-->

Saturday, January 22, 2011

සීතා දේවිය

0

සීතා දේවිය

රාවණ රජු, අශෝක වනයෙහි වූ ගල් ගුහාවක සීතා දේවිය සඟවා තැබූ බව කියැවේ. දින ගණනාවකින් හිරු එළිය නොවැදීම නිසා ඇයට ඇස් රෝගයක් වැලඳුන අතර අනතුරුව හිරු එළිය නෑම සඳහා අශෝක වනයේ එළිමහන් ස්ථානයකට ඇය ගෙන එනු ලැබිණ. එළිමහන පසු කළ “සීතාඑළිය” නමින් ව්‍යවහාර වන්නට විය. සීතාඑළිය නුවරඑළිය නගයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි ගොවි ගම්මානයකි. සීතාඑළිය ග්‍රාමයේ සීතා අම්මාන් කෝවිල ඉදිකර ඇත්තේ සීතා දේවිය හිරු එළිය නෑ එළිමහන් ස්ථානයේ බව ජනප්‍රවාද ගත සිද්ධියකි.

අශෝක වනයෙහි සඟවා සිටි කාලය තුළ සීතා දේවිය, රාවණා රජුගේ ආගන්තුක සත්කාර කිසිවක් නොපිළි ගත් බව ද පිළිගැන්වූ ආහාර පවා ප්‍රතික්ෂේප කරමින් ශෝකාතුර ව නිරාහාරව විසූ බව ද පැවසේ. කෝප වී සිටි ඇය වරක් ආහාර සඳහා පිළිගැන්වූ කිරිබත් දස - දෙස විසි කළ බව කියැවේ. 

මේවා නුවරඑළිය පමණක් නො ව වලපනේ, කොත්මලේ ආදී ප්‍රදේශවලට පවා විසි වුණේ යැ යි ද, ඒවා පාෂාණිභූත ව කුඩා ගුලි වශයෙන් අද ද පොළව තුළින් මතු වන්නේ යැ යිද, ඒවා තැලූ විට එකට ගුලි වී තද ව බත් ඇට කැඩී විසිරෙන්නේ යැ යි ද පැවසේ. ගැමියන් මේවා ‘සීතා ගුලි’ හා ‘සීතා කැට’ යනුවෙන් නම් කොට සිය නිවෙස්වල සුරක්ෂිත ව තබාගෙන ඇත. උග්‍ර බඩේ අමාරුවක් වැලඳුන අවස්ථාවන්හි දී සීතා ගුලියක් ගලගා බොන්නට දීමෙන් එම අසනීපය වහා සුව වන බව ගැමි විශ්වාසය යි.

සීතා දේවිය අශෝක වනයේ සඟවා තැබූ රාවණා රජු කොත්මලේ ප්‍රදෙශයේ දැනට ‘රාවණාගොඩ’ නමින් හැඳින්වෙන ග්‍රාමයේ සැඟවී සිටි බව ද, සීතා දේවිය සොයා එන්නවුන් මංමුලා කරවීම සඳහා ඔහු විසින් විවිධ උපක්‍රම යොදන බව ද පැවසේ. ‘මඟමරු වැල්’ නැමැති ඖෂධය ඔහු විසින් නුවරඑළිය ප්‍රදේශයේ වගා කරවන ලද්දේ සීතා දේවිය සොයා පැමිණෙන අයට එම බෙහෙත් ඖෂධය පෑගෙන්නට සැලැස්වීමට බව ද, මඟමැරු වැල් පෑගුණ අය මංමුලාවන බව ද පැවසේ. පුරාණයේ මඟමැරූ වැල් බෝපත්තලාව ප්‍රදේශයේ බෙහෙවින් වැවී තිබුණ බව ද පැවසේ.

සීතා දේවිය සොයා රාමගේ දූත හනුමාන් අශෝක වනයට පැමිණි අතර, අශෝක වනයේ සිටි සීතා දේවිය හනුමාන්ට දර්ශනය වූයේ මෙසේ ය.

ඒ උද්‍යානයෙහි එක් අශෝක තුරු සෙවණක රූපශශ්‍රීයෙන් බබළන කාන්තාවක් දක්නට ලැබිණ. හැඩපලු ගැසීමෙන් අවුල් වූ කේශකලාපය විදාගන ශෝකාතුර වූ මුහුණින් යුක්තව ඕ තොමෝ බිම බලාගෙන සිටියා ය. මඩ තැවරීමෙන් මලින වූ වස්ත්‍ර හැඳි ඒ සුන්දරිය අහෝ! රාම! අහෝ ! රාම! කිය කියා හඬමින් සුසුම් ලන්නී ය. ඒ ශෝකාතුර වූ රූමත් කාන්තාව ‘සීතා දේවින්්’ ම යැ යි හනුමාන්ට අවබෝධ වන්නට මොහොතක් වත් කල් ගත නො වී ය.”

