-->

Tuesday, April 24, 2012

රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි

1

රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි


රාවණා රාජ සංකල්පය  බැහැර කළ නොහැකි යථාර්ථයකි 
 
රාවණා ලංකා පුරය දඬුමොනරය ආදී වශයෙන් වර්ණිත දසිස්‌ සහිත රාවණාගේ බලපරාක්‍රමය ශ්‍රී ලාංකේය සිංහල ජනයා අතර ජනප්‍රවාදගත පුරාවෘත්ත රැසකට මුල් වූ වීර චරිතයකි. එහෙත් ඉන් ඔබ්බට ගොස්‌ රාවණා පුරාවෘත්තය පිළිබඳ විවිධ සංවාද වරින් වර ඉස්‌මතුව එයි.

බටහිර වෛද්‍යවරයෙක්‌ ලෙස වෘත්තියෙන් පැවතියද, වෛද්‍ය සුසිත රුවන් සිය සීයාගෙන් පුරාවෘත්ත අසා ඉන් ප්‍රමුදිතව, “රාවණා මෙහෙයුම” නමින් නවකතාවක්‌ එළිදක්‌වා තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධාරී කේ. එම්. චාමින්ද බණ්‌ඩාර ඊට ඌන පූරණයක්‌ ඉතිහාසඥයෙක්‌ ලෙස මතු කරයි. ඒ සංකල්පය ද මේ ඔස්‌සේ අවධානයට ලක්‌කරමු.

රාවණා රාජ සංකල්පය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය විද්වතුන් තුළ පවතින්නේ එකිනෙකට පරස්‌පර අදහස්‌ය. එක්‌ අතකින් බලන විට රාවණා කතා පුවත එලෙස පරස්‌පර වීම සාධාරණය. එයට හේතුව ඒ තරමටම ශ්‍රී ලාංකේය ජන විඥනය තුළට එකී කතා පුවත කිඳාබැස තිබීමය.

රාවණා කතා පුවත හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට පෙර අපට ශ්‍රී ලාංකේය පාඨක සහෘදයන්ට මතකයට නගාගැනීමට අවශ්‍ය කාරණාවක්‌ පළමු කොටම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එනම්, ශ්‍රී ලාංකේය ඉතිහාසකරණයේ අග්‍රගණ්‍ය ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වන කතා පුවතකි. ඒ විජය කතා පුවතයි. විජය කතා පුවත යනු ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළින් ඉවත් කළ නොහැකි කතා පුවතකි. අප එසේ කියනුයේ විජය කතා පුවත දීපවංශය හා මහාවංශය නමැති ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් කර තිබීම නිසා පමණක්‌ නොව එකී කතා පුවත වටා අපගේ ඉතිහාසයම ගොඩනැගී ඇති බැවිනි.

“හුදී ජන පහන් සංවේගය උදෙසා” රචනා කරන ලද මහාවංශයේ සඳහන් විජය කතා පුවත පදනම් කොටගෙන ශ්‍රී ලාංකේය විද්වතුන් හා අප සියලු දෙනාම සිංහල ජාතිය විජයගෙන් පැවත එන බව පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. එම අදහස පිළිගන්නා වූ අප ඉන්දියාවේ ජනතාවගෙන් පහර කෑ හිස මුඩු කොට එළවා දමන ලද, ශ්‍රී ලාංකේය ව්‍යවහාරයෙන් සඳහන් කරතොත් “පාදඩයකු” (Vagabond) ගෙන් සිංහල ජාතිය පැවත එන බව ද මැලි නොවී විශ්වාස කරමු. එසේ පමණක්‌ නොව එය අපගේ අනාගත පරපුරට ද ලබාදීමට ද අප්‍රමාණ වෙහෙසක්‌ දරන්නෙමු. ඒ අතරතුර කිසිදු වගවිභාගයකින් තොරව සිංහයකු හා මනුෂ්‍යයකු අතර සංවාසයක්‌ ඇතිවීමත් එයින් මනුෂ්‍යයකු ජාතක වූ බව ද විශ්වාස කරන්නෙමු.

