Friday, December 24, 2010

බුදු දහම පිළිගත් සමන් සුරිඳුට පිදුණු බොල්තුඹේ සමන් දෙවොල

0

බුදු දහම පිළිගත් සමන් සුරිඳුට පිදුණු බොල්තුඹේ සමන් දෙවොල


ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් සෝතාපත්ති ඵලයට පිළිපන් සම්‍යක් දෘෂ්ටික දෙවියකු වශයෙන් කා අතරත් සුමන සමන් දෙවියන් ප්‍රචලිත වී ඇත. එසේම මෙරට බෞද්ධයාගේ ගෞරවාදරයට හා වන්දනාමානයට පාත්‍රව සිටින දෙවි දේවතාවන් සමූහ අතුරින් සමන් දෙවියන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ පළමු වැනි වරට ලක්දිවට වැඩම කරන ලද්දේ මහියංගනයටය. මහවැලි නදිය අසබඩ මහානාග වනෝද්‍යානයේ පැවති යක්ෂ සමාගමය කරා උන්වහන්සේ වැඩම කර වදාළේ බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක දා බැව් මහා වංශයේ සඳහන් වේ.

එම අවස්ථාවේ සුමනකූට වාසී සමන් දෙවියෝද එහි පැමිණ තථාගතයන් වහන්සේ දෙසූ දහම් අසා සෝතාපත්ති ඵලයට පත්වූහ’යි මහාවංශය කියයි.

සමන් දෙවිඳුන් සර්වඥයන් වහන්සේගෙන් පූජාර්භ වස්තුවක් ඇයද සිටි කල උන්වහන්සේ කේශ ධාතුන් වහන්සේ අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඒ කේශ ධාතුන් වහන්සේ රන් සුමුගකින් පිළිගත් සමන් දෙවියෝ තථාගතයන් වහන්සේ වැඩ සිටි තැන සත් රියනක් උසට එක් විසි රියනක් වටකුරුවට ස්තුපයක් තනවා එම ධාතුන් වහන්සේ එහි තැන්පත් කළ බැව් වංශකථා තුළින් සනාථ වේ.
සමන් දෙවිඳුන් පිළිබඳව යළිදු වරක් මෙරට බෞද්ධයිනට අසන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදු වූ අවස්ථාවෙහිදීය. එවර බුදුන් වහන්සේ කැලණියට වැඩම කළ බැව් මහාවංශය පෙන්වා දෙයි. සමනොල කඳු මුදුනේ සිරිපා සටහන පිහිටුවන ලද්දේද එම අවස්ථාවේම බැව් එහි අන්තර්ගත වී පවතී. මෙම ශ්‍රීපාද පද්මය පිහිටි සමනොල කඳු මුදුන කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රධාන සමන් දේවාල සතරක් විද්‍යාමාන වේ. එනම්,

1. රත්නපුර මහ සමන් දේවාලය 2. බොල්තුඹේ සමන් දේවාලය 3. මහියංගනයේ සමන් දේවාලය 4. දැරණියගල සමන් දේවාලය මෙහිදී මෙම සමන් දේවාල සතර අතුරින් අපගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නේ බොල්තුඩේ සමන් දේවාලය වේ.

බලංගොඩ සිට පින්නවල හරහා බගවන්තලාව තෙක් වැටී ඇති මාර්ගයේ ඛ්. මී. 14 ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුඩේ සමන් දේවාලයට පිවිසීමට පුළුවන. රත්නපුර මහ සමන් දේවාලයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වලට මෙම දේවාලයද නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකිය. දැනට වාර්තාගත තොරතුරු වලට අනුව මෙම දේවාලය 16 වන සියවසේ සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. එනම් සබරගමු මහ සමන් දේවාලයට යම් සතුරු ආක්‍රමණයක් සිදු වුව හොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිතව තැබීමට මෙම දේවාලය සීතාවක රාජසිංහ රජු කරවූ බවට පිළිගැනේ. බොල්තුඹේ සමන් දේවාලය පිළිබඳව කිරිඇල්ලේ ඥාාණවිමල හිමියන් විසින් 1967 දී රචිත ‘සපරගමු දර්ශනය’ නම් කෘතිය තුල මෙවැන්නක් සනිටුහන් වී පවතී.

