-->
Showing posts with label ජනශ්‍රැතික ප්‍රදේශ. Show all posts
Showing posts with label ජනශ්‍රැතික ප්‍රදේශ. Show all posts

Wednesday, May 2, 2018

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?

1

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?


හෙළ යුගය
පෝක් සමුද්‍රසන්ධිය
1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පෝක් සමුද්‍රසන්ධියේ ඉන්දියාව හා ලංකාව වෙන්කෙරෙන සමුද්‍ර තීරය නාවික ගමනාගමනයට සුදුසු වන ලෙස ගැඹුරු කිරීමේ විවිධ සැළසුම් තිබුණා. විවිධ හේතූන් නිසා අතපසු වෙමින් තිබුණු මේ ව්‍යාපෘතිය, 2005 වසරේදී වර්තමාන ඉන්දියානු රජය මගින් "සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය" ලෙස නැවත දියත්කලා.

මේ නවතම ව්‍යාපෘති සැළසුමට අනුව ලංකාව හා ඉන්දියාව අතර තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුස්කොඩි අතරින් රාමසේතු නමින් ඉන්දියානු පුරාවෘත්තවල සඳහන්වන ප්‍රදේශය හරහා නාවික ගමන්මාර්ගය තැනීමට යෝජනා වුනා.
හෙළ යුගය
http://en.wikipedia.org/wiki/Sethusamudram_Shipping_Canal_Project

සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට ඉන්දීය හින්දු භක්තිකයින්ගේ දැඩි විරෝධය

ව්‍යාපෘතියේ මුහුදු මාර්ගය ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශය, විශ්ව හින්දු පාරිශාද්, ශිව් සේනා වැනි දේශපාලන පක්ශවල මූලිකත්වයෙන් හින්දු භක්තික ජනතාව දැඩි විරෝධයක් එල්ල කරා.

ඔවුන්ගේ තර්කය වූයේ මෙම මුහුදු මාර්ගය සඳහා වන කැනීම් වලින් හින්දූන් පූජනීයත්වයේලා සලකන රාමායනයේ සඳහන්වන රාමාගේ පාලම විනාශවී යන බවත්, ඒ නිසා මෙම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවත්ය.

නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම?

 හෙළ යුගය
හෙළ යුගය
නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට හින්දූන්ගේ විරෝධය දැඩිවෙද්දි, නාසා ආයතනය මගින් විවිධ අභ්‍යවකාශ ගමන්වලදී ලබාගෙන මහජනතාවට විවෘත (public domain) වෙබ් අඩවවල ගබඩා කොට තිබූ ඡායාරූප ගණනාවක් අන්තර්ජාලය පුරා හුවමාරු වන්නට වුනා. මෙම ඡායාරූප මගින් රාමාගේ පාලම මිත්‍යාවක් නොව, අභ්‍යවකාශයේ සිට පැහැදිලිව පෙනෙන ගොඩනැගීමක් ලෙස තහවුරු වන බව බව හින්දූන් ප්‍රකාශ කරන්නට වූ අතර භාරතිය ජනතා පක්ශය මෙම ඡායාරූපද සාක්ශි ලෙස සටහන් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකලේ සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නතර කරන නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින්

ඉන්දීය භූවිද්‍යාත්මක සමීක්ශණ ආයතනයේ ස්ථාවරය

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්ශි දුන් ඉන්දීය භූවිද්‍යා සමීක්ශණ ආයතනයේ (Indian Geological Survey - IGS) විද්‍යාඥයින් පවසා සිටියේ ගිලී ගිය පෞරාණික පාලමක් මෙන් අභ්‍යවකාශ ඡායාරූපවල පෙනෙන මෙම භූවිෂමතාවය මිනිස් නිර්මාණයක් නොව කොරල් පර හා වැලිකඳු දාමයක් බවයි. මෙහි පෞරාණික ගොඩනැගීම් කිසිවක් දකින්නට නොලැබෙන බව ප්‍රකාශකල ඔවුන් ඒ අනුව රාමසේතු ලෙස හින්දු පුරාණයේ සඳහන්වන්නේ මිත්‍යාවක් මිස සැබෑ ගොඩනැගීමක් නොවන බව තම ස්ථාවරය ලෙස ප්‍රකාශකලා.

වාල්මිකීගේ රාමායනයට අනුව රාමසේතු හෙවත් රාමර් පාලම්



සීතා බේරාගැනීමට ලංකාව බලා යන රාම, ලක්ශ්මන හා හනුමාන්හට ධනුස්කොඩියේදී මුහුදින් එතර වන්නේ කෙසේදැයි යන ගැටළුව ඇතිවුනා. රාම කෙරෙහි අතිශය භක්තියෙන් සිටි හනුමාන්, සිය වානර හමුදාව සමග එක්ව රාමගේ නම ලියැවූ විශාල ගල් එකමත එක තබා රාමට හා හමුදාවට මුහුදින් එතරවී රාවනා රජුගේ රාජධානියට ඇතුලුවීමට පාලමක් තනාදුන් බව වාල්මිකී සිය පුරාවෘත්තයේ සඳහන් කරනවා. මෙයට රාමගේ පාලම හෙවත් රාම සේතු (සංස්කෘත භාෂාවෙන් සේතු=පාලම ) ලෙස හැඳින්වූ බව රාමායනයේ සඳහන්.

මේ ප්‍රදේශ පුරාණයේ සිට රාමාගේ නමින් ප්‍රසිද්ධව ඇත්තේ රාමා රාවන යුද්ධය සැබැවින්ම සිදුවූ නිසාද?

මෙම ප්‍රදේශය රාම කුමරා හා ඔහුගේ පාලම ආශ්‍රයෙන් නම්කොට තිබුණු බව පැරණි සිතියම් හා ගවේෂකයින්ගේ වාර්තාවල දැක්වෙනවා.

පර්සියානු දේෂගවේශකයෙකු වූ ඉබන් කොර්දාද්බේ, කි.ව 850දී ලියූ ග්‍රන්ථයක මෙම ප්‍රදේශය "සෙත් භන්දායි - මුහුදු පාලම" ලෙස හඳුන්වා තිබෙනවා.

1747 දී ඕලන්ද ජාතික සිතියම්කරුවෙකු විසින් සිය සිතියම්වල මෙම ප්‍රදේශය "රාමන්කොයිල්" ලෙස නම්කොට තිබෙන අතර ඔහු මෙම ප්‍රදේශය එලෙස නම්කරන්නට ඇත්තේ රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුගේ දෙවොලට දෙමළ භාශාවේ හැඳින්වෙන "රාමන් කෝවිල්" යන නාමය අනුසාරයෙන් බව පැවසෙනවා.

1788 ජේ රෙනෙල් නම් නැවියෙකු සැකසූ සිතියමකද මෙම ප්‍රදේශය රාම දෙවොලේ ප්‍රදේශය ලෙස හඳුන්වා තිබෙනවා.

මාකෝ පෝලෝ මෙම ප්‍රදේශය "සේතුභන්දනම්" ලෙස සඳහන්කර ඇති බව පැවසෙන අතර (විකිපීඩියා), රාමායනයේ යම් ස්ථානවල, රාමාගේ පාලම "සේතුභන්දනම්" ලෙස හැඳින්වෙන බව සටහන්වී තිබෙනවා.

රාමාගේ උපත මීට වසර 7000 කට පෙර, එනම් අයිස් යුගය අවසන්වී කෙටිකලකින් සිදුවුනිද?

 

අයිස් යුගය අවසන්වූයේ මීට වසර 10,000 කට පෙරය.

ඉන්දියානු පර්යේෂකයින් දෙපොලක් වන පුශ්කාර් භාත්නාගර් හා ඩී.කේ හාරි ගේ පර්යේෂණවලට අනුව, රාමායනය ලියූ වාල්මිකී රාම කුමරුගේ සමකාලීනයෙකි. රාමකුමරු, සීතා නැවත ලබාගැනීම සඳහා කල සටන වාල්මිකී සියැසින් දකින්නට ඇති බව පවසන මොවුන් මෙයට සාක්ශි සඳහා වාල්මිකී විසින් රාමායනයේ විවිධ පරිච්ඡේදවල විස්තර කොට ඇති එදවස අහසේ තරුසලකුණු හා ග්‍රහ පිහිටීම් පිලිබඳ විස්තර උපයෝගී කරගත් බව පැවසෙනවා.

ඔවුන් මෙම ග්‍රහපිහිටීම් අතීතයේ හා අනාගතයේ අහසේ තාරකා හා ග්‍රපිහිටීම් නිවැරදිව පෙන්වාදෙන පරිගණක වැඩසටහනකට (මෙවැනි පරිගණක මෘදුකාංග ඉතා සුලබයි) ඇතුලත් කොට ඒ අනුව, රාමායනය ලියූ දින වකවානුත්, රාමාගේ උපත සිදුවූ දින වකවානුත් ගණනය කරගත් බව පවසනවා.

 

ඔවුන් මෙම පර්යේශණ වාර්තා සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකකල නඩුවේ පැමිණිලි කාර පක්ශවල සහයට ඉදිරිපත් කොට තිබෙනවා.


ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව රාම කුමරු ඉපදී ඇත්තේ ක්‍රිස්තුපූර්ව 5114, එනම් මීට වසර 7000කට පෙර රාම කුමරු රජකමට පත්වූයේ වයස අවුරුදු 25දීය  රාම, රාවණ රජු හීයකින් විද මරාදමනවිට වයස 39හි පසුවිය
මූලාශ්‍ර : 1 , 2 , 3

 

රාමගේ හමුදාව ලංකාවට ගෙන යන්නට, "වානර වහලුන්ගේ" ශ්‍රමයෙන් නොගැඹුරු මුහුදේ කොරල්පර යාකොට රළු පාරක් තනාගත්තා වන්නට බැරිද?

රාම රාවණ යුද්ධය සිදුවන්නේ (මේ සියල්ල සත්‍යය යැයි උපකල්පණය කලවිට), අයිස් යුගය අවසන්වී වසර 3000 ක් වැනි කෙටි කාලයකින්ය.

අයිස් යුගයේදී, මුහුදුමට්ටම දැනට වඩා ඉතා පහලින් තිබුණු බව පිලිගත් විද්‍යාත්මක සත්‍යයකි (දැන් මුහුදු මට්ටම ඉහල යමින් තිබෙන්නේ ලෝකය වේගයෙන් උණුසුම් වීම නිසා අයිස් දියවෙමින් යන නිසාය)

ඒ අනුව දැන් නොගැඹුරු මුහුදින් වැසී ඇති මේ භූමි තීරුව එකල්හි මුහුදින් ඉහලට මතුවූ කොරල්පර හා වැලිපර රාශියකින් එකිනෙක යාවී තිබෙන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.

කෙනෙකුට හෝ කුඩා නඩයකට පයින් යන්නට හැකි වුවත් හමුදාවක් හා හමුදාවට අවශ්‍යය සැපයුම්, ඇතුන්, අශ්වයින් සිය ගණනක් ගෙනයන්නට තරම් නොසුදුසු, උදම් රළට යටවන, ඇතැම් තැන්වල එරෙන වැලි ඇති භූමිතීරුවක් යයි උපකල්පණය කිරීම එතරම් වැරදි නොවේ.

එසේනම්, මේ නුසුදුසු භූමි තීරුව හමුදාව ගෙනයාමට සුදුසු ලෙස සකසා ගන්නට ඇතැයි උපකල්පණය කරන්නට පුළුවන. එසේනම් වාල්මිකීගේ රාමායනයේ එන රාමසේතු පාලම එතරම් විශ්වකර්ම ක්‍රියාවක් නොව, හමුදාවක් පහසුවෙන් රැගෙනයාම සඳහා කරන ලද ප්‍රායෝගික ක්‍රියාවක් යැයි සිතන්නට පුලුවන.

සන්සන්දනයක් කරනවානම්;
චීනුන් තැනූ සැතපුම් දහස් ගණනක් දිග චීන මහා ප්‍රාකාරය හා සමකරනවිට, හනුමන්තාගේ හැතැප්ම 18ක පාලම කජ්ජක්දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.

 

වාල්මිකි කියන, රාමගේ වානර හමුදාව, රාම විසින් වහල්සේවයේ යොදවාගත් නොදියුණු මනුශ්‍ය කොට්ඨාශයක් වන්නට නොහැකිද?

සුදු ජාතිකයින්, නොදියුණු අප්‍රිකාවට කඩා වැදී ලක්ශ ගණනින් අප වැනිම මිනිසුන් වහල් කමට රැගෙන ගොස් ඔවුන්ගේ ශ්‍රමයෙන් රේල් පාරවල්, පාලම්, බෝක්කු, වරායවල් තනවාගත්තානම්; ඔවුන් තවමත් කලුහම පහත් කොට සලකනවා නම්;

අවුරුදු 7000 කට පෙර රජ කුමරෙකු වූ රාමට, එකල නොදියුණු ගෝත්‍රයක ජනකායක් සිය හමුදාව සඳහා වහල් මෙහෙයට යොදවාගන්නට නොහැකි වුනිද?

බමුණු කුළයේ වාල්මිකීට, මේ අසරණ වහලුන් වානරයින් මෙන් පෙනීම හා එලෙසම ලීවීමද එතරම් පුදුමයට කාරණයක් නොවේ!

 

15 වැනි ශතවර්ශය වනතෙක් රාම පාලම මුහුදින් ඉහල තිබුනාද?

Encyclopedia of Hindu World (1992) නම් ග්‍රන්ථය රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුන් සඳහා වන කෝවිලෙහි වාර්තා උපුටා දක්වමින් සඳහන් කරන්නේ රාම පාලම ලෙස හඳුන්වන මෙම භූමි තීරුව ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වාම පයින් යා හැකි තරමට ජලයෙන් ඉහලට තිබූ බවයි. මෙය ජලයෙන් යටවී ගියේ 1480 දී ප්‍රදේශය හරහා හමාගිය මහා කුණාටුවකින් රළුවූ මුහුදට සේදී ගිය පසුව බව එම ග්‍රන්ථය සඳහන් කරනවා.

Wednesday, April 2, 2014

හෙළ වංශය විසිහයවන වැඩසටහන

0


හෙළ වංශය විසිහයවන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසි
හයවන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....



 



Friday, March 21, 2014

හෙළ වංශය විසිපස්වන වැඩසටහන

0


හෙළ වංශය විසිපස්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිපස්වන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....






හෙළ වංශය විසිහතරවන වැඩසටහන

0


හෙළ වංශය විසිහතරවන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිහතරවන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....






හෙළ වංශය විසිඑක්වන වැඩසටහන

0


හෙළ වංශය විසිඑක්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිඑක්වන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....








Wednesday, January 22, 2014

හෙළ වංශය පහලොස්වෙන වැඩසටහන

0


හෙළ වංශය පහලොස්වෙන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ පහලොස්වෙන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....







 

Wednesday, November 27, 2013

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

0

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරද්දි රාවණා රජුසමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඇල්ල - වැල්ලවාය සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා විහිද ඇතැයි අනුමාන කෙරේ.

උමඟ මතුවීමත් සමඟ එම ප්‍රදේශය කිසිවකුට ළඟා විය නොහැකි පරිදි සම්පූර්ණයෙන් මාධ්‍යයට තහනම් කලාපයක් බවට පත් කිරීමට උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් කටයුතු කොට ඇත.
හදිසියේ මතුවූ මෙම ඉපැරැණි උමං මාර්ගය පිළිබඳ වහාම දේශපාලනයෙන් තොර අපක්ෂපාතී විධිමත් පුරාවිද්‍යා පරීක්ෂණයක් සිදු කළ යුතු බව විවිධ සංවිධාන 23ක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලා ඇත. තවද එම ස්ථානයේ ඇති පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නොපමාවම පියවර ගන්නා ලෙසත් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිවීමට ඉඩ ඇති මේ සුවිශේෂි ස්ථානය සියලුම මාධ්‍ය සඳහා නිරාවරණය කරන ලෙසත් එම සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජලය ලබාදී එම පළාත්වල කෘෂිකර්මාන්තය නංවා ජන ජීවිතය සුඛිත මුදිත කරවීමටය. බත බුලතින් රට සංවර්ධනය කිරීමට ඉන් ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇත. විශාල පිරිවැයක් දරා එකී යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ද ඒ නිසාය.

සියලු ජනතාවටත්, රටටත් වැඩදායක මෙවන් වූ යෝජනා ක්‍රම නිසා අයහපතක් සිදුවෙතැයි කිසිවකු කිසිසේත්ම නොසිතනු ඇත. එනමුදු මෙවැනි යෝජනා ක්‍රම සම්බන්ධව නැවත වරක් සිතා බලන්නට පොලඹවන පසුබිමක් දැන් උදා වී ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි යෝජනා ක්‍රම බැලූ බැල්මට සුබදායක සංවර්ධනය ක්‍රියාවලියක් ලෙස පෙනුණත් අනාගතයේදී කන්ද උඩරට බොහෝ ගම් නියම් ගම් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පෑම නොවැළැක්විය හැකිය.

මේ බව අනාවරණය කරන්නේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ය. උමා ඔය යෝජනා ක්‍රමයේ කැණීම් කටයුතු කරද්දී ඉපැරැණි උමඟක් මතු වීම සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් වූ කරුණු පාදක කර ගෙන මෙම විශේෂ ලිපිය සැකසී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, දඹුල්ල - රත්තොට ආදී ප්‍රදේශවලද මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම සෙංකඩගල සහ දුම්බර බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වැලිමඩ හා පස්සර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල සහ ‍ෙදාඩම්ගස්ලන්ද ප්‍රදේශවලටද මෙම අනතුරු බලපානු ඇත.

උමා ඔය මොරගහතැන්න නව ජලාශයන්හි ජලය රාවණා යුගයේ උමං මාර්ගවලට සහ බිම් ගෙවල්වලට කාන්දු වීමට ඇති ඉඩකඩ වැඩි නිසා වත්මන් භූ විද්‍යාඥයන් එම ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පෙන්වා දෙයි.

"ඍජු බැල්මට මෙම උමා ඔය යෝජනා ක්‍රමය, මොරගහකන්ද යෝජනා ක්‍රමය, ලාභදායී ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් වක්‍ර ලෙස එයින් ඇතිවන පාඩුව මධ්‍යම, උෟව සහ වයඹ පළාත්වලට සුවිශාලයි." ඒ ආචාර්ය ඔබේසේකරගේ අදහසය.

