-->

Saturday, February 13, 2010

වැද්දනගේ නිජබිම විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්‌

0

සීගිරිය ද ප්‍රාග් බෞද්ධ ශ්‍රී ලංකාවේ යක්‍ෂයන් හා සබැඳි ස්‌ථානයක්‌ වන්නට ඇතැයි මහාචාර්ය එච්.ටී. බස්‌නායක අනුමාණ කරයි. සීගිරි සිතුවම් වලින් නිරූපණය වන්නේ යක්‍ෂ කන්‍යාවන් බව වටද්දර ඥාණිස්‌සර හිමියන්ගේ අදහසයි. වෙස්‌සගිරියේ ඇති සීගිරි අප්සරාවන්ට සමාන අප්සරා රූපය නාග කන්‍යාවක්‌ බවට මතයක්‌ ඇත. සීගිරියට ආසන්න ගම් නියම්ගම්වල අතීතයේදී පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන් බවත්, "වැද්දගේ හේන", "වැද්දිගේ වත්ත", "වැදියාය" වැනි නම් තිබෙන ඉඩම් සීගිරිය අවට බහුලව තිබෙන බවත්, වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවන බවත්, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අදහස්‌ කරයි. (ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය - පිටුව, 56) එසේම රාවණා රජු යක්‍ෂ හා රාක්‍ෂ යන ගෝත්‍ර දෙකටම නෑ සබඳතාවක්‌ ඇති රජකෙනකු ලෙස සැලකේ.

(රාවණෝ ලංකාධිපති( සාගර මලය තීරා දවතීයයි පෞශපික රථ මාරුයිහ සපිරිවාරො යත්‍ර භගවත් තත්‍රජගාම - ලංකාවතාර සූත්‍රය) රාවණා රජු කෝණාගම බුදුන්ගේ කාලයේ රජ කළ බව ශ්‍රී ලංකාධිපති වර්ණාවේ සඳහන්වේ. රාජාවලියේ සඳහන් පරිදි බුද්ධ වර්ෂයට පෙර 1844 දී රාවණා රජු ශ්‍රී ලංකාද්වීපය පාලනය කර තිබේ. රාවණා ගේ පරපුර පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නම් ග්‍රන්ථයේ දීර්ඝ විස්‌තරයක්‌ සඳහන් කර ඇත. එහි සඳහන් පරිදි "රාවණා රජතුමා යක්‍ෂ ගෝත්‍රිකයෙක්‌ ලෙස ඉතිහාසයෙහි සඳහන් වුවත් ඔහු දේව, යක්‍ෂ ගෝත්‍ර සංයෝගයකින් බිහි වූ අනාදිමත් පරපුරකින් පැවතෙන වීර පුරුෂයෙකි. අසුර ගෝත්‍රිකයන් ද, යක්‍ෂයන් ලෙස ඈත අතීතයේ හැඳින් වූ අතර රක්‍ෂස යනුවෙන් හඳුන්වා තිබෙන්නේ අසුරයන්ගේ නොයෙකුත් යක්‍ෂයන්ගේ නිලමක්‌කාර රදළ පැලෑන්තිය බැව් විශ්වාස කළ හැකිය. රාක්‍ෂයන් තුන් වර්ගයකි. 1. අර්ධ දිව්‍යමය, 2. අසුර, 3, භූත ගණය යනුවෙනි. රාවණා රජතුමා යුද්ධ ශිල්පීන් අතර අති දක්‍ෂ යුද ශිල්පියෙකි. වෛද්‍යවරුන් අතර වෛද්‍ය විශේෂඥයකි. ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයන් අතර සෘෂිවරයකි. රාජ්‍ය පාලකයන් අතර උත්තරීතර රාජ්‍ය පාලකයෙකි. සංගීතඥයන් අතර සංගීත විශාරදයෙකි. සකල කලා වේදියෙක්‌ වූ එතුමා නැටුමත්, සංගීතයත් එකසේ ප්‍රගුණ කර තිබුණ කලාකරුවෙකි. රාවණා රජුගේ සොහොන පිහිටා ඇත්තේ බොල්තුඹේ දේවාලය ආසන්නයේ බවට ජනප්‍රවාදයක්‌ පවතී. රාවණා විභීෂණ, ඉන්ද්‍රජිත් ආදී ලාංකික රජවරු කාශ්මීරය යටත් කරගෙන රජකම් කළ බැව් රාජතරංගනීය කියයි. (රාජතරංගනී රාමායන සංක්‍ෂිප්ත පිටු 180)


