-->

Sunday, March 13, 2011

කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව

0

කුඩා රාවණා කොටුව සහ
මහා රාවණා කොටුව

 

අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් දකුණේ අවසන් කඳවුරුබිම වෙත ළඟා වී තිබෙනවා. ඔබ දන්නවා මේ චාරිකාවේදී අප විශේෂයෙන්ම ප්‍රදීපාගාර ගැනත් ගවේෂණයක යෙදෙනවා. ලංකාව වටා තියෙන සමස්‌ත ප්‍රදීපාගාර ගැන මෙහිදී අපි කතා කරනවා. ඉතින් දකුණේ අවසන් මුහුදු තීරයේ මේ දිනවල ගතකරන අපි මෙතැනින් යාල මහ වනය පසුකර නැගෙනහිරට පියමං කරන්නට මත්තෙන් රුහුණු රට පිහිටි වැදගත්ම ප්‍රදීපාගාර දෙකක්‌ පසුකර යන්නට සිදුවෙනවා. 

ඒ තමයි මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව නොහොත් Great basses සහ Little Basses කියන සමුද්‍රීය ගල්පර ප්‍රදේශ දෙක. ඒත් ඉතින් මේ ප්‍රදීපාගාර දෙක බලන්න යනව කියන්නෙ මහා අභියෝගයක්‌. මේ දෙක පිහිටල තියෙනනෙ අවම තරමින් ගොඩබිමේ ඉඳන් කිලෝමීටර් 10 ක්‌වත් දුරින් මුහුද මැද. මේ ප්‍රදීපාගාර එකිනෙක අතරත් කිලෝමීටර් 35 ක විතර දුරක්‌ තියෙනවා.


මහා රාවණා කොටුව වගේම කුඩා රාවණා කොටුවත් පිහිටුවා තිබෙන්නෙ යාල ජාතික වනෝද්‍යානයට මුහුණලා. මහා රාවණා කොටුව කිරින්ද පළටුපාන - යාල ගොඩබිම් ප්‍රදේශවලටත් ඉතා ඈතින් දිස්‌වෙනවා. කුඩා රාවණා කොටුව ගොඩබිමකට දිස්‌වන්නේ යාල වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයට. පහළ පොත්තන මිනිහා ගල් කන්ද වගේ තැන්වලට.


ප්‍රදීපාගාර දෙකට යන්න කිරින්ද ප්‍රදේශයෙන් මුහුදු යාත්‍රාවකට ගොඩවෙන්න පුළුවන්. ධීවර බෝට්‌ටුවක නැගී ගමන් කිරීම පහසුම කටයුත්තක්‌ වුණත්, මුහුදේ තත්ත්වය අනුව අවධානම ගැනීම ගමන් ගන්නාගේ වගකීමක්‌. ඉස්‌සර නම් මේ ප්‍රදීපාගාර දෙකේ සේවා මුර ක්‍රමයට සේවය කළ සේවකයින් හිටියා. ඔවුන්ට පහසුකම් සපයා දෙන්න වගේම සේවා මුරයේදී මාරුකරන්නත් වරාය අධිකාරියෙන් වෙනමම යාත්‍රාවක්‌ යොදවා තිබුණා. ඒත්, කාලය ගොඩාක්‌ දේවල් වෙනස්‌ කරලා. දැන් මේ ප්‍රදීපාගාරවල එළිය දෙන්නෙ ස්‌වයංක්‍රීය විදුලි පහන්වලින්. ඉතින් ඉඳහිට යන වරාය අධිකාරයේ යාත්‍රාවක්‌ දැන් අපිට පිහිට වෙන්නෙ නෑ. 

ඒත් ඉතින් මේ චාරිකාව නොහොත් මේ සුවිසල් අත්දැකීම් අතහරින්නත් බැහැ. කුඩා රාවණා, මහා රාවණා නොගිහින් රට වටේ ගිහිං වැඩකුත් නැහැ. පහුගිය ටිකේ මුහුදත් හොඳ නැතිව තිබුණු හන්දා (රළු නිසා) ආරක්‌ෂාවේ ප්‍රශ්නයක්‌ අපට තිබුණා. මේ අභියෝග සියල්ල ජයගෙන මේ දුෂ්කර එමෙන්ම බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ප්‍රදීපාගාරවල තොරතුරු, ඡායාරූප ගෙන එන්නට අන්තිමේදී අපි සහාය පැතුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ. ඒ සඳහා අපට ආරක්‌ෂක අමාත්‍යංශයේ අවසරයත් ඕන වුණා. ඒ සියලු අවශ්‍යතා සපුරාගෙන ඔන්න අපි මහා රාවණා, කුඩා රාවණා ප්‍රදීපාගාර (ගල්පර) දෙකටත් ගියා. මේ ගැන තමයි අපි මේ සතියේ සුවිශේෂ නැවුම් අත්දැකීමක තොරතුරක්‌ කියනව කියල පහුගිය ඉරිදා ඔබට කිව්වෙ.

ආරක්‌ෂක අමාත්‍යාංශයෙන් අපි කරනු ඉල්ලමකට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වපු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අපගේ ඉල්ලීමට අවසර ලබා දෙමින් ඒ කාර්යය ඉටුකරගන්න නාවික හමුදාව වෙත අපව යොමු කළා. නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියාර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ මැදිහත්වීම මත නාවුක හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් මීළඟට අප යොමු කෙරුණේ නාවික හමුදා දක්‌ෂිණ කඳවුරේ මෙහෙයුම් නිලධාරී ලුතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම් මහතා වෙත. 
මේ සියලු නිලධාරීන්ගේ කාරුණික මගපෙන්වීම, අනුග්‍රහය හා මනා සම්බන්ධීකරණය හේතුකොට ගෙන අපගේ ගමන ඉතා හොඳින් සැළසුම් වුණා. අවසානයේ ලුතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික අණභාර නිලීධාරියා ලෙස කටයුතු කළ සුපර් ඩෝරා වර්ගයේ ප්‍රහාරක මුර යාත්‍රාවක උදව්වෙන් අපට පළමුව මහා රාවණා පරයේ පිහිටි මහා රාවණ ප්‍රදීපාගාරයටත්, ඉන්පසු කුඩා රාවණා ප්‍රදීපාගාරයටත් යන්නට හැකිවුණා. අද අපේ ගවේෂණ චාරිකාව හැඩවෙන්නේ ඒ අනුග්‍රහය මත අප ගත් ඡායාරූපවලින්. ඉහත නිලධාරීන් වගේම මුර යාත්‍රාවේ සියලු ලොකු කුඩා නිලයන් මෙහිදී අපට දැක්‌වූ කාරුණික අනුග්‍රහය අප කතෘවේදීම සිහිපත් කළ යුතුයි.


ගාල්ල නාවික කඳවුරෙන් ගමන් ආරම්භ කළ අපි පැයට සැතපුම් 80 පමණ වේගයෙන් ගමන් කරන යාත්‍රාවේ නැගී වැලිගම, මාතර පහුකරල මී ළඟට ළඟා වුණේ දෙවුන්දර ප්‍රදේශයට. දෙවුන්දර තුඩුව මෙහිදී අපට පැහැදිලිව දැකගත හැකියි. කළින් දවසක අපි කඳවුරු බැන්ද දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරයත් මහා සාගරයට ඉතා හොඳින් දිස්‌වෙනවා. සාගරයේ සිට දෙවුන්දර නොහොත් "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" එකෙත් ඡායාරූප ගත් අපි මීළඟට ළඟා වුණේ ගොඩවාය, හම්බන්තොට ප්‍රදේශයට. හම්බන්තොට නව වරාය පිවිසුම වගේම එහි ඉදිකිරීම් යනාදියත් අද අපි නැරඹුවෙ සාගරයේ ඉඳල. ඊළඟට අපි ක්‍රමයෙන් කිරින්දට ළඟා වුණා. එතැන් ඉඳන් දකින්න ලැබුණෙ යාල වනෝද්‍යානය. ආකාශ චෛත්‍ය, පටනංගල ප්‍රදේශයත් සමඟ ඔන්න ඈතින් පළමුව අපට දකින්න ලැබුණෙ මහ රාවණ ප්‍රදීපාගාර කුලුණ. ඒත් ඊට පෙර සිට නවීන සුපර් ඩෝරා යාත්‍රාවේ පවතින රේඩාර් තිරයේ මහා රාවණා ප්‍රදීපාගාරය අපට පෙන්නුවේ යාත්‍රාවේ අණභාර නිලධාරී ලුතිනන් කමාන්ඩර් බුද්ධික. අපට අලුත්ම අත්දැකීමක්‌ වූ ඒ ගැන වගේම අපි අහන බොහෝ දේවල්වලට ඒ නිලධාරියා නොවලහා කියා දුන් දේවල් රටවටා ගවේෂණය කරන අපිට ඉදිරියටත් මහත් උපකාරයක්‌ වේවි කියලයි මට හිතෙන්නෙ.