වත්මන් ජලාශ යෝජනා ක්‍රම ඉදිකිරීමේදී භූ විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් 'රාවණ වත' ලිපි පෙළ යටතේ 2012 අප්‍රේල් 15 වැනි ඉරිදා මව්බිම සැණකෙළියට ලියූ ලිපියකින් ද අනාවරණය කර තිබිණි.
උෟවේ සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට ලෝකාන්තයටත් එහි සිට බලංගොඩටත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු උමං මාර්ග පද්ධති තිබූ බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය දක්වා ඇත. එකල විශේෂ ආරක්ෂක මාර්ග පද්ධතියක් ලෙස උමං මාර්ග නිර්මාණය වී තිබූ බව එම පුස්කොළ ග්‍රන්ථය සඳහන් කරයි.


උෟව පළාතේ හපුතලේ, බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, උෟව පරණගම, පස්සර, සොරණාතොට, වියලුව සහ මහියංගණය දක්වා ගම් නියම්ගම් රැසක රාවණ ඉතිහාසයට අයත් නටබුන් අද දක්වා සුරක්ෂිතව තිබීමෙන් රාවණ ඉතිහාසයට ලැබෙන්නේ ඉමහත් ආලෝකයකි. උෟව පළාතේ සෑම කන්දකටම තවත් කන්දක සිට ගමන් කළ හැකි උමං මාර්ග පද්ධතියක් එදා නිර්මාණය වී තිබිණ.

ඇල්ල- වැල්ලවාය පාරේ පිහිටි රාවණ ගුහාවද දුටුවන් සිත් ආකර්ෂණය කරන මනරම් ස්ථානයකි. ඇල්ල පුරාණ විහාරය සමීපයේ කඳු ගැටයක තිබෙන රාවණ ගුහාව මිනිසුන් සියයකට එක්වර රැස්විය හැකි විශාල ගල්ගුහාවකි. මෙහි එක් කෙළවරක ගුහාවට අයත් උමං මාර්ගය වෙයි. මිනිසකුට දෙකට නැමී එම උමං මාර්ගය තුළට යා හැකි වුවත් සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කළ විට ඕනෑම උස මිනිසකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මහ උමඟ හමුවන බවත්, ඒ උමං මඟ තුළින් මහා ගුහාවට හා නමුණුකුල මහ උමං මාර්ගයට ගමන් කළ හැකි බවත් තමා තම වැඩිහිටියන්ගෙන් අසා ඇති බව බිම්තැන්නේ ආදී වාසියකු වන 'රාවණගේ කන්ද' නමැත්තකු 1960-05-27 වැනි දින තමන්ට පැවැසූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සඳහන් කරයි.

මෙම උමං මාර්ගයේ එක් ‍ෙදාරටුවක් බලංගොඩ පාතාලගිර කන්දේ ඇති බව ඔහු පවසා ඇත. පාතාලගිරට ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. එදා පාතාලගිර ලෙස හඳුන්වා තිබෙන්නේ බලංගොඩ ව්ර්ණීව්ර්ථීඡ්අධ්ඹ් වත්තට අයත් භූමි ප්‍රදේශයයි. වසර 1956 දී ආදම් ජී ලුක්මන් ජී සමාගමට අයත් වූ මෙම තේ වත්ත කොළඹ සිට සැතැපුම් 85ක දුරින් පිහිටා තිබිණ. රජයේ ඉඩම් වාර්තාවනට අනුව මුහුදු මට්ටමෙන් අඩි 1,800ත් -5,000ත් අතර උස ප්‍රමාණයක පිහිටා ඇත.
හපුතලේ ඔහිය ප්‍රදේශයේ පිහිටි ලෝකාන්තය මධ්‍යයයේ පොළොව යට ඇතැයි කියන උමං මාලිගාවට ගමන් කිරීමට උපයෝගී කර ගෙන තිබෙන්නේ මෙම මාර්ගයයි. මෙම උමං මාර්ග සංකීර්ණයේ තවත් මාර්ගයක් නුවරඑළියේ මහතුඩුගල භූගත මාලිගාවට ඇති අතර එහි සිට කිකිළියාමාන කන්දටද මාර්ගයක් ඇති බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථය කියයි.

රාවණා රජු වන්දනා කළ උමං දෙවොල තිබෙන්නේ ද ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පොළොව යටය. ස්ත්‍රීපුර කන්දේ අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ කොළඹ තිඹිරිගස්යායේ විජේසූරියගේ ‍ෙදාන් චාල්ස් මහතා 1960 මාර්තු 21 වැනි දා තමාට හමුවූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මා සමඟ පැවැසීය. තමා ස්ත්‍රීපුර කන්දේ උමං මාර්ගයේ ගමන් කළ බවත් එම උමං මඟේ තුන්මංසලක් හමුවෙන බවත් ඒ සැණින් එහාට ගමන් කළොත් මංමුළා වීමට ඉඩ ඇති නිසා තමා නොකළ බවත් චාල්ස් මහතා ආචාර්ය ඔබේසේකරට පවසා ඇත.

ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පිහිටි උමා දෙවොලේ අඩි 14ක් උසැති උමං දෙවඟනගේ රන් පිළිමයක් ඇති බවත් එම පිළිමයට රාවණ රජු පුද පූජා පැවැත්වූ බවත් පැරැණි පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වී ඇත.
මෙම ස්ත්‍රීපුර කන්දේ උමං පද්ධතියේ සිට බණ්ඩාරවෙල නමුණුකුල කන්දටත් එහි සිට ඔහිය ලෝකාන්තයේ බිම් මාලිගයටත් එහි සිට බලංගොඩටත් උමං මාර්ගය ඇති බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ලෝකාන්තයේ රාවණාගේ භූගත මාලිගයට බලංගොඩින් ඇතුළුවන උමං දොරටුව වසා ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස ‘රාවණ කතා’ ග්‍රන්ථය හඳුන්වයි. හුළංගමුවේ ඇඹිල්ල විහාරකන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගයද දැනට ගරා ැවටී ඇති ප්‍රධාන උමං මඟකි. මෙම උමං මඟ හුළංගමුවේ එක් පැරැණි වලව්වක ඉඩමෙන් මතුවූ අතර එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමන ලදැයි ආචාර්ය ඔබේසේකර පවසයි.

විශ්‍රවස්මුනි, කුවේර සහ රාවණ ආදී රජවරුන් කලින් කල ජීවත්වූ සීගිරිය රාවණ යුගයේ මුළු මහත් ලක්දිවම පාලන මධ්‍යස්ථානය විය. මෙම උමං පද්ධතියේ කේන්ද්‍රස්ථානය සීගිරිය වූයේ එබැවිනි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සිට උෟව- වෙල්ලස්ස හරහා කතරගම වැඩහිටි කන්දටත්, හිනිදුම දෙනියාය ප්‍රදේශයේ කඳුවලටත් යා කර තිබුණු ඇතැම් මාර්ග නාග ගෝත්‍රිකයන් විසින්ද නඩත්තු කරනු ලැබූ බව රාවණ කතා මූලාශ්‍ර දක්වයි.

ඔෟෂධ බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණය අෑත අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතු ඒකාධිකාරයක් විය. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මෘදු මොළොක් බවට පත්කරවන බෙහෙත් වර්ග රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන්ට තිබිණි. විශාල ගල් කඳුවල කුහර සාදමින් දර්ශනීය, මටසිලිටු ලෙස උමං මාර්ග කැණීමට එදා යක්ෂ ගෝත්‍රිකයෝ සමත් වූහ.

ඉතා කෙටි මාර්ගවලින් මුළු මහත් ශ්‍රී  ලංකාවේම ගමන් කිරීමට හා සතුරු කරදරවලදී ආරක්ෂා වීමටත් සුවිශේෂ උමං මං පද්ධතියක් එදා භාවිත කර තිබිණ. මෙම උමං මාර්ග පද්ධතිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩ නඟා ඇද්ද යන්න වත්මන් භූ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්නොවීම ජාතියේ අවාසනාවක් ලෙස සිතිය හැකිය. (‘රාවණ වත’ සැණකෙළිය 2012-04-15 වැනිදා ඉරිදා ‘මව්බිම’)
නිසි භූ විද්‍යා පරීක්ෂණයකින් තොරව නව ජලාශ යෝජනා ඉදිකිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානම ‘මව්බිම’ රාවණ වත ලිපියේ කරුණු දක්වා තිබුණේ ඒ අන්දමටය.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-7442-news-detail.html



Monday, November 25, 2013

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

0

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

උදේ රැයින් ගියේ නැත්නම් හවස් වෙද්දි ආපහු එනවා බොරු. දැන්ම පිටත් වෙමු. රැවුලා අණ දුනි. අඹන් ගඟ තරණය කිරීම සඳහා ඇවැසි කඹය මිලදී ගැනීමට ගිය මා හට කඩ හිමියන් කීපදෙනකු කූද්දවා කඹ ඇත්දැයි විමසා සිටින්න සිදුවිණි. ප්‍රමාදය පිළිබඳව රැවුලා සිටියේ නොරිස්සුම් සහගතවය. "මරුම මනුස්සයව අල්ලගෙන තියෙන්නේ කැලේ අස්සක් මුල්ලක් නෑර පෙන්වයි." හරියට හනුමා වගේ රැවුලා පිළිබඳ සහතිකපත් නිකුත් කරමින් ත්‍රීවීල් 'මාතලී' පවසා සිටියේය. අඹන් ගඟ සැම විටදීම මත් වී ගලනා ගඟකි. ඒ නිසා සුන්දරත්වය පිළිබඳ අටුවා ටීකා ටිප්පනි නොගැළපේ යැයි සිතේ. ගඟක් මත් වී ගලන තැන කෙතරම් සුන්දරද?

සුන්දරත්වය ඇතුළාන්තයේ වූ ආරක්ෂාකාරී බව නිසා මත් වී ගඟ ගලනා ස්ථානය හරහා කඹයක් ඇද ගෙන තරණය කළ යුතු යැයි රැවුලා තීරණය කර තිබිණි. ගං ඉවුරු යා කිරීම සඳහා කඹය එගොඩට රැගෙන යෑම බාර ගත්තේද රැවුලාය. ගඟ දෙගොඩතළා ගිය දිනකට පසු දිනක් වූයේ නම් කඹයක් මඟින් ගඟ තරණය නොකළ යුතු බව සිහි තබා ගන්න යැයි කියූ රැවුලා ගඟ දිය අතරින් නොපෙනී ගොස් නා ගස් මුල් ගොන්නක් අසලින් මතු වුණේය. වස්ගොමුව සහ ජයසිරිපුර ඉම් යා කරන ලද කඹය උපයෝගී කරගත් අපි නඩය ජයසිරිපුරට සමු දුන්නෙමු. කඹයේ එල්ලී ගඟ තරණය අතුරේ යනවාට වඩා අසීරුය. අතුරේ යන විට ආධාරක දෙකකි. ගඟේ යන විට ඇත්තේ දෑත් මත ඇති කඹය පමණි. මහත - දෙහෙත පුද්ගලයකු වුවහොත් කඹය ආන්බාන් කිරීම අසීරු කටයුත්තකි. ඒ මදිවාට කැමරා ආම්පන්නවලට ජලය කාන්දු වීමට ඉඩදිය නොහැකිය. දෙකකුල් ගං පතුලේ වදින විට ලබා ගන්නා වාරුව නොමැති වූවා නම් ගඟ දිය ගැඹුරු කඩඉම පසු කිරීම අපහසු වීමට බොහෝ ඉඩ තිබිණි. එකෙක් පසු පස එකෙක් සේ ගඟ තරණය කරන අප දෙස එගොඩට වී රැවුලා බලා සිටියේ අනපේක්ෂිත කරදරයක් සිදුවුවහොත් මැදිහත් වීම සඳහාය විය යුතුය. කණ්ඩායමේ සියල්ලන් ගඟ තරණය කළේ අපහසුතා රැසක් පරදා යැයි කීම යුක්ති යුක්තය.

මෙතැන් සිට රජයන්නේ සොබා දහමේ නීතියයි. නීතිය මායිම් නොකර වස්ගමුවට පැමිණ සිටින අප සොබාදහමේ නීතියට අනුගත නොවී ක්‍රියා කරන්නේ නම් අනිටු පල විපාකවලටද මුහුණ දීමට හිත හදා ගත යුතු යැයි රැවුලා ඔහුගේ ගම්බද වහරින් පවසා සිටියේය. කුමාරකන්ද මාලිගයට යා හැකි පහසුම මාර්ගය මඩ ඇළට සමාන්තරව ඉහළට යෑම යැයි මා දැන සිටියද ඒ බවක් නොකියා සිටීමට වග බලාගත්තේ කණ්ඩායමේ සිටිය යුත්තේ එක් නායකයකු පමණක් වන නිසාය. එලෙස පැවැසීමට අවශ්‍යතාවක් නොවන බව පසක් කරමින් රැවුලා කටු පඳුරු සහිත යටි රෝපණයක් තිබූ මෙහි කැලෑ මණ්ඩියක් පසුකර මඩ ඇළ කරා කණ්ඩායම රැගෙන විත් තිබිණි. මඩ ඇළ ලෙස හැඳින්වුවද ඇළ සිනිඳු වැලි තලයක් පතුල කරගෙන ගලා යන්නකි. කැලයේ ඉහළ සීමාවට තද වැසි ඇදහැලී ඇති බව පෙන්වා දීමට සේ මඩ ඇළ නව මං උපද්දවාගෙන පහළට ගලා යෑමට යත්න දරයි.

ඒ කාලේ මේ ඇළට මඩ ඇළ කියල කියන්න අරගෙන තියෙන්නේ මාලිගාවේ උදවිය පාවිච්චි කරපු වතුර ගලාගෙන ආපු නිසා කියල තියෙනවා. අපිරිසුදුයි කියන්න 'මඩ' උපයෝගී කර ගත්තා වෙන්ඩ පුළුවන්. කොහොමත් ඒ කාලේ කුමාර කන්ද මාලිගාව අවට විශාල ජනාවාසයක් තිබිල තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන කතාවක් හැටියට කුමාර කන්ද මාලිගාව ආසන්නයේ තියෙනවාලු. හිටි පිළිමයක්. ඒ පිළිමේ නේත්‍ර ධාතු විහාරයේ සැතපෙන පිළිමේ දෙසට එල්ල වෙලා තියෙනවලු. මම අවුරුදු ගාණක් කැලේ තියෙන ඔය හිටි පිළිමෙ හෙව්ව. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි ඒ පිළිමේ පිහිටි කළු ගලක කෙටූ එකක් වෙන්න බෑ. මොකද කැලෑවේ ඉඳල සැතපෙන පිළිමේ තියෙන හරිය පේන සීමාවේ පිහිටි කළු ගල් නැහැ. වස්ගමුව තමයි ඒ කාලේ ජනාවාස තිබුණේ. අඹන් ගඟයි පරාක්‍රම සමුද්‍රයට වතුර අරගෙන යන ඇළයි අතර ඇළහැර ගොවි ගම්මාන හැදුවාට ඒ කාලේ ගඟේ වතුරත් එක්ක බලපුවාම ඒ හරිය තමයි ගඟයි ඇළයි අතර ගං දිය පිට දාන සීමාව. එතකොට ජනාවාස තිබිල තියෙන්නේ දැන් අපි ඉන්න හරියේ. ඒත් වස්ගමුව සීමාවේ දැන් අපි ඉන්න හරියේ ඉඳල තියෙන්නේ මුක්කරුවෝ. මුක්කරුවෝ කියන්නේ මැණික් ගරන්න පිටරට ඉඳල සංක්‍රමණය වුණ ජන කොටසක්." මඩ ඇළ දිගේ ඉහළට යෑමේදී එලෙස ඉතිහාසය හාරා ඇවිස්සුවේ රැවුලාය.

ඇළ දිගේ ඉහළට යෑම එක සීරුවට කළ නොහැක්කකි. ඇළ ප්‍රයෝජනයට ගත් අලි රංචු ඇළ දෙපස ඇති ගස්වල අතු කඩා දමා ඇත්තේ වනාන්තරය තුළ මාර්ග තැනීමේ ප්‍රයෝගකාරයන් තමන් යැයි ඒත්තු ගන්වා දීමට මෙනි. ඇළ හරස් කර විශාල ප්‍රමාණයේ අතු තිබූ නිසා කෙටි දුරකට පමණක් අපි දෙපතුල් සිනිඳු වැලි තලයෙන් පිටතට ගත්තෙමු.

"කුමාර කන්දට කිට්ටුයි. අපි එනවා දැනිල වන කුමාරයෝ ටික ඇවිත් ඉඳීද?" රැවුලා එලෙස වන කුමාරයන්ට උපමා කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ආරක්ෂක නිලධාරීන්වය. මාලිගා බිමට ආසන්නවත්ම විශාල නාගස් වැටි දෙකක් මැදින් සමාන්තරව යන ගමන් ලතාවකට අනුගත විය යුතුය. කඳ මහත නා ගස අතු රිකිලි දමන්නේ ඉර එළිය හොඳින් උරා ගැනීමට හැකියාව ඇති උසකින් නිසා ඉරඑළිය පොළොවට පතිත වීමක් සිදුවන්නේම නැත. මාලිගා භූමිය පිළිබඳ නා වැටිය සමඟ මැවෙන්නේ ආශ්‍රම ආකාරයේ මනෝ චිත්‍රයකි. ලංකාවේ භූ විසමතාව අනුව ප්‍රභූ නිවාස සහ නා ගස් අතර ඇත්තේ සම සබැඳියාවකි. මේ වනවිටත් ගරු ගාම්භීර ලෙස නැඟී සිටින වලව් සම්ප්‍රදායට අයත් සෑම ප්‍රභූ නිවාසයක් ආසන්නයේම නා වැටියක් වේ. පස්යාල, අත්තනගලු පාර අද්දර සිට නා ගස් එකසිය අසූ තුනක් පසුකර සබරගමු දිසාවේ පිහිටා ඇති නා වැටිය වලව්ව මසිතට නැඟිණි.


