Tuesday, October 8, 2013

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව.

0

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව


දක්ෂිණ ලංකාවේ සුප්‍රකට ප්‍රදේශයක් වූ ගිරුවා පත්තුවේ සමාජ තත්වය විමසා බලන විට පෙනී යන්නේ එම පෙදෙස රාවණා යුගයේ සිට පොදු ජන ආකර්ශණය ලැබූ සරු බිමක්ව පැවැති බවකි. රාවණ මහ රජතුමාගෙන් පසු හෙළ දිව අග රජු බවට පත් දෙවැනි රාවණා රජතුමා ගිරුවා පත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය ගැටබරු දෙවොල ලෙස හඳුන්වන බවත් “රාවණ කතා“ පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව විමසා බලන විට රුහුණේ ගැටබරු දේවාලය රාවණා යුගය දක්වා ඉපැරණි අතීතයක් ඇති පුද බිමක් ලෙස සැළකිය යුතුය. රුහුණු ප්‍රදේශයේ හෙළ යක් පරපුරට අයත්, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැසකි. “රම්බා විහාරය“ ද මෙම පුරාවිද්‍යාත්මක අගයක් ඇති ස්ථාන අතර සුවිශේෂත්වයක් ගත් පුදබිමකි.

ලක් දිව යුධ කරදර පැවැති එක් සමයකදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළ ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන රම්බා විහාරය රාවණ රජ සමයේ විසූ “රම් දෙව්දුව“ සිහිවීම පිණිස ගොඩනැන්වූ දෙවොලක් ලෙස රාවණ කතා ග්‍රන්ථයේ එක් තැනක සඳහන් වේ. මේ අනුව විමසා බලන විට මෙම ප්‍රදේශය යක්ෂ,දේව,නාග,ගන්දබ්බ ගෝත්‍රික ජනයා සහජීවනයෙන් ජීවත් වූ පින් බිමකි.

මෙම ප්‍රදේශයේ ගෝත්‍රික ආරවුල් කිසිවක් පිළිබඳ අප රටේ සම්භාව්‍ය වංශ කතා වල පැහැදිලිවම සටහනක් නොමැත.මෙම ඓතිහාසික රම්බා විහාරයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවධානයක් ලැබී නැති බව කිව යුතුය. රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයට අනුව එදා ගිරුවා පත්තුව සුවිසල් පෙදෙසකි. ලක් දිව තිබෙන්නාවූ අනෙක් “පත්තු“ ප්‍රදේශ වලට වඩා ගිරුවා පත්තු ප්‍රදේශය විශාලය. මෙම පත්තුවේ කොඩියේ ලාංඡනය ලෙස එදා භාවිතා කර ඇත්තේ කොළ පැහැති ගිරවකුගේ රුවකි. එබැවින් මෙම පෙදෙස එදා හඳුන්වා ඇත්තේ “ගිරවා පත්තුව“ ලෙසය. හම්බන්තොට සිට බිංතැන්න දක්වා විහිදී තිබුණු මෙම භූමිය, අද කැඩී බිඳී වෙනස් වී ඇත.

ගිරවාපත්තුවට අදාල ගිරවා කොඩිය අද බිංතැන්නට හිමිව ඇති අතර හම්බන්තොට,මුල්කිරිගල ප්‍රදේශයේ වෙනත් ප්‍රාදේශීය ධජයක් භාවිතා වේ.


එදා රාවණා රජ දවසේ ගිරුවා පත්තුවට අයත් ප්‍රදේශ හම්බන්තොට, බිංතැන්න,මුල්ගිරිගල, තංගල්ල, කිරම, වීරකැටිය, බුද්ධියගම ආදී පෙදෙස් රැසක් වූ අතර බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක් කොටසක් ද වූ බැව් පුරාණ පුස්කොළ ග්‍රන්ථ අනුව පෙනී යන සත්‍යයකි. පාන බොක්ක ග්‍රාමය සහ මඩුවන්වෙල ග්‍රාමය ද එදා ගිරුවා පත්තුවට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශයේ ගල් කුළු රැසක් ඇති බැවින් එය ගිරුවා පත්තුව යනුවෙන් හැඳින් වූ බැව් ඇතැමෙක් කියති.

දකුණු පළාතේ ඉතා සුප්‍රසිද්ධ ග්‍රාමයක් වූ විතාරන්දෙණිය ද අයත් වන්නේ මෙම ඓතිහාසික ගිරුවා පත්තුවටමය. යුරෝපීය ජාතික සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ද මෙම ප්‍රදේශයේ සේවය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස “බැද්දේ ගම“ කෘතිය ජාතියට තිළිණ කර ඇත. ගිරුවා පත්තුවේ මීගහ ජදුර ග්‍රාමය රාවණ පා පහස ලද ග්‍රාමයක් ලෙස ඔහු හඳුන්වා ඇති අතර එහි ජනතාව රාවණ රජතුමාට මහත් ආදරයක් මෙන් ම ගෞරවයක් ද දක්වන බැව් ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත.

