-->

Sunday, September 12, 2010

හෙළ ඉතිහාසය සහ බුදුන් වහන්සේගේ ලංකාගමනය

0

මේ බ්ලොග් ලිපියෙනුත් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සැඟවුණු හෙළ ඉතිහාසය පිළිබඳවයි. ඒ වාගේම බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව තිබෙන ගැටළු සහගත තැන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි දන්නා පරිදි බුදුන් වහන්සේ මෙරටට තුන් වරක් වැඩම කර ඇති අතර ඉන්පසුව මහාවංශය පවසන පරිදි දෙවනපෑතිස් රජු කල මිහින්දු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදු දහම ගෙනැවිත් ඇත. අප දන්නා ඉතිහාස කතාව මේ ආකාර වුවත් ඓතිහාසික සාධක වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් කතාවක්.

බුදුන් ගේ කාලයේදීත් හෙළ අසුර අධිරාජ්‍යය ඉතා දියුණු මට්ටමක පැවතිලා තිබෙනවා. 'සාතගිර' සහ 'හේමවත' වැනි යක්ෂ සෙන්පතිවරුන් ගැනත් ඔවුන් ගුවනින් පැමිණ බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ බවත් බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ අනුව පුරාණ ඉන්දියාව තුළ තිබුණු හෙළ අසුර අධිරාජ්‍යයේ බලපෑම ගැනත් ඔවුන් විසින් භාවිතා කළ ගුවන් යානා ( දඬුමොණර යන්ත්‍ර ) ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. මීට කලින් මම ලියපු බ්ලොග් ලිපියක කියලා තිබුණා බුදුන් වහන්සේට සමකාලීනව ලක්දිව රජකම් කල රජතුමා 'පනිත' නම් වන බව. කිසියම් හේතුවක් නිසා මේ රජතුමා අපේ රාජාවලියෙන් ඉවත් වී තිබෙනවා. ගැටළුව පැන නගින්නේ මෙතැන් සිටයි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත්තේ නැවකින් වන අතර, උන් වහන්සේ ජල යාත්‍රාවක සිට දහම් දෙසමින් වැඩම කරන ආකාරය දැක්වෙන සිතුවමක් පොලොන්නරුවේ තිවංක පිළිම ගෙයින් ද හමු වී තිබෙනවා. මෙම කරුණ සනාථ කළ හැකි හොඳම උදාහරණය නම් මහියංගනයේ ඇති 'ගෝතම ඇල' යි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර ඇත්තේ මේ ඇල මාර්ගය හරහායි. පසුකාලීනව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මේ ඇල 'ගෝමතී ඇල' ලෙස නම් කර තිබෙනවා. දැනට හමු වී ඇති සෙල්ලිපි වලට අනුව, අද සුමන සමන් දෙවියන් ලෙස හඳුවන තැනැත්තා පනිත රජුගේ අයකැමි ලෙස සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. දඬුමොණර යන්ත්‍රයකින් බුදුන් වහන්සේව මහියංගනයේ සිට සමනල කන්ද වෙත වැඩමවාගෙන ගොස් තිබෙන්නේ මේ සුමන විසින්. පනිත රජුගෙන් පසුව සුමනගේ වැඩිමහල් පුතු වූ 'දමරජ' නමැත්තා රජ වී ඇති අතර ඉන්පසුව රජ වී තිබෙන්නේ දමරජගේ පුත් 'මහතිස' නමැත්තායි. මහතිස ගේ දියණිය 'අබිසවෙර' හෙවත් 'විහාර මහා දේවිය' වන අතර ඇය 'ගෝඨාභය' ගේ පුත් 'තිස්ස' හෙවත් 'කාවන්තිස්ස' සමග විවාහ වී තිබෙනවා. මේ හා සම්බන්ධ පැහැදිලි විස්තරයක් කොටාදැමුහෙල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි තිබෙන්නේ "......දමරජ පුත් මහතිසගේ දියණි අබිසවෙර එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස යන අයගේ බිරිඳ අබිසවෙර විසින් මේ ලෙණ සංඝයාට දුනි......" යන්නයි. මේ අනුව මෙහි කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ පෙළපත පැහැදිළිව සඳහන් වෙනවා.