නා වැටිය කෝමළ වූයේ ගල් පාදමකිනි. පාදමක් ලෙස භෞතිකව දැක ගත හැකි වුවද එය මතුකර ගැනීම සඳහා මනස් චිත්‍රයක් මවා ගත යුතුවේ. මනස් චිත්‍රය කෙතරම් දුරකට නිවැරැදි වේ දැයි නොදන්නාමුත්, කුමාර කන්ද මාලිගාව ප්‍රවේශ මාර්ග ලෙස සකසන ලද ගල් පඩි පෙළ 3කින්ද විශාල ප්‍රමාණයේ ගැල් කරත්ත ගමන් කළ හැකි මාර්ගයකින්ද සමන්විත වී යැයි උපකල්පනය කළ හැකිය. මාර්ගය වනය විසින් ගිල ගනු ලැබුවද දෙපස ඇති කළුගල් ගල් පඩි මත වැවී ඇත්තේ කටු පඳුරු විශේෂයකි. මාලිගාව පහළින් දිය අගල් කීපයක් වේ. එම දිය අගල් දෙපස සිට බෑවුමේ වේගයට සමානව වතුර ඉහළට රැගෙන යෑමට සකස් කරනා ලදැයි සිතිය හැකි ගල් දිය වැලක් වේ.

(ඉතිරිය ලබන සතියේ)

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-23988-news-detail.html



වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

0

වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

හිරු නැඟෙන්න පැයකට හමාරකට කලියෙන් අපි ලකලැහැස්ති වීමු. ජයසිරිපුරින් පිටත් වීම වේදනාබරය. ඒ මුත් අපි යා යුතු වෙමු. ඒ; බකමූණ, තලාගොල්ල හරහා හඳුන්ගමුවටය. හඳුන්ගමුව කරා යන මාර්ගය කලකදී පැවැතියේ ගිරි දුර්ගයක් ලෙසය. දඹුල්ලේ සිට මහියංගණය කරා ගොස් එතැනින් අම්පාර දක්වා දිවෙන අධිවේගී මාර්ග සැලැස්ම නිසා බකමූණ සිට හෙට්ටිපොළ දක්වා මඟ පිළිසකර වී ඇත. ජයසිරිපුර සිට බකමූණ කරා දිවෙන්නේ පටු තාර පාරකි. මැටල් ගල් ගැලවී ගිය තැනකදී වාහන දෙකකට එහා මෙහා වීමට දැඩි උත්සාහයක් ගත යුතු වේ.

රථයේ ප්‍රධාන ලාම්පුවල ආලෝක ධාරාව යෝධ ඇළේ දිය රැළි මත ගැටුණු විට මැවෙන්නේ අපූර්ව බවකි. ගඟ ගලන්නේ පහළ සිට ඉහළටය. කිලෝමීටරයකට අඟලක් වන සේ ඉස්සී උස් මුදුනක පිහිටා ඇති පරාක්‍රම සමුද්‍රය කරා ජලය රැගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ හෙළ වාරි තාක්‍ෂණයේ උච්චම ස්ථානය ලකුණු කළ මාහැඟි සම්පතකි. ගංදෑල බඩවැටිවල සිටිනා හාවුන් සිය ගිනිකන වැටුණු දෑස් යොමන්නේද රථයේ ප්‍රධාන ලාම්පු කෙරෙහිය. වස්ගමුවත් දඹුලු කැලයත් සීමා මායිම් කර ගත් අඹන් ගඟ සහ යෝධ ඇළ අප සුවපහසු ලෙස නවාතැන් ගත් ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරය මැදි කරමින් ගලා යයි. ඒ අරුතින් ඇළහැර ගොවි ජනපදය දෙගම් මැදි රාජ්‍යයකි.

මීට දසක කීපයකට ඉහතදී වස්ගොමුවෙන් එන ගෝන රංචු මංකඩක් ලෙස 'ට්‍රැක් 13' ගොවි ගම්මානය භාවිත කර දඹුලු කැලයට සේන්දු වූ බව කලකට පෙර අප හැර ගිය ඇළහැර ලොකු පප්පා පැවැසූ මතකය ඇවිස්සුණේ අඩි කීපයක් උසැති සිවුපාවකු රථයේ ප්‍රධාන ලාම්පුවලට 'ඇහැ දෙන්න' ගත්තාට පසුවය. කිසි ලෙසකින් ගෝනෙක් මුවකු විය නොහැකි එම සතා 'රථයේ මාතලී' වූ පියරත්නට අනුව නාම්බ මීමින්නෙකි. රථය නැවැත්වූ අපි සතා දිවගිය මඟට කන් යොමු කළෙමු. ඔය අතරතුර සිය සගයන්ට අනතුරු ඇඟවීම සඳහා ගෝනකු නැඟූ නාදය කැලයේ අෑතින් ඇසිණි. හඳුනාගැනීමට නොහැකි වූ සිවුපාවා කැලයේ කුමන දිසාවකට ගමන් ගත්තේද යන වග ඉඳහිට වියළි ඉපලක් බිඳුණු හ¾ඩින් තේරුම් ගැනීමට හැකි විණි. සතා ගමන් කළේ ඇළ ඉවුර දිග ප්‍රධාන මාර්ගයට සමාන්තරවය. රථය පාර අද්දර නවතා දමා කුඩා මංපෙතකින් හැරී ඇළේ වතුර කුඹුරු යාය කරා රැගෙන යන කොන්ක්‍රීට් කානුවක් දිගේ අප කාල් ගෑවේ අරුණෝදය එළැඹෙමින් තිබියදීය.

අපි බකමූණට පැමිණ සිටියෙමු. බකමූණ ජනාකීර්ණ වන්නේ බදාදා දිනට පමණලු! එයට හේතුව කළු ගඟේදී සහ අඹන් ගඟේදී ගැරුම් වට්ටිවලට අහුවෙන මැණික් වෙන්දේසියේ විකිණෙන්නේ එදිනට පමණක් වීමය. මැණික් කුඩා මුදලකට මිලකර අවශ්‍ය කරන කළමනා රැගෙන යෑමට ගොවි පවුල්වල උදවිය බදාදා දින උදේ රැයින් බකමූණට පැමිණෙති. බකමූණ සිට හෙට්ටිපොළ - විල්ගමුව හරහා හඳුන්ගමුවට ගොස් වස්ගමු කැලයට නීත්‍යනුකූල ලෙස පිවිසිය හැකි වන්නේය. සිය දියණිය හඳුන්ගමුවට කරකාර බැඳ ඇති නිසා උදව්වක් පදව්වක් කිරීමට ඇහැක් වෙයි කියූ රණමුරේ හේරත් බණ්ඩා මාමාද අප වස්ගමුවට රැගෙන යෑම සඳහා විල්ගමුවට කල්වේලා ඇතිව පැමිණ සිටියේය. අවශ්‍ය දෑ විල්ගමුව සමුපකාරයෙන් මිලට ගෙන වස්ගමුව වන රක්‍ෂිත පෙදෙස පසුකර අවශ්‍ය අවසරපත් ලබා දැඩි සොබා රක්‍ෂිතයට ඇතුළු වුණෙමු. උදෑසන භාරකාර තැන කෙටි දෙසුමක් සිදුකළේය. එහි සංක්‍ෂිප්ත අදහස වූයේ වන රක්‍ෂිතය සහ හඳුන්ගමුව ගම්මානය අතර ඇති සහසම්බන්ධය ය. ගම්මු තම ඉඩකඩම් රක්‍ෂිතයට ලබා දුන්හ. රක්‍ෂිතය කළේ ගම්මුන්ගේ චර්යාවන් සීමා කිරීමය. ජීවනෝපාය අවහිර කිරීමය. ගම්මුන් සහ වන රක්‍ෂිතය යා දෙක නොරත රත සේ පවත්වාගෙන යා නොහැක. උගුල්, බඳින තුවක්කු අහවර කළ යුතුවේ. එම නිසා ගමේ තරුණයන් පරිසරවේදීන් බවට පත්කිරීමේ මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ඔවුන් රජයේ පඩි ලබන කැලෑ මහත්තුරුන් බවට පත් වීමලු! 


එය කදිම මෙන්ම පැසසිය යුතු කටයුත්තක් යැයි අප පැවැසුවේ මුළු හදින්මය. වනයේ ඉදිරියට යත් යත්ම හුදෙකලා බවත් සන්සුන් බවත් කෙමෙන් දැනෙන්ට විය. මිතුරාට මිතුරාත්, සතුරාට සතුරාත් කෙරෙහි ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ඇස් හා ඕනෑම මොහොතකම සූදානම් ගාත්‍රාත් හැරුණු විට සාවද්‍ය සිරිත්-විරිත් කැලය තුළ නැත්තේය. දෙසැතපුමක් පමණ අපි ගමන් කළෙමු. පෙර දින කුමාර කන්ද මාලිගයට අවසර නොමැතිව අප පැමිණි බව මඟ පෙන්වන්නාට හෙළි කළේ නගරයේදී වෛද්‍යවරයාට සහ නීතිඥයාට සේ කැලය තුළදී මඟ පෙන්වන්නාට මුසා පැවසීම අනුවණ ක්‍රියාවක් නිසාය. කුඩා වැවකින් පහළ පිහිටියා යැයි සිතිය හැකි පුරන් වී ගිය කුඹුරු යායකට අපි පිවිසුණෙමු. බොහෝ කාලයකට ඉහත සිටි මිනිසුන් කැලය ආක්‍රමණය කොට වැව තනා ඉන් පහළ වෙල් යායවල වී වගා කරන්නට ඇත. මිනිසුන්ට එරෙහිව සටන අත් නොහළ කැලය දැන් මිනිසා පලවා හැර දසක ගණනාවක් ගෙවී ගොසිනි. වෙල් යාය කැස්වටුවන්, කිරලුන් හා කොරවක්කන් උදෑසනට කට ගැස්මක් සොයා එන වගුරු බිමක් බවට පත්ව තිබේ. සම්පූර්ණයෙන් නොවැසෙන දිය කඩිති වැව් බැම්ම සමීපයේ වේ. මෙම කැලෑ පෙදෙස්හි පාළුවට ගිය කුඩා වැව් බොහෝ ගණනක් තැනින් තැන විසිරී තිබේ. දීර්ඝ කාලයකට පෙර මෙහි විසූ ජනතාව ප්‍රදේශය අතහැර යෑම පිළිබඳ කතාන්දරය ඒ වැව්වලින් කියැවේ.

"ඒ කාලේ වස්ගමුව දැඩි සොබා රක්‍ෂිතයට මේ මාතලේ කෑල්ල අෑදාගද්දී; ඒ කියන්නේ 1978න් පස්සේ මේ හරියේ තිබිල තියෙන්නේ හේන්, කුඹුරු. ඒ මිනිසුන්ට අනුරාධපුර, පොළොන්නරුව වගේ පැතිවල මහවැලි ඉඩම් දුන්නා. ගොඩින් අක්කරයයි, මඩින් අක්කර දෙකයි. ඒ මිනිස්සු මහවැලි ඉඩම්වලට යද්දී හරකා බාන අරගෙන ගියේ නෑ. ඒ අයගේ එළ හරක් රෑනයි, මීහරක් රෑනයි දැන් ලොකු හරක් පට්ටියක් වෙලා. කැලේ මේ හරියට වෙන්න කුළු මීහරක් රංචු ඉන්නේ ඒකයි. ඒ කුළු මීහරක් රංචු වස්ගමුවට විතරක් සීමා වුණු දෙයක්. වෙන ජාතික වනෝද්‍යානවල ඒ වගේ කුළු මීහරක් රංචු නැහැ. අපි මේ කුළු මීහරක් රංචුව ගොඩක් පරෙස්සමට බලා ගන්නේ. කිසිම කෙනෙක්ට මේ රංචුවේ ඉන්න සතුන්ට අයිතිවාසිකම් කියන්න දෙන්නේ නෑ. ගමේ හරකෙක් හදිස්සියේ රක්‍ෂිතයට පැන්නොත් ඒ හරකා හොයන්න එන අය අනිවාර්යයෙන් කාර්යාලයට ඇවිත් අපේ කෙනෙක්ගේ උදව් ගන්න ඕනෑ. එහෙම නැතුව කිසිම කෙනෙක්ට තනියම ඇවිත් හරක් හොයන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් රක්‍ෂිතයේ ඉන්න හරක් ටික ඒ අයගේ හරක් කියල අරගෙන යන්න ඉඩ තියෙනවා. දැනට අපි ගණන් බලලා තියෙන විදියට හරක් 400-500ක් විතර රක්‍ෂිතය ඇතුළේ ඉන්නවා." එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය.

වනය ගැහැනියක මෙනි. නිති වෙනස් වේ. ආදරයේ විවිධ ප්‍රභේද ගණනාවක් යටතේ වනය සමඟ එක්කාසු විය හැකිය. වනයට ආදරය කිරීම නෙලුමකට ආලය කොට අඩස්සි වීමට සමානය.

පැරැණි රජ කතාවක් සිහියට නැඟේ. කුමාර ධාතුසේන නම් වියත් රජු (ක්‍රි.ව. 513-522) පරිසර ලෝලියකු සේම ස්ත්‍රී ගැන පිළිබඳ කෙළ පැමිණියෙකි. රජු දිනක් වෙසඟනක් කරා ගියේය. ඇය බොහෝ රජුගේ සිත් දිනා ගත්තාය. නෙලුමක අඩස්සි වුණ බඹරා සහ වෙසඟනගේ තුරුලේ සිටිනා තමාත් සංසන්දනය කර රජු මෙසේ ගැයුවේය. සිය තඹරා සිය තඹරා පියැස වැනි

පියැස පුරා නිදි නොලබා උන් සුවෙනි

රසාලිප්ත බව නිසා පැදි පෙළ අවසන් කර ගැනීමට නොහැකි වුණු රජු මෙසේ කීය. 'ඉතිරි දෙපද සම්පූර්ණ කරන අයකු ඉල්ලන දෙයක් දෙමි.' රජුගේ කල්‍යාණ මිත්‍ර කාලිදාස ප¾ඩිවරයා දිනක් ඒ වෙසඟන කරා ගොස් සිටියදී ඇය රජුගේ පැදි දෙපදය ප¾ඩිවරයාට ගැයුවේය. කාලිදාස කවිය සම්පූර්ණ කළේය.

වන බඹරා මල නොතළා රොනට වනී

මල දෙදරා පණ ගලවා ගිය සුවෙනී

අහස්කුස සහ මහ පොළොව උරෙන් උර ගැටෙන සීමාවන් දකිද්දී අප යුදඟනා පිටියට පැමිණ ඇතැයි මඟපෙන්වන්නා කීය.

(ඉතිරිය ලබන සතියට...)

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26003-news-detail.html






රාම රාවණාට බර අවිවලින් පහර දුන්නේ යුදඟනා පිටියේ ඉඳලා

0

රාම රාවණාට බර අවිවලින් පහර දුන්නේ යුදඟනා පිටියේ ඉඳලා

යුදඟනා පිටිය ගැන කතන්දර දෙකක් තියෙනවා. ඒවා ආවාට ගියාට කියපු දේවල් නෙවෙයි. එකක් තමයි රාවණ රජතුමා ගැන සම්බන්ධයක් තියෙන කතන්දරය. අනෙක දුටුගැමුණු රජතුමා ගැන ලියැවුණු කතාන්දරය. රාවණ රජතුමා 'ඉලක්ක ගලේ' ඉඳලා තමයි යුද කළේ කියලා පැරැණි අය කියනවා. ඉලක්ක ගල කියන්නේ ලංකාවේ පිහිටීම හොඳටම පෙනෙන තැන.

එතැන ඉඳලා ලංකාවේ කොනට වුණත් බර අවිවලින් පහර දෙන්න පුළුවන්. ඉලක්ක ගලේ ඉඳලා ඒ වගේ බර අවියකින් පහර දෙද්දි ඒ පහර දුන්න ඊතලේ බලේට ලකේ ගල කෑලිවලට කැඩිලා ගියා කියලා ජනප්‍රවාදයේ කියැවෙනවා. ලකේගල පාමුල ගල කඩා වැටුණු කෑලි අදටත් දකින්න තියෙනවා. එදා 'ලකේගල' මධ්‍යස්ථානය කරගෙන හිටියේ රාවණ රජු.

රාවණ රජුට පහර දෙන්න ආවේ රාම කුමාරයා ත්‍රිකුණාමලයෙන්. ලංකාවට ඇවිත් 'යුදඟනා පිටියේ' ඉඳලා යුද්ධය සංවිධානය කළා. රාම කුමාරයාගේ 'බර අවි' ඔක්කොම යුදඟනා පිටියේ තැන්පත් කරලා තිබුණා කියලා කියනවා. යුදඟනා පිටියේ ඉඳලා තමයි රාම කුමාරයා 'ලකේගලට' පහර දීලා තියෙන්නේ. ඒ කාලේ තිබුණ අවි මොන වගේද කියලා කියන්න අමාරු වුණාට ඒ පහර දුන්න එක ඊතලේක 'මහකෑල්ල' වැටුණු තැන මාතලේ කියලා හඳුන්වනවා කියලා කියනවා. ලකේ්ගල කන්දක් වගේ පෙනුණට කන්ද මුදුන ගොඩක් පැතැලියි. ඒ කියන්නේ සීයකට දෙසීයකට කන්ද මුදුනේ ඉන්න පුළුවන්. අපි හිතුවොත් කන්ද මුදුන කඩා වැටුන කියලා, ඒ කන්ද කඩා වැටුණු කෑලි අද වුණත් ලකේගල පාමුල තියෙනවා.

අනිත් කතාවේ විදියට දුටුගැමුණු කුමාරයා අනුරාධපුරයට පහර දෙන්න යද්දි නතර වූ තැන යුදඟනා පිටිය කියලා කියනවා. මෙතැන ඉඳලා සේනාව සංවිධානය කරලා අවි ආයුධ තනන්න යපස් උණු කළා කියලා කියැවෙනවා. ඒ උණු කරපු යපස්වල කොටස් ඉවත් කළාට පස්සේ ඒ කොටසේ හින්දා යුදඟනා පිටියේ පස් මේ තත්ත්වයට පත් වුණා කියලා කියන අයත් ඉන්නවා. කොහොම වුණත් දුටුගැමුණු රජතුමාගේ කතාව වුණත් පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා. මොකද අවි ආයුධ හදන්න යපස් උණු කළාම 'ටින්' කියන ලෝහය හැදෙනවා. 'ටින්' සංඝටකයක් විදියට තියෙන්නේ යපස්වල. දුටුගැමුණු කුමාරයා කඳවුරු බැඳලා සේනාව සංවිධානය කරන්න මේ පිටියේ නතර වුණා කියන එක පිළිගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ ඉතිහාසගත කරුණු දෙකක් යුදඟනා පිටියට එකක්ක බැඳිලා තියෙනවා.

එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය. අප නැවතත් හඳුන්ගමුව කරා පැමිණෙමින් සිටියෙමු. හඳුන්ගමුවේ සිට රණමුරේට ඇත්තේ හැතැප්ම කීපයකි. අපි කෙමෙන් රණමුරේගමට පැමිණියෙමු. සත්කාරකයා රණමුරේගෙදර හේරත් බණ්ඩාය. කඳු බෑවුම් හෙල් මළු ක්‍රමයට වගා කරන හේරත් බණ්ඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශූර ගොවියෙකි. හෙළ ගොවිතැන කරපින්නාගෙන නව ඉසව් සොයා යන්නෙකි. ඒ නිසාම ඔහුට කළු කුමාරයා හමුවීලු. කළු කුමාර යනු වී ප්‍රභේදයකි. හේරත් බණ්ඩාට කළු කුමාර ඒ හමු වුණේ ඇමැත්තන්වලදීය. ගෞරව බහු මානයෙන් අපව පිළිගත් හේරත් බණ්ඩා ආගන්තුක පුද සත්කාර නියම ගැමියකු ලෙස ඉටු කළේය.

මෙතැන ඉඳලා කිලෝමීටර් 5ක් පයින් ගියාම මී මුරේට යන්න පුළුවන්. මිනිස්සු කිලෝමීටර් 98ක් යන දුර මෙතැන ඉඳලා කිලෝමීටර් 5යි. හැබැයි අපි යන්න ඕනෑ පයින්. පුදුම ලස්සන පරිසරයක්. රාවණ රජ්ජුරුවන්ගේ කළුනික පොකුණ තියෙන්නේ ඔය මාර්ගයේ අතරමැද.
මිනිස්සු කියන්න අකැමැති දේ තමයි මෙතැන ඉඳලා මීමුරේට ගොඩක් ළඟයි කියන එක. මොකද කොළඹ ඉඳලා මීමුරේ යන්න ලෑස්ති කරන උදවිය ලොකු ගාණක් හොයා ගන්නේ මීමුරේට යන පාර දුෂ්කරයි කියලා. ඒකට ලංකාවේ මිනිස්සු රැවටුණාට විදේශිකයෝ රැවටෙන්නේ නෑ. ඒ අය අන්තර්ජාලයෙන් බලලා තමයි මීමුරේ එන්නේ.

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26667-news-detail.html





අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ

0

අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ

කන්ද මුදුනට යන්න යන්න ගල් පඩි පේළිය පටු දිගැටි ස්වභාවයකට පෙරැළෙනවා. එළිමහන් බිම්වලින් පදාසක් පුරා විසිර ඇත්තේ පර්වත. පර්වත මුදුනත පමණක් පස් සේදී යෑම නිසා "උඩට ඉලිප්පී" පෙනෙන්න පටන් අරගෙන.

එළිමහන් භූමියේ වූ එක් මුල්ලක විශාල ප්‍රමාණයේ වේ තුඹසක් අසල මා ගිමන් හැරීමට සූදානම් වුණා. මගේ දෙපසින් ගන වනය අෑතට විහිද ගොස් තිබුණ අතර ඉහළින් සහ පහළින් තිබුණේ ගල් පඩි පේළිය. මා සිටි තැන සිට යාර කීපයක් ඉදිරියෙන් වූ බෑවුම් සහිත බිමක තණ පඳුරු අස්සේ කුඩා සතකු ඔබ මොබ යනවා දැක සතා ඇඳින ගැනීමට මා උත්සාහ ගත්තා. උෟ බිළාල වර්ගයට අයත් සිවුපාවකු බව පෙනෙන්නට තිබුණත් සාමාන්‍ය උසකින් වැඩී තිබූ තණපත් නිසා ඇස් මානයේදී සතා හැඳින ගන්නට බැරි වුණා.

ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබෙන සතකු යැයි ක්‍ෂණිකව හැඟී ගියත් සතා පසුපස යෑම අවදානම් සහගත යැයි ඒ සා වේගයෙන්ම මට තේරුම් ගියා.
මා වෙත පැමිණි හේරත් බණ්ඩා, "දිවියෙක් මේ පළාතේ කරක් ගහන්න පටන් අරගෙන" යැයි පවසා සිටියා. ඔහු එලෙස පැවැසුවාට පසු මා දුටු දර්ශනය විස්තර කිරීම අනුවණ යැයි සිතූ මා හැකි ඉක්මනින් කඳු මුදුනට යෑම සඳහා පය ඉක්මන් කළා.

කඳු මුදුනේ එක් කොනක ගිරිකුළු දෙකක් මැදි කරගත් විශාල ගව ගාලක්. හරක් දෙතුන් සියයකින් සමන්විත පට්ටියක් වුව ගාල් කළ හැකි එම ගව ගාල එක් පැත්තකින් පමණක් දඬු වැටකින් ආවරණය කරලා. කඳු පාමුල හොර ගල් අහුලන්න වූ සිවුපාවා අනෙකකු නොව දිවියා බව පැහැදිලි සහගත වූයේ ගව ගාල නිසා. ගවගාල්වල අලුත උපන් වසු පැටියන් ඩැහැගෙන කැලෑ වැදීමට හුරු පුරුදු වූ දිවියකු පිළිබඳව මඟ පෙන්වන්නා වූ මුතු හෙළිදරව් කිරීම් පෙළක් සිදු කළා.

වැඩි වයස් ඇත්තකු නොවූ දිවියා යහන්ගල සීමාවේ හේන් කළ ගොවීන් විසින් පන්නා දමන ලද්දෙක්. සතා මේ සීමාවට පැමිණියාට පසු මිනිසුන්ට මුලිච්චි නොවී සිටීමට වග බලා ගත්තත් වසු පැටියන් සහ කලාතුරකින් කැලෑ වදින එළුවන් පිළිබඳ වගකීම් නිසි ලෙස ඉටු කරනවාලු. කුඩා ප්‍රමාණයේ සිවුපා සතුන් සියල්ලන්ම පාහේ මේ වන විට දිවියාගේ ගොදුරු බවට පත්ව තිබෙනවා.

"රිවස්ටන් කන්දෙ විශේෂත්වය තමයි දෙමළු නැති එක. සුද්දගේ කාලෙ එක තේ මණ්ඩියක් තිබුණා නම් මේ පළාතත් අද වෙද්දි තේ වතුවලින් වැහිලා තියෙයි. කලවම් නොවිච්චි සිංහලයෝ තමයි මේ හරියේ ඉන්නෙ." මඟ පෙන්වන්නා පමණ ඉක්මවාගත් ජාතිවාදියෙක්. සිංහලකම කරපින්නාගත් අයෙක්. "එනසාල් මණ්ඩිවල ශ්‍රමිකයන් ලෙස සේවය කරන්න ආ දෙමළ පිරිස් තලවකැලේ, හැටන් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් මේ පළාත තනිකරම සිංහලයන්ගේ. ඇරත් අපි යක්‍ෂ ගෝත්‍රයේ අය. කලවමක් නැති හොඳම සිංහලයෝ" මුතූ එලෙස පවසන්නේ මේ වන විට රටේ අධිනිශ්චය වූ මතයන් සමඟ මාද එක්කාසු වී ඇතැයි සිතාය.

හරක් ගාල් බලා කියාගෙන කන්දේ නතර වී සිටින පුද්ගලයන් මාස කීපයකට සැරයක් ගම්මානය කරා එන අය. කිතුල් මැද හකුරු සෑදීම, හරක් ගාල් තදාසන්නයේ ඔවුන් සිදු කරන්නේ රාජකාරි දෙකක් එකවර ඉටුකරගත හැකි නිසා.

මස් මාංස හිඟ නැති නිසා ගම්මානය කරා ඔවුන් පැමිණෙන්නේ ලුණු ඇඹුල් සොයා ගන්නට යැයි හේරත් බණ්ඩා පවසා සිටියා. "කෑම බීම තිබුණත් ලෑම නැතිකම ගම්මානයට එන්න එක හේතුවක්" එලෙස පවසා සිටියේ පිරිසේ එක් අයෙක්.

අප හරක් ගාල් අතහැර නැවැතත් ගමන ආරම්භ කළා. නිශ්චිතව අප කඳු මුදුනත වූ පැතලි බිම් කඩකට පැමිණෙමින් සිටින බව තේරුම් ගත හැකි වුණේ් ඉර බැසගෙන යන යුරු දිස් වූ නිසා. කඳු මුදුන් පැතැලි ස්වභාවයක් ගැනීම මෙම ප්‍රදේශයේ භූ විසමතාවේ ප්‍රධාන ලක්‍ෂණයක්. උදාහරණයක් ලෙස අපගේ අවසන් ගමනාන්ත දෙකෙන් එකක් වන ලකේගල ගතහොත් එහි මුදුනත හිස් පිට්ටනියකට සමයි. දෙවැන්න වූ යහන් ගලත් එලෙසයි. පැතලි බිම් කඩ මත මිනිස් පා සටහන් දක්නට නෑ. ඉතිහාසය පුරා මෙම වනාන්තරය තවත් වනාන්තරයක් විසින් ගිලගනු ලැබූ බවට වූ ලකුණු පමණයි එහි දක්නට ලැබෙන්නේ.

"වතුර පාරවල් එක පාරටම ගලාගෙන එන්න ගන්නවා. එහා මෙහා වෙන්න බැරි ගානටත් වතුර එනවා. ලකේගල පැත්තට කොහොමත් වහිනවනෙ. ඒ වතුර පාර තමයි කැලේ මැදින් ගලාගෙන එන්නෙ. මේ කඳු පන්තියෙන් එක කන්දකට දෙකකට හැමදාම වහිනවා. මේ කතාවේ ඇත්ත නැත්ත කපුකෙටූ ගල ළඟදී එකපාර ගල් අතරින් වැටෙන වතුර පාරවලින් ඔයාලටම දැකගන්න පුළුවන්. අනික මේ බිම රාවණාගේ කාලේ වැවක්ලු.

වැවේ නම පතහන් වැව. වැව ඉස්මත්තෙ තිබ්බ ගුහාවේ තමයි රාවණා සීතාව හංගගෙන හිටියා කියන්නෙ. සීතා ඒ ගල් ගුහාවේ ඉඳලා කපු කැටුවාලු. ඒ හින්දලුනෙ මේ ගලට කපුකෙටූ ගල කියන්නෙ. වැව ගොඩවෙලා තියෙන්නෙ රාම කුමාරයා ලකේගලට පහර දෙද්දි කඩාගෙන වැටුණ මහ ගල් කඳන් නිසා. අපි පොඩි කාලෙත් මේ කැලේට ඇවිත් තියෙනවා.

පරිසරය එදා මෙදාතුර කිසිම වෙනසක් වෙලා නෑ. රාවණාට පින් සිද්ධ වෙන්න අපේ තාත්තලා දැක්ක පරිසරය අපිත් දැකලා අපේ දරුවොත් අද දකිනවා" එලෙස පවසා සිටියේ හේරත් බණ්ඩාගේ බෑනා විසින්. දස අත සීතල ගතියක් සහ අඳුරු මූසල ස්වභාවයක් රජයන්ට අරගෙන. ගෝන්නු කෑ ගසන හඬ මිස වෙනත් සතකුගේ හඬක් ඇසෙන්නේවත් නෑ. මේ වන විට සුළඟට එහා මෙහා වෙන තුරු ලතා අතරින් කපුකෙටූ ගල පෙනෙන මානයට අපේ කණ්ඩායම පිවිසෙමින් සිටියා.


ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-28830-news-detail.html




රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන

0

රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන

ගමනාන්තය පිළිබඳ නිරවුල් අදහසක් දැන් මට ඇත. ඒ කපුකෙටූ ගල පෙනෙන්න වූ නිසාය. වෙහෙසකර ගමනක අතිමහත් වූ ප්‍රතිඵලය භෞතික ලෙස ගවේෂණයට අපි සූදානම් වූයෙමු. කපුකෙටූ ගල ලෙස ගැමියන් හඳුන්වන පර්වතය දකුණු දෙසට දළ බෑවුමක් සහිත සැතපුණ එකකි. පර්වතයේ දකුණු බිත්තියේ (ලකේගල සිට බලන කල) විශාල ගුහා දෙකක් ඇතත් එය අන්මානයට අල්ලා ගත නොහැක්කේ ගුහා කටවල් ළැහැබ්වලින් වැසී ඇති නිසාය. කපුකෙටූ ගල පිළිබඳ මධ්‍යස්ථ ප්‍රවාදය කුවේණිය සමඟ සැබැඳි එකකි. එය පිළිගත හැකි හෝ ඉන් ඔබ්බට විශ්වාස කළ නොහැක්කකි. විජය - කුවේණි කතා ප්‍රවෘත්තිය සමඟ අනෙක් පරිසර සාධක ගළපාගත හැකි තැනක නැත. විජය රජු කුවේණිය දුටු මොහොතේ ඇය කපු කටිමින් සිටි බව ඉතිහාස කතාකරු කී නිසා කපුකෙටූ ගලට විජය - කුවේණි කතා පුවත සමපාත කිරීමට යම් උත්සාහයක් පැවැතුණා විය හැකිය. පුරාතන ප්‍රවාදයේදී කපුකෙටූ ගල රාම - රාවණා කතා පුවත සමඟ එක්කාසු වේ. එය පරිසර සාධක සහ මුඛ පරම්පරා ගත කරුණු සමඟ ගළපා ගත හැක්කකි.

රණපුරේ සහ මීමුරේ අතර බිම්කඩ වන ලකේගල යහන් ගල ඇටන්වලය කපුකෙටූ ගල එක් සීමාවකි. අප දැන් වාඩිලා සිටින්නේ එකී සීමාවේය. මඟ පෙන්වන්නා වූ "මුතු" ගම්කාරයාය. ද්විතීයික අධ්‍යාපනයක් තියා හරි හැටි මුල් ළමා විය අධ්‍යාපනයක්වත් නොලද ඔහුට ඉතිහාස කතා පිළිබඳ ඇත්තේ පුදුම සහගත දැනුමකි. ඔහු අත ඇති කුඩා විදුලි පන්දම හැරෙන්නට කිසි දෙයක් නැත. පොතක් පතක් දෙඅතින් අල්ලා කිසි දිනක කියවා නැතැයි කී මුතු කරුණු කාරණා දන්නා සංචාරකයන් පැමිණි පසු ඔවුන් කතා බස් කරනා දෑ ධාරණය කර ගැනීමට තමා වඩ වඩා උත්සාහ ගන්නා බවද පවසා සිටියේය.

මුතුට අනුව ලකේගල, බැලුම්ගල, යහන් ගල සහ කපුකෙටූ ගල කඳු පන්තියේ නිල උරුමක්කාරයෝ යනු ගෝත්‍රිකයෝය. සරලව පවසා සිටියොත් මුතු, හේරත් බණ්ඩා වැනි ගම්කාරයන්.

යක් කියන්නේ යකඩ සංකේතවත් කරන නමක්. ඒ කියන්නේ යකඩ නිෂ්පාදනය කරපු නිර්මාණකරුවෝ. යක් කියන එක නමක් විදියට අයිති සංස්කෘත භාෂාවටලු. ඒකේ තේරුම යක්‍ෂ කියන එක. එතකොට රකුස්් කියලා ජන කොටසක් ගැනත් කියවෙනවා. රකුස් කියන්නේ කුස රැකීමට ගොවිතැන් කළ අයට. යක් සහ රකුස් කියන්නේ එකම මට්ටමේ කුල දෙකක්. කර්මාන්තකරණයේ සහ ගොවිතැනේ නිරත වුණ අය. ඒක පිළිගන්න හේතු ගොඩක් රණමුරේයි මීමුරේයි තියෙනවා. හිතන්න අපහසු නිර්මාණ මේ කඳු මුදුන්වල ඉදි වුණේ ඒ හින්දා. අද බැරි වුණත් අපි යහන් ගලට හරි ලකේගලට හරි නඟිමු. ඒවායේ පඩි පෙළ. රාවණා රජුගේ විමාන නතර කරපු තැන් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. ඒත් ඒවා මම කියන තරම් ලේසි නැහැ. අපිත් යක්‍ෂ පරම්පරාවේ අය වුණත් අපට පාලනය කරන්න බැරි දේවල් මේ නකල්ස් කැලේ සිද්ධ වෙනවා. පොඩි පොදක් ලකේගලට වැටුණට පස්සේ මේ පැත්තට ගඟක් ගලනවා වගේ වතුර ගලාගෙන එනවා. ඒවා මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් කරන දේවල් නෙවෙයි. හැම පර්වතයක්ම මොකක් හරි වෙනසකට ලක් කරලා වතුර අපතේ නොයවා හදලා තියෙන්නේ. දැන් කපුකෙටුව ගල වටේම වතුර ගලනවා. එතැනින්ම වතුර පාරවල් මහ පොළොවට ගිල ගන්නවා. ඒ ගිල ගන්න වතුර පාර උල්පත් විදියට කිලෝමීටර් ගාණකින් මතු වෙනවා. මේක අපට අරුම පුදුම දේවල් වුණාට ඒ කාලේ අපේ මී මුත්තෝ තාක්‍ෂණ දැනුම භාවිත කරලා කරපු දේවල්. කපුකෙටූ ගලේ ගුහාවට මම මගේ ඉසේ කෙස් ගාණට ආවා. ගුහා බිත්තිය පිළිසකර කරලා තියෙන පස් මේ පැත්ත පළාතක නැහැ. ගුහාව ඇතුළේ තාම වී තියෙනවා. උඩ ගුහාව හැම පැත්තටම අගුල් වෙලා. ඒ ගුහාව පැත්තට කවුරුවත් යන්නේ නැහැ.

අනෙක් කාරණේ තමයි මේ තරම් ඉඩකඩ තියෙද්දී ඇයි රාවණා රජ්ජුරුවෝ එයාගේ වාසස්ථාන විදියට කඳු මුදුන් පාවිච්චි කළේ කියන එක. දැන් අපි ඉන්නේ රිවස්ටන් කඳු පන්තියේ එක කොනක උසම සීමාවේ. කඳු පන්තියක උසම සීමාව තවදුරටත් උස නොවී පැතලි විදියට තියෙන්නේ ඇයි. ලකේගල උඩ පැතලි, යහන් ගල පැතලි, බැලුම්ගල පැතලි. කපුකෙටූ ගල පැතලි නැති වුණාට ගලට පල්ලමේ තියෙන මේ අපි ඉන්නා හිරගේ පැතලියි. ස්වාභාවික විදියට ගත්තම ඇත්තටම මේ උස් මුදුන් පැතලි වෙන්න බැහැ. අපේ රාවණා රජ්ජුරුවෝ කඳු පන්තියක් වාසස්ථානය කර ගත්තට පසසේ ඒක පැතලි කළා. අන්න ඒක තමයි රහස.