‘ මේ දේවාලය කරවන ලද්දේ සීතාවක රාජසිංහයන් විසිනි. තමාගේ ඇවෑමෙන් පසු පෘතුගීසි උවදුර නිසා සපරගමු සමන් වෙහෙරට යම් කිසි හානියක් සිදුවන බව පෙනුනොත් දෙවැනි පැරකුම්බා රජු පටන් තමාගේ කාලය දක්වා මෙදා තුරෙහි ලක් රජය කළ නරපතින් විසින් මෙම ස්ථානයට පුදන ලද විහාර දේවාලගම් ආදි දේපල ගැන ලියා තිබෙන රාජකීය ලෙඛනත් රන් - රිදී - මුතු - මැණික් ආදියෙන් කළ වටිනා පූජනීය වස්තුන් ආරක්ෂා සහිතව තැම්පත් කිරීම සඳහාය.

රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සපරගමුව ආක්‍රමණය කළ පෘතුගීසිහු සපරගමු සමන් වෙහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කර 1618 ඒ මත ඔවුන්ගේ බලකොටුව තනා ගත්හ. එම විනාශයට කලින් රාජසිංහයන් යොදා තිබෙන වැඩපිළිවෙළ අනුව එහි තිබූ වටිනා හැම දෙයක්ම ගෙන ගොස් බොල්තුඹේ දේවාලයේ තැන්පත් කළහ’. (සපරගමු දර්ශනය / පි 255 - 256)

එසේම මෙම දේවාලය 1886 පෙබරවාරි 10 වැනිදා නැරඹූ වේස් මහතා ලියූ වාර්තාවක මෙසේ සඳහන්ව ඇත.
‘දේවාලයේ දික් ගෙයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉතා අලංකාරය, ආකර්ෂණීයය. කළුවර ලීයෙන් තනන ලද උළුවස්සේ මතු පිට දාරය දිගේ කැටයම් කළ ඇත් දළ පටි සවි කොට තිබේ. ඊට පිටතින් හැම පැත්තේම තුනී පිත්තල පටි අල්ලා ඇත’. තවද මෙම වාර්තාවට අනුව රන් බේසමක් වැනි දෙයක් හා (මණ්ඩය) දුනු හා ඊතල යන භාණ්ඩ 1888 මැයි 21 දා ඔහු නැවත ගොස් එය සෝදිසි කරද්දීත් තිබී ඇත. එසේම කොඩ්රින්ටන් මහතාගේ ලේඛන වලට අනුව දේවාලයේ දික් ගෙයි අඩි 4 ක් දිග අඩි 2 1 / 2 ක් පළල අඩි 11 / 2 - 2 ක් පමණ ගැඹුරු ලී පෙට්ටියක්ද මෙහි තිබී ඇත.

වර්තමානයේ මෙම දේවාල භූමිය තුළ දර්ශනීය බෝධීන් වහන්සේ නමක් බුදුමැදුරක් මෙන්ම චෛත්‍යයක්ද බෞද්ධයන්ගේ වන්දනාමානය සඳහා පවතී. අසල විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ පැවසූ ආකාරයට මෙම චෛත්‍ය ඉදිකර ඇත්තේ වළගම්බා රජ දවස ඉදිකළ කුඩා චෛත්‍යයක් මැදි කොටය. නමුත් මෙම දේවාල භූමියේ ඉතිහාසය වළගම්බා යුගයට් ඈත යුගයකට ගමන් කරයි. ඒ වකවානුවේද මෙහි දේවාලයක් පැවති බවට ජනශ්‍රැතිය සාධක හමුවේ.

