-->

Tuesday, October 25, 2011

අංගම් හටන

0
සිංහලේට ආවේණික අභිමානවත් සටන් කලාව ගැන කතා කරන්නයි මේ සූදානම. මෑතක සිට නැවතත් කරළියට පැමිණ, වත්මන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංගම් සටන් කලාවෙ ආරම්භයට සිව්හෙළේ ආරම්භය තරමටම ඈත අතීතයක්, ඉතිහාසයක් ඇත. එහි එකම උරුම කරුවන් ලක්වාසී සිංහලයන් වුවත්, අපේ අභිමානවත් සටන් කලාව පිළිබඳ මනා තතු දත් ප්‍රවීණයන් හිඟ වකවානුවක් දැන් එළැඹ ඇත.

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.
 
සිංහලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා අපට හමුවන්නේ මීට වසර 12 000කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්‍ය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. පසුකලෙක දේවත්වයට පත් මෙම රණ ශූරයා සටනට දැක්වූ අසහාය දස්කම හා ඔහුගේ වේගවත් බව නිරූපණය කිරීමට කතරගම දෙවි රුව මුහුණු සයක් සහ අත් දොළහක් සහිතව නිර්මාණය කරයි. මහසෙන් රජුට සමකාලීනව කළුතර පාලනය කල තාරක පද්ම (තරු) රජුද සටන් ශිල්පයේ බලවතෙක් බව සඳහන්ය.

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගම් සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවන රජු මෙන්ම ඔහු පුත් මේඝනාදත් (උපේන්ද්‍රමිණික) විවිධ සටන් කලාවන් පරතෙරට උගත්තෙක් බව පැවසේ. රාමායනය රචනා කල වාල්මිකී කීවේද රාමට රාවනයන් පරදන්නට අසීරු වුණු බවයි. වනගතව හුන් දුනුවායා සහ ජවසම්පන්න අංගම් සටන් ශිල්පියා අතර මුහුණට මුහුණ ලා සටනක් ඇති වී නම් රාවනයන් ලබන්නේ ඉතාම පහසු ජයකි. රාම රාවන සටන වසර 12ක් පුරාවට පැතිරෙන්නට ප්‍රධාන හේතුවත් ප්‍රබල සටන් කලාවකින් පෝෂණය වූ සිහළ සෙබළ බලකායයි. රාවන රජු අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කල ස්ථානයක් ලෙස ජනවහරේ සඳහන් වන තැනකි කොරතොට විහාරස්ථානය. කෙළිතොට (හරඹ කරන ස්ථානය) යන පදයෙන් බිඳී කොරතොට යන නම හැදී ඇත. මෙම විහාරස්ථානය හා බැඳුනු සටන් ශිල්පීන්ගෙන් පැවතෙන්නන් අදටත් හමුවිය හැක.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගම් සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගම් සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගම් සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගම් සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගම් සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ. අද වන විට සැබෑ ශිල්පය ප්‍රසිද්ධියේ පරපුරෙන් හෝ කුලයෙන් පිටතට ශිල්පය ලබාදෙන්නේ කොරතොට ආරච්චි පරපුර පමණි.


---කොරතොට ඉලංගම් මඩුව--- 

සාමාන්‍යයෙන් අංගම්මඩුව ලෙස පාරිභාෂිත වන මෙම ස්ථානය නිවැරදි ලෙසම ප්‍රකාශ කරන්නේ නම් ඉලංගම් මඩුවයි. ඉලංගම් යනු ආයුධ සන්නද්ධ සටන් යන්නයි. අංගම් යනු නිරායුධ සටන් ය. අංගම් හා ඉලංගම් පුහුණු වීමට භාවිතා කරන මඩුව නොමැතිනම් ස්ථානය ඉලංගම්මඩුව ලෙස අංගම් ශාස්ත්‍රයේදී හැඳින්වේ. සාමාණ්‍යයෙන් ඉලංගම්මඩුවල නිල ශාස්ත්‍රය, පැනුම් පිණුම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහ ධර්ම විද්‍යාව, ඉතිහාසය, අවි ආයුධ ශාස්ත්‍රය වැනි අංගං වලට ඇතුළත් වෙනත් කොටස්ද ප්‍රගුණ කෙරෙනු ලැබේ. සාමාන්‍යයෙන් අංගම් මඩුවක් තුළ සටන් පුහුණු වීම සඳහා සුදුසු පරිසරයක් සකස් වන අතර බොහෝ දුරට වනාන්තරය ආශ්‍රිතව පිහිටා තිබීම වැදගත් වේ. 

එයට හේතුව වන්නේ ගස්, ගල්, කුඹුරු, ලී දඩු ආදිය සටන් පුහුණුවීම්වලදී භාවිතා විය යුතු වීමයි. එසේම පිටතින් බලන කිසිවෙකුට ඇතුළත සිදු වන දේ නොපෙනෙන ලෙස ඉලංගම්මඩු සකස් කරනු ලැබේ. එයට හේතුව වන්නේ කිසිදු සටන් පුහුණුවක් වෙනත් අයට නොපෙනෙන ලෙස ඉතා රහසිගතව සිදු වීමයි. අංගක්කරුවන්ගේ පූජා භූමිය ලෙස ඉලංගම්මඩුව හැඳින්විය හැකි ය. එයට ඇතුළු වීමේදී මෙන්ම පිටවීමේදී නමස්කාර කිරීම වැනි චාරීත්‍ර රාශියක් මෙම මඩුව ආශ්‍රිතව පවතී. 

අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළත් විය නොහැකි මෙය තුළට මස් මාංශ අනුභව කොට, මත්පැන් පානය කොට ඇතුළුවීම තහනම් ය. එසේම සිංහල-බෞද්ධ නොවන කිසිවෙකුට අංගම්මඩු ගොඩනැගිල්ලට ඇතුළු වීම පූර්ණ වශයෙන් තහනම්ය. අත්‍යවශ්‍ය නම් අංගං මඩු භූමියට පමණක් ඇතුළත් විය හැකිය. එයද අංගම් මොහන්දිරම් තුමාගේ පූර්ණ අවසරයෙන් පසුවය.(මෙයට අමතරව පැවසිය හැකි බොහෝදේ තිබුණද ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ය.)

Angampora Sri Lanka

No Response to "අංගම් හටන"

Post a Comment

අදහස් සහ උදහස්