-->

Wednesday, October 3, 2012

රාවණ සැබෑවක් ද?

1

 

රාවණ සැබෑවක් ද?

කාලෙකට පස්සේ ගහයට බංකුවට වෙලා ටිකක් සැනසිල්ලේ උඩ බලාගෙන හිටියා. එක පාරටම මහා දෙදරුම් හඬක් එක්ක මගේ ඉහට උඩින් හෙලිකොප්ටරයක් ගියේ රත්මලාන ගුවන් තොටුපළේ ගොඩබාන්න වෙන්න ඕන. ඒ එක්කම ඊයේ පෙරේදා ආචාර්ය සූරිය ගුණසේකර මහත්තයාගේ ඓතිහාසික රාවණ කෘතියට ගිය දවස මතක් වුණා. පුෂ්පක විමන ගුවන් යානයද හෙලිකොප්ටරය ද? විශ්ව කර්මද රයිට්ස් සහෝදරයොද? වර්තමානයෙන් අතීතයට ඇදෙන හිතට නවතින්න තැනක් සොයා ගන්න බැහැ වගේ. මම ආයෙත් දුවගෙන ගිහින් පොතේ මට අවශ්‍ය පරිච්ඡේද කීපයක් එක හුස්මට කියෙව්වා.

ඒ එක්කම මට මතක් වුණේ පොත එළි දැක්වීමේදී දේශනාවල කියැවුණු දේ. මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා කී විදිහට විජයාවතරණයට අවුරුදු දෙදහකටත් එහා ගිය මානව ඉතිහාසයක් දැන් අපේ රටෙත් හමුවෙලා තියෙනවා. යකඩ සොයාගත් මිනිස්සු පිරිසක්, ආදාහනාගාර භාවිත කළ පිරිසක්, යමක් දැවෙන්න වාතය වුවමනාබව දන්න ඒ නිසා මැටියෙන් කළ ආදාහනාගාරවලට වායුව ලැබෙන ටෙරාකොටා බට දාලා හදන්න තරම් දැනුමක් තිබූ පිරිසක් ඒ කාලේ ඉඳලා තිබෙනවා.

ලංකා ලංකා පෙම්බර ලංකා ගීතයේ බලිතරු රාවණා ගැමුණු විජය බා කියලා ලියලා තිබුණත් දඬු මොනරේ ගැන කොතරම් අහලා තිබුණත් රාවණ කියලා රජකු හිටියාය කියලා හිතන්නවත් තරම් උවමනාවක් ඇතිවෙන්න ඒ ටික ප්‍රමාණවත් වුණේ නෑ. යටත් විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරිව ගුණසේකර මහත්මයාගේ ම වචනෙන් කීවොත් කළු ඇඟක් සහ සුදු හිතක් තියෙන අපිට ඉගෙන ගන්න ලැබුණු ඉතිහාස රාමුවෙන් එහාට ලෝකයක් තිබුණද කියලා හාංකවිසියක්වත් ඇති වුණේ නැද්ද ඇති කළේ නැද්ද කියලත් සැකයි.

අනික අපි දැන් පුරුදුවෙලා තියෙන්නේ විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්වන දේවල් ම පිළිගන්නනේ. නැත්නම් අපේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් අනිත් අයට ඇතිවෙයිද කියලත් බයයිනේ.
ඒ වුණාට රස වෙදකම, පිරමිඩ දේවාලයේ අවුරුදු 4500 ක් පැරණි ගුවන් යානාවක මැටියෙන් අඹන ලද රූපය, රාම රාවණ යුද්ධය පිළිබඳ කතා ප්‍රවෘත්ති, නහුත රජුට බින්දු විසි හතකින් ලියැවෙන සංඛ්‍යාව දක්වා ගුණ කිරීමට තිබූ හැකියාව, පුෂ්පක හෙවත් දඬු මොනර යානයේ තිබුණේ යැයි කියන රසදිය සහිත ඇන්ජිම ඇමෙරිකානුවෝ මර්කරි වෝටෙක්ස් ලෙස අත්හදා බැලීම, ආලෝක ධාරා මඟින් රාමාගේ යුද හමුදාවට පහර දුන්නේ ලේසර් තාක්‍ෂණය රාවණා යුගයේ තිබූ නිසාද යන සැකය, සූර්ය ශක්තියෙන් වැඩ ගැනීම, ගගනගාමින්ගේ ඇඳුම් සකසන ක්‍රම අහ්! මෙකී නොකී එකී කතා තවත් සුරංගනා කතාවක්ම යැයි කියන්නට තරම් ළඳ බොළඳ වීමට ද අපට හැකියාවක් නැහැ. අනෙක සාක්කි තියෙන දේවල් පවා බොරුය කියලා අපේ ඉතිහාසයට ලැබිය යුතු ගෞරවයක් තියෙනවා නම් ඒක නැති කරන්න අපට තිබෙන අයිතිය මොකක්ද? ඒ වගේම ඒ ගෞරවය හිමි කර ගන්න පර්යේෂණ කරන්න ප්‍රමාණවත් ප්‍රතිපාදන නැති කමත් ප්‍රශ්නයක්.