එදා රාම රාවණා යුද්ධය පැවතියේද මෙම භූමිය කේන්ද්‍ර කොට ගෙන යැයි පැවසෙන ජනශ්‍රැතික සාධක අපමනය. රාවන රජු ලක්ෂ්මනයන් මෙම භූමියේදී පරාජය කළ හෙයින් රාවණයින්ගේ ජය භූමිය ලෙසින් ද මෙම ප්‍රදේශය හඳුන්වනු ලබයි. හීයකින් විද රාවණ රජු නැසීම පිණිස රාම කුමරුන් වවිසින් දුනු දිය මැනීම පිණිස වීරිය යොදන ලද්දේ මෙම දේවාලය අසල ඇති දෙතනගල පර්වතයට දෙදන සිරකර ගනිමින් බැව් පැරණි ගම්වැසියන්ගේ මතයයි. රාවණා කපොල්ල, සිතාලෙන, සිතා ගල, රාවන කන්ද, වලේගොඩ, කුමරි කොටුව, වැනි ස්ථාන මෙම දේවාල ආසන්නයේ පවතී.මේ දේවාල මන්දිරය තුළ රාවණා රථය නමින් සුවිශේෂි වස්තුවක් ඇතැයි පැවසේ. එය රාවණා රජු පරිහරණය කළ දඬු මොනර යන්ත්‍රයේ ආකෘතියක් බැව් ප්‍රදේශයේ ජීවත් වන විද්වතුන්ගේ මතය වී ඇත. මෙය ලෝහයෙන් තනා ඇති අතර රෝද නොමැති එය ගුවන් යානයක ස්වරූපය ගත්තක් බවටද සැලකේ. එසේම රාවණ රජිදුන්ගේ රාවණ කොඩියද මෙම දේව මන්දිරය තුළ පැවති බැව් මේ පිළිබඳ තොරතුරු සෙවීමේදී අනාවරණය විය.

එසේම මෙම බොල්තුඹේ සමන් දේවාලයේ පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් ඔක්තෝම්බර් කාල වලදීය. චාරිත්‍ර සමුදායක් මීට අන්තර්ගත වී පවතී. දිය කැපීමෙන් පසු දවුල් කරුවකු, තම්මැට්ටම් කරුවන් දෙදෙනකු හා කොඩි අතින් ගත් දෙදෙනෙකු දේවාලය වටා බෙර වයමින් දුවනු ලැබේ. මෙයින් ජයග්‍රහණය කරනු ලබන පුද්ගලයාට බස්නායක නිලමේ තුමා හා ප්‍රධාන කපු මහතා විසින් යම් ත්‍යාගයක් පිරිනමනු ලබයි. මෙයින් සංකේතවත් කරනු ලබන්නේ එදා ලක්ෂ්මන පරදා රාවණයන් ලැබූ ජයග්‍රහණය සැමරීමකි.

මෙම දේවාල මන්දිරයට ප්‍රවිශ්ට වන්නේ විශාල කළුවර උළුවස්සකිනි. පළාපෙති කැටයමින් යුතු වූ ඇත්දත් පේළිය එකී උළුවස්සේ තැනින් තැන පමණක් දක්නට ඇත්තේ එහි විශාල කොටසක් සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති හෙයින් විය යුතුය. 1886 මෙම දේවාලය පිළිබඳ වාර්තාවක් ලියන වේස් මහතා මේ උළුවස්සේ පිටතින් සැම පැත්තේම තුනී පිත්තල පටි අල්ලා තිබුණු බැව් සඳහන් කර ඇතත් එවැන්නක් අප නෙත නොගැටුණි. එසේම දේවාලයේ බොහෝ තැන් වේ හුඹස් වලින් යුක්ත අතර බුදු ගෙය ඇතුලතද වේ තුඹසක් තිබුණු ආකාරය නෙත ගැටුණි. මේවාට නිසි පිළියමක් නොකළ හොත් වේ තුඹස් වලින්ම බොල්තුඹේ සමන් දෙවොල විනාශ මුඛයට පත්විය හැකිය.




No Response to "බුදු දහම පිළිගත් සමන් සුරිඳුට පිදුණු බොල්තුඹේ සමන් දෙවොල"

Post a Comment

අදහස් සහ උදහස්

..