අම්බලන්තොට සිට සැතපුම් හයක් පමණ දුරකින් පිහිටා ඇති කරඹගල ලෙන ඈත අතීතයේ දී හේට් නැමැති යක්ෂ ගෝත්‍රික ප්‍රභූවරයාගේ වාස භවනය වූ බැව් රාවණ කතාවේ සඳහන්ය. වීර කැටිය, වීර රකුසා ජීවත් වූ පෙදෙස බැව් ද එහි සඳහන් වේ. වීර රකුස් ප්‍රභූවරයාගේ මාළිගය පිහිටා තිබුනේ කොණ්ඩගල ය. චින්තාමණී මොහොට්ටි දොන් ක්‍රිස්ටීන් ද සිල්වා නැමැති ප්‍රභූවරයාගේ වලව්ව පිහිටා තිබුණේ, වීර රකුස් මාළිගය පැවැති භූමියේ යැයි මේ ලියුම් කරු සමඟ විජේසිංහ බෙලිගල්ල (1965 මාර්තු 10 දින ටයිම්ස් මන්දිරය, කොළඹ 10) මහතා පවසා ඇත.

ශ්‍රී නම්මුණි නැමැති යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණයා එදා පදිංචිව සිටියේ කටුවන ප්‍රදේශයේ ආශ්‍රමයකය. (පුරාණ පුස්කොළ පොත් අනුව) “රදනි ආර“ ග්‍රාමය ද පුරාණ යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණ ග්‍රාමයකි. ශ්‍රී වල්ලි මුණි සහ අසුර මුණි බ්‍රාහ්මණ ගුරුවරු එහි ජීවත් වූ බැව් කිව යුතුය.(ගුරු ශතකය. 32 පිටුව)

කන්ද උඩරට යක්ෂ ගෝත්‍රික ප්‍රභූ පවුල් සමඟ ආවාහ විවාහ සබඳතා ගොඩ නගා ගෙන දිවි ගෙවූ මෙම යක්ෂ ගෝත්‍රික හෙළයෝ භීම මණ්ඩලයේ හෙළයන් සමඟද පැවැත් වූහ.

සිතුල්පව්ව අද බෞද්ධ පූජනීය ස්ථානයකි.නමුත් එය රාවණා යුගයේ සූර්ය වන්දනාව කළ ස්ථානයකි. දක්ෂිණ ලංකාවේ යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ශයකට වරක් සරත් සමයේ පුන් පෝ දිනක සිතුල් පව්වට ඒකරාශී වූ අතර, සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනායෝගීව හැසිරෙණ බැව් රාවණා කතා ග්‍රන්ථයේ මා කියවා ඇත. සිතුල්පව්ව බෞද්ධ ආයතනයක් වූයේ දෙවැනී පෑතිස් යුගයේ සිටය. පුරාණ තලගුරු වෙහෙර රාවණ යුගයට අයත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බැව් පුරාණ මූලාශ්‍ර අනුව කිව හැක. මෙම ස්ථාන සියල්ලක්ම වත්මන් ගිරුවා පත්තුවට අයත් නොවන නමුත් පුරාණ කාලයේ ගිරවාපත්තුවට අයත් ප්‍රදේශ වෙයි.

අද ගිරවා කොඩිය මෙම පෙදෙසින් ඈත් වී ඇති නමුත් එදා රුහුණේ විශාල පෙදෙසක් ගිරවා ප්‍රදේශයට අයත් වී තිබිණි. මාල ගිරවෙකුට එක් දිනයක් තුළ දී පියාසර කළ හැකි දුර ප්‍රමාණය ගිරවා ප්‍රදේශයට ඇතුලත් බැව් රාවණා කතා පුස්ථකයේ සඳහන් වේ.

ලක්දිව විවිධ පෙදෙස් පත්තු වශයෙන් කොටස් කිරීම ආරම්භ කරන ලද්දේ නුදුරු අතීතයේ සිටී සංහල රජවරු විසිනි. මෙම බෙදීම නිසා ගිරවා ප්‍රදේශයේ ඇතැම් කොටස් කැඩී ගිය අතර එය පත්තුවක් බවට පත් විය. පසු කලෙක එය ගිරවා පත්තුව නොව ගිරුවාය විය.එය ගල් කුළු සඳහා නොවූ නාමයක් වන අතර ගිරවා සඳහා යෙදූ නාමයක් බැව් රාවණා කතා ග්‍රන්ථය අනුව කිව යුතුය.

මෙම ගිරුවාය හෙළ යක්ෂ ගෝත්‍රික ප්‍රභූන්ගේ මධ්‍යස්ථානයක් බවත්, හෙළ දිව ආරක්ෂා කළ ජන නායකයින් ඈත අතීතයේ ද මෙම පුණය භූමියේ සිටි බවත්, ඈත අතීතය විමසා බලන විට පෙනී යන සත්‍යයකි.

ක්‍රිෂාන් වීරසිංහ.

(ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පුවත්පතකට ලබා දුන් ලිපියක් අනුව සකස්කරන ලදි)



උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2013/07/blog-post.html

 

No Response to "රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව."

Post a Comment

අදහස් සහ උදහස්

..