-->

Sunday, December 12, 2010

පැරණි හෙළ නීතිය සහ දඬුවම් ක්‍රම

0

ශිෂ්ට සම්මත සමාජයක්‌ තුළ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය නීතිය යෑයි අවධාරණය කළ හැකිය. විවිධ ආගම් තුළින් හැඩ ගැසුන මිනිසාට තමන් අනෙකකු විසින් ඝාතනය නොකරන බවට, තමන් සතු දේ පැහැර නොගන්නා බවට තම පවුල් ජීවිතයට අන් අය විසින් අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් නොකරන බවට, යන සහතිකය නොලැබීම හේතුකරගෙන මිනිසාට නීතියේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට ඇත. භික්‍ෂු සමාජය තුළද භික්‍ෂුව දුසිල්වත් වීම හේතු කරගෙන බුදුන්වහන්සේ විනය නීති පැනවූහ. නීතිය යන්නට විවිධ අර්ථකථන සපයා ඇත. මිනිසාගේ බුද්ධියෙන්ම සමාජයේ යහපතට සාදාගත් ක්‍රමයකි නීතිය. මෙය, ජී. ඩී. ජැරට්‌, පියතුමාගේ මතයයි. එතුමා අවධාරණය කරන අන්දමට සියලු දෙනාම එකතුවීම, එකතුව සාකච්ඡා කිරීම, ඒ අනුව පිළිපැදීම නීතිය යනුයි.

මීට ශතවර්ෂ ගණනාවකට පෙර ක්‍රි.පූ. සවැනි ශතවර්ෂයේදී පමණ ඉන්දියාවේ ගණ තන්ත්‍ර පාලන ක්‍රමයට අනුව ඇති වූ නීති මූලයන් හෙවත් සප්ත අපරිහානික ධර්ම තුළද මේ අදහස ගැබ්ව තිබේ. සම්පූර්ණයෙන්ම බෞද්ධ අදහසක්‌ මත ගොඩ නැගුණ මේ ගණ තන්ත්‍ර පාලන ක්‍රමය තුළින් ශිෂ්ට සම්මත සමාජයක්‌ බිහි වූ බවට නිදර්ශන තිබේ. බුදුන්වහන්සේ භික්‍ෂුන්ටත් මේ සප්ත අපරිහානික ධර්ම අනුගමනය කරන ලෙස අවවාද කළහ. ඉම්මානුවෙල් කාන්ට්‌ (ක්‍රි.ව. 172-180) එක මිනිසෙකුගේ අදහස්‌ අනිත් අයගේ අදහස්‌ සමග ගැලපේ නම් එය නීතිය යෑයි පවසයි. රිචඩ් හූකර් (1554 - 1660) බුද්ධියෙන් යමක්‌ කල්පනා නොකොට එය මේ විදියට පිළිපැදිය යුතුයෑයි සම්මත කරගත් ව්‍යස්‌ථාව නීතිය යනුවෙන් හඳුන්වයි. බුදුදහම මේ ධර්මතා චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් ගෙන තමන් හිකමවිය යුතු කරුණු වශයෙන් පන්වාදෙන අතර දියෙන් කිරි වෙන්කරගන්නට බැරුවා සේ ඔවුනොවුන් අතර අවබෝධයෙන් හා සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමටද උපදෙස්‌ ලබාදෙති. 