අප එය එසේ කරන්නේ ඇයි? යන්න ගැටලු සහගතය. අප එයට ප්‍රධාන වශයෙන් හේතු වශයෙන් දකින්නේ අපගේ අග්‍රගණ්‍ය ඓතිහාසික කෘතීන් තුළ එකී පුවත සවිස්‌තරාත්මකව සඳහන්වීම මතය. (විශේෂයෙන් දීපවංශයේ හා මහාවංශයේ එය මැනවින් විග්‍රහ වේ.)

එසේ වුව අප විසින් තවදුරටත් එකී කතා පුවත කෙරෙහි යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු තත්ත්වයක්‌ පවතින බව කාටත් නොපෙනේ. එම තත්ත්වය නම් විජය සම්බන්ධයෙන් ද ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ ශේෂව පවතින්නේ කවරක්‌ද? යන්නයි. එසේ යථාර්ථවාදීව ගවේෂණයේ යෙදෙන්නෙකුට අවසාන වශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ දීපවංශයේ හෝ මහාවංශයේදී ගොඩනගා ඇති කතා පුවතින් ඔබ්බට යමක්‌ ජන විඥනය තුළ නොමැති බවයි. ඉන් ඔබ්බට යමක්‌ හඳුනාගන්නට ඇති නම් ඒ කුවේණි හා සම්බන්ධ පුවත් හා ඇයගේ දරුවන් වූ ජීවහත්ත හා දිසාල කුමාරවරුන් වටා පවතින ජනප්‍රවාද පමණි. එලෙස විජය කතා පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ ජනප්‍රවාදගත තොරතුරු ගොඩනැගී නැත්තේ ඇයිද යන්න අප මෙතෙක්‌ යථාර්ථවාදීව කල්පනා කර බලා ඇත්ද? ඒ සම්බන්ධයෙන් අපගේ නිගමනයන් ඉදිරියේදී දක්‌වමු. එතෙක්‌ ඔබ ද මඳක්‌ ඒ ගැන කල්පනා කර බැලීම වටී.

යළි රාවණා කතා පුවත වෙත ඔබ ගෙන යමු. රාවණා කතා පුවත අපට හමුවන්නේ විජය කතා පුවත වංශ කතාවල හඳුනාගත් ආකාරයටමය. රාවණා කතා පුවත එන්නේ රාමායණය නමැති භාරතයේ ප්‍රකට ඓතිහාසික මූලාශ්‍රයකය. එසේම රාවණා රජ පුවත වාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය තුළින් රාම දෙවියන් වීරත්වයට පත්කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙනි. වාල්මිකී අතින් මෙහිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පරස්‌පරයක්‌ සිදුව ඇති බව භාරතීයයන් විශ්වාස කරනවා නොඅනුමානය. එනම් රාමකුමරුගේ වීරත්වය හුවාදක්‌වන අතරතුර ශ්‍රී ලංකාවේ ද ශ්‍රේෂ්ඨ පාලකයෙක්‌ සිටි බව සඳහන් කිරීමය. එයින් ද වාල්මිකී සිදුකරන ලද බරපතළම පරස්‌පර සඳහන වූයේ එම පාලකයා සතුව මහ සංස්‌කෘතියක්‌ (නිද – අහස්‌ යන්ත්‍රයක්‌ – දඬු මොණරය ආදී) පැවැති බව සඳහන් කිරීමය. දඬු මොනරය සම්බන්ධයෙන් අපට සංවාද කළ හැකි කාරණා බොහොමයක්‌ පවතී. එහෙත් පොදුවේ එම වාර්තාව තුළ භාරතීන්ගේ සංස්‌කෘතියට වඩා රාවණා ප්‍රමුඛ ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය නිරායාසයෙන් කැපී පෙනෙන ආකාරයට ඉදිරියට පැමිණ ඇති බව නම් පැහැදිලිය.

කෙසේ වෙතත් රාමායණයේ සඳහන් මෙම රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ පුළුල් පරාසයක්‌ පුරා නිධන්ගතව පවතින බව සත්‍ය කරුණකි. නමුත් ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ විශේෂයෙන් වංශ කතා තුළ රාවණා කතා පුවත ගැන වැරදීමකින් හෝ සඳහනක්‌ නොවීමත් ඊට ආසන්න කාලයක ශ්‍රී ලංකාවේ සිටි රාවණා හා සමාන පාලකයෙක්‌ පිළිබඳව හෝ එකී වංශ කතාවේ සඳහන්ව නොමැත්තේය.
එසේ කිසිදු දේශීය මූලාශ්‍රයක සඳහන් නොවන රාවණා රාජ සංකල්පය හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ව්‍යාප්තව පවතී. මේ ආකාරයට වංශකතාවල සඳහන් විජය කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනප්‍රවාදගතව විකාශනය නොවීමටත්, වංශකතාවල සඳහන් නොවන රාවණා පිළිබඳ කතා පුවත පිළිබඳ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැවතීමටත් හේතු මොනවාද?
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන උගතුන් සිංහයකුගෙන්, පාදඩයකුගෙන් සිංහල ජාතිය පැවත එනවා යෑයි විශ්වාස කළත් ශ්‍රී ලංකාවේ රාවණා නම් පාලකයකු සිටි බව ප්‍රකාශ කිරීමටත් මැලි බවක්‌ දක්‌වති. එයට හේතුව ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ රාවණා පිළිබඳ සඳහන් නොවීමම ද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් මෙම කතා පුවත් දෙක පිළිබඳව අප තවදුරටත් යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු බවට පොළඹවන ආකාරයේ නිගමනයක්‌ හා තොරතුරු කිහිපයක්‌ අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

රාවණා කතා පුවත හුදු ජනප්‍රවාදයක්‌ම බවට බොහෝ උගතුන්ගේ තර්කයයි. අප ද එයට එකඟ වන්නෙමු. එහෙත් එකී කාරණය මත අපට එය සහමුලින්ම බැහැර කරලිය හැකිද? උගතුන්ගේ තර්කයට අප තුළ ඇත්තේ ඉතාමත් සරල පිළිතුරකි. විජය කතා පුවත අප පිළිගන්නේ පුරාවිද්‍යාත්මක හෝ වෙනත් තහවුරු කරගත හැකි මූලාශ්‍ර පදනම් කරගෙනද? නැත. එසේ නම් අප එය පිළිගන්නේ ලිත මූලාශ්‍රයක සඳහන් වීම නිසාය. අප කියනුයේ රාවණා කතා පුවතද හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ නොව ලිත මූලාශ්‍රයක සඳහන් වන කතා පුවතක්‌ බවයි. එය සඳහන් වන්නේ භාරතයේ සිටි චාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය නම් ඓතිහාසික ග්‍රන්ථයේය. එහෙත් මෙම කතා පුවත් දෙකේ වෙනසක්‌ පවතී. එනම් විජය කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගත ව නොපැවතීමත්, රාවණා කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගතව පැවතීමත්ය. අපගේ විශ්වාසය නම් එසේ වන්නට ඇත්තේ, වංශකතාකරුවන් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළට විජය කතා පුවත බලෙන් ආරෝපණය කර ඇති නිසා, එම කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද සමාජය තුළ ගොඩනොනැගුණ බවය. (මෙහිදී බුද්ධිමත් පාඨක සහෘද ඔබ අප දීපවංශය හෝ මහා වංශය රාමායනයට සමාන කිරීමකට ගියා යෑයි වැරදි ආකල්පයකට නොඑළඹෙන බවට හුදෙක්‌ම විශ්වාස කරමු.)

මේ අනුව වංශකතාකරුවන් මෙම කතා පුවත් දෙකට දක්‌වා ඇති අඩු වැඩි සැලකිල්ල අනුව අපට පෙනෙන්නේ සැබවින්ම වංශකතාකරුවා ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාව රචනා කරන විට රාවණා කතා පුවත හිතාමතාම ඉවත් කොට ඇති බවකි. විශේෂයෙන් විජය කතා පුවත ඉදිරිපත් කිරීමේදී භාරත සංස්‌කෘතිය හා ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය අතර ගැටීමක්‌ ඇති නොවන ආකාරයටත්, ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය ඉන්දියානු සංස්‌කෘතිය තුළින් පෝෂණය වූ බව පෙන්වීමටත් වංශකතාකරුවා ගත් උත්සාහය නිසා එසේ වන්නට ඇති බව අපගේ විශ්වාසයයි. වංශකතාකරුවන් මෙලෙස යම් යම් ඓතිහාසික තොරතුරු ඔවුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස්‌ කර ඉදිරිපත් කළ අවස්‌ථා වංශකතා පුරා සුලබව සොයාගත හැකි නිසා එය අපට තදින්ම විශ්වාස කළ හැකිය.
එසේ නොමැතිව වංශ කතාකරු අතින් මෙම කරුණු මඟහැරී යන්නට ඇති බවට ද අයකුට තර්ක කළ හැකිය. විජය කතා පුවත ඇතුළු තවත් විශාල ප්‍රමාණයක්‌ වූ ජනප්‍රවාද ගොන්නක්‌ සහිතව දීපවංශය හා මහාවංශය රචනා කරද්දී, රාවණා කතා පුවත පමණක්‌ මඟහැරුණා නම් එය ද ගැටලු සහගත තත්ත්වයකි. ඒ පිළිබඳව ද තවදුරටත් කරුණු අධ්‍යයනය කළ යුතුය. එය පර්යේෂකයන්ට භාර කටයුත්තකි.

