිල්පීන් මෙසේ පේ විය යුතු බව පිළිගත් චාරිත‍්‍රයකි. වලියකුම නැටීම ද අතීත වැඩවසම් සමාජ ක‍්‍රමය යටතේ පැවැති රාජකාරියකි. ඒ සඳහා සිංහල රජ දවස පටන් පැවත එන බව කියන පරම්පරා දෙකක ශිල්පීහු සහභාගි වෙති. වර්තමානයේ දී ද වලියකුම නැටීමේ රාජකාරිය සඳහා හිමිකම් ලබන්නේ එකී පරම්පරාවෙන් පැවත එන පිරිස ය. ඔවුන් මාවනැල්ල අසල අලුත් නුවර දේවාලය හා සම්බන්ධ පරම්පරා දෙකකි.
මේ ශාන්ති කර්මය සඳහා දළදා පෙරහරට දායක වූ යක්දෙස්සන්ට සහ බෙර වාදකයන්ට සහභාගි වීමට අවසර නො ලැබේ. එසේ වුවද දින හත පුරා ම දළදා පෙරහරට සහභාගි වූ ආලත්ති අම්මාවරුන් ගේ දායකත්වය මේ ශාන්තිකර්මය සඳහා ද අනිවාර්ය වේ. එහි දී ‘ආයුබෝවේවා’ යන පාඨය ගායනා කරනු ලබන්නේ ආලත්ති අම්මාවරු විසිනි.
වලියකුමේ අන්තර්ගත නාට්‍යමය පෙළපාලි ලෙස වෙසෙසින් සඳහන් කළ හැකි වන්නේ යක්කම් ය. නයා යක්කම, වැදි යක්කම, සහ මහ යක්කම ඒ අතරින් විශේෂ වේ. යක්කම්වලට අමතරව කාලියාම, ගරා යකුන් නැටීම, ගුරුගෙ මාලාව, ආවැන්දුමේ දොඟ රොජිංත තත්ගජිංත වට්ටම, මල නැටීම, කීල බැඳීම යනා දී පෙළපාලිවලින් ද නාට්‍යමය ලක්ෂණ පෙන්නුම් කෙරේ. වලියකුමේ එන මල නැටීම, පඬුරු ලෑම, තෙල් මල් බෙදා ගැනීම වැනි අවස්ථාවන්හි දී පේ‍්‍රක්ෂක සහභාගිත්වය මැනවින් ප‍්‍රකට කැරේ.
වලියක් මංගල්‍යයේ සත්වැනි දින පැවැත්වෙන ගරා නැටුමෙන් පසු වස් දොස් හැර වරු තුනක පිරිතක් සජ්ජායනා කැරේ. නාථ දේවාලයේ විහාරගම් ලබා ඇති විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ ඒ සඳහා සහභාගි වෙති. වරු පිරිත අවසානයේ බලිබත් දානය දීමත් සමඟ හත්දාවලියක් මංගල්‍යය අවසන් වේ. ඒ සමඟ දළදා පෙරහර හා බැඳුණු සකල විධ චාරිත‍්‍ර අවසන් කැරේ.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක
සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි
මම