වාල්මීකිගේ රාමායණයෙහි සඳහන් පරිදි රාවණා යුගයේ මෙරට හැඳින්වීම සඳහා යොදාගෙන තිබෙන්නේ ලංකාපුර යන නාමයයි. රාවණා සිද්ධිය කකුසඳ බුදුන්ට පෙර සිදුවූවක්‌ යෑයි ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොතේ දක්‌වා තිබීම වැදගත්ය. මහාවංසයේ හා දීපවංසයේ ලංකාව පිළිබඳ ප්‍රවෘත්ති වශයෙන් මුලින්ම දක්‌වා තිබෙන්නේ සිව් බුදුවරුන්ගේ පැමිණීමය. රාවණා රජු ලංකාවේ රජකම් කළේ සිව් බුදුවරුන්ගේ පළමුවැන්නා වූ කකුසඳ බුදුන් වහන්සේටත් පෙර යෑයි කඩඉම්පොතේ සඳහන් ය. යුග හතරෙන් එක්‌ යුගයක රාවණා රජු වාසය කළ බව ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම්පොතේ ආරම්භයේදීම සඳහන් කර තිබේ. කුරුණෑගල විස්‌තරයේ දැක්‌වෙන්නේ කාශ්‍යප බුදුන් කල රාවණා රජු විසූ බවයි.

රාවණා යුද්ධය ගෞතම බුදුන් බුදුවීමට වර්ෂ 1844 කට පෙර සිදුවී යෑයි රාජාවලිය පවසයි. ශ්‍රී ලංකද්වීපයේ කඩඉම්පොතේ රාවණා වෘතාන්තය මෙසේ විස්‌තර කර තිබේ. "මෙසේ තමන් සිල් රක්‍ෂා කළ පිනෙන් දෙවියන් ගෙන් ලත් වරමින් දස හිස්‌ව රාවණායෑයි ප්‍රසිද්ධව මෙර සතරමුන සතර මහාද්වීපය හා දෙවිලොව, නාලොව, අසුරලොව, ගරුඬලොව, බඹලොව ආදී සමතැන්වලට අධර්මයෙන් චක්‍රවර්තිති රජකරන රාවණා නම් ර-ජුරුවෝ ශ්‍රී ලංකාපුරයයි නුවරක්‌ කරවා මේ ලෝකයෙහි ඇති යම් සියලු රත්න සමෘද්ධි කොට උයන්, පොකුණු, පතැස්‌ පුෂ්පාරාම, පලාරාම, පවුරු පදනම්, අට්‌ටාල වෙට්‌ටාලමින්, අගලින් සෘද්ධිමත්ව, ඇත්, අස්‌, රථ, වාහන, මාලිගා, මණ්‌ඩප ආදී වූ සියලු සැපතින් යුක්‌තව, චක්‍රවර්තිතිව එක්‌ සියක්‌ රජුන් හා සමග රජ කරන රාවණා නම් රජ හු නිසා සීතා නම් අග්‍රදේවීන් සිර කොට කරන අධර්මය නිසා රාම නම් රජු විසින් රාවණා යුද කොට මරවා ඔහුගේ නුවර හා රට භාගයක්‌ මුහුදට ගිලී ගොස්‌ ඉතිරි වූ ලක්‌දිව රාම නම් රජුන් විසින් විභීෂණයන් අරක්‌ගෙන පවත්වායි කියා සලස්‌වන ලද මේ ශ්‍රී ලංකාව දෙවරක්‌ රාවණා අධර්මිෂ්ට කළ හෙයින් අනාථ විය.