මහා රාවණා ප්‍රදීපාගාරය

මහා රාවණ කොටුවට අපි ළඟාවුණේ තවත් අමුත්තන් පිරිසකුත් සමඟයි. අපිව පිළිගන්නට වගේ මග බලාගෙන හිටියෙ ඩොල්පින් රංචුවක්‌. ඒ මේ අත පනිමින් උන් අපි පැමිණි සතුට පළ කළ බවයි දැනුනේ. කොහොම වුණත් ඈතින් ඡායාවක්‌ වගේ පෙනෙන ගොඩබිමත්, නිල්වන් අහස්‌ කුසේ නැඟි පෙනකැටිවන් වළාපෙළත් මැදිකරගගනිමින් විසල් ප්‍රදීපාගාරය සාගරය පරයා නැඟී සිටින්නට වෙර දරනවා. ගොඩබිමේ සිට කිලෝමීටර් 13 ක්‌ පමණ දුරකින් පිහිටි මෙහි උස මීටර් 34 ක්‌. 1873 දී නිර්මාණය කර ඇති මෙය ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්‌. මයිකල් පැරඩේගේ උපදෙස්‌ අනුව මෙය සැළසුම් කර ඇත්තේ සර් ෙ-ම්ස්‌ නිකලස්‌ ඩග්ලස්‌ නම් සුදු ජාතිකයා. එය ගොඩ නගා ඇත්තේ විලියම් ඩග්ලස්‌ නම් ඔහුගේ සහෝදරයා. ගිනිකොණදිග මුහුදේ මෙය පිහිටුවා ඇත්තේ එකල ධීවරයන්ටත් වඩා නැව් ගමනා ගමනය සඳහා පහසුවෙන විදිහට. නොදියුණු කලෙක මෙවන් ප්‍රදීපාගාරයක්‌ මුහුද මැද ඉදිකිරීම කොයිතරම් අභියෝගයක්‌ද? ඒ විතරක්‌ නෙමේ මෙතැන පිහිටි ගල්පරය හේතුවෙන් අතීතයේදී නාවික අනතුරු රැසක්‌ සිදුවුණාලු. ඒ නිසා තමයි මෙතැන මෙවන් ප්‍රදීපාගාරයක්‌ ඉදිකර තියෙන්නේ.


කුඩා රාවණා ප්‍රදීපාගාරය

කුඩා රාවණා ප්‍රදීපාගාරය අපට හමුවෙන්නෙ මහා රාවණා ප්‍රදීපාගාරය හමුවෙලා තවත් කිලෝමීටර් 37 ක්‌ දකුණු දිගින්. මෙහි උස මීටර් 34 ක්‌. ගොඩබිමේ සිට කිලෝමීටර් 10 කට ආසන්න දුරකින් තමයි පිහිටල තියෙන්නෙ. මෙයත් නිර්මාණය කරලා තියෙන්නෙ ඩග්ලස්‌ සහෝදර දෙපළ විසින්. ඒ 1878 දී. ගිනිකොණ දිග මුහුදේ පිහිටල තියෙන මෙය දකුණු මුහුදේ අවසානය වශයෙනුත් අපට හැඳින්විය හැකියි. මේ ප්‍රදීපාගාරයටම ආවේණික වර්ණාලේපයකුත් තියෙනවා. 
මේ ගැන අපට නාවික නිලධාරී බුද්ධික මහතා කිව්වෙ එක්‌ එක්‌ ප්‍රදීපගාරයට අනුරූප වුණු වර්ණ, ඉදිකිරීම් යනාදී වෙනස්‌කම් තියෙනවා පමණක්‌ නොව බොහෝ ප්‍රදීපාගාරවලින් තමන්ට ආවේණික වූ රේඩියෝ තරංග මලාවකුත් මුදාහරින බවයි. ඩොන්ඩා ලයිට්‌ හවුස්‌වලදී මේ රේඩියෝ තරංග දහරා නිකුත් වෙන හැටි අපි දැක්‌කෙ යාත්‍රාවේ රේඩාර් තිරයේදී.


පෙරවරුවේ ගාල්ල වරායෙන් රාවණා කොටුව ගවේෂණ චාරිකාව ඇරඹූ අපි, මහා රාවණ කොටුව ගල්පරය පසුකර කුඩා රාවණ කොටුව ගල්පරය ප්‍රදේශයට එනවිට දහවල ඉක්‌ම ගොස්‌ තිබුණා. ඒ උදේ තේ විවේකයත් අරගෙන. රාවණා ප්‍රදීපාගාර දෙකේම ඡායාරූප පිටපත් කරගත් පසු අපි ආයිමත් ගාල්ලට එන්න හැරුණා. ඒත් එහෙ මෙහෙ "දුවන-පනින" ඩොල්පින්ගේ ප්‍රබෝදයෙන් අපි ආයිමත් ටිකවේලාවක්‌ මත් වුණා. ඔය විදිහට තමයි එදා චාරිකාව ගෙවිල ගියේ. පසෙකින් ගොඩබිම් තීරයත්, නිල්වන් ජල තලය කපාගෙන සුදු පෙණ පිඬු වළාවක්‌ නිර්මාණය කරමින් ඇදෙන වේග ප්‍රහාරක යාත්‍රාවේ නැවුම් අත්දැකීම් රැසක්‌ ද සමගින් අපි ආයිමත් ගාලූ තොටින් යාත්‍රාවෙන් බැසගත්තේ හිරු බැස යන සැඳෑවේ.

යුද්ධය ජයගෙන සාමකාමී රටක්‌ ගොඩනැගීම වෙනුවෙන් එදා යුදබිමේ දහදිය මහන්සි කැප කළ නිලධාරීන් සෙබළුන් පිරිසක්‌ සමග දවසක්‌ ගත කරන්නට ලැබීමත් මේ චාරිකාවේ අමතක නොවන අත්දැකීමක්‌ බවත් මෙහිදී කිව යුතුමයි.

ඉතින් පසුගිය සතියෙ අපි හිටියෙ යාල වනෝද්‍යාන පිවිසුම අසල. ඒ කියන්නෙ පළටුපානෙ. හදිසියේ යන්න වුණු මුහුදු ගමනෙන් පස්‌සෙ අපි ආයිමත් යාල වන උයනට යායුතුයි. ලබන සතියෙ අපි මඟුල් මහ විහාරය, සිතුල්පව්ව බලාගෙන මැණික්‌ ගං මෝය කටෙන් මිනිහා ගල්කන්දට ඇදෙනවා. ඒ තමයි අපේ ඊළඟ කඳවුරු බිම. උද්‍යානයේ රසබර තොරතුරු සමගින් එසේ නම් අපි හමුවෙමු ලබන සතියේ යාල වනෝද්‍යානයේ සිට.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය-
ආරක්‌ෂක අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ලූතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම්, ලූතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික යන මහත්වරුන්ට




 උපුටා ගැනීම - http://www.divaina.com/2011/03/13/nimna04.html


No Response to "කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව"

Post a Comment

අදහස් සහ උදහස්