අපේ ගම් පළාතේ අය කියන විදියට උස් කඳු මුදුන්වල ජීවත් වෙන අයගේ මනස දියුණුලු! තැනිතලාවේදි මනස පොළොව එක්ක ගනුදෙනු කරනවාලු! ඒත් ඉහළට යනකොට මනස ගනුදෙනු කරන්නේ වායුව එක්ක. වායුව පොළොවට වඩා නිරවුල්. දියුණු ශිෂ්ටාචාරයක් හදන්න වායුවයි, පොළොවයි දෙකම ඕනෑ. දැන් මායා ශිෂ්ටාචාරය අපේ රාවණා යුගය දෙකම තියෙන්නේ උස් කඳු මුදුන්වල. අනෙක රාවණා කියන්නේ හැම දේකටම ආධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරපු කෙනෙක්.

ඔහු පවසන ලද දෑ සමඟ ගළපා ගත හැකි කරුණු කීපයක් මා සතුය. එයද උස් කඳු මුදුන් පිළිබඳවය. ගෞතම සිද්ධාර්ථයන් බුද්ධත්වය ලැබුවේ කඳු මුදුනකදී නොවේ. එතුමා බවුන් වැඩුවේ තැනිතලාවකය. නිර්වාණවාබෝධයෙන් පසු පිරිනිවන් පෑම යනු පැවත්ම නැති නම් ඉපදීම අවසන් කිරීමය. එහි ප්‍රතිවිරුද්ධ භාෂය නම් නිර්වාණය නැතහොත් පැවැත්ම නම් මහා ශක්තිය තුළට ගමන් කර නැවැත්ම ඉටුකර ගෙන මරණය ළඟා කර නොගෙන එම ශක්තිය තුළ ගාල් වී සිටීමය. එවිට දියුණු මනසේ ශක්තිය ප්‍රයෝජනයට ගෙන තම අරමුණු ඉටුකර ගත හැකි අතර පැවැත්ම තුළද රැඳී සිටිය හැකිය. එය දර්ශනයක් ලෙස සමපාත වන්නේ හින්දු දහමටය. ඒ අරුතින් රාවණා එවැන්නෙකු විය හැකිය. රාවණා නොමළ බවත් සිදු වූයේ සිහිමූර්ඡා වීම බවත් කියවෙන අතරතුර හිමාලයේ සහ ටිබෙටයේ උස් කඳු මුදුන්වල අද දින වන විටද භාවනායෝගීව වසර ගණනාවක් තිස්සේ බවුන් වඩනා යෝගීන් සිටින බවද කියවේ.

රාවණා රජු පිළිබඳ තවදුරටත් භෞතික සාක්‍ෂි සොයා යන මේ ගමනේදී අප පසු කළ කුමාර කන්ද මාලිගාව, යුදඟනා පිටිය සහ කපුකෙටූ ගල එම කතාවට දිරි දුන් සාක්‍ෂි බොහෝ එක් රැස් කර දුනි. කපුකෙටූ ගල පාමුල සිටි අප අපට ප්‍රථම මෙහි ආ පිරිස් පර්වතය තරණය සඳහා යොදා ගත් කැලෑ වැල් පොට සවි ශක්තිමත් දැයි පිරික්්සුවේ ගල ලිස්සනසුලු නිසා නැවැත කඹයක් හෝ තේඩාවක් යොදා ගැනීමට කිසිදු උපකාරයක් නැතිව ප්‍රථමව අයෙකු ගල තරණය කළ යුතු නිසාය.

ගමන් මඟ පෙන්වන්නා කිසිවක් නොකියා කැලෑ වැල්පොට පිරික්සුවේය. එහි සවිය හීන වී ගොස් ඇති නිසා රැගෙන ආ තේ්ඩාව රැගෙන තමා ප්‍රථමව ගල් ගේ කරා ගොස් කඹය බිමට එවූ පසු දෙවනුව පැමිණෙන්න යැයි ඔහු උපදෙස් ලබා දුන්නේය. එය සැබෑ ලෙසම අභියෝගයක් බාර ගැනීමකි. අභියෝගය තුළ අනතුරක සේයාවක්්ද රැඳී ඇත. මුතු ගල් පොතු, පට්ටා සහ කුස්තූර අල්ලමින් ගලේ ඉහළට නැඟ සකසුරුවම් ලෙස තේඩාව භාවිත කළ හැටි මේ මොහොත වන විටද මා හට මැවී පෙනේ.

අප කපුකෙටූ ගල තරණය කළ අයුරු ලබන සතියේ...

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-30994-news-detail.html






අපි රාවණ රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියලා

0

අපි රාවණ රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියලා


අපි කපුකෙටුගල පාමුලට පැමිණියෙමු. ගල තරණය කර ගුහාව කරා යෑම වඩාත් පහසු කටයුත්තක් නොවේ. ඇදහැලෙනා චුරු චුරු වැස්ස ගල මත පෙඳ පාසි සරුවට වවා නඩත්තු කිරීම එයට හේතුවය.

මම හිතන්නේ ගුහාව රාවණා රජුගේ ආහාර ගබඩාවක් කියල. මොකද අද වුණත් වී ජාති ගොඩක පොතු ගුහාව ඇතුළෙ තියෙනවා. අනික ලකේගලයි - යහන්ගලයි අතරේ තමයි මේ කපුකෙටු ගල තියෙන්නේ. දැන් මේ පළාතේ අපි රාවණා රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියල. ඒ හින්ද ගුහාවට යන්ඩ කලියෙන් බණ්ඩාර දෙයියන්ට කොළ අත්තක් එල්ලමු. එලෙස පැවසූ

මුතු වනයේ යටි රෝපණයෙන් කොළ අත්තක් කඩා ගස් දෙබලක එල්ලා කෙටි මුනු මුනු ගෑමක නිරත වුණේය.


අපට ප්‍රථමව පැමිණි පිරිසක් කපුකෙටු ගල මත ඇති ගුහාව කරා යෑමට උපයෝගී කරගත් වරපට කිහිපයක් කඳු පාමුල සිට ගුහා කට දක්වා ඇදී ගොස් තිබුණද වරපට පාවිච්චියට ගැනීම පිළිබඳ ගැටලු ඇතැයි මුතු පවසා සිටියේය. වරපට වෙනුවට තේඩාව භාවිතයට ගනිමු යැයිද කියූ මුතු කපුකෙටු ගලේ ගල් කුස්තුර සහ කඩතොලු උපකාරී කරගෙන ගුහා කට වෙත ගොස් තේඩාවේ එක කෙළවලක් පහළට හෙළුවේය. දැන් අප කපුකෙටු ගල තරණයේය. ස්ථුල ශරීරයක් ඇති ලියුම්කරුට තේඩාවේ ආධාරයෙන් කපුකෙටු ගල තරණය කිරීම අපහසු දෙයක් වෙතැයි අනාවැකි පළ වුවද එය සැබෑ නොවිණි. කළුගල් කන්දක උස තවදුරටත් මිරිඟුවකි. ඇස් සීමාවට ගල් කන්දක උස තරණය කළ යුතු නොවේ. නියම ප්‍රධාන හේතුව ඇස් මට්ටම සෑම විටකදීම කන්දක උස වසාලන නිසාය. බොහෝ විට සුදු පැහැති පාෂණයක් හෝ කාක ශාකයන් ගල මත වැඩී තිබුණේ නම් උස පිළිබඳ යම් නිවැරැදි මිනුමක් ලබා ගත හැකිය. ගල තරණය කිරීම මැද භාගයේදී අසීරු යැයි යන සිතුවිල්ල මා සිත වෙළා ගත්තද එය තඹයකට මායිම් නොකිරීමට මම ඉටා ගතිමි.

විඳි අපහසුතාව නිමා වූයේ තේඩාව කෙරවල වුණා යැයි උපකල්පනය කළ හැකි ලෙස අතු ඉති රැහැන් අතට අසු වුණාට පසුවයි. සැහැල්ලු සිතින් මම ගුහා කට වෙත පැමිණියෙමි. මට ඉස්සර වූ හේරත් බණ්ඩා, ඔහුගේ බෑනා සහ මුතු මගේ පැමිණීම විරිය ඇති වැඩක් ලෙස සලකා කතා බස් කරන්නට ගත්තේය. ගුහා කට විවෘතව ඇත්තේ මහ වනය දෙසටය. එයට උපමා කළ හැක්කක් නොවේ. මානසික ලෝකයකදී නම් උචිත උපමාව එක්ටැම් ගෙයය.

අර අෑතින් පේන්නේ යහන්ගල. යහන්ගලේ තමයි රාවණා රජුගේ සොහොන තියෙනවා කියන්නේ. එතැන තියෙන පැතලි ගල් පුවරුවක් යට රාවණා රජු මිහිදන් කළා කියනවා. හැබැයි ඒ සොහොන් ගෙට හොඳට වාතාශ්‍රය ලැබෙන විදියට හදල තියෙනවලු! එහෙම නොවුණොත් සිහි නැති වෙලා ඉන්න රාවණා රජුගේ භෞතික ශරීරයට හානි වෙන්න පුළුවන් කියන අදහස තමයි කන්දක් මුදුනේ ඒ වගේ සොහොනක් හදන්න මුල්වෙලා තියෙන්නේ. යහන්ගලට මෙපිටින් රාවණා රජුගේ දඬු මොනර යන්ත්‍රය බස්සපු පැතලි ගල තියෙනවලු! ලොකු පඩිපෙළි පේළියක් එක්ක.

රාවණා රජුගේ කාලයේ විතරක් නෙවෙයි ගිරි දේව පාලන කාලෙත් විමාන එහෙම නැතිනම් අපි හැමෝම දන්න විදියට දඬු මොනර යන්ත්‍ර තිබිල තියෙනවා. දැන් බලන්න ඔයාල අහල තියෙනවද සුමන සමන් දෙයියෝ ගැන. සුමන සමන් කියන්නේ කඳු මුදුනක වාසභවන හදා ගත්ත (මාලිගය) ශක්‍ර පරම්පරාවේ කෙනෙක්. එයා ගමන් බිමන්වලට පාවිච්චි කෙළේ විමානයක්. එයාගේ විමානය පදවපු කෙනා තමයි මාතලී. එතැන මාතලී කියන්නේ මාතලේ දේව පුත්‍රයා කියන අදහසින්. සාහිත්‍යයේ දී අපට මාතලී දිව්‍ය පුත්‍රයා කියල හම්බ වෙන්නෙත් මෙයාම තමයි. වැදගත්ම කතාව ඒක නෙවෙයි. මේ මාතලී දිව්‍ය පුත්‍රයා පදවපු විමානය අන්තිමට තිබිල තියෙන්නේ බළන්ගොඩ බොල්තුඹේ දේවාලයේ අඳුරු කුටියක. ඒ කාලේ බළන්ගොඩ පාලනය කරපු රත්නපුරේ දිසාපතිවරයාට මේ යානය ගැන දැනගන්න ලැබිල දේවාලයට ඇවිත් අවුරුදු සිය ගණනක් වහල දාල තිබුණ අඳුරු කුටිය විවෘත කරලා. එයාට ඕනෑ වෙලා තිබිල තියෙන්නේ ඒ යානය රත්නපුරයට හරි බළන්ගොඩට හරි අරගෙන යන්න. කොහොම හරි මහ වැසි ඇද වැටිල දිසාපති ආපු අශ්වයාගේ පිටින් එයා වැටිල අලින්ගේ පිටේ තමයි රත්නපුරයට ගිහින් තියෙන්නේ. විමානයට මොකද වුණේ කියන එක දැනගන්න බැරි වෙලා තියෙන්නේ දිසාපතිවරයා සතියක් ඇතුළත මැරුණ හින්ද. සුදු පරිපාලන නිලධාරි ලැයිස්තුවේ ඒ වගේ නිලධාරියෙක් ඉඳල මැරිල ගියා කියලා පවා විස්තර තියෙනවා.

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-33729-news-detail.html








කපුකෙටූගල ගුහාවේ කෙළවරේ අභිරහස් උමං පද්ධතියක්

0

කපුකෙටූගල ගුහාවේ කෙළවරේ අභිරහස් උමං පද්ධතියක්

කපුකෙටූ ගල මත ඇති ගුහාව පිළිබඳ කිසිදු මුඛ පරම්පරාගත කියමනක් සොයාගත නොහැකි යැයි හේරත් බණ්ඩාරගේ බෑනා වන අධිකාරි පවසා සිටියේ ගුහා කටෙන් මම අවට පරිසරය විඳිමින් සිටින අතරවාරයේය. ගුහා කට පරිසරය දෙස බලා සිටින විශාල මත්ස්‍යයකු වැන්න. එහි ඇති සුවිශේෂීභාවය වන්නේ ගුහා කටෙන් අවකාශයට පිවිසෙන්නෙත් ගම අවට කඳු පන්ති කිසිදු බාධාවක් නොකිරීමය. යම් අයකු එලෙස පිවිසුණා යැයි උපකල්පනය කළහොත් ඔහුට ඇස් මානයේ අනන්තය කරා වුව යා හැකිය. ස්වාභාවික බාධා කිරීම් කිසිවක් නොමැති මේ ගුහා කට වසාගෙන සිටින්නේ කිනම් යුගයක, කුමන තාක්‍ෂණයක්ද යන්න විසදාගත යුත්තකි.

ගුහාවේ අභ්‍යන්තරය කරා හොඳින් ඉර එළිය පැමිණේ. මතුපිට බිත්තිය මැටිවලින් කපරාරු කළ බවට සාක්‍ෂි තවමත් එහි වේ. හේරත් බණ්ඩා සිටින්නේ සෙවිල්ලේය. ඔහු කළු කුමාර වී සොයා ගත්තේද ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසටය. (කළු කුමාර වී සොයා ගැනීම පිළිබඳ විශේෂාංග ලිපියක් "පාර දිගේ" අතිරේකයේ පළවිණි) තරුණ පිරිස් පැමිණ රාත්‍රි කිහිපයක් ගුහාවේ පහන් කර ඇති බවට සාක්‍ෂිද බොහෝ වේ. ඒවා අතරින් හේරත් බණ්ඩාගේ සියුම් ඉසිඹු ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට සොයා ගැනීමට ලැබුණේ වී ප්‍රභේදයකි. කුරුට්ට පමණක් යැයි අප උපකල්පනය කළද එම වී මදය සහිත යැයි ප්‍රථමව කීවේ අධිකාරිය. පුදුමය නම් දිගු කාලයක් වී සංරක්‍ෂණය වී තිබීමය. ගුහාවට වී පැමිණියේ කෙසේද යන්න විවාදයට තුඩුදිණි. හේරත් බණ්ඩා පවසා සිටියේ කුරුල්ලන් වී ගෙන එන්න ඇතැයි සිතිය නොහැක්කේ මෙතරම් වී ප්‍රමාණයක් රැගෙන ඒම සිදුවී නම් එය අද දවස වන විටත් දීර්ඝකාලීනව සිදුවිය යුත්තක් යන තර්කය සමඟය. මම ඉදිරිපත් කළේ මෙවැනි අදහසකි.

බිත්ති කපරාරුව සඳහා පැරැන්නන් බදාම සකසා ගැනීම සඳහා ධාන්‍ය පොතු යොදා ගත්තා විය නොහැකිද යන්නය. එයට පිළිතුරු නොලැබුණත් හේරත් බණ්ඩා ඇසුවේ එසේ නම් වී පැවැතිය යුත්තේ තවදුරටත් "පොතු" වශයෙන් බවය. එයද පිළිගත යුත්තකි. තර්ක විතර්ක සහ මත දැක්වීම් මධ්‍යයේ හේරත් බණ්ඩා ගුහාවේ ඇති වී එක්කාසු කිරීම ඇරැඹුවේ තවත් අතීතයේ තිබූ වී ප්‍රභේදයකට ජීවය දීමට හැකි පිනක් තමන්ට ලැබේවා යන සිතිවිල්ලෙන් බණ්ඩාර දෙයියන්ට කන්නලව් කරන ගමන්ය.

ලියුම්කරු රැගෙන එනු සිතා වී ස්වල්පයක් කාල නිර්ණය කරගැනීම සඳහා අප පුවත්පතේ පුරාවිද්‍යා විෂය පිළිබඳ නැඹුරුවක් ඇති සඳරැසි සුදුසිංහ සහෝදරියට ලබාදුන් අතර ඇය ඒ සඳහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වූයේ එවැනි පරීක්‍ෂණයක් සඳහා විශාල මුදලක් වැයවෙනවා යැයි බලධාරීන් පවසා සිටි නිසාය. අතීත උරුමය මුදල් මත පදනම් වන සැටි!

ඒ අතරතුර අපි ගුහා බිත්ති නිරීක්‍ෂණය කළෙමු. ගුහා බිත්ති ඝනව කපරාරු කර ඇති බව බැලූ බැල්මට පෙනේ. බිත්තිය පමණක් නොව අප පය ගසා සිටින බිම් කඩද පස් පුරවා සකසා ඇතැයි තේරුම්ගත හැකි වුණේ මුදුන් මුලක් ඇති ශාක කීපයක් ඒ මත මුල් යවා හිරු එළිය සොයා ගුහා කටෙන් පිටතට ශාක පත්‍ර යවා තිබූ නිසාය. ගුහාවේ කෙළවර පැහැදිලි නොවුණත් කෙළවර සිට අෑතට ඇදී යන උමං කටවල් කීපයක් පැහැදිලිවම පෙනෙන්නට තිබූ අතර ඒවා කපු කෙටූ ගල මත ඇති තවත් ගුහාවක් කරා හෝ උමං මාර්ගයක් කරා යොමු වූ ඒවා විය හැකි යැයි හේරත් බණ්ඩා පවසා සිටියේය.