සීතා දේවිය වැලපුණ ස්ථානය ‘වලපනේ’ නමින් හැඳින් වී යයි ජන ප්‍රවාදයේ එයි. පුරාණයේ නුවරඑළිය ද වලපනේ දිසාවේ කොටසක් වී තිබුණ බැවින් මෙම ප්‍රදේශය ද වලපනේ නමින් හැඳින්වූවා දැ යි තවදුරටත් විමසා බැලිය යුතු ය.

හනුමාන්, රාවණා රජුගේ දූතයන් අතට හසුවී ඔවුන්ගේ දඬුවම්වලට ගොදුරු වූ බව රාමායණයේ සඳහන් වෙයි. හනුමාන්ගේ වලිගයේ පාන්කඩ ඔතා ඊට ගිනි ලැවීම හනුමාන්ට දුන් දඬුවමයි. ලංකා පුරයෙහි වූ ගෙවල පියස්සක් පියස්සක් පාසා පනිමින් හනුමාන් පිනුම් ගැසුවේ යැ යි ද එබැවින් ඌ ගිය ගිය තැන වූ ගිනි ගන්නා ද්‍රව්‍ය සියල්ලක් ම දැවී අළු වූ බච කියැවේ. ප්‍රදේශය එක ම දුමාරයකින් වැසී ගිය බව ද පැවසේ. මෙසේ හට ගත් ගින්නේ ආලෝකය වැටුණ ප්‍රදේශය පසු කල ‘නුවරඑළිය’ නමින් ව්‍යවහාර ප්‍රාප්ත වූ බව ජනප්‍රවාදයේ එයි. නුවරඑළිය ප්‍රදේශයේ කළු පස බෙහෙවින් දක්නට ලැබෙන්නේ මෙම ගින්නෙන් පොළාව පිළිස්සීමේ හේතුවෙනැ’ යි පැවැසේ.

සීතා දේවිය මුදා ගැනීම් වස් රාම කුමරු, රාවණා රජු සමඟ උග්‍ර සටනක යෙදුණේ යැයි ද සිය ජීවිතය ආරක්ෂා කර ගනු සඳහා පලා ගිය රාවණා රජු වර්තමානයේ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය නමින් හැඳිනවෙන ස්ථානයේ දුර්ගයක සැඟවී සිටියේ යැ යි ද කියැවේ.

රාවණා රජුගෙන් මුදා ගත් සීතා දේවිය ගිනි ගොඩකට පැන සිය පතිව්‍රතා බල මහිමය රාම කුමරුට ප්‍රදර්ශනය කළේ ය යි ද එම ස්ථානයේ ‘දිවුරුම්වෙල’ රජ මහා විහාරය ඉදිකර ඇත්තේ යැ යි ද කියැවේ. දිවුරුම්වෙල පිහිටා ඇත්තේ නුවරඑළිය සිට සැතපුම් දහතුනක පමණ දුරකිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ ය. 

මෙම ජනප්‍රවාදයේ සඳහන් පරිදි සීතා ගුහාව, සීතාඑළිය, සීතා අම්මාන් කෝවිල, දිව්රුම්වෙල, රාවණාගොඩ ආදී ස්ථාන නාම හා ග්‍රාම නාම ආශි‍්‍රත ව ද, ‘සීතා කැට’ ‘සීතා ගුළි’ ආදී දේ ආශි‍්‍රතව ද සීතා දේවිය සඟවා තැබූ අශෝක මල් වනය නුවරඑළිය ප්‍රදේශයේ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අශෝක මල් ගස් අද ද නුවරඑළිය ආශි‍්‍රත වනගහන ප්‍රදේශවල බහුල ව ද, එළිමහන් ස්ථානයන්හි තැනින් තැන කලාතුරකින් ද දැකිය හැකි ය. රතු පැහැ අලංකාර මලින් සැරසුණ අශෝක ගසේ කඳ දුර්වර්ණ ය. ගැට සහිත ය. ඒ ඉතා ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවත්නා වටිනා වෘක්ෂයකි.

තවත් ජනප්‍රවාදයකට අනුව රාක්ෂස යුගයේ දී රාවණාගේ දුර්ග නගරය කඳුරට පිහිටි නුවරඑළිය වී ය යි ද, පාපී රාවණා සංහාරය වලපනේ කඳුකර පෙදෙස්වල දී සිදු වූ නිසා ශිවාගමිකයන් වලපනේ ශුද්ධ භූ®මියක් ලෙස සැලකූ බව ද, රාවණාගේ බෙහෙත් ගල්වන ලද මෘත දේහය අද ද නරක් නො වී ආරක්ෂිත ව වලපනේ මහකුඩුගල පර්වත අභ්‍යන්තරයේ පවතී යැයි ද, රාවණාගේ රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තුව වලපනේ පර්වත අභ්‍යන්තරයක වූ ලෙනක තැන්පත් කර ඇතැයි ද කියැවේ.

No Response to "සීතා දේවිය"

Post a Comment

අදහස් සහ උදහස්