-->

Monday, September 10, 2012

රාවණ සංකල්පයක්‌ නොව වළ දැමූ ඉතිහාසයකි

0

රාවණ සංකල්පයක්‌ නොව වළ දැමූ ඉතිහාසයකි

විමල් රණතුංග

පසුගිය දිනක දිවයින බදාදා අතිරේකයට ලංකාවේ අතීත ජන කණ්‌ඩායම් නිග්‍රහයට පාත්‍ර කරමින් ලිපියක්‌ ලියූ විජයපාල වීරවර්ධනගේ අදහස්‌ දැක්‌වීම් විමසිල්ලට ගත් විට ඔහුගේ මත ඉදිරිපත් කිරීම් පිළිබඳව අතිශය කම්පාවට පත්වීමි. විජයපාල වීරවර්ධනයන් 2012 ජුනි මස දිවයින බදාදා අතිරේකයකට ලියූ ලිපියේ කොටසක්‌ උපුටා දක්‌වමි.

"එහෙත් සත්‍ය වශයෙන් අප රටේ ජන විඥානය අනුව යක්‍ෂයන් යනු මිනිසුන්ගේ බලි බිලි බලාපොරොත්තුවෙන් මිනිසුන්ට ලෙඩ දුක්‌ හිරිහැර ඇති කරවන භූත කොට්‌ඨාසයකි. යකුන් නිසා කරදරයට පත් මනුෂ්‍යයන් ගැන ද යකුන්ට පාඩම් ඉගැන්වූ වීර පුරුෂයන් ගැන ද ජනප්‍රවාද එමටය. නාගයන් යනු පොළොව යට පිහිටි නාග ලෝකය වාස භූමි කර ගත් දිව්‍යමය පිරිසකි. ඒ අතර නාගයන් අද්භූත නොදියුණු ජන ගෝත්‍රයක්‌ නාග නමින් අදත් ඉන්දියාවේ වෙසෙති. අසුර යනු අපායකි. අසුර නමින් ජන ගෝත්‍රයක්‌ ඉතිහාසයේ සඳහන්ව ඇතත් ඔවුන් අප රටේ විසූ බවට සාක්‍ෂි නැත. රකුසන් ලෙස හැඳින් වූ වනචාරි ගෝත්‍රයක්‌ ගැන සාකුන්තල ආදී භාරතීය කාව්‍යයන් හි සඳහන්ව ඇත. ආර්යයන්ගේ යාග හෝම ආදියට කඩා පැන ඒවායේ ආහාර පාන හොරා කන අශිෂ්ට පිරිසක්‌ ලෙස ඔවුන් ප්‍රසිද්ධව ඇත. රාමායණයේ රාවණ ද මෙම රාක්‍ෂ ගෝත්‍රයට අයත් වූවෙකි. රාමායණයේ රාවණ ගැන විස්‌තර කර ඇති කොටසින් මෙය පැහැදිලි වේ.

මේ අනුව සලකන විට පෙනෙන්නේ රාවණ සම්බන්ධයෙන් අප රටේ ඇත්තේ විජය පිළිබඳව මෙන් පාරම්පරික ජන විඥානය නොව මාධ්‍ය ප්‍රචාරය තුළින් ඇති කරන ලද විග්‍රහයක්‌ බව පැහැදිලිය."

ඔහු කියන දේ නූතන මාධ්‍ය ප්‍රචාරය නම් ක්‍රි. ව. 5 සියවසේ මහානාම හිමියන් විජය පිළිබඳව කර ඇත්තේ ද එයම බව වටහා ගැනීමට වීරවර්ධනයෝ අසමර්ථයෝ ය. මහාවංශය යනු එදා තිබූ මහා මාධ්‍ය ප්‍රචාරය විය. එය පිළිලයක්‌ පරිද්දෙන් ලාංකේය ජන සමාජයේ ජන විඥානය තුළ කි¹ බැස්‌සේය. එම චින්තනය තවදුරටත් ශක්‌තිමත් කිරීමට නූතන වගකීම වීරවර්ධනයන් හා එතුමන්ගේ සහචරයන් අතින් සිදුවෙයි. එය සමාජයේ සාමාන්‍ය දෙයකි. එය ඔවුන්ගේ පාරම්පරික ජන විඥානයයි.