"මහත්තයා දන්නවද අපි මේ ජීවත් වෙන පරිසරය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් නෙවෙයි කියලා? ඒක හරියට දැනගෙන හිටපු උත්තමයා තමයි බණ්ඩාර දෙයියෝ. ඒ කියන්නේ රාවණා රජතුමා. බුදු දහමට අනුව ලෝකයේ ජීවය කියල දෙයක් පහළ වුණේ ඍතුව එළැඹීම එක්ක. ඍතුව කියල කියන්නේ උෂ්ණය සහ තෙත කියන එක. ජෛව විවිධත්වය කියල කියන්නේ ඒ කියන උෂ්ණය හරි තෙත හරි කොයි තරම් හොඳ අතට පිහිටල තියෙනවද කියන එක. ඒ සාධක දෙක එකට ගැළපිලා අවුරුද්ද පුරා එකට පවතිනවා නම් ඒ රටවල් තමයි ජෛව විවිධත්වය වැඩිම රටවල්. ලංකාවෙ දැන් අපි මේ ඉන්නා රිවස්ටන් කඳු පන්තිය ජෛව විවිධත්වය අතින් ගොඩක් ඉහළ තැනක්. ඒත් එක්ක තියෙන වැදගත්ම දේ තමයි ජෛව විවිධත්වයෙන් ඉහළ රටවල් මනුෂ්‍ය වාසයට නොගැළපෙනවා කියන එක. ඒකට හේතුව තමයි ජෛව විවිධත්වය තුරුලතාවලට සත්තුන්ට හිතකර විදියට ගළපලා ඒවායේ වර්ධන වේගය ඉක්මන් කරන එක. දැන් ලංකාවේ ඒ වගේ ස්ථාන එළිපෙහෙළි කළාම මොකද වුණේ කියල පේනවනේ. උදාහරණයකට රිවස්ටන් ගමු. කළුකන්ද පැත්ත එනසාල් වවන්න එළි කළා. අද ඒ හින්ද වර්ෂා රටාව පවා වෙනස් වෙලා. කොංගෝව, ඇමසන් වනාන්තර එළිපෙහෙළි කිරීම්වලින් ඔරොත්තු නොදෙන ප්‍රතිඵල අත්වෙලා තියෙනවා. යුරෝපාකාරයෝ ලංකාවට එද්දි අවශ්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයක් වර්ෂා ජලය අපට ලැබුණා මෝසම් සුළං දෙකෙන්. ඒ කියන්නේ වඩා බලවත් නිරිතදිග මෝසමත් එක්ක තමයි ජලය අපට ලැබෙන්නේ. ඒකට හේතුව ලංකාවට දකුණින් දූපත් හරි ලොකු රටවල් හරි නැති එක. මේ තත්ත්වය තේරුම් ගත්ත පාලකයා තමයි රාවණා රජතුමා. එතුමා කඳු මුදුන්වල පදිංචි වුණේ. උමං මාර්ග ප්‍රවාහනයට යොදා ගත්තේ නුසුදුසු බිමක සුදුසු විදියට ජීවත් වෙන්න ඕනෑ හින්දා."

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-34408-news-detail.html



යහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන

0

යහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන
ගල පාමුල දිය සීරා තෝතැන්නකි. මධ්‍යයේ සිට රූරා එන ජලයගල පාමුලදී කුඩා දිය කඳුරු බවට හැරේ. අසීරු කාර්යය වුණේ ලකේගල වටා ගමන් කිරීම යැයි පැවසුවහොත් එය වඩා නිවැරැදිය. සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක් පාමුල අඟුටුමිට්ටන් බවට පත්ව අපි බලා සිටියෙමු.

"ලකේගල තියෙන්නේ බලන්න බලන්න වෙනස්වන කළු ගලක්. ගල දිහා දැන් බලල අඩි දහයක් ඉස්සරහට ගිහින් ආයේ පාරක් බැලුවොත් තිබ්බ හැඩේ නෙවෙයි තියෙන්නේ. එතකොට ලකේගල ආයේ වෙනස් වෙලා. දැන් අපිට පේන මේ ත්‍රිකෝණාකාර හැඩේ නෙවෙයි ගලේ ඇත්ත පිහිටීම. ඇත්ත පිහිටීම බලන්න අපි ගල උඩට නඟින්න ඕනෑ. ඒකට උත්සාහ කරමු. මේ වගේ ස්වාභාවික මායාවක් තමයි ඒ යුගයේදී යුද්ධ උපක්‍රම වුණේ. වටේම තියෙන්නේ මිනිසුන්ට පය ගහන්න බැරි වනාන්තරය. ස්වාභාවික දිය කඳුරු. එක පාරටම මතු වෙලා ආයේ නොපෙනී යන ලොකු ජල පාරවල්. ඒවගේ දේවල් වට කරගෙන දෘශ්‍ය සීමාවේදී සම්පූර්ණයෙන් හැඩේ වෙනස් වෙන කළුගලක්. මේවා ගළපා ගත්තම අපිට සරල විදියට තේරුම් ගන්න පුළුවන් කරුණු ඉතිහාසයේ මුඛ පරම්පරාව එක්ක සැසඳෙනවා. ඒ කියන්නේ රාවණා උත්තමයා ලකේගල එයාගේ වා-රිය පොළක් නැත්නම් ස්වාභාවික බලකොටුවක් විදියට පාවිච්චි කරල තියෙනවා. යහන්ගල, බැලුම්ගල, ලකේගල මේ පර්වත 3 තමයි රාවණාගේ ප්‍රධාන ක¼දවුරු තුන. බැලුම්ගලේ ඉඳලා බලද්දි ලකේගලේ නියම හැඩය දුරට වුණත් හැඳිනිය හැකියි. යහන්ගල පසුකාලීනව වැදගත් වුණා කියන එකයි මම හිතන්නේ. දැන් අපි සීගිරිය උදාහරණයකට ගනිමු. ඉතිහාසයේ එක් කාලවකවානුවක සීගිරිය රාවණා රජතුමාගේ බලකොටුවක් කියලා තියෙනවානේ. ඒ තර්කත් එක්ක ගත්තොත් පසු කාලීනව සීගිරිය ඇත්තම සිංහල රාජධානියක අග නගරය වුණා. එහෙම වුණේ ස්වාභාවික පරිසරය පරද්දවලා සීගිරි ගල අයහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන
වට ජනාවාස හදාගන්න ඒ මිනිසුන්ට හැකි වුණ නිසා. ඒත් අදටත් ලකේගල අවට ස්වාභාවික පරිසරය ජය ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවද? අඩුම ගාණේ තාක්ෂණය මේ තරම් දියුණු වුණාට රේඩියෝ දුරකතන සංඥාවන් පවා රිවස්ටන් කඳු පන්තියෙන් පහළට ගේන්න බැරි වෙලා තියෙනවා. අපි කොච්චර දියුණුයි කිව්වත් ඇත්තටම එදා මේ හරියේ තිබුණ දියුණු

ශිෂ්ටාචාරය ගාවටවත් අපි ඇවිත් නැහැ" පරිසරයෙන් ම¾ඩිනා ලද දැනුමැති හේරත් බණ්ඩා එලෙස පවසා සිටියේ ලකේගල පෙනෙන සීමාවට පැමිණි පසුවය.

විජයාගමනයෙන් පසුව සඳහන් ඉතිහාසය සහ ඊට පෙර ඉතිහාසය අතර ඇත්තේ විශාල පරස්පරයකි. උදාහරණයක් ලෙස දියුණු ශිෂ්ටාචාරයක් විජයගේ පැමිණීමට පෙර වූයේ නම් එම ශිෂ්ටාචාරය ප්‍රාථමික අවශ්‍යතාවන් ලෙස ගල් ගුහා, ලෙන් පදනම් කරගත්තේ මන්ද යන ප්‍රශ්නය පැන නඟී. එය සාධාරණ ප්‍රශ්නයකි. ගුවන් යානා සහ එයටත් වඩා දියුණු තාක්ෂණයකට හිමිකම් කියන මිනිසුන් පිරිසක් ගුහා සහ ලෙන් සිය මූලික අවශ්‍යතාව ඉටු කරගැනීමේලා භාවිත කරතැයි උපකල්පනය කිරීම වුව කළ නොහැක්කකි. පුරාවිද්‍යා සාක්ෂි අනුව වුව විජයගෙන් පෙර ඉතිහාසය පාදා ගැනීමට තාමත් හැකි වී නැත. නමුත් ඒ නිසා මුඛ පරම්පරාගත කතා පුවත් බැහැර කළ හැකි නොවේ. එයටත් වඩා ශෝකජනක පුවත වන්නේ හෙළ ඉතිහාසය පාදා ගැනීමට ඉංගී්‍රසි ජාතිකයන්ගේ පුරාවිද්‍යාව ඉගෙන ගත් පුරාවිද්‍යාඥයන් උත්සාහ නොගැනීමය.

අප කපු කෙටූ ගලේ සිට ගෙනා වී කුමන කාලවකවානුවකට අයත් දැයි යන්න නොවිමසා සිටින්නේ ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන නිසා යැයි බලධාරීහු පවසා සිටියහ.

උදාහරණයක් ලෙස පෙර සඳහන් කළ පරිදි සීගිරිය ගත හැකිය. සීගිරිය ලෝක පුදුමයන් අතරට පත් වූයේ දැනට දශක කිහිපයකට පෙරය. ඒ නමුත් බැබිලෝනියාවේ එල්ලෙන උයන් එකල සිට ලෝක පුදුමයකි. නමුත් බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඇරැඹියේ අහසින් යන සිංහ මිනිසුන්ගෙන් යැයි එරට පුරාවිද්‍යාව සාක්ෂි ඇතිව ඔප්පු කර ඇත. සිංහ කොඩියේ එන ලෙස කඩුව අතින් ගෙන තුන් පයින් නැඟී සිටින සිංහයා සහිත ලාංඡනය බැබිලෝනියානුවන්ගේද දක්නට ඇත. පසු කාලීනව බැබිලෝනියානුවකු සොයාගත් ලාංඡනයක් වූයේ පියාපත් දෙකක් සහ සිංහ ශරීරයක් සහ මුහුණක් ඇති සත්ත්වයකුගේ රුවකි. ඒ රුවේ පියාපත් දෙක ගුවන් ගමන් ගැන සහ සිංහ ශරීරය පිටතින් පැමිණි අයගෙන් සිදුවූ සේවය පිළිබඳ ඇගැයීමක් යැයි සැලැකේ.

විජයට පෙර ඉතිහාසය පිළිබඳ තවත් සාක්ෂි ඇත්තේය. මාදුරුඔය අමුණේ සොරොව්ව, වෙස්සගිරියේ ඇති ඉබපච ට්චබඥ ලේඛනය, 1818 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ අණ පරිදි පුපුරවා හරින ලද කුඹුක්කන් ඔයේ අමුණ. ලාහුගල හැඩඔයේ ඇති ගල් අමුණ. මේවා බොහෝ සෙයින් සමාන වන්නේ 'ඉන්කා' සහ 'මායා' ශිෂ්ටාචාරවල ගල් අමුණු සහ පාලම් සමඟය. ඊට පරිබාහිරව කතරගම මහසෙන් දේවාලයේ ගල් කණු, මල්වතු ඔයේ ගල් පාලමද එකල පැවැති ශිෂ්ටාචාරයන් අතික්‍රමණය කළ නිපැයුම් ලෙස හඳුන්වා දිය හැක්කේය. මෙම න්‍යායික දැනුම ප්‍රායෝගිකත්වය තුළින් අත්දැකීම සඳහා ලියුම්කරු වෙස්සගිරිය සහ හැඩඔයේ ඇති ගල් අමුණ සොයා ගිය බවද පැවැසිය යුත්තකි.

අප පැරැණි රණමුරේගම දිසාවට විරුද්ධ අතින් ලකේගල තරණය කර යා යුතු යැයි කීවේ මඟපෙන්වන්නා වූ මුතූය. එය වඩාත් භයානක යැයි පවසා සිටි හේරත් බණ්ඩා මීමුරේ මිනිසුන් පැමිණ පිරිත් කියන්නට ලකේගලට නඟිනා මාර්ගය උපයෝගී කර ගනිමු යැයි පවසා සිටියේ හේරත් බණ්ඩාය. තරුණ මදයෙන් පරිපූර්ණ මුතූට වඩා අත්දැකීම් ඇති හේරත් බණ්ඩාට ඉඩදිය යුතු යැයි සිතූ මම ඔහුට පෙරමුණ ගන්න යැයි පවසා සිටියෙමි. එය මුතූගේ සිත් නොගත්තක් විය. ලකේගල අවට කිසිදු කුඩා පර්වතයක් නැත්තේය. එහි සමාන කළ හැක්කේ අතුපතර විහිදී ගිය විශාල රුක් සෙවණක් යට වෙනත් විශාල ශාක නොමැති තත්ත්වයකටය. ලකේගලින් කඩා වැටුණු ගල් එක් කොනක පමණක් විසිර තිබීම මේ අනුව සත්‍යයක් විය හැකි යැයි උපකල්පනය කළෙමි. ලකේගල කරා ආසන්න වත්ම අවදානමෙන් ම¾ඩිනා ලද සහේතුක බියක් හිත පත්ලේ පැලපැදියම් වී ඇතැයි සිතුණ වාරද අනන්තය.

ගල තරණය සඳහා අවශ්‍ය වෙතැයි සිතිය හැකි උපකරණ අතරින් අප අත ඇත්තේ කපුකෙටූ ගල තරණයේ ලා සහාය දුන් තේඩාව පමණි. චුරු, චුරු වැස්සද කඩින් කඩ කඩා හැලේ. වේලාව දහවල් එකට ආසන්නය. පරිසරය පැය කටුව පරාජය කර පැය ගණනක් ගෙවී ගොස් බව සිතේ. "පළමුවැනිපාර ඔහොම තමයි. යං පුතා" හේරත් බණ්ඩා දිරි ලබා දුන්නේ සැබෑ වැඩිහිටියකු ලෙසය. "වැස්සට යට වුණොත් අපි පරාදයි. මොකද ඕක නතරවෙන වැස්සක් නෙවෙයි. ඉක්මනට කන්ද නඟිමු. හැබැයි හරියට තෙමෙන්න වෙන්නේ ලකේගල උඩදි." එලෙස පැවැසූ මුතූ හේරත් බණ්ඩාගේ ස්ථානය පැහැරගත්තේ තේඩාවද ඔහු සතුකර ගනිමිනි. වැස්ස නිසා කැමරාව ක්‍රියාකරවිය නොහැකිය. ක්‍රියා කළ නොහැකි කැමරාව වැස්සෙන් ආරක්ෂා කර ගැනීමද කළ නොහැක්කකි. කළ යුතු දේ රැගෙන ආ උපකරණ සුරක්ෂිත කර ලකේගල තැබීම බව කී හේරත් බණ්ඩා හැකිනම් කැමැතිනම් අමුඩ කෙටියකින් සැරැසී සැහැල්ලු වන්න යැයිද උපදෙස් ලබා දුන්නේය.

ලබන සතියේ ලකේගලේ සිට අවට බලමු

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම -  http://www.mawbima.lk/55-37154-news-detail.html









ලෝකෙ අයට රිවස්ටන් ගම්මුන් හට රිවස්-ටර්න්

0
ලෝකෙ අයට රිවස්ටන් ගම්මුන් හට රිවස්-ටර්න්

සුදු ගඟට ඇදෙන දිය කඩිත්ත ගාවදී හමුවුණු බෝධා මාමා හිටියේ හරි කේන්තියකින්. පුතා අඳේට ගත්ත හේන් කෑල්ලේ ගම්මිරිස් වැල් ඉන්දවන්න ගිහින් එන ගමන් තමයි බෝධා මාමා අපිට හමුවුණේ. උපන්තේකට රණමුරේගමින් පිට ගිහින් දවසක් ඉඳල නැති බෝධා මාමා එනසාල් වවපු ගොවියෙක්. ඒ මදිවාට අක් වැසි ගැන විශ්වාසය තියල රණමුරේට හාවුණ රිවස්ටන් රක්‍ෂිතයේ හේන් කරපු එකත් උපන් දවසේ ඉඳල බෝධා මාමගේ පරම්පරාවේ උදවිය කරල තියෙනවා. කඳු පන්තියක හේනක් කරනවා කියන එක සමතලා බිමක හේනක් කරනවා කියන එකට වඩා අසීරු කටයුත්තක්ලු!

බෝධා මාමා මුලින්ම කතා කරන්න ගත්තේ ගැමි වහරින්. ඒ මෙන්න මේ විදියට.
කුලේ නැඟල අපි කවදාවත් දිය ලණුවක්වත් බුරුල් කළේ නැහැ. ඒ මොකද අපි එහෙම කරන්න පටන් ගත්ත නම් අද වෙද්දී මේ මහ හිමේ අතුරුදන් වෙලා. අක්වැස්ස අල්ලල පහළ හීන්නේ තමයි අපි අතුල් වැටි, පෙඳ වැටි, දඬු වැටි දාල බිජු වැව්වේ. මූකලානට අත නොතියා කනක මඩවපල්ලා කියල තමයි අපේ කිරිඅත්තල, හීං අත්තල කියල දුන්නේ. අක්වැස්ස අල්ලල දාගත්තම ඉස්සරේ කඩාගෙන කවුරුත් ඉස්සර වුණේ නැහැ. ඒ හින්ද මල ඇළවල් ඔහේ ගලාගෙන ගියා. සත්තුන්ට නිදහසේ ඉන්න ඕනෑ කරන බිම් ප්‍රමාණය නිදහස් වුණා.

බෝධා මාමා එහෙම කතා කරන එක තේරුම් ගැනීම පිළිබඳ තරගයක් බවට පත්වන බව දැක්ක රණමුරේගම තරුණයෙක් දන්න විදියට කතාව සරල කරන්න කියල බෝධා මාමට යෝජනා කළා. සරලකම කියන්නේ ජනවහර අතහැර කතා කිරීම නෙවෙයි කියල දන්නව වුණත් ඒ යෝජනාවට අපට කැමැති වීමටයි සිදුවුණේ. බෝධා මාමගේ කතාවට මගේ හිත ඇදිල ගියත් එය දිගින් දිගට නඩත්තු කළ නොහැක්කක්. අතරතුරදී දරු මුනුපුරෝ එහෙම ඉන්නවද කියල මම බෝධා මාමාගෙන් ඇහැව්වා. ඒ ජනවහරින් පිට පනින්න හිතාගෙන.