ඉතිරිව තිබූ ශ්‍රී ලංකාද්වීපය කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන තුන් බුදුන් කළ වෙන වෙනම නාම ගෝත්‍ර වෙයි." මෙම ඡේදයේ ලක්‌දිව, ශ්‍රී ලංකාද්වීපය යන නම් වලින් හඳුන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව බවත්, රාවණා රජු කකුසඳ බුදුන්ගේ කාලයේ රජ කළ බවත් පැහැදිලි වෙයි. රාවණා රජුගේ කාලයේ ලංකාවේ විසූ ජනයාට අසුර යන්න මෙන් ම රක්‍ෂස යන්න ව්‍යවහාර වූ බව රාමායණයම සාක්‍ෂි දෙයි. රාවණා රාජධානිය පිහිටියේ දෙතනගලට ආසන්න සබරගමු කඳු වළල්ලේ බවට මතයක්‌ ද ඇත. රාවණා රජු යක්‌ෂ, රාක්‌ෂ, අසුර, නාග, දේව ගෝත්‍රිකයන්ට නෑ සබඳකම් තිබුණු බව කියයි. රාවණ රජතුමා රාමා අතින් ජීවිතක්‍ෂයට පත් වූයේ ක්‍රි.පූ. 2387 දී යෑයි රාජාවලියේ සඳහන් වේ. රාම රාවණා යුද්ධයට අදාළ බොහෝ ස්‌ථාන නාම ඇත්තේ සබරගමු කඳු කලාපය තුළය. රාවණා කපොල්ල, රාවණාගොඩ, රාවණා ඇල්ල, සීතාගල, සීතාඑළිය, රස්‌සගල, රක්‍ෂ හෙළ, රාක්‍ෂවත්ත, මහයක්‌ෂවත්ත එයට නිදසුන්ය. වාල්මිකිගේ රාමායණයෙහි සඳහන් පරිදි සීතා දේවිය සිරකර තබන ලද්දේ ලංකා නමැති රටක ය. එහි ලංකාපුරය නමින් සඳහන් කර තිබෙන්නේ මහේන්ද්‍රගිරි දිවයිනේ ප්‍රධන නගරයකි. ගිරිනුවර, ගිරි මණ්‌ඩල, ගිරිදනව්ව, ගිරිරට යනුවෙන් හඳුන්වා ඇත්තේ සබරගමුවේ කඳු කලාපයයි. නැතහොත් අතීත මලය රටයි.

උදාගිර යනු සමන්ගිරයි. මේ අනුව යක්‍ෂයන්ගේ මුල්වාස භූමිය සමන්ගිර හෙවත් ගිරි මණ්‌ඩලය යනුවෙන් හැඳින් වූ රටට අයත් සබරගමුවයි. සබරගමුවේ ආදිවාසීන් යක්‍ෂ ගෝත්‍රකයන් වන අතර වාසය කර ඇත්තේ ගිරි දුර්ග හා වන දුර්ග වලයි. යක්‍ෂයන් පුලින්දයන් වශයෙන් මහාවංස කතුවරයා අර්ථ දක්‌වා ඇති බව පෙනේ. කෞටිල්‍යගේ අර්ථශාස්‌ත්‍රයේ සඳහන් පරිදි අලුත් ජනපද පිහිටුවීමේදී වාගුරික, සබර, පුලින්ද, චන්ඩාල වැනි ආදිවාසී ගෝත්‍රකයන්ට එහි අභ්‍යන්තර ආරක්‍ෂාව පවරනු ලැබීය. මෙයින් පැහැදිලි වන්නේ සබර හා පුලින්ද යනු එකම ගෝත්‍රික පිරිසක්‌ නොවන බවයි. සංස්‌කෘතයෙන් සබර හා පාලියෙන් ශබර යනුවෙන් සඳහන් වන්නේ පුලින්දයන් හැඳින්වීම සඳහා යොදා ගත් පර්යාය පද දෙකකි.


දේවවංශියනැයි හැඳින්වෙන ගෝත්‍රික කැළක්‌ අදටත් ලංකාවේ ඇත. දෙවිවරුන් ඇදහීම ඔවුන්ගේ ආගම වූ නිසා යක්‍ෂ, රාක්‍ෂ, නාග ආදී ආගම් අදහනවුන්ගෙන් පැවත එන්නවුන් බව වෙසෙසා දැක්‌වීමෙහිදී ඔවුන් දේවවංශික නමින් හැඳින් වූයේ යෑයි සිතිය හැකිය. යකුන් වැහීම, යකුන් නැටීම, යකුන්ට දොළ පිදේනි දීම, යකුන් පලවා හැරීම අදටත් ලංකාවේ ප්‍රචලිතය. කළු යක්‌ෂ, තොට යක්‍ෂ, රීරි යක්‍ෂ, මහසෝන් යක්‍ෂ ආදී වශයෙන් දහ අට සන්නි පාලි වලට අයත් යක්‍ෂ සමූහයක්‌ අතීතයේ සිට ප්‍රකටය. යක්‍ෂ ආගම ඇදහීම ප්‍රාග් බෞද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රකටව පැවති ආගමකි. යක්‍ෂ ආගම ඇදහූ අය යක්‍ෂ නමින් ප්‍රකට වූයේ යෑයි සිතිය හැකිය. නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නවුන් හැටියට තුමූ ම හඳුන්වන පිරිසක්‌ අදත් වැදි ජනයා අතර ඇත. ගල්ඔය ගොවි ජනපදය අසල "පාදාගොඩ" ගම නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන්ගේ වාසස්‌ථානයකි.

මණිඅක්‌ත, චූලෝදර, මහෝදර යෑයි නා රජවරු තිදෙනෙක්‌ ගැන ඉතිහාසයේ සඳහන්ය. එයින් මණිඅක්‌ත නයිඳු උතුරු පළාතේ රජුය. චූලෝදර කැලණියේ රජුය. මහෝදර නැගෙනහිර පළාතට රජුය. මහෝදර රජු විසූ රාජධානිය දැන් පාදාගොඩ නමින් හැඳින්වෙයි. (බළන්ගොඩ යුගය බළන්ගොඩ නන්ද හිමිත පිටුව 08) මේ තොරතුරු වලින් පැහැදිලි වන්නේ ආදිවාසී ස්‌වදේශිකයන් වූ යක්‍ෂ, රාක්‍ෂ, අසුර, නාග, දේව ගෝත්‍රිකයන්ගෙන් වැද්දන් පැවත එන නිසා වැද්දෝ යකුන් හා දෙවියන් අදහන බව පැහැදිලි කරුණකි.

අභ්‍යන්තර ආරක්‍ෂාවත් කඩඉම් රැකීමත් වැද්දන්ට පැවරී තිබූ මාතලේ කඩඉම්පොතේ සඳහන් වන බව කඩඉම්පොත විමර්ශනයට ලක්‌ කළ ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන මහතා පෙන්වා දෙයි. ඇතිපොළ දිසාව ත්‍රිමංගලා කොටුව ඇරවීමෙන් දැක්‌ වූ වික්‍රමය ගොඩපොළ විජයපාල රජතුමාට සැල කළ විට මාතලේ දිසාවට එවක අයත්ව තිබූ ප්‍රදේශය ප්‍රමාණවත් නොවන බව දැනගත් රජතුමා උතුරු දිසාවේ සිට පූර්ව දිසාවට රට මොකක්‌දැයි කියා විමසීය. ඔහුට ලැබුණු පිළිතුර වූයේ "වැදිරට" යන්නයි. උතුරු දිසාවේ සිටි වැදිජන කොටස්‌ ගැන සඳහන් කරන මාතලේ කඩඉම්පොතේ "වැද්දන්ගෙන් පැවත එන්නොත්" එක්‌තරා පිරිසක්‌ හඳුන්වා ඇත. ඊට පෙර එකල සිටි වැදි ප්‍රධානීන් කිහිප දෙනෙක්‌ සහ ඔවුන් පදිංචි ප්‍රදේශ සමග කඩඉම් රැක සිටි ප්‍රදේශ දක්‌වා ඇති බව සඳහන් විය.

උපුටා ගැනීම - http://www.divaina.com/2009/07/05/siya04.html

No Response to "වැද්දනගේ නිජබිම විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්‌"

Post a Comment

අදහස් සහ උදහස්

..