ක්‍රි.පූ. 6-7 ශතවර්ෂවලදී පමණ තම රටේ නීතිය ව්‍යවහාර වූ බව සකලන ඉන්දියානුවන් නීති මූලාශ්‍රයක්‌ හැටියට සැලකුවේ මනුස්‌මෘතියේ එන මනු නීතියයි. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද දියුණු පාලන ක්‍රමයක්‌ හා නීති ක්‍රමයක්‌ භාවිතා විය. පසු කලෙක අප රටේ ව්‍යවහාර වූයේ බොදු නීතියයි. එය දේවානම් පියතිස්‌ස රජතුමාගෙන් ආරම්භ වූවායෑයි සැලකේ. එතුමා බුදුදහම වැළඳ ගැනීමෙන් පසු ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් නැවත වරක්‌ අභිෂේකය ලැබූහ. මේ අභිෂේකය මීට පෙර නොවූ විරු අභිෂේකයක්‌ බව "තතො පුබ්බේ පන ඊදිසං අභිසේක ගහණං නාම නත්ථිs යෑයි මහාවංශ ටීකාවෙහි සඳහන් වේ. මීට පෙර ලාංකික රජෙකුට නොලැබුණ තරමේ ඉහළ තත්ත්වයක්‌ මේ අභිෂේකය තුළින් ලැබී ඇත. ඒ නිසාම එතුමා උපාධි නාමයක්‌ වූ "දෙවනපිය" නම් විරුදාවලියෙන්ද පිදුම් ලැබූහ. පසු කාලීනව බිහි වූ බොහෝ රජවරුද බුදුදහමට අනුව තම රාජ්‍යය පාලනය කළහ. දහමේ එන මූලික හර පද්ධතීන් ඒ අයුරින්ම අනුගමනය කරන්නට කැමැති වූ සමහර රජවරු බුද්ධත්වයද ප්‍රාර්ථනා කළහ. සිරි ලක්‌හි නොබෝසත්හු නොරජවත් යෑයි කියන සිව්වන මහින්දයන්ගේ

ඡේතවනාරාම පුවරු ලිපිය එයට සාධක සේ දැක්‌විය හැකිය. බෝධිසත්ව ගුණැති රජවරු රටවැසියා තම දරුවන් සේ සලකා කටයුතු කළහ. ඡේතවන බදුලු ආදි සෙල්ලිපි වල බදු ගැනීම් ආදී නීති රීති පනවා තිබුණත් නීති උල්ලංඝනය කළ අයට දඬුවම් දීම පිළිබඳ එහි සඳහනක්‌ නැත. ශ්‍රී ලාංකික රජවරු මරණීය දණ්‌ඬනය පවා දුන් බවට සාධක නැතුවා නොවේ. නුවර යුගයේ සමහර රජවරු දඬුවම් පැමිණවීමේදී අවනීතියද ක්‍රියාත්මක කළහ. එවැනි සිද්ධීන් සුලභව ඇතත් මගේ පරමාර්ථය වන්නේ හෙළ රජ සමයේ ශ්‍රී ලංකාවේ පැවති නීතිය හා දඬුවම්වල ස්‌වභාවය පිළිබඳ විමසා බැලීමයි.

බුද්ධ කාලයේ සිට අපේ රටේ ක්‍රියාත්මක වූ නීතිය න්‍යාය සතරක්‌ යටතේ විග්‍රහ කළ හැකිය.

1. මෙත්තානු මූල න්‍යාය

2. තේජානු මූල න්‍යාය.

3. ද්විත්ව තීන්දු දණ්‌ඩ න්‍යාය.

4. කූට තීන්දු දණ්‌ඩ න්‍යාය.

1. මෙත්තානු මූල න්‍යාය - වරුදකරුට සමාව දීම අභයදානය දීම මේ ප්‍රතිපත්තියට අන්තර්ගතය. මෙත්තානු මූල වරය ලබාගැනීමට සුදුස්‌සන් සේ සලකනු ලබන්නේ ඉහත සඳහන් කරුණු අනාවරණය වුවහොත් පමණි.

1. වරදකරු වරදෙහි බැඳීමට මූලික හේතුව විමසීම.

2. වරද කිරීම සිදුවූයේ ස්‌වයං තීරණ මතද අන්‍යයන්ගේ බල කිරීම් මතද යන්න සොයා බැලීම.

3. වරදකරුගෙන් හානි වූ දේපල මානව සම්පත් පිළිබඳ විමසීම.

4. වරදකරු මානසික රෝගියකුද යන්න විමසා බැලීම.