එහෙත් විජයගේ ආක්‍රමණයට පෙර සිට මෙරට විසූ ජන කණ්‌ඩායම්වලට අයත් වූවෝ අදත් මේ සමාජය තුළම වෙසෙන බව මතක තබා ගත යුතුය. ඔවුන් මේ සමාජයෙන් අකා මකා දමන්නට මහාවංශය හා එයට අනුගත පිරිස්‌ නිරන්තරයෙන් කැස කැවූහ. අද ද කැස කවති. එසේ වුවත් මෙම පිරිස මෙරට වසර විසි තිස්‌ දහසක්‌ මුළුල්ලේ පරිණාමය වූ සමාජයේ අතිශය විශිෂ්ට ජන විඥානයකින් හෙබි අය වූහ. ඔවුන් පිළිබඳව ලිත මූලාශ්‍ර නැතුවාට ඔවුන්ගේ "ජානමය උරුමය" මෙන් ම ඒ අතීත ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යාත්මක උරුමය අද ද ඉස්‌මතු වෙමින් තිබෙන බව අමතක නොකළ යුතුය.

වංශ කතා මේනියාවේ පිස්‌සු වැටුණු විට ලෝකයේ ඉන් එහා කිසිවක්‌ දැකීමේ විවෘත මනසක්‌ කිසිවකුටත් නැත. අප රට මෙන් ම ලෝකයේ 'පුරා විද්‍යාව' පිමි පනිමින් මානව ශිෂ්ටාචාරයේ මානව පරිණාමය පිළිබඳව සාධක ඉස්‌මතු කර ගනිමින් සිටී. මෑතක දී ලංකාවේ රංචා මඩමෙන් හමු වූ ලාංකේය ආදිතමයන්ගේ ජනාවාස, පාහියංගලින් හමු වූ මානව අස්‌ථි සැකිල්ල වසර තිස්‌ දහසක්‌ පුරා ඈතට දිව යයි. ඒවා වීරවර්ධනයන් දකින මනෝරාජික භූතයන්ගේ ද? රකුසන් සහ වනචාරීන්ගේ ද? නැතිනම් වීරවර්ධනයන් කියන විජයගේ පරපුරේ ඥතීන්ගේද? මේ කිසිවක්‌ නොවන බව අවධාරණයෙන් කිව යුතුය. වීරවර්ධනගේ මනෝරාජික භූත රෝග, ව්‍යාධි කුඩා දරුවන්ගේ සුරංගනා කතා වලටත් වඩා ප්‍රාථමිකය. මේ බොළඳ පුහු මතවලින් පිරුණු නූතන සිංහල සමාජයට තව වසර දහස්‌ ගණනක්‌ ගත වුණත් ලෝකයේ ඉදිරි ගමන සමග බද්ධ වීමට නම් පුළුවන් කමක්‌ නැත. ගෙවී ගිය වසර එක්‌දහස්‌ පන්සීයක්‌ පමණ මහාවංශය ලියවීමෙන් පසු කාලය තුළ මෙරට සමාජය පසුගාමී වූයේ ද මේ කුහක චින්තනය නිසාමය. එය වීරවර්ධන කියන මහාර්ඝ ජන විඥානය විය. තවද වීරවර්ධන මෙසේ කියයි.

"අපේ රට 'ලංකා' යන නමින් හඳුන්වන ලද්දේ 'ලංකා මාතා සූත්‍රය' ලියූ මහායානික දෙමළ බෞද්ධයන් විසිනි. දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ මෙම දෙමළ මහායානිකයන් විසින් පෙර බුදුවරයකු ලංකාවට වැඩි ගමනේදී බෝධිසත්වවරයකු විසින් එම බුදුන්ගෙන් ප්‍රශ්න විචාරණ ලද බව ද එම බුදුවරයා රාවණට මන්ත්‍ර උගන්වන ලද බව ද එම පොත ඇසුරින් ප්‍රචාරය කරන ලදී. මෙම අභව්‍ය තොරතුරු සිංහලයන් විසින් විශ්වාස නොකරන ලද නමුදු උච්චාරණයට පහසු 'ලංකා' නාමය විකල්පයක්‌ වශයෙන් ජනතාව අතර භාවිත වන්නට වීයෑ යි පවසයි. වීරවර්ධන තම මත සඳහා දිගින් දිගටම ලිත මූලාශ්‍ර ගැන විශ්වාස කරන බව කියා මෙහිදී ලංකා මාතා සූත්‍රයේ ලිත මූලාශ අභව්‍ය කර දමයි. මෙය ඔහුගේ කුහක ව්‍රතය නිර්ලඡ්ජී ලෙස හෙළිදරව් කිරීමකි.

'ලංකාවතාර සූත්‍රය' ලියූ භික්‍ෂුන් වහන්සේලා මහායානික හා දෙමළ බෞද්ධයන් වීම ම උන්වහන්සේ ගර්හාවට ලක්‌ කරන ස්‌වරූපයෙන් වීරවර්ධනයන් ලියන්නේ ථෙරවාදී භික්‍ෂුන් විශ්වාස කටයුතු හා අභව්‍ය දේ නොලියන බවට ඒත්තු ගැන්වීමටය. මිහිඳු (මහේද්‍ර හිමි) හිමිගේ පටන් දිගින් දිගටම මෙරට ථෙරවාදය පවත්වා ගෙන ආ භික්‍ෂුන් වහන්සේ ද දකුණු ඉන්දියානු දෙමළ බෞද්ධයන් බව අමතක කරන්නේ කුමක්‌ නිසාද? ලංකාවේ තිබූ හෙළ අටුවා පොත් පත් පාලි බසට පරිවර්තනය කර මෙරට හෙළ ජන සමාජයෙන් බුදු දහමේ දාර්ශනික අගය වසන් කළ බුද්ධඝෝෂ හිමියන් ද දෙමළ ථෙරවාදී බෞද්ධයකු බව මෙරට සමාජය අමතක කර ඇත. ඇතැම් අවස්‌ථාවල මෙරට රාජ්‍යත්වයට ඉන්දියානු මූලයක්‌ ඇති නායකයකු නැති වූ විට දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්‌ ඇති බෞද්ධ භික්‍ෂුන් වහන්සේ සිවුරු හරවා රජකමට පත් කළේද ථෙරවාදී භික්‍ෂුන් වහන්සේමය. මෙවැනි උදාහරණ සිය දහස්‌ ගණන් මෙරට සමාජ විඥානගතව තිබේ.

වීරවර්ධන කියන විජය සමඟ පැමිණි පිරිසේ දරු මුණුබුරු පරම්පරා ඔස්‌සේ ජන විඥානයේ පැවැත ආ පුරාවෘත්තය විය. එය ජන විඥානය තුළින් වංශ කතාවට ඇතුළත් වූවා මිස වංශ කතාව තුළින් ජන විඥානයට ඇතුළු වූවක්‌ නොවීය යනු ඔහුගේ කියමන අවලංගු වන්නේය. මේ කියන ආකාරයට වංශ කතාව වනාහි විජයගේ සිට පැවැතෙන ආක්‍රමණකාරී හා හිංසාකාරී ජන ප්‍රවාදයක්‌ වීර කතාවක්‌ ලෙසින් කතාවට ගොඩනැගීම හා ක්‍රි. පූ. 6 සියවසේ හා ඉන් මෙපිට මෙරටට සිදු වූ දකුණු ඉන්දියානු සංක්‍රමණික ජනයාගේ සිත් තුළ වීරත්වය වඩවමින් ලංකාවේ ස්‌වදේශික ජනතාවගේ අභිමානය කෙලෙසීම පිණිස ලියන ලද්දක්‌ බව අවධාරණයෙන් කිවයුතුය. ඒ තුළින් මෙරට අවුරුදු විසි තිස්‌ දහසක යටගිය අතීතය තුළ විසූ ලාංකේය ස්‌වදේශික ජනතාවගේ අයිතීන්, උරුමයන්, සංස්‌කෘතීන් පමණක්‌ නොව ඔවුන්ගේ මානව අයිතීන් ද අහිමි කරනු ලැබ ඇත. තවදුරටත් මේ වීර කාව්‍ය සාහිත්‍යය තුළින් ආදි ලාංකේය ජාතීන්ට කෙනෙහිලිකම් කිරීමෙන් ලංකාවේ නූතන සමාජය තුළ දැඩි ප්‍රතිවිරෝධී තත්ත්වයන් ඇති කිරීමට ද මග පෑදෙන බව අමතක නොකළ යුතුය.

සීතා දේවිය පැහැරගෙන ආ රාවණ කෙනකු ගැන මිස අප රටේ ජාතික සංවර්ධනයට අදාළව කටයුතු කළ රාවණ රජ කෙනකු ගැන ජන විඥානයේ නැතැයි වීරවර්ධන කියයි. වීරවර්ධන දකින ජාතික සංවර්ධනය කුමක්‌ද? ඔබ දකින්නේ ඔබේ වීරවර්ධන විජයගේ සංවර්ධනයද? කෙටියෙන්ම කිවහොත් විජයත්, ඔහුට පසු මිහිඳුත්, මිහිඳු හිමිගේ කුප්‍රකට සංස්‌කෘතියත් ඊට පසු වරින්වර ආ දකුණු ඉන්දියානු ජන වර්ගවල සංස්‌කෘතියත් යන සියල්ල විසින් අකා මකා දමනු ලැබුවේ ක්‍රි. පූ. 6 වැනි සියවසට පෙර මේ රටේ තිබූ රාවණ හා ඔහුට පමණක්‌ නොව මේ රටේ යක්‍ෂ, රාක්‍ෂ ගෝත්‍රික ජනයා විසින් දායාද කළ සංස්‌කෘතිය හා සංවර්ධනයයි. ඉන් පසුවත් අනුරපුර යුගයේ අවසානයට කිට්‌ටු කාලය දක්‌වා ම වර්ධනය වෙමින් පැවතුණේ ඒ සංවර්ධන උපාය මාර්ගයි.

වීරවර්ධනගේ ලිපියේ එන "ඉන්දියානුවන් විසින් විජය රටින් පිටුවහල් කරන ලද්දේ එක්‌ වතාවක්‌ පමණි. එහෙත් ඉන්දියානුවෝ අද දක්‌වාත් හැම වසරකම රාවණගේ පිළිරුවක්‌ සාදා ඊට නිග්‍රහ කරමින් පෙරහරින් ගෙන ගොස්‌ අවසානයේදී ගිනි තබා තම විරෝධය පා පිළිකුල පළ කරති" යි කියයි.

මේ දකුණු ඉන්දියානු දෙමළ ජනයා තුළ පවතින රාවණ විරෝධී පිළිවෙතයි. ලංකාවේද දෙමළ මූල සම්භවයක්‌ ඇති සියලු සිංහලයන් තුළ ද පවතින්නේ එයමය. තවද ලංකාවේ දෙමළ ජනයා අදත් 'හනුමන්තා' නම් වානරයාට වන්දනාමාන කරන්නේ ද රාවණ විරෝධී පිළිවෙත අනුවය. ලංකාවේ රාවණ විරෝධී බොහෝ සිංහල ජනයා ගත වූ අවුරුදු 2500 ක්‌ තුළ වරින්වර මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානු ද්‍රවිඩ මූලයක්‌ ඇති පිරිස්‌වලට සම්බන්ධ අය වෙති. තවත් සමහරෙක්‌ රාවණ හා යක්‍ෂ ගෝත්‍රය පිළිබඳව කිසිවක්‌ම නොදත්තෝ වෙති. ඔවුන්ගේ යම් යම් අය මෙරට දේශපාලන බලඅධිකාරියට පත් වූයේ ලංකාවේ මුල් පදිංචිකරුවන් වූ යක්‍ෂ, රාක්‍ෂ හා දේව ආදී ජන කණ්‌ඩායම් පීඩනයට පත් කිරීමෙන්ය. මේ නිසා ගෙවී ගිය සමස්‌ත කාල පරිච්ඡේදය මුළුල්ලේ ම ලංකාවේ දේශපාලන බල ව්‍යqහය ගොඩනැඟීමට සමත් වූ දෙමළ මූල සම්භවයක්‌ ඇති සිංහල ජන කණ්‌ඩායම් පමණක්‌ නොව ඔවුන්ගේ සහචරයන් ද, බුදු දහමේ වාහකයන් ලෙස කටයුතු කරන සංඝ පීතෘවරයන් වහන්සේ බහුතරයක්‌ ද රාවණ විරෝධී හා යක්‍ෂ, රාක්‍ෂාදී ගෝත්‍රික ජනයාට විරෝධී ජන මතයක්‌ ඇති කරන ලදී. අද ද එය ඇති කරමින් සිටිති.

ලංකාවේ කොත්මලේ තවලන්තැන්නේ මෑතකදී ඉදිකරනු ලැබූ හනුමාන් කෝවිල නම් වූ යෝධ ආගමික මධ්‍යස්‌ථානය රාමාට පක්‍ෂව හා රාවණට විරෝධීව දකුණු ඉන්දියානු දෙමළ කණ්‌ඩායම්වල අනුග්‍රහයෙන් ඉදිකරන ලද්දකි. මෙයට අප රට දෙමළ මූල සම්බන්ධයක්‌ ඇති සියලුදෙනාගේ ආශිර්වාදය ලැබිණි.

මෙකී තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ සමාජයේ අද ද මතුපිටින් පෙනෙන සිංහල - දෙමළ විරසකයට යටින් මෙරට සාම්ප්‍රදායිකව පැවැති වසර තුන්දහසකට එහා සිට තිබූ ජාතික සංස්‌කෘතික අනන්‍යතාව මිරිකා අළු කරන හා ඝාතනය කරන සමාජ ඒකමිතියක්‌ ක්‍රියාත්මක වෙයි. එහි මූලාරම්භය සකස්‌ වන්නේ මහාවංශය ප්‍රමුඛ වංශ කතා පෙළිනි. වීරවර්ධන කියන ඩුප්ලිකේට්‌ ජන විඥානය ආරම්භ වන්නේ එතැන් සිටය. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ අප රට රාවණ ඉතිහාසය හෝ ඊටත් එහා ඉතිහාසය පිළිබඳව ජන විඥානය මෙරට ආදි යුගයේ සිට පැවැතෙන ජන කණ්‌ඩායම්වල ජානගතව පවතින බවයි. මෑතක දී අප රට කරන ලද ජාන පරීක්‍ෂණයක්‌ තුළින් ප්‍රකාශ වී තිබුණේ මෙරට ජනගහනයෙන් 68% කගේ ජාන දකුණු ඉන්දියානු හෝ ඉන්දියානු ජාන බවයි. ඔවුන් තුළ පවතින ජන විඥානය එකී ජාන අනුව ද ඒවාට අනුගත විය යුතුව තිබේ.


උපුටා ගැනීම -  http://www.divaina.com/2012/09/05/badada04.html

No Response to "රාවණ සංකල්පයක්‌ නොව වළ දැමූ ඉතිහාසයකි"

Post a Comment

අදහස් සහ උදහස්

..