කෙසේ හෝ වේවා මෙම අතපසුවීම තුළ ශ්‍රී ලාංකේය තථ්‍ය ඉතිහාස කතන්දරයේ යම් කොටසක්‌ මඟහැරී ඇති බව නම් අප කාටත් පැහැදිලි වන කරුණකි. ඒ අනුව අවසාන වශයෙන් අපගේ නිගමනය වනුයේ ශ්‍රී ලංකාවේ වංශකතාවලින් පමණක්‌ ඉතිහාසය ගොඩනගන්නට බැරි බවය. එසේ උත්සාහ කරතොත් එය මහත් අඥන ක්‍රියාවකි. නිවැරැදි ඉතිහාසය ගොඩනගන්නට නම් ජනප්‍රවාද ද අනිවාර්යයෙන්ම උපයෝගි කොට ගත යුතුමය. මන්ද වාචික ඉතිහාසය (Oral History) යනු ප්‍රබල ඓතිහාසික මූලාශ්‍ර සපයන කොටසක්‌ වීම නිසාය. සාමාන්‍යයෙන් ජනප්‍රවාදයක්‌ ගොඩනැගෙන්නේ එක්‌ සත්‍ය සිදුවීමක්‌ පසුබිමක්‌ කරගෙනය. ජනප්‍රවාද අධ්‍යයනය කරන විට පැහැදිලිව අවබෝධ වන්නේ කොතැනක හෝ ඒ ජනප්‍රවාදයට සම්බන්ධ සිදුවීමක්‌ සිදුවී ඇති බවත්ය. වෙනත් ලෙසකින් කියතොත් ගින්නක්‌ නැතුව දුමක්‌ නැති නොවන්නා සේය.

සියලු කරුණු සම්පිණ්‌ඩනය කර අවසාන වශයෙන් අප කිසිදු අවස්‌ථාවක රාවණා කතා පුවත ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට හෝ එය ඒ ආකාරයෙන් පිළිගන්නා ලෙස හෝ ප්‍රකාශ නොකරමු. එසේම එය සිදු නොවූවා යෑයි සිතා බැහැර කරන ලෙස ද ප්‍රකාශ නොකරමු. එහෙත් රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළින් කිසි දින ඉවත් කළ නොහැකි යථාර්ථයක්‌ බව නම් ප්‍රකාශ කරමු. ශ්‍රී ලාංකේය උගතුන්, විද්වතුන් කවදා හෝ තථ්‍ය ඉතිහාසය මතුකර ගන්නා තාක්‌ රාවණා කතා පුවත ජන විඥනය තුළ පවතින බවත් ඒ දිනය උදාවනතෙක්‌ උපේක්‍ෂා සහගතව බලා සිටින ලෙස පමණක්‌ අවසාන වශයෙන් අවධාරණය කරමු.

- කේ. එම්. චාමින්ද බණ්‌ඩාර / රුහුණ විශ්වවිද්‍යාලය

http://www.lankacnews.com/sinhala/miraculous/57009/#comment-274613


1 Response to රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි

April 24, 2012 at 9:55 PM

බ්‍රිගාන්‍ය මැදිහත් මීමක් සහිතව ගොඩනැගුනු ලාංකීය ඉතිහාසය විකෘති වී තිබීම මීට හෙතුවකි..

Post a Comment

අදහස් සහ උදහස්