මේ කරුණු තහවුරු කරගැනීමට අපරාධ විමර්ශන ක්‍රම, වෛද්‍ය පරික්‍ෂණ ක්‍රම, ගුප්ත විද්‍යා ක්‍රම ආදිය උපයෝගි කරගනු ලැබේ. මේ න්‍යාය වරයෙන් සමාව ලද තැනැත්තන් සඳහා අතුරු නියෝග පනවනු ලැබේ. අරණ ක්‍රියා දේව ක්‍රියා වශයෙන් එය හඳුන්වනු ලැබේ. අරණ ක්‍රියා ලෙස සලකනුයේ වැරදි කරුවන් පුනරුත්ථාපන කඳවුරු ගත කිරීමයි. ඒ සඳහා ධර්මධර. විනයධර, කමටහන්ධාරි භික්‍ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් යුතු මංඩලයක්‌ පත්කරනු ලැබේ. එහිදී පුනරුත්තාපනය වන වැරදිකරුවෝ අරණ සුදීනයෝ නමින් හඳුන්වති. ද්විතීය අවස්‌ථාව වන්නේ වංශයේ දේවපූජා විධි සඳහා ත්‍රිවිධවර මෙහෙය සිදුකරන මෙන් ආඥ පැනවීමයි. දෙවියන් වෙනුවෙන් ස්‌තෝත්‍ර ගායනා කිරීම, පූජා භූමි සංවර්ධනය කිරීම. ධනය පරිත්‍යාග කිරීම යනු ත්‍රිවිධ මෙහෙවරයි. යමගිරික නම් කුමාරයා සුළු මවගේ අනාදරය නිසා බාලවියේ සිටම පීඩා විඳි තැනැත්තෙකි. තුරුණු වියේදී ගෙවල් බිඳින සොරෙකුවූ ඔහු අපරාධ කිපයක්‌ සඳහා සැකකරුවෙකු වී අත්අඩංගුවට පත්විය. ඔහු දරුණු සොරෙකු වුවද පූජ්‍ය ස්‌ථානවලට හා පොදු ස්‌ථාන වලට හානි පැමුණුවේ නැත. වරිග සභාව සහ රාජ්‍ය සභාව ඔහුට මෙත්තානු වරය නියම කළේ එබැවිනි. යමගිරික සය මසක්‌ පුනරුත්තාපන බෞද්ධ ආයතනයක චිත්ත සමාධිය ලැබීය. එයින් ඔහු රහත් ඵලයට පත්විය.

2. තේජානුවර දඬුවම් තීන්දු ක්‍රමය - ගමේ හෝ ගෝත්‍රයේ සුභ සිද්ධිය සඳහා ගම්පතියෙකුට හෝ ගෝත්‍රික ප්‍රධානියෙකුට තීරණය ගැනීමේ හැකියාව තේජානුවර දඬුවම් තීන්දු ක්‍රමයයි. රජු හෝ ගෝත්‍රයේ ප්‍රධානියෙක්‌ වැරදිකරුවෙකු සඳහා තීන්දු ප්‍රකාශයට පත්කිරීමේදී විත්තිය භික්‍ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම අපේක්‍ෂා කරයි. මෙවන් අවස්‌ථාවකදී භීක්‍ෂුන්වහන්සේලාගේ ඉල්ලීම ඉටු කිරීමක්‌ හැටියට දඬුවම් ලිහිල් කිරීමක්‌ සිදුවෙයි.

3. ද්විත්ව තීන්දු දණ්‌ඩ නීතිය - වැරැදිකරුවෙකුට දඬුවම් නියම කිරීමේදී වරදකරුවා නැවත ද්විතීය පරීක්‍ෂණයට ලක්‌ කිරීම මෙයින් අදහස්‌ කෙරේ. එය නම් පූර්ණ අපරාධ විමර්ශනයකින් අනතුරුව නිගමනයට එළඹීමයි. ඔහු තවත් වැරදිකර ඇද්දැයි සොයා බැලීම ද්විතීය පරීක්‍ෂණයයි. සිව් වැදෑරුම් විශ්ලේෂණ ක්‍රමයකින් ඔහු ගැන තොරතුරු විමර්ශනය කළයුතුය.

(1) චෝදිත අයවලුන් පූර්වයෙහි කරන ලද නීති විරෝධි ක්‍රියා පිළිබඳ පරික්‍ෂා කර බැලීම.

(2) ඔහුගේ / ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණයකින් නිගමනයකට පැමිණීම.

(3) චෝදිතයන් පූර්වයෙහි කරන ලද රාජ්‍ය මෙන්ම, සමාජසේවා පිළිබඳව අන්තර්ගත තොරතුරු පරීක්‍ෂා කිරීම.

(4) වරදකරු හෝ වරදකාරිය විකෘති උද්දීපන ක්‍රියාවන් සඳහා පෙළඹවීමට හේතු වූ මූලික හා අතුරු හේතුන් පිළිබඳ සොයා බැලීම.

ද්විතීයික පරීක්‍ෂණයකින් පසුව ඔහු වරදකරුවෙකු වී නම් සිරගත කිරීම, දේශයෙන් නෙරපීම මරණීය දඬුවම වෙනත් අතුරු නියෝගයන්ට යටත් කිරීම යන දඬුවම් ක්‍රම භාවිතා කරනු ලැබේ.

4. කූටක තීන්දු ක්‍රමය - මේ දඬුවම් ක්‍රමය මරණීය දඬුවම සඳහා පමණක්‌ ක්‍රියාත්මක කෙරේ. චෝදනා ලැබුවන් සඳහා විනිශ්චය ලබාදෙන ප්‍රධාන අධිකරණය සහ අනු අධිකරණයෙහි ප්‍රධානත්වය උසුලන රාජ්‍ය නායක තෙමේ ස්‌වකීය විධායක බලය ක්‍රියාත්මක කරන සුවිශේෂම අවස්‌ථාව මෙයයි. කිසිවෙකුගේ ඉල්ලීමකට එකඟ නොවන අවස්‌ථාවද මෙයයි. අවිහිංසාවාදි ප්‍රතිපත්තිවලට අනුව මරණීය දණ්‌ඩනය ප්‍රතික්‍ෂේප කළත්, අවස්‌ථා උචිත හා කාලෝචිතව සලකා සමාජ ශුභ සිද්ධිය උදෙසා තීන්දු ගැනීමෙදී වරදකරුවන්ට මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබේ. රටවැසියා අවධානමකට ලක්‌වූ අවස්‌ථාවක රාජ්‍යනායක තෙම කූටක තීන්දු ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. මරණීය දඬුවම් ක්‍රම සතරකි.

1. කුසන මාරකය.

2. කළිඟු මාරකය.

3. සෙපිලි මාරකය.

4. තෛලාබු මාරකය.

1. කුසන මාරකය - වැරදිකරුගේ සිරුර කපා ඉරා දුක්‌�ත භාවයට පත්කර මරා දැමීමකි, මේ සඳහා කීර කුසනය නම් උපකරණය භාවිතයට යොදා ගත්හ. තියුණු මුවහත් ආයුධ ඇති පීප්පයක්‌ බඳු දෙයකට වරදකරු ඇතුළු කර එය අට දෙනෙකු විසින් කරකැවිය යුතුය. මෙය කරකැවීමේදී වරදකරු කැපී ඉරී මරණයට පත් වේ. මෙය ජනයා රැස්‌කර ඔවුන් ඉදිරියේ සිදුකරනු ලබයි. මේ දඬුවම් ක්‍රමය භාවිතා වූ බවක්‌ සඳහන් නොවේ.

2. කලිඟු මාරකය - ගෙල සිඳ මරා දැමීමයි. වරදකරුගේ ගෙල රත්මල් බැඳ කවට මිටියෙන් තලා වදක බෙර වයමින් වීථි ජනපද වල සංචාරය කරවයි. එසේ කරනුයේ සෙසු ජනතාවට නීතියේ බලය පෙන්වීමටයි, කාඩිය ගසේ කඳෙන් කපා සාදාගනු ලබන දංගෙඩියක හිස තබා කඩුවකින් ගෙල සිඳීම කරනු ලබයි.

3. සෙපිලි මාරකය - මේ දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී විෂ සහිත කුහුඹුවන් හා විෂ පොවන ලද හෙල්ලක්‌ යොදා ගැනේ. දළපයෝ (දළ කඩි) බොටයෝ (දිමි වර්ග) කෝරාවෝ (කඩි) යන විෂ සහිත කුහුඹු වර්ග මේ දඬුවම් ක්‍රමයට යොදාගනී. වරදකරුට කුහුඹුවන් සිටින තැනක වැතිර ගැනීමට නියම කරයි. ඉන්පසු විෂ පෙවූ හෙල්ලයකින් ඇණ වද දෙමින් මරා දැමීම සෙපිලි මරකයයි.

4. තෛලාබු මාරකය - පස්‌සන ලද තෙල් කටාරමක දමා මරණයට පත් කිරීම තෛලාබු මාරකයයි. ඒ සඳහා තෙල් වර්ග සතරක්‌ නියම කර ඇත. 1. කසට තෙල, 2. කදුරුතෙල, 3. තිබොට තෙල, 4. අම්බාට තෙල මේ තෙල් වර්ග කවර වර්ගයක තෙල්ද යන්න නිශ්චිතවම කිව නොහැක. ඖෂධීය තෙල් වර්ග මේ සඳහා භාවිතා කර නොමැත. පොල්තෙල්, මීතෙල්. තලතෙල් ආදිය ඖෂධීය තෙල් වර්ගයි. කබර ගොයාගේ තෙල් හා මළපහ යෙදූ විෂ දියරයක්‌ද යොදාගත් බව සඳහන් වේ. තෛලාබු මාරකය නියම කිරීම සඳහා පහත සඳහන් නීති විරෝධි ක්‍රියාවලින් එකක්‌ සිදුකිරීම ප්‍රමාණවත්ය.

1. භික්‍ෂු භික්‍ෂුණින් ඝාතනය කිරීම.

2. භික්‍ෂු භික්‍ෂුණින්ට ප්‍රසිද්ධියේ අපහාස කිරීම.

3. පූජා වස්‌තුන් විනාශ කිරීම.

4. දැහැමි පාලකයන් ඝාතනය කිරීම.

5. මව් පියන් මැරීම.

6. ස්‌ත්‍රී දූෂණය.

නීති ක්‍රියාත්මක කිරීමේදී රාජ සභා වරිග සභා නියෝජනය කරන නිලධාරින් ගුණාංග සතරකින් සමන්විත විය යුතුය. යක්‍ෂ ගෝත්‍රික නීති අනුව එය චතුර් අධිසය නමින් හඳුන්වයි.

1. එඩි අධිසයෑ සත්තාජ වීමැ - ඔහු මනා පෞරෂයෙකින් යුතු පුද්ගලයෙකු විය යුතුය.

2. සාමග්‍රි අධිසයෑ සත්තාජ වීමැ - ඔහු සමගියට කැමති පුද්ගලයෙකු විය යුතුය.

3. පයුරුවන අධිසයෑ සත්තාජ වීමැ - සාමයට කැමැති පුද්ගලයෙකු විය යුතුය.

4. ලීලේ අධියසැ වීමැ - ඔහු අවංක අපක්‍ෂපාති පුද්ගලයෙකු විය යුතුය. හෙළ රජදරුවන්ගේ නීති සංග්‍රහයට අනුව මුලින්ම හමුවන්නේ බුදු සසුන ආරක්‍ෂා කිරීම පිළිබඳ නීතියයි. "තෙදින් බල දාරකයෙනි සම්බෝධි සස්‌මිතොල රක්‍ෂිත වන්නාසේ තොප රක්‍ෂිතයෝම වනැ, දරුවෙනි බුදුසසුන ආරක්‍ෂාවූ විට තොපද ආරක්‍ෂාවූවාසේයෑ මේ කියමනට අනුව සකස්‌ වී ඇති නීතිරීති මෙසේයෑ. (කිරිබංඩා උපාසක මහතාගේ වරිගපූර්ණිකා ප්‍රකාශනයේ අත් පිටපත).

1. උවැට නිල සද්ධන් සිරය කෙරපීලුය. සිව් පසයෙන් සංග්‍රහා කළ යුතුය.

2. කෝසිලම්බු සද්ධන් සිරය කෙරපීලූය. ගිලන්හල් විශ්‍රාම ශාලා පූජා කළ යුතුය.

3. දැහැමි බෝධිමූල මුරය කෙරපීලූය. භාවනා ආරණ්‍ය සේනාසන පූජා කළ යුතුය.

4. භික්‍ෂු භික්‍ෂුණි ශීර්ෂ ග්‍රහ මෙර කිවිසලූය. භික්‍ෂු භික්‍ෂුණින්ට අපහාස නොකළ යුතුය.

5. ශාසන සවිධි මුණය කිවිසි ලූය. සංඝභේදය නොකළ යුතුය.

රටේ කාන්තාවන් සඳහා පුරුෂ පක්‍ෂය විසින් පිළිපැදිය යුතු නීති.

1. තෙපි නාහ කවිලාශපාලි කුපිතල කුදය වඩාලු මෑ වන කවිලාශපාලි නීති සංග්‍රහයට අනුව ස්‌ත්‍රී දූෂණය නොකළ යුතුය. එයට අනුබල නොදිය යුතුය.

2. තෙපිනාහ කවිලාශපාලි මාතෘවර කුදය වඩාලු මෑ වන ගබ්සාවට අනුබල නොදිය යුතුය.

3. තෙපිනාහ කවිලාශපාලි කාමච්ඡෙදන කුදය වඩාලු මෑ වන කාමයෙහි සමබරතාවය ඇති කරගත යුතුය.

4. තෙපිනාහ කව්ලාශපාලි උරුවටන කුදය වඩාලු මෑ වන ගණිකාවන් සේවනය නොකළ යුතුය ස්‌ත්‍රීන් වරදෙහි නොබැඳ විය යුතුය.

5. තෙපිනාහ කව්ලාශපාලි උපසාය කුදය කඩාලු මෑ වත අසම්මත විවාහයෙන් තොරවිය යුතුය.

ස්‌ත්‍රීන් සඳහා පනවා ඇති නීති

1. තබ්බිනිකාහ කවිලාශපාලි දැහැන් වර කුදය වඩාලු මෑ වන කුමරි බ්‍රහ්මචාරිත්වය රැකීම, උත්‍රාචක්‍ර වට සප්ත ශීලය රැකීම.

2. තබ්බිනිකාහ කවිලාශපාලි විද්පුර කුදය වඩාලු මෑ වන වංශයේ සිරිත් විරිත්වලට අනුව ජීවත්විය යුතුය.

3. තබ්බිනිකාහ කවිලාශපාලි මාතෘවර කුදය වඩාලූ මෑ වන අසම්මත අයුරින් දරුවන් බිහි කිරීම නොකළ යුතුය.

4. තබ්බිනිකාහ කවිලාශපාලි මතෝල කුදය වඩාලූ මැ වන විකෘති කාමයෙන් බැහැර විය යුතුය.

5. තබ්බිනිකාහ කවිලාශපාලි ජාතිනිස කුදය වඩාලූ මෑ වන ගණිකා වෘත්තිය කිරීමෙන් කරවීමෙන් වැළකිය යුතුය.

එවක සිටි සේවාකරුවන්ගේ සේවය නිසි අයුරින් කළ යුතු බවටද නීති පනවා ඇත. එවැනි සේවාවන් කීපයකි මේ.

1. සුරු වැදග - හේවිසි තූර්ය වාදකයන්ගේ සේවාව

2. උසුරු වැදග - ශුද්ධකාරකයන්ගේ සේවාව

3. උණ්‌ඩර වැදග - කම්හල් කරුවන්ගේ සේවාව

4. පණ්‌ඩර වැදග - දෝලාකරුවන්ගේ සේවාව

5. පන්aඩර වැදග - මඟුල් කපුවන්ගේ සේවාව

6. ශුවිධ මුර වැදග - ධාර්මික වෙළෙන්දන්ගේ සේවාව

7. බණ්‌ඩාර වැදග - කර්ණවෑමියන්ගේa සේවාව

8. ඉරුකාල වැදග - කුඹලුන්ගේ සේවාව

9. ධාලපු සේවාව - ආභරණ කරුවන්ගේ සේවාව

10. මුණ්‌ඩාල වැදග - කසල ශෝධකයන්ගේ සේවාව

රට වැසියාගේ අවධානයට ලක්‌විය යුතු නීති මූලයන් 05 ක්‌ ගැනද සඳහන්ය.

1. රකුන වරිග පිදෙනෙක සොලියමැ - ආහාර පිළිබඳ නීති.

2. රකුන වරිග මහීසන සෝලියමැ - දැහැන් වැඩීම පිළිබඳ නීති.

3. රකුන වරිග බන්ධමතී සෝලියමැ - ලිංගිකත්වය පිළිබඳ නීති.

4. රකුන වරිග කෞරාවාග්‍ර සොලියමැ - දඬුවම් පිළිබඳ නීති.

5. රකුන වරිග විෂකුම්භණ සොලියමැ - දැහැමි ප්‍රතිපත්ති පිළිබඳ නීති.

ආශ්‍රිත ග්‍රන්ථ - යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු, සෙල්ලිපි සංග්‍රහය, මානෑව කිරිබංඩා උපාසක මහතාගේ වරිග පූර්ණිකා අත් පිටපත.

මානෑවේ විමලරතන හිමි
දිවයින 21-11-2010



No Response to "පැරණි හෙළ නීතිය සහ දඬුවම් ක්‍රම"

Post a Comment

අදහස් සහ උදහස්