එසේ නම් විහාර මහා දේවියගේ පුත් දුටුගැමුණු කුමරු උපත ලබන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වැඩි කාලයක් ගත වීමට මත්තෙන් විය යුතුය. දැන් ගැටළුව තවත් සංකීර්ණ වෙනවා. මහාවංශයට අනුව මහින්දාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සැලකිය යුතු කාලයකට පසුව වන අතර දුටුගැමුණු කුමරු රජ වන්නේ ඊටත් සෑහෙන කලකට පසුවය. නමුත් සෙල්ලිපි වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් ඉතිහාසයක්. ඒ අනුව දෙවනපෑතිස් රජු බලයට පත් වන්නේ දුටුගැමුණු රජුට පසුව විය යුතුය. එසේත් නැතිනම් දෙවනපෑතිස් යනු හුදු ඓතිහාසික නිර්මාණයක් විය යුතුය.

කොහොම වුනත් එක් එක් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන් නිර්ණය කිරීමේ කාර්යයේදී නම් මහාවංශ කතුවරයා බොහෝ වැරදි සිදු කර තිබෙනවා. එම කතුවරයාට අනුව මුටසීව රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වන අසේල රජ වන්නේ තම පියා රජ වී වසර 152 කට පසුවයි. නමුත් අසේලගේ සිට දුටුගැමුණු දක්වා රාජ පරම්පරා 5 ක් ඉතාමත් කෙටි කාලයක් තුල රජ වී තියෙනවා. මේ අනුව බලන කල දෙවනපෑතිස් රජු සම්බන්ධයෙනුත් මෙවැනිම අවුලක් සිදු වී ඇති බව සැලකිය හැකියි.

දෙවනපෑතිස් රජු පිළිබඳව සැක පහල වන තවත් කරුණක් නම් ඔහු සම්බන්ධව මහාවංශයේ සඳහන් කරුණු හැරුනු විට වෙනත් කිසිම ඓතිහාසික සෙල්ලිපියක් හේ සටහනක් නොමැති වීමයි. විජය රජුගේ සිට දෙවනපෑතිස් රජු දක්වා කිසිම සෙල්ලිපියක් මෙතෙක් හමු වී නැත. නමුත් ඊට කලින් සිටි රාවණ ආදී රජුන්ගේ සෙල්ලිපි හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් මිහිඳු හිමි ප්‍රමුඛ සංඝයාට ලෙන් පූජා කළ බව මහාවංශයේ සඳහන් වුවත් ඒ එක් ලෙණකවත් ඒ බව සඳහන් කර නැත. නමුත් රාවණ රජුගේ කාලයේ සිටම ලෙන් පූජා කිරීමේදී ඒ බව ලෙනෙහි සඳහන් කිරීම අනිවාර්යයෙන්ම කර ඇති කටයුත්තකි.

මේ සියලුම කාරණා සලකා බැලීමේදී ලංකා ඉතිහාසයේ නිවැරදි විය යුතු තැන් බොහොමයක් තියෙන බව නම් අපට පැහැදිලි වෙනවා. මේවා නිවැරදි කිරීම වහාම සිදුවිය යුතු අතර එය ජාතික වගකීමක් ද වෙනවා. එහෙනම් මීලඟ ලිපියෙන් අපි රාවණ රජුගේ යුගයේ තිබූ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ගැන කතා කරමු.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/blog-post_30.html

No Response to "හෙළ ඉතිහාසය සහ බුදුන් වහන්සේගේ ලංකාගමනය"

Post a Comment

අදහස් සහ උදහස්