සමහර ගැමියෝ අදටත් කියන කතා මෙච්චර කාලයක් පවතින්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ නැද්ද? අතට හසුනොවෙන, ඇසට නොපෙනෙන, අපට හිතාගන්න අවබෝධකර ගන්න බැරි හැමදේම මිථ්‍යාවක් ද? ඇයි එතකොට කවුරු හරි ලියූ කියූ පමණින් අපට අහන්න තිබෙන ඉතිහාසයම විශ්වාස කළ යුතුම ද? ඒවා කවදා කොහොම වෙනස් වුණාද වෙනස් කෙරුණාද වෙනස් කළා ද අපි දන්නේ කොහොමද? හැම යුගයකම මේ රට ආක්‍රමණය කරගන්න දඟලපු විදේශිකයන් කළේ අපේ ඉතිහාසය වළලලා සංස්කෘතිය විකෘති කරලා සභ්‍යත්වය අකාමකා දාලා නන්නත්තාරගත වෙච්ච පිරිසක් තමන්ට ඕන විදිහට රූකඩ වගේ නටවලා අපේ තියෙන දැනුම, සම්පත් හූරාකන එක. බලවන්තයාට විරුද්ධවෙලා තමන්ගේ වරිගෙ නහගන්නේ මොකටද කියලා අනිත් උන්දලත් වැල යන අතට මැස්ස ගහගෙන ඉන්නවා.

රාම කියලා කවුරු හරි හිටියා නම් රාවණ කෙනෙක් හිටියා ය කියන්න අකැමැති වෙන එකත් පුදුමයක් තමයි. සීතාට එච්චර කාලයක් කිසි අනතුරක් නොකර තියාගන්න ඒ රාවණ කොයිතරම් දැමුණු කෙනෙක් වෙන්න ඇද්ද?

පරිච්ඡේද ටික කියවලා ඉවර වෙද්දි මගේ හිස බරයි වගේ දැනුණා. අන්තිමට ගුණසේකර මහත්තයා කියන කතාව අහල බය හිතුණා. ඇත්තටම ඒ කියනවා වගේ එක එක යුග අවසාන වුණ ආකාරයට අප මේ ගත කරන ඉලෙක්ට්‍රොනික යුගය අවසානයේ සිදුවන්නේ කුමක් ද? තවමත් විද්‍යාඥයන් ඒ ගැන හරියට හිතූ බවක් පේන්න නෑ. අපේ කාලෙදිම ඒ කියන්නේ තව අවුරුදු හතළිහකින් විතර ෆොසිල ඉන්ධන ඉවර වෙන්න නියමිතයි නම්, ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාස එක්ක මහා ව්‍යසනයක් සිදුවී මේ කාර්මික වාණිජ යුගය බිඳ වැටුණොත්, යළි නිෂ්පාදන ආර්ථිකයකට ලෝකය යොමු වෙද්දි සම්පත් නොතිබුණොත්, ආර්නල්ට් ටොයිම්බිගේ “ඉතිහාසය නැවත සිදුවේ” යන න්‍යාය ක්‍රියාත්මක වුණොත් අපට යළි මුල සිටම පටන් ගන්නට සිදු වෙනවා නේද? ඒ ආරම්භය සිදුවන්නේ සූරිය ශක්තිය භාවිත කරන යුගයක ආරම්භයක් ලෙස නම් රා හෙවත් සූර්යයා වණ හෙවත් පිරිස ලෙස ගුණසේකර මහතා කියන හිරු පිරිසක් සහිත යුගයක්!
”සරාස් ඩුග්”

පොල් අත්තක් ගහමුලට වැටුණා. මම ආයෙත් ඒ පරිච්ඡේදය මුල ඉඳන් කියවන්න ගත්තා.

1 Response to රාවණ සැබෑවක් ද?

October 27, 2012 at 10:11 PM

හරියටම හරි ඔබ.තර්කානුකුලව හැම පැත්තක්ම ලියලා.ජය!
http://manasindiviyata.blogspot.com/

Post a Comment

අදහස් සහ උදහස්

..