Thursday, April 14, 2011

හල්දුම්මුල්ලේ සොහොන් හා නාගයන් සැරිසරන දෙවොල් බිම

1

හල්දුම්මුල්ල නගරයෙන් මීටර් 100 ක්‌ පමණ හපුතලේ දෙසට පැ
මිනෙද්දී දකුණු පස හල්දුම්මුල්ල දෙමළ මහා විද්‍යාලයට ගමන් කරන මාර්ගයේ බෑවුමෙහි සොහොන් පෙළක්‌ හමුවේ. මාර්ගයේ කැණීම් කටයුතු හේතුවෙන් විකල්ප මාර්ගයක්‌ භාවිත කෙරේ. දැඩි හුදකලාභාවයෙන් යුක්‌ත මෙම ස්‌ථානයේ අද්භූත සිද්ධීන් ගැන ගම්මුන් අතර ප්‍රකටය. මීටර් සීයක්‌ පමණ දුරකින් පිහිටා ඇති කුඩා දේවාලය සහ එහි සැරිසරන නාගයන් පිළිබඳ කතාන්දර ගොන්නකින් ද තදානුබද්ධ වේ.

අතුපත් අතරින් එබී බලන සූර්යාලෝකයෙන් ගත උණුසුම් වෙද්දී ගසක සිට තවත් ගසකට රිලවුන්ගේ තරණයෙන් සිත තිගැස්‌සෙන්නේ හුදකලා බව නසමින්ය. විටෙක රිලවුන්ගේ රංචුවලින් නැඟෙන විලාපය අප භීතියට පත් කරවයි. භීතිය සමඟ මුසුවන සුන්දරත්වය ඓතිහාසිකත්වයෙන් තීව්‍ර කිරීමට කැස කවන මහාචාර්ය රාඡ් සෝමදේව තම හඬ අවධි කළේ කැණීම් ස්‌ථානය ගැන වසර 40 කට පමණ පෙරදී තොරතුරු සැපයු විශ්‍රාමික විදුහල්පති වී. ඩී. එස්‌. ජයවර්ධන ගෞරවයෙන් සිහිපත් කරමින් ය.


අගෝස්‌තු 16 සිට කැණීම් ආරම්භ වුයේ දසක ගණනාවක පටන් පැවති කුතුහලයක ප්‍රතිඵලයක්‌ ලෙසය. එනම් රංච මඩම කැණීම්වලින් ක්‍රි. පූ. 1120 පමණ
පැරැණි සාධක ලැබී තිබුණ බැවින් යකඩ භාවිත කළ ප්‍රජාවක්‌ ජීවත් වූ බවට සැක පහළ විය. කල්තොට මොහොර සිට මධ්‍ය කඳුකරයේ හල්දුම්මුල්ල තදානුබද්ධ ප්‍රදේශවලින් යකඩ සංයුතියක්‌ සහිත ගල් විශේෂ හමුවේ. මෙම ප්‍රදේශ ගැන විශේෂ අවධානයට ලක්‌විය. යකඩ භාවිත කළ ආදිතම මානවයන් ජීවත් වූවා යෑයි අනුමාන කළ හැකිය.

දිනෙන් දිනම කුතුහලය තීව්‍ර කරන්නේ සොහොන් සාධක පමණක්‌ ම නොවේ. ගම්මුන්ගෙන් ලැබෙන තොරතුරු, ජනකථා ද ඊට අනුබල දෙයි. මෙවැනි දෙයින් විපර්වර්තනය වන රාඡ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යාඥ ගවේෂක කණ්‌ඩායම අව්, වැසි, සුළං පිනි නොතකා අහඹු ලෙස කඳු පීරති. ඔවුන්ගේ විඩාව සංසිඳුවන්නේ යකඩ සංයුතියක්‌ සහිත ගල්, යකඩ, නිස්‌සාරණයේදී ශේෂ වූ කොටස්‌ හෝ ආදි මිනිසුන්ගේ ජනාවාස යෑයි සැක පහළ කරවන දැ හමුවීමෙන් ජනිත කරවන ප්‍රීතියයි.
හල්දුම්මුල්ලේ සොහොන්වලින් ලැබෙන සාධක රංචමඩම සාධකවලට සමාන මෙන්ම විශේෂිත සාධක ද ලැබේ.

යකඩ සංයුතියක්‌ සහිත ගල් සොහොන්වල තැන්පත් කර තිබීම සුවිශේෂ වේ. ලෝහ සමඟ මනුස්‌සයාගේ සබඳතාවක්‌ පෙන්නුම් කරයි. ශිෂ්ඨාචාර තෙක්‌ මානවයා පරිණාමයට ලක්‌වීමේදී යකඩ භාවිතය සැලකිය යුතු සන්ධිස්‌ථානයකි. යකඩෙන් නිපදවා ගත් පොරව, නඟුල සහ තවත් උපකරණ දියුණු කෘෂිකර්මයකට අනුබල දෙයි. ශිෂ්ඨාචාර ඒ මත වර්ධනය වේ. මුqහුදු මට්‌ටමෙන් අඩි 5500 ක්‌ පමණ උස්‌ ප්‍රදේශයක කාල රක්‌තවර්ණ වළං භාවිත කළ ප්‍රජාවක්‌ ජීවත් වූ බවට වළං සාධක ඉඟි සපයයි. බෙලිගල සිට බෙලිහුල් තෙක්‌ දැනටමත් මෙබඳු සාධක සහිත ජනාවාස 30 කට ආසන්න ප්‍රමාණයක්‌ හමුවී ඇත.

මහාචාර්ය රාඡ් සෝමදේවට අනුව මෙම සංඛ්‍යාව දෙගුණ විය හැකිය. දැනට අනුමාන කරන පරිදි මෙම සාධක අදින් වසර 3500 ක්‌ පමණ පැරැණිය. කාල අනුක්‍රමය විද්‍යාත්මකව තහවුරු වන්නේ නම් අදින් වසර 3500 කට පෙර එනම් මාධ්‍ය ශිලා යුගයේදී ස්‌වතන්ත්‍ර ශිෂ්ටාචාරයක කළල අවස්‌ථා නිරූපිත ප්‍රජාවක්‌ ජීවත් වූ බව තහවුරු වේ. එය ලාංකේය ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක ඇරඹුමකි.
මධ්‍ය ශිලා යුගයේ ජීවත් වූවා යෑයි අනුමාන කළ හැකි මෙම මිනිස්‌ ප්‍රජාව කවුරුන්ද යන ප්‍රශ්නය මතු වේ. අදින් වසර 5000 කට පමණ පෙර සමස්‌ත දකුණු ආසියාවටම බලපා ඇති බවට ආචාර්ය ප්‍රේමතිලක තහවුරු කර ඇති ශුෂ්ක දේශගුණික තත්ත්වයන් යටතේ හෝටන්තැන්න වැනි උස්‌ බිම්වල ජීවත් වූ ජනයා පහළ ප්‍රදේශවලට සංක්‍රමණය වූවා යෑයි සිතිය හැකිය.

එම සංක්‍රමණික ප්‍රජාව සොහොන් සහිත පහළ ප්‍රදේශවල ස්‌ථානගත වන්නට ඇත.
ස්‌වතන්ත්‍ර ශිෂ්ටාචාරයක කළල අවස්‌ථා වර්ධනය වීමට නව පාරිසරික සාධක බලපාන්නට ඇත. ජල පෝෂක ප්‍රදේශ කෘෂිකර්මයට උචිතය. හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් සුලභව ලැබෙන යකඩ මිශ්‍රිත ගල් රත්කොට යකඩ නිස්‌සාරණය කර ගැනීමෙන් පොරව, නඟුල වැනි කෘෂිකාර්මික උපකරණ නිපදවා ගන්නට ඇත. ඒවා කෘෂිකර්මාන්තයේ කාර්යක්‍ෂමතාවට අනුබල දෙති. රාවණා ජනකථා සලකා බැලීමේදී ද යකඩ සහ ජනතාව අතර පැවැති සම්බන්ධතා ගැන සංඥ සපයයි. සොහොන්වලින් ලැබුණු යකඩ මිශ්‍රිත ගල් රාවණ ගුලි ලෙස ගම්මු හඳුන්වති. යක්‌පුර නමින් ව්‍යවහාර කරන ප්‍රදේශ යකඩ කර්මාන්ත ප්‍රදේශ ලෙස සැලකිය හැක.

එම ප්‍රදේශවල ජනයා තමන්ගේ ආධිපත්‍යය හඟවනු පිණිස රාවණාගෙන් පැවත එන බව මහත් අභිමානයෙන් යුතුව කියාපාති. මහාචාර්ය රාඡ් සෝමදේවට අනුව රාවණ "ලංකාධිපති" වැනි නාමයෙන් හඳුන්වා ඇත්තේ ලංකාවේ ජනතාව යකඩ තාක්‍ෂණයෙහි යෙදුණු නිසා ය. ඉන්දියාවේ නල්හුර් ප්‍රදේශයෙන් ලැබී ඇති සාධකවලට අනුව යකඩ තාක්‍ෂණයෙහි නිරත වූ පැරැණිතම ජනයා ඉන්දියාවේ ජීවත් වූහ. ඒ. ක්‍රි. පූ. 1100 දී පමණ ය. දැනට අනුමාන කරන ක්‍රි. පූ. 1300 කාල නිර්ණය කාබන් 14 විද්‍යාත්මක ක්‍රමයෙන් තහවුරු වුවහොත් යකඩ තාක්‍ෂණයෙහි නිරත වී ඇති පැරැණිතම ජනතාව ලංකාවේ ජීවත් වී ඇත.
කෘෂිකර්මයෙහි කාර්යක්‍ෂමව නියෑලෙන ප්‍රජාව ධූරාවලීගත සමාජයකට උරුමකම් කියති. හල්දුම්මුල්ලේ සොහොන්වල පුද්ගලයන් කිහිපදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇත. මළවුන් ඇදහීම කර ඇත. මෙවැනි ඇදහීමකින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ධූරාවලීයක සමාජ සංස්‌කෘතියේ තමන්ගේ නෛතිකභාවය විය හැකිය. මළවුන්ගේ සම්පත් අනුප්‍රාප්තිකයන්ට භුක්‌ති විඳීමේ නෛතිකභාවය ඉන් තහවුරු වේ. සමාජයක්‌ ලෙස සාමූහිකව ජීවත් වන්නට ඇත.

ශිෂ්ටාචාරයක අත්‍යවශ්‍ය ලක්‍ෂණයක්‌ වන්නේ සාමූහික සම්බන්ධතා ය. මළවුන් අදහමින් පිහිටක්‌ පතන්නට ඇත. සාමූහිකව සිතීම ඉන් තහවුරු වේ. හල්දුම්මුල්ලෙන් සොයාගත් සොහොන් සාධක කාබන් 14 දින නීර්ණ ක්‍රමවේදයෙන් අනුමාන කාල පරිච්ඡේදය තහවුරු වුවහොත් ලංකාවේ හිස්‌ව පැවැති මධ්‍ය ශිලා යුගය සම්පූර්ණ කිරීමකි. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් ඉතිහාසය තවත් දිගු වීමකි. මෙය ලංකාවේ ඓතිහාසික සමයේ ඉතිහාසය මතවාදවලට අභියෝගයක්‌ නොවන බව රාඡ් සෝමදේව පවසයි. පැරැණි මතවාද එසේම පවතිද්දී ඊට පෙර පැවැති අවධියක්‌ රටවැසියාට අනාවරණය කිරීමකි.
මෙය ඉන්දියාවට නම් අභියෝගයක්‌ වනු ඇත. මෙතෙක්‌ ඉන්දියාව සාඩම්බරයෙන් කියා සිටියේ දකුණු ආසියාවේ ප්‍රථමයෙන් ම යකඩ භාවිත කළේ තමන් බවයි.

නමුත් අවාසනාවකට මෙන් කාබන් 14 දින නීර්ණ සොයා බැලීමට උදව් ඉල්ලීමට සිදුවී ඇත්තේ ද ඉන්දියාවෙන්ම ය. අවුරුදු 150 කටත් වඩා පැරැණි ලාංකීය පුරාවිද්‍යාව එතරම් ප්‍රාථමික තත්ත්වයක පවතී. ඉන්දියාවට අවශ්‍ය නම් දින වකවානු වෙනස්‌ කිරීමේ අනතුරක්‌ ද ඉන් උදා වී ඇත. ලාංකීය පුරාවිද්‍යාවේ අඩුලුහුඬුකම් ප්‍රදර්ශනය කරවමින් රාඡ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යාඥ කණ්‌ඩායම අවම පහසුකම් යටතේ පර්යේෂණ කටයුතු කරති. එයිනුත් බහුතරය මධ්‍යම පාන්තික දූ දරුවන් ය. ඔවුන්ට ස්‌ථිර රැකියාවක්‌ හෝ නොමැත.

නමුත් ඔවුන් පුරාවිද්‍යාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක්‌ කිරීමට සූදානම් ය.
අවම පහසුකම් සහිතව දැඩි වෙහෙසකින්, කැප කිරීමකින් සිදුකරන හල්දුම්මුල්ලේ පුරාවිද්‍යාත්මක කැණීම් සාධක හල්දුම්මුල්ලට ඓතිහාසිකත්වය කැන්දයි. අනෙක්‌ අතට දැනට අනුමාන කරන කාලානුක්‍රමය විද්‍යාත්මකව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය අනාවරණය කිරීමකි. යකඩ තාක්‍ෂණය භාවිත කළ ස්‌වතන්ත්‍ර ශිෂ්ඨාචාරයක කළල අවස්‌ථා නිරූපණය වීමකි. මෙය ලාංකීය අභිමානයට හේතුවනු ඇත.
ගෞරව ශාස්‌ත්‍රවේදී බටුවංගල සමිද්ධි හිමි

උපුටා ගැනීම -
http://www.divaina.com/2010/11/07/feature23.html

1 Response to හල්දුම්මුල්ලේ සොහොන් හා නාගයන් සැරිසරන දෙවොල් බිම

July 20, 2011 at 10:54 AM

මාරයිනේ.........

Post a Comment

අදහස් සහ උදහස්

..