-->

Friday, March 21, 2014

දුටුගැමුණු රජු මිය ගියේ නයකු දෂ්ඨ කිරීමෙන්ද?

0


දුටුගැමුණු රජු මිය ගියේ නයකු දෂ්ඨ කිරීමෙන්ද?

දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ බිසව රාජ වංශයට අයත් නොවූ බැවින් ඇයට උපන් පුත් කුමරාට රජකම අහිමි වූ බව සඳහන්ය. මේ නිසා එතුමාගේ බිසව කවුරුන්දැයි යන්න මතභේදයට තුඩුදුන් කරුණකි. රජතුමා කොත්මලෙන් කැන්දාගෙන ගිය හිරිමල් එතනාම සිය මෙහෙසිය කරගත්තේද නැද්ද යන්න කිසිවකු නොදන්නකි. එහෙත් ඇය මෙහෙන් කැන්දාගෙන යන විට ගැබිනියකව සිටි බව සඳහන් වේ. එම නිසා සාලිය කුමරු ඇගේ පුතා විය හැකි බව විශ්වාස කෙරේ.


රජුට තවත් බිසෝවරුන් සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වන්නේය.
නාග කන්‍යාවක පාවාගෙන සිටි බවද කියැවේ. එනිසා රජුට ඔටුනු පලන් බිසවක් සිටි බවට සඳහන් නොවේ. දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ රජකම් කළ අතර ගල්වල් රට ඇතුළු කොත්මලේ ප්‍රදේශයම සාලිය කුමරුට බාරදී යුවරජකමටද පත්කළේය. මෙසේ එම ප්‍රදේශවල පාලනය ඔහුටම බාරදීමෙන් පෙනී යන්නේ සාලිය කුමරුට කොත්මලේ උරුමයක් තිබෙන්නට හැකි බවය.


දුටුගැමුණු රජතුමාගේ මරණය හා එය සිදුවූ ආකාරය පිළිබඳ ඉතිහාස පොත්වල සඳහන් නොවේ. එහෙත් ඒ ගැන ජන කතා ඇත්තේය. ජයසේන කුමරු තම බිසව කොට ගෙන සිටියේ රුවින් අගතැන්පත් නාග කන්‍යාවකි. එතුමා දිනක් ඇය සමඟ කැලණි ගං තීරයේ සතුටින් සිටියේය. එවිට පැන යන මුවකු දුටු කුමරු උෟ විද මැරීම සඳහා එළවාගෙන ගියේය. මේ අතර දුටුගැමුණු රජතුමාද ඒ අසලින් ගමන් කර ඇති අතර, ගලක් මතුපිට හිඳගෙන සිටින නාග කන්‍යාව දැක ඇය කෙරෙහි සිතක් පහළවී එතැනට අවුත් ඇගෙන් තොරතුරු විමසන්නට විය. 


එවිට ජයසේන කුමරාද එතැනට පැමිණියෙන් දෙදෙනා අතර කතාව දුරදිග ගොස් සටනක් ඇතිවිය. දෙදෙනා අතර සටනින් පසු දුටුගැමුණු රජතුමා විසින් ජයසේන කුමාරයා ගඟට තල්ලු කරන ලදී. කුමාරයා ගඟට වැටෙමින් ප්‍රකාශකොට ඇත්තේ... මම කවදා හරි නයෙක් වෙලා ඇවිත් නුඹෙන් පළිගන්නවා..... කියායි. පසුව ඔහු නාගයෙක් වී රජුට කීප වතාවක්ම දෂ්ට කළ බව පැවැසේ.

තවත් කතාවකට අනුව දුටුගැමුණු රජතුමාගේ මල් උයනේ සැමදාම මල් හොරු කඩන්නට වූහ. එනිසා මල් හොරුන් ඇල්ලීමට මුර සෙබළුන්ද පත්කර තිබිණි.
දිනක් ඉතා සුන්දර නාග කන්‍යාවෝ සමූහයක් පැමිණ එහි මල් නෙළන්නට වූහ. ඒ දුටු මුර සෙබළා රජුට එපුවත දන්වා සිටියේය.


රජතුමා පැමිණ ඔවුන් පසුපස හඹාගොස් එක් නාග කන්‍යාවක් අල්ලාගත් අතර, සෙසු අය නාලොවට පලා ගියේය. එම නාග කන්‍යාව රජතුමා විසින් තම මෙහෙසිය කොට තබාගනු ලැබී ඇත.


නාග කන්‍යාවගේ මව මේ ගැන කිපී, නාලොවින් පැමිණ කීප වතාවක්ම රජුට
දෂ්ට කළ නමුත් දුටුගැමුණු රජතුමාගේ දක්ෂ වෛද්‍යවරයා විසින් ඒ හැම අවස්ථාවකදීම රජතුමාට ප්‍රතිකාර කර බේරා ගනු ලැබූ බව පැවැසේ.
කොපමණ දෂ්ට කළත් විෂ මූර්ඡා වීමට ඉඩ නොදෙන නිසා රජු කෙරෙහි නයින්ගේ තිබූ වෛරයද වැඩිවිය.


දිනක් නාගයෙන් මනුෂ්‍ය වේශයක් මවාගෙන විත් රජුට වෙදකම් කරන වෛද්‍යවරයා හමුවිය. දෙදෙනා අතරමඟ අම්බලමක කතාබහ කරමින් සිටින අතරතුර මිනිස් වෙස්ගත් නාගයා වෙදැදුරාගෙන් ප්‍රශ්න කරමින් නාගයෙක් කුමන වේලාවක කුමන ස්ථානයකට දෂ්ට කළොත් සනීප කරන්නට බැරිදැයි ඇසුවේය.


වෛද්‍යවරයාද එයට පිළිතුරු දුන්නේය. ඒ මොහොත වන විට වෛද්‍යවරයා කියූ කරුණු සම්පූර්ණ වී තිබුණු බැවින් නාගයා ප්‍රථමයෙන් වෛද්‍යවරයාට දෂ්ට කළේය. අනතුරුව වහා ගොස් රජතුමාටද දෂ්ට කළේය.


වෛද්‍යවරයාද බෙහෙත් ගසකට අත දිගුකර මැරී වැටුණේය. රජතුමාද සිහි විසඥ වී සිටියේය.
රාජකීය වෙදදුරාද මියගොස් ඇති නිසා රජතුමා තනකිරි දැමූ ඔරුවක බහා සිටියේය. රජතුමා බේරා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළත් ඉන් පලක් නොවිණි. තිස්ස කුමාරයා විසින් රුවන්වැලි සෑයටත්, ලෝවාමහාපායටත් අතර මණ්ඩපයක් සාදා දුටුගැමුණු රජතුමා එහි හිඳුවනු ලදී.


එයින් සත් දවසකට පසු එම මයිලනුවන් වූ තිස්ස කුමාරයා විසින් අඩක් වැඩ නිම කරන ලද රුවන්වැලි සෑය දෙස බලාගෙනම රජතුමා ස්වර්ගස්ථ විය.


ඒ සැණෙන් එතුමා දිව්‍ය ආත්මයක් ලැබ, මහාසෑය පැදකුණු කර, මහා සංඝයා වහන්සේද, ජනතාවද, බලා සිටියදීම දෙව්ලොව වැඩි බව ජනකතාවල සඳහන් වන්නේය.


“මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි....” යන දුටුගැමුණු රජුගේ ප්‍රකාශයට අනුව එතුමා වසර විසි හතරක් රාජ්‍ය කළේය. එම කාල සීමාව සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත්, සෞභාග්‍ය සමය විය. දුටුගැමුණු රජතුමා කළ උදාර කර්තව්‍යයන් අතර ආරෝග්‍යශාලා 18ක්ද, කසාගල පොසොන් වැව, බදුලු දිස්ත්‍රික්කයේ සොරබොර වැව, උතුර පළාතේ පාවත්කුලම වැව, කිරිඳිඔයට බටහිරින් යෝධකණ්ඩිය වැව, මිරිසවැටි චෛත්‍ය, ලෝවාමහාපාය, එළාර සොහොන, වෙසක් පූජාවන් විසි හතරක්, ලක්වැසි සියලු භික්ෂුන් වහන්සේට තුන්වරක් තුන් සිවුරු පූජා කිරීම, සත් දින බැගින් ලක් රජය පස් වතාවක් ශාසනයට පූජා කිරීම, රුවන්වැලි මහා සෑය ආදිය වේ.

නිමල් කරුණාතිලක




උපුටා ගැනීම - http://www.mawbima.lk/55-28836-news-detail.html

රුවන්වැලි සෑයට නම දුන් ස්‌වර්ණමාලී දෙව්දුව




No Response to "දුටුගැමුණු රජු මිය ගියේ නයකු දෂ්ඨ කිරීමෙන්ද?"

Post a Comment

අදහස් සහ උදහස්