මොකෝ නැත්තේ. එවුනුත් දැන් අනාථයි. මගේ පුතා අද වෙද්දී රජයේ රස්සාවක් කරන කෙනෙක්. ඒ හින්දා අපි ඔළුව ගහගෙන ඉන්නවා. නැත්නම් අමාරුයි. ඉස්සර අපි හේන් කරද්දී අර මහත්වරු මේ මහත්තුරු කරදර කළේ නැහැ. අපිම හේන කපල සුද්ද කළා. අලින්ට, සත්තුන්ට ඉන්න කෑල්ල වෙන් කළා. පොඩි සත්තුන්ට ඉන්න ඇරපු කෑල්ල වෙනම තනි කළා. කවුරුත් තණ්හාව මුල්කරගෙන හේන් කළේ නැහැ. හැමෝම හේන් කළේ බඩගින්දර නිවාගන්න. ඒ විදියට බඩගින්දර නිවාගන්න හේන් කරද්දී ගෙයක් දොරක් හදාගන්න කළුපහන පැත්තේ එනසාල් වවන එක කළා. ඒත් ඇත්ත කාරණය තමයි අපි වැඩිපුර මහන්සි වුණේ රිවස්ටන්වල හේන් කරන්න. හේන කියන්නේ අපේ ජාතික දායාදයක්. හේන් කිරිල්ල හින්ද මොනම විදියකවත් පරිසර විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. හේන කොටද්දී මහ ගස් බේරෙනවා. මහ ගස් උඩ තමයි අපි පැල්කොටේ හැදුවේ. කැට මැස්ස හැදුවෙත් හයිය හත්තිය තියෙන ගස් දෙක තුනක් මැදි කරල. එතකොට දුම්මැස්ස හදන්න එක ගලක් පිටින් ගෙනාවේ නැහැ. තියෙන ගල් ගලවලා ගත්තෙත් නැහැ. දඬු වැටිය ගැහැව්වේ හින්න කෑල්ලේ කියන ගල්වලින්.

එතකොට සෝදාපාලුව අඩුවුණා. හිටෙව්වේ මිරිස්, කුරහන්, මෙනේරි, බටු වගේ දේවල්. ඒවා හිටවන්න කලියෙන් කැලේ සුද්ධ කරල ගිනි තිබ්බට පස්සේ මොනම දෙයක්වත් හිටවන්නේ නැතිව පොඩි කෑල්ලක් අතඇරල දැම්ම. ඒ කෑල්ල අතඇරියේ ගින්නට පස්සේ ඉබේ හැදෙන බෝගවලට. ඒ කියන්නේ තුඹ කරවිල, අඟුණකොළ, එක එක අල ජාතිවලට. ගින්දර එක්ක පිච්චුන පොළොවේ විතරයි ඒවා සරුවට හැදුණේ. ඊට පස්සේ ඒ කෑල්ලේ පණුවෝ, ගැඩවිල්ලු හැදෙන්න ගන්නවා. ඒ සත්තු කන්න තව පොඩි පොඩි සත්තු එද්දී ඒ කෑල්ලෙ පොඩි මානා කැලයක් හැදිල. ඒ කැලේ ඇතුළේ හාවෝ, ඉත්තෑවෝ ඇවිත් පැලපදියම් වෙනවා. ඔය විදියට තමයි හේන් කෑල්ල හැදුණේ. හේන් දෙකක් අතර අපි තව හේන් දෙක තුනක් කරන්න පුළුවන් ඉඩකඩ වෙන්කර ගත්ත. ඒ තරමක් ලොකු සත්තුන්ට ඉන්න. අපි ඉඳල හිටල විශේෂ කෑමක් ගන්නවා වගේ අලි ඇත්තු අපි වවන දේවල් කන්න ප්‍රිය කරනවා. ඒක දන්න හින්ද අපේ අය නවදැලි හේන් ටිකක් කැලේ ඉහළ තෙරවලට වෙන්න අත ඇරල දානවා. එතකොට වෙන්නේ අලි ඇත්තු එන එක ඒ සීමාවේදී බාල වෙනවා. ඒක නවදැලි හේන අතඅරින්න බලාගෙන කරන්නේ කයියට. ඒක තමයි ආරක්‍ෂක වළල්ල. එහෙම කළාම අලිය කවදාවත් ගම්වදින්නේ නැහැ. දැන් මේ අපි ඉන්න ඇළ සීමාවට අවුරුදු 30-40කින් අලි ඇවිත් නැහැ.

තද පෑවිල්ලක් ඇල්ලුවොත් කඩාගෙන බිඳගෙන එන අලි රෑන වතුර බිව්වා පිටවෙලා ගියා. ආයේ රැඳෙන්නේ නැහැ. හැමදේම අපි කළේ පරිසරය එක්ක ගැළපිලා. පරිසරය වෙනස් කරගෙන කිසි දෙයක් කළේ නැහැ. රිවස්ටන් කන්දේ තමයි නිදහසේ ඉන්න අලි ඇත්තු වැඩි ගණනක් ඉන්නේ. ඒත් අලි-මිනිස් ගැටුමක් නැත්තටම නැති පළාත තමයි රිවස්ටන්. මොකද අපි පාරම්පරික විදියට හේන් කරද්දී අලින්ගේ පරම්පරාවත් අපි කරන දේවල් මොනවද කියල දැනගෙන හිටියා. මහ කැලේදී මූණට මූණ මුලිච්චි වුණොත් අලිය මනුස්සයව මඟඇරල යනවා මිස කරදර කරන්න එන්නේ නැහැ. මොකද අලි දන්නව අපෙන් ඒ අයට තර්ජනයක් නැහැ කියල. තර්ජනයක් තිබුණා නම් අලි නිකන් ඉන්නෙ නැහැ. ඒ අයගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරනවා. අලි-මිනිස් ගැටුම කියල එකක් තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි නීතියට කොටු නොවී පාරම්පරික හේන් ගොවිතැන කරන්න ඉඩ ලබාදෙන එක. ඒක විතර උත්තරයක් ආයේ නැහැ. මේ මහ කැලේ ආරක්‍ෂා කළේ අපේ අය.

එහෙම කැලේ ආරක්‍ෂා කළේ අපේ අයගේ ජීවිත කැලේ එක්ක බැඳිල තිබුණ හින්ද. දැන් කැලේ අපෙන් උදුරාගෙන මුළු ලෝකයටම භාර දීලා. අපේ පරම්පරාව කැලේ ආරක්‍ෂා කළේ නැත්නම් අද වෙද්දී ලෝකයාට භාර දෙන්න තරම් උරුමයක් රැඳෙන්නේ නැහැ.

ඒ විදියට කතා කළේ බෝධා මාමායි තවත් ගමේ තරුණ ගැටයකුයි. කතාව අතරතුර වෙහෙස නිවාගන්නත් එක්ක බෝධා මාමා කවි පද කීපයක් කියන්න ගත්තා. කවි ටික අහල ඉවර වුණාම තමයි මට හිතුණේ බෝධා මාමා වගේ මිනිස්සු තමන්ගේ දුක, දුකට හේතුව නැතිකර ගන්න රස භාවයන් අවදිකර ගන්න උත්සාහ කරන බව.

බෝධා මාමගේ ඒ කවි පන්තිය මම ලියන්න කියල ගත්ත සම්පූර්ණ කතා ප්‍රවෘත්තියම රසමසවුලක් එක්ක ලැබුණු අවුල් පතකට සමාන කළ හැකියි. රණමුරේගම ඉඳල රිවස්ටන් සීමාව ලකුණු වන තැන තමයි ගාල්ලේ ඉඳල රණමුරේ ආපු මහින්ද අයියගෙයි, අපි රණමුරේ ගැන ලිව්ව ලිපි මීට කලියෙන් කියවල පාරිසරික ගොවිතැන ගැන පැහැදිල මෙහෙ ආව ඩයස් අයියගෙයි හේන් තියෙන්නේ. ඒ හේනේ තමයි ගම සීමාව. එතැනින් එහාට නකල්ස් අධිරක්‍ෂිතය. ගමේ අන්තිම හේනේ සාඩම්බර අයිතිකරුවා විදියට මහින්ද අයිය අපට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

මම මගේ හේනෙන් පිටට කැත්තක්, උදැල්ලක් අරගෙන යන්නේ නැහැ. එහෙම ගියොත් රුපියල් 10,000ක දඩයක් කන්න බලාගෙන තමයි යන්න වෙන්නේ. මොකටද අපි නිකරුණේ ආණ්ඩුව පෝසත් කරන්නේ. එහෙම වුවමනාවක් අපිට තියෙන්න ඇහැක්යැ. අනෙක අපි දන්න කාලේ ඉඳල මේ රිවස්ටන් කන්දේ මහ කැලේ ඇතුළේ හේන් කළා. කළුපහන පැත්තේ, ඇටැන්වල පැත්තේ, ඉලුක්කුඹුර පැත්තේ හේන් කළා. ආණ්ඩුව කළේ එකපාරම රිවස්ටන් අධි රක්‍ෂිතයක් කරපු එක. ඔය කොයි කවුරු දන්නේ නැති වුණත් ඇත්ත කතාව තමයි හේන කියන එක කැලේට, සත්තුන්ට, මිනිසුන්ට සම්පතක්. කළුපහන හරියේ තිබ්බ එනසාල් මණ්ඩි ඇපේට අරගෙන තමයි ආණ්ඩුව මේ අපරාදෙ කළේ. ඒ කියන්නේ කළුපහනේ එනසාල් ඒ කාලේ අපි රට පැටෙව්ව. ඉන්දියාවෙන් එනසාල් ගේන එක ලාභ වැඩක්. ඒක දැනගත්ත අපේ උදවිය කළුපහන හින්ද නකල්ස් රක්‍ෂිතයට පරිසර හානි වෙනවා කියල මේක අධිරක්‍ෂිතයක් කළා. ඒකෙන් වුණෙත් අපිට හේනක් කරගන්න බිම්කඩක් නැති වුණු එක. පාරම්පරිකව හේන් කරපු මිනිසුන්ට ඒ වගේ විපතක් වුණාම මොනව කරන්නද? ඒ මිනිස්සු දන්න එකම රස්සාව ගොවිතැන.

හැමෝටම මඩ ඉඩම් නැහැ. තිබුණත් ඒ අයත් හේන් කිරිල්ල කරනවා. මේ ප්‍රශ්නය හින්ද අපේ පළාත්වල අම්ම මුත්ත කාලෙදිවත් අහල නැති දේවල් සිද්ධ වෙනවා. ගෑනු රට රාජ්‍යවල යනවා. මිනිස්සු බීල බීල නැති වෙලා යනවා. පොඩි දරුවෝ අනාථ වෙනවා. දරුවන්ට උගන්වන්න බැරිව මවුපියන් ළත වෙනවා. ඒ දැනට වෙන දේවල්. මේ විදියට තව අවුරුදු 3-4ක් ගියොත් මුළු රණමුරේගමම අධිරක්‍ෂිතයටම භාරදීලා අපිට මාතලේට, දඹුල්ලට යන්න වෙන්නේ. මේ පැත්තේ මම විතරයි පිටින් ආපු මනුස්සයෙක්ට ඉන්නේ. අනෙක් අය ගම්කාරායෝ. ඒ මිනිස්සු ගැන මම දන්නවා. ඇත්තටම පව්. තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙන්න බැරි නිසා ඒ මිනිස්සු පුදුම විදියට දුක් ජීවිතයක් ගෙවන්නේ. මේ පළාත අධිරක්‍ෂිතයක් කරල දැනට අවුරුදු 6-7ක් ඇති. එදා ඉඳල මිනිස්සු ඉන්නේ දුකින්.

රණමුරේ උදවිය නෑකම් කියන්නේ හෙළ යක්ක පරම්පරාවට. කුල, ගෝත්‍ර ගැන වුණත් ඒ අය සාමාන්‍ය මිනිසුන්ට වඩා උනන්දුවක් දක්වනවා. ඒ තමයි  පාරම්පරික උරුමය ගැන ඒ අයට තිබුණු අදහස. අද වන විට වුණත් මොන බාධක, දුක්කම්කටොලු මැද්දේ හේනට, කුඹුරට රසායනික පොහොර නොදාන මිනිස්සු මේ රණමුරේගම ඉන්නවා. ඒ වගේම තමයි කෙම් ක්‍රම, පහන් ක්‍රම සහ සිරිත්-විරිත් එක්ක මේ උදවිය බැඳිල ඉන්නේ.

අවසර ආයුබෝ වේවා! මේ කප පවතින තේකට ඉරු දෙවියෝ, සඳු දෙවියෝ වැඩ සිටින සේක්වා. දඹුලුගල පවතින තේකට වරම් ලබා ශ්‍රී  විෂ්ණු උන්නාන්සේගේ ශ්‍රී  හස්තයෙන් මේ කපට පහළවී වදාළ වැව් බැදි රාජ්ජයට බැල්ම හෙළන අපේ අයියනායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අණසකට පවතින ලන්ද, වැවට, වෙලට, ගම් මණ්ඩියට....... යන ලෙස දෙවියන්ගෙන් අවසර ගෙන ආරක්‍ෂා කරන ගොවිතැන දෙවියන් උදෙසා භාර වීම්, පඬුරු බැදීම්, පොල්ගොබ බැඳීම්, කෙසෙල් පට්ට බැඳීම් ආදිය අනුගමනය කිරීම මඟින් දුරදිග යනවා. මීට අමතරව හේන ගිනි තැබීමේදීත් ඔවුන් අනුගමනය කරන්නේ අපූර්ව චාරිත්‍රයක්. ඔවුන් පණ නැති වස්තු දෙස බැලුවේ අපූර්ව අදහසකින්. මෙවැනි මිනිසුන් රටකට අවාසනාවක් නොවන බව දැන දැනම කුමන හෝ අදිසි හස්තයක් අද වන විට රිවස්ටන් කඳු පන්තියේ පාලනය භාර ගෙන ඇතැයි කිව යුතුයි. කෙසේ වෙතත් රාවණ මහ රජු බණ්ඩාර දෙවියන් ලෙස තමන් ආරක්‍ෂා කරන බවත්, වරදට දඬුවම් දීමට බණ්ඩාර දෙවි පසුබට නොවන බවත් ඔවුන්ගේ හෘද සාක්‍ෂියේ කොටසක තැම්පත්ව ඇති සිතිවිල්ලක්.

රාවණ රජු මියැදුණේ නැතැයි බොහෝ දෙනා පවසා සිටියද රණමුරේගම බණ්ඩාර දේවාලයේ මරණයෙන්  පසු මනු ලොව විමානගතව දේවත්වයට  පත්ව තම පරම්පරාවේ ඇත්තන්ගේ ආරක්ෂාව පතා බැලුම් හෙළන බව ගම්මුන් අතර පොදු විශ්වාසයක් පවතියි.
 

රණමුරේදී  බණ්ඩාර දෙවියන් ලෙස  නම් ලබන රාවණා රජු, ගඟේ බණ්ඩාර  බ්‍රාහ්මණ බණ්ඩාර, සෙල්ලම් බණ්ඩාර ආදි නම්  හතකින් පෙනී සිටිමින් තම යක්ක රැහේ ඇත්තන්ගේ දුකට පිහිට වන බව,  හේන කුඹුර සරු කරන බව ගම්මුන්ගේ විශ්වාසයයි. එහෙව් රාවණ රජුට  තවදුරටත් තමන්ව ආරක්ෂා කරන්න යැයි පැවැසීම හේන කුඹුර සරු කර දෙන්න යැයි පැවැසීම මෙම යක්කමේ ප්‍රමුඛ කටයුත්ත වේ.

අලුත් අවුරුදු  චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව ගමේ දේවාලයේ කපු මහතා හමුවන ගැමියෝ යක්කම සඳහා ඔහුට ආරාධනා කළහ. දෝලාව සැකසීම, යක්ගෙය සැකසීම, තුන්බලේ ඇදීම (දඩයම සාර්ථක කර ගැනීම සඳහා කරන ඉල්ලීම) මැස්ස  (විවිධ දෙවිවරුන් හට අයත් ආයුධ තැබීම සඳහා) හා තොරණ (සමයං දීම මෙහි සිදු කරයි) සාදන අතර පසුව නියම කරගත් පරිදි බණ්ඩාර දෙවියන් උදෙසා යක්කම පැවැත්වේ.

නැකැත පෙර කපුමහතාට පංචතූර්ය නාද මැද පෙරහරින් පත්තිනි සලඹ හා ආයුධ නානුමුර මංගල්‍යයට ගලා යන  පිරිසුදු දිය කඩක් වෙත ගෙන යයි. පසුව නැවැත පැමිණ යක්ගෙය තුළ  ආයුධ තැන්පත් කරනු ලබයි. ඉන්පසුව  ඇරුඹෙන්නේ් කඩ වැසුම් කවි ගායනය. කපුමහත්වරු  බණ්ඩාර දෙවියන්ට ආරාධනා කර  ලෙඩ දුක්, රෝග බිය ආදී අනේක විධ උපද්‍රවවලින්  ආරක්ෂා කර දෙන ලෙස කන්නලව් කරයි. ඉන්පසුව  බණ්ඩාර දෙවියන්  ප්‍රධානව තවත් දෙවිවරුන් මායම් කරයි. ඉන්පසුව එළැඹෙන්නේ යකුන් මායම්  කිරීමය. සිරි යකුන්, කඩවර, මංගර, මල්වඩම් උන්නැහේ, කන්දේකුමාරි කිරි අම්මා, හදුන්කිරි අම්මා, කුකුළාපොළ කිරි අම්මා, වලානේ ලොකු ආදී යක්ෂ යක්ෂණියෝ 17ක් මෙලෙස මායම් කෙරේ.
 

ඉන්පසු සමයං අරී. සමයං  ඇරීම යනු එක් එක් අරමුණුවල  පැවැති ජනී ජනයාගේ අදහස් මුදුන් පැමිණෙන බවට හා එසේ  වන ලෙසට දෙවියන් වෙත භාර කිරීමය. යක්කම සමාප්ත වන්නේ තොරණ හා තුන්බලේ කඩා දැමීමෙනි.

රාවණා රැහේ පරපුර රට ගොඩ     නැව්ව
තුන් සිංහලේ දිව අදටත් රස     පෙව්ව
යුග යුග ගණනකදී දන දන කුස     නිව්ව
කුරහං මලක්වත් නෑ දැන් ගම්     සතුව

අක්වැහි වහින කොට ඇට ඇටි හිටු     වාන
මහවැහි වහින කොට කුරහං වපු     රාන
අඹු දරු රැකෙන මගේ දඬු පැල අහු     රාන
සීතල දුරුතු මහ පැල් කවි මිහි     රාන

සා මුව ගෝන දළ ඇත්දද කෑ     හේන
මා පමණක්ද ගිරවුන්ටත් දුන්     දාන
ඇරුණම හේන වන සතුනගෙ රජ     දාන
පාලුයි ස්වාමිනි වනයක් නැති     හේන

කුරහන් සාටකේ පලඳින     මැතිඳුන්ට
අවනඩුවක්ය මෙය කවිකර     පවසන්ට
නැණ සිත් බලා හැකිනම් මෙය     විසඳන්ට
මහා පාරමිතාවක් වෙයි මතු බුදු     වෙන්ට

අගනුවරට වෙලා විදුවන්     සැතපිච්ච
තුන්කල් දුටුව ගැමි ඥානෙට     හිනැහිච්ච
පරිසර වරදකට ලෝකෙම ණය     වෙච්ච
සාපය මෙයයි මගෙ හේනට වින     වෙච්ච

කතාව - පින්තූර
ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/56-42294-news-detail.html





රාවණ රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්

0
රාවණ රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්

 

රිවස්ටන් කඳු පන්තියේ ලොකු සහෝදරයා විදියට අපිට ලකේගල හඳුන්වන්න පුළුවන්. ලකේගල සීමාව මූලිකව හිගත්ගල, බැලුම්ගල කියන අනෙක් කුඩා සහෝදරයන් දෙදෙනා සමඟ බැඳිල තියෙනවා. හැබැයි ඒ කිව්ව පර්වත දෙක තියෙන්නේ රිවස්ටර්න්වලින් බාහිරව. දැන් අපි ඉන්න මේ ගල උඩ ගෙදර තමයි මේ කියන පර්වත 3ට මධ්‍යය වෙලා තියෙන්නේ. මෙතැන ඉඳලා බලද්දි රිවස්ටන් කඳු වළල්ලයි ඒ කඳු වළල්ලට නෑකම් කියන අනෙක් අවශේෂ කඳු පන්තියි පැහැදිලි විදියට දර්ශනය වෙනවා.

හැදිලි විදියට දර්ශනය වෙනවා කියන වචනය තමයි අතිශයින්ම වැදගත්. මොකද හෙළ ඉතිහාසය; එහෙම නැත්නම් ඒ ඉතිහාසයේ මහා පුරුෂ රාවණ උත්තමයා ගැන අපිට කතා කරන්න බැහැ යම් පැහැදිලි කිරීමක් ඉතිහාසයෙන් හොයා ගත්තේ නැත්නම්. ඒ සොයා ගැනීම න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව එකවර කළ යුතුයි. ඒකයි පැහැදිලිව දර්ශනය වන පරිසර පද්ධතියන් අවශ්‍ය වෙන්නේ. ලකේගල කඳු මුදුනේ හත් අටසියයකට ඉන්න පුළුවන්. බැලුම්ගල සීමාවේදී ලංකාවේ හතරදිග් භාගයම පැහැදිලිව නරඹන්න පුළුවන්. හරියට මම ගල උඩ හදාපු මේ ගෙදර ඉඳගෙන රිවස්ටර්න් කඳු වළල්ල නරඹනවා වගේ. අදටත් ලකේගල පාමුලදී එකපාර දිය පාරවල් අතුරුදන් වෙනවා. කිසිම හේතුවක් සොයාගන්න බැරිව ආයෙත් නව මං උපද්දවා ගන්නවා. මේවා එකක්වත් අහම්බ නෙවෙයි. නොසිදුවීම් නෙවෙයි. ඒවා හැම දෙයක්ම නිශ්චිත සිදුවීම්. රාවණ ගැන හොයන කෙනෙක් තම ශක්ති ප්‍රමාණයෙන් රාවණව පරාද කරපු ජීවිතයක් තුළ ඉන්න ඕනෑ. අන්න එතකොට තමයි ඒ පුද්ගලයාට නිවැරැදි රාවණ හමු වන්නේ. ඉතිහාසය පුරා ඉන්න රාවණා නෙවෙයි ඇත්ත රාවණ. ඒ රාවණ ඉන්දීය දේශපාලනික කුමන්ත්‍රණකරුවන්ගේ ඩමියක්.

වාල්මිකී කියන්නේ සීතා දේවියගේ පතිවත සිඳූ කෙනා. සීතා දේවියව කොටුකරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ වාල්මිකී රාමායණය ලියනවා. ඒ ලියන්නේ තමන් එක්ක නිදිවදින අනුන්ගේ ගෑනියෙක්ගේ පතිවත ගැන මහා කාරණා ගොඩක් කියන්න. එහෙම කරුණු අපිට ඉතිහාසයේ පැහැදිලිව දර්ශනය නොවුණොත් සොයාගත නොහැකියි.

ගල උඩ නිවාසේ දේශන අංක දෙකෙහි එන නිවෙසක් සනිටුහන් කිරීමට අප උත්සාහ ගත්තා. ඒ වෙන කිසිදු කරුණක් නිසා නෙවෙයි අඳුර පරාජය කිරීම සඳහා ලකලැහැස්ති විය යුතු නිසා. අඳුර බිඳින්ට අවශ්‍ය ආලෝකය ගින්දර මඟින් ලබාගත හැකියි. නමුත් ගල උඩ නිවෙසේ හිමිකරු ලී කොට දහනය කිරීම පිළිබඳ රුචිකත්වයක් දක්වන්නේ අල්ප වශයෙන්. එම අල්පය ප්‍රායෝගිකව ගත් අප ගල දිගේ සිහින් උණුසුමක් නිවෙසට ලැබෙන ආකාරයේ ගිනිමැලයක් සකසා ගත්තා. ගිනිමැලය සැකසුණේ සුළං දිසා දර්ශකයට සමගාමීව. රිවස්ටර්න් කඳු පන්තියේ සුළං හැමීම නිවැරැදිව එකම දිශාවකට පමණක් සිදු වෙන්නේ. කඳු මුදුනේ සහ මුවාවත් නිසා යම් පක්‍ෂියෙක් සුළං ආධාරයෙන් පියඹා යන්නේද ඔහු ස්වභාවිකවම එහි සුළං ධාරාවක් අනුකරණය කිරීම ස්වභාව ධර්මයාට පටහැනි නොවන්නක්. අත්තටු විහිද යන්න උකුස්සෙක් තමන්ගේ ජවයෙන් අංශුමාත්‍රයක් වැය නොකර මුළු රිවස්ටර්න් කඳු පන්තියේම පියාඹන්නේ ඒ සුළං ධාරා නිසා. එසේ නම් එය විමානවලට බල නොපාන කරුණක් විය නොහැකියි. රාවණ රජුගේ විමාන එහෙම නැත්නම් දඬුමොනර යන්ත්‍ර අඩු ජවයකින් අහසට නඟින්නේ මේ රිවස්ටර්න් කඳු පන්තියේ ස්වභාවික ශක්තිය උපයෝගි කරගෙන. ස්වභාවික ශක්තිය තව තවත් දියුණු කර ගන්න අවශ්‍ය අවම සාධක කීපයක් පමණයි තාක්‍ෂණය ලෙස විමානවල පැවැතුණේ. අහසේ කොච්චර ඉඩ තිබුණත් නවීන තාක්‍ෂණයෙන් නිර්මාණය කළ ගුවන් යානා අදත් පියාසර කරන්නේ එකම මාර්ග සිතියමක. කෘත්‍රිම දේ ස්වභාවික බවින් පරාජය කළ රාවණ උත්තමයා එයාගේ විමාන සියල්ලම වගේ ස්වභාවිකත්වය සමඟ ගළපා ගත්තා. ඒ වගේ අදහසකදී හෙළ ගුවන් යානා නැත්නම් විමාන කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි.

ඇස් දෙක අඩවන් කර ගල උඩ හිසේ සිට මෙම හාත්පස පරිසරය නරඹන්න වූයේ අතරින් පතර පළවූ අදහස්වල එකතුවක් එලෙස මනසින් සකසා ගනිමින්. අෑතින් පෙනෙන්නෙ ලකේගලයි. මෑතින් තව තවත් හුදෙකලා වූ කඳු පන්තිය. ඒ මැදින් හිස් අවකාශයයි. අෑතින් දිදුලන කඳු පන්තිය හිස් අවකාශයේදී දිදුලන්නේ නැහැ. එයට හේතුව උණුසුම් ගැහැනියකගේ මුදු මොළොක් හදවත වැනි වලාකුළු සුළඟ නම් පරපුරුෂයන් නිති එහා මෙහා කිරීම. සැබෑ ලෙසම මට එම මොහොතේදී අවශ්‍ය වූයේ සියල්ලන්ගෙන් මිදීමට. පරිසරය සමඟ තනිවීමටය. ‍ෙදාළොස් වසරක් තිස්සේ සීතා මෙලෙස මෙකී පරිසරයේ තනිව වාසය කළා නම් එය රාවණ රජුගේ දියුණු මනස් ස්වභාවයට පිංසිදුවන්නට වූ සිදුවීමක් මිස අන් කිසිවක් නොවිය යුතුයි. සැබෑ ලෙසම මෙම පරිසර පද්ධතිය නව මානයක් පහළ කර දෙන්නක්.

ගල උඩ නිවෙසේ හිමිකරු නැවත වරක් ගිනි මැලයේ පිහිටෙන් දැක ගැනීමට හැකිව තිබෙනවා. ඔහුගේ සූදානම නැවත නැවත කතා කිරීම. මගේ අගනා සිතිවිලිවලට එය බාධාවක් ගෙන දුන්නද ඉන් බැහැරව ගෙවෙන හෝරාව වචනයට ගොනු කිරීමේදී එය නිර්බාධාවක්.

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-41959-news-detail.html










Tuesday, October 8, 2013

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව.

0

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව


දක්ෂිණ ලංකාවේ සුප්‍රකට ප්‍රදේශයක් වූ ගිරුවා පත්තුවේ සමාජ තත්වය විමසා බලන විට පෙනී යන්නේ එම පෙදෙස රාවණා යුගයේ සිට පොදු ජන ආකර්ශණය ලැබූ සරු බිමක්ව පැවැති බවකි. රාවණ මහ රජතුමාගෙන් පසු හෙළ දිව අග රජු බවට පත් දෙවැනි රාවණා රජතුමා ගිරුවා පත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය ගැටබරු දෙවොල ලෙස හඳුන්වන බවත් “රාවණ කතා“ පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව විමසා බලන විට රුහුණේ ගැටබරු දේවාලය රාවණා යුගය දක්වා ඉපැරණි අතීතයක් ඇති පුද බිමක් ලෙස සැළකිය යුතුය. රුහුණු ප්‍රදේශයේ හෙළ යක් පරපුරට අයත්, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැසකි. “රම්බා විහාරය“ ද මෙම පුරාවිද්‍යාත්මක අගයක් ඇති ස්ථාන අතර සුවිශේෂත්වයක් ගත් පුදබිමකි.

ලක් දිව යුධ කරදර පැවැති එක් සමයකදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළ ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන රම්බා විහාරය රාවණ රජ සමයේ විසූ “රම් දෙව්දුව“ සිහිවීම පිණිස ගොඩනැන්වූ දෙවොලක් ලෙස රාවණ කතා ග්‍රන්ථයේ එක් තැනක සඳහන් වේ. මේ අනුව විමසා බලන විට මෙම ප්‍රදේශය යක්ෂ,දේව,නාග,ගන්දබ්බ ගෝත්‍රික ජනයා සහජීවනයෙන් ජීවත් වූ පින් බිමකි.

මෙම ප්‍රදේශයේ ගෝත්‍රික ආරවුල් කිසිවක් පිළිබඳ අප රටේ සම්භාව්‍ය වංශ කතා වල පැහැදිලිවම සටහනක් නොමැත.මෙම ඓතිහාසික රම්බා විහාරයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවධානයක් ලැබී නැති බව කිව යුතුය. රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයට අනුව එදා ගිරුවා පත්තුව සුවිසල් පෙදෙසකි. ලක් දිව තිබෙන්නාවූ අනෙක් “පත්තු“ ප්‍රදේශ වලට වඩා ගිරුවා පත්තු ප්‍රදේශය විශාලය. මෙම පත්තුවේ කොඩියේ ලාංඡනය ලෙස එදා භාවිතා කර ඇත්තේ කොළ පැහැති ගිරවකුගේ රුවකි. එබැවින් මෙම පෙදෙස එදා හඳුන්වා ඇත්තේ “ගිරවා පත්තුව“ ලෙසය. හම්බන්තොට සිට බිංතැන්න දක්වා විහිදී තිබුණු මෙම භූමිය, අද කැඩී බිඳී වෙනස් වී ඇත.

ගිරවාපත්තුවට අදාල ගිරවා කොඩිය අද බිංතැන්නට හිමිව ඇති අතර හම්බන්තොට,මුල්කිරිගල ප්‍රදේශයේ වෙනත් ප්‍රාදේශීය ධජයක් භාවිතා වේ.


එදා රාවණා රජ දවසේ ගිරුවා පත්තුවට අයත් ප්‍රදේශ හම්බන්තොට, බිංතැන්න,මුල්ගිරිගල, තංගල්ල, කිරම, වීරකැටිය, බුද්ධියගම ආදී පෙදෙස් රැසක් වූ අතර බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක් කොටසක් ද වූ බැව් පුරාණ පුස්කොළ ග්‍රන්ථ අනුව පෙනී යන සත්‍යයකි. පාන බොක්ක ග්‍රාමය සහ මඩුවන්වෙල ග්‍රාමය ද එදා ගිරුවා පත්තුවට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශයේ ගල් කුළු රැසක් ඇති බැවින් එය ගිරුවා පත්තුව යනුවෙන් හැඳින් වූ බැව් ඇතැමෙක් කියති.

දකුණු පළාතේ ඉතා සුප්‍රසිද්ධ ග්‍රාමයක් වූ විතාරන්දෙණිය ද අයත් වන්නේ මෙම ඓතිහාසික ගිරුවා පත්තුවටමය. යුරෝපීය ජාතික සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ද මෙම ප්‍රදේශයේ සේවය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස “බැද්දේ ගම“ කෘතිය ජාතියට තිළිණ කර ඇත. ගිරුවා පත්තුවේ මීගහ ජදුර ග්‍රාමය රාවණ පා පහස ලද ග්‍රාමයක් ලෙස ඔහු හඳුන්වා ඇති අතර එහි ජනතාව රාවණ රජතුමාට මහත් ආදරයක් මෙන් ම ගෞරවයක් ද දක්වන බැව් ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත.

අම්බලන්තොට සිට සැතපුම් හයක් පමණ දුරකින් පිහිටා ඇති කරඹගල ලෙන ඈත අතීතයේ දී හේට් නැමැති යක්ෂ ගෝත්‍රික ප්‍රභූවරයාගේ වාස භවනය වූ බැව් රාවණ කතාවේ සඳහන්ය. වීර කැටිය, වීර රකුසා ජීවත් වූ පෙදෙස බැව් ද එහි සඳහන් වේ. වීර රකුස් ප්‍රභූවරයාගේ මාළිගය පිහිටා තිබුනේ කොණ්ඩගල ය. චින්තාමණී මොහොට්ටි දොන් ක්‍රිස්ටීන් ද සිල්වා නැමැති ප්‍රභූවරයාගේ වලව්ව පිහිටා තිබුණේ, වීර රකුස් මාළිගය පැවැති භූමියේ යැයි මේ ලියුම් කරු සමඟ විජේසිංහ බෙලිගල්ල (1965 මාර්තු 10 දින ටයිම්ස් මන්දිරය, කොළඹ 10) මහතා පවසා ඇත.

ශ්‍රී නම්මුණි නැමැති යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණයා එදා පදිංචිව සිටියේ කටුවන ප්‍රදේශයේ ආශ්‍රමයකය. (පුරාණ පුස්කොළ පොත් අනුව) “රදනි ආර“ ග්‍රාමය ද පුරාණ යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණ ග්‍රාමයකි. ශ්‍රී වල්ලි මුණි සහ අසුර මුණි බ්‍රාහ්මණ ගුරුවරු එහි ජීවත් වූ බැව් කිව යුතුය.(ගුරු ශතකය. 32 පිටුව)

කන්ද උඩරට යක්ෂ ගෝත්‍රික ප්‍රභූ පවුල් සමඟ ආවාහ විවාහ සබඳතා ගොඩ නගා ගෙන දිවි ගෙවූ මෙම යක්ෂ ගෝත්‍රික හෙළයෝ භීම මණ්ඩලයේ හෙළයන් සමඟද පැවැත් වූහ.

සිතුල්පව්ව අද බෞද්ධ පූජනීය ස්ථානයකි.නමුත් එය රාවණා යුගයේ සූර්ය වන්දනාව කළ ස්ථානයකි. දක්ෂිණ ලංකාවේ යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ශයකට වරක් සරත් සමයේ පුන් පෝ දිනක සිතුල් පව්වට ඒකරාශී වූ අතර, සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනායෝගීව හැසිරෙණ බැව් රාවණා කතා ග්‍රන්ථයේ මා කියවා ඇත. සිතුල්පව්ව බෞද්ධ ආයතනයක් වූයේ දෙවැනී පෑතිස් යුගයේ සිටය. පුරාණ තලගුරු වෙහෙර රාවණ යුගයට අයත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බැව් පුරාණ මූලාශ්‍ර අනුව කිව හැක. මෙම ස්ථාන සියල්ලක්ම වත්මන් ගිරුවා පත්තුවට අයත් නොවන නමුත් පුරාණ කාලයේ ගිරවාපත්තුවට අයත් ප්‍රදේශ වෙයි.

අද ගිරවා කොඩිය මෙම පෙදෙසින් ඈත් වී ඇති නමුත් එදා රුහුණේ විශාල පෙදෙසක් ගිරවා ප්‍රදේශයට අයත් වී තිබිණි. මාල ගිරවෙකුට එක් දිනයක් තුළ දී පියාසර කළ හැකි දුර ප්‍රමාණය ගිරවා ප්‍රදේශයට ඇතුලත් බැව් රාවණා කතා පුස්ථකයේ සඳහන් වේ.

ලක්දිව විවිධ පෙදෙස් පත්තු වශයෙන් කොටස් කිරීම ආරම්භ කරන ලද්දේ නුදුරු අතීතයේ සිටී සංහල රජවරු විසිනි. මෙම බෙදීම නිසා ගිරවා ප්‍රදේශයේ ඇතැම් කොටස් කැඩී ගිය අතර එය පත්තුවක් බවට පත් විය. පසු කලෙක එය ගිරවා පත්තුව නොව ගිරුවාය විය.එය ගල් කුළු සඳහා නොවූ නාමයක් වන අතර ගිරවා සඳහා යෙදූ නාමයක් බැව් රාවණා කතා ග්‍රන්ථය අනුව කිව යුතුය.

මෙම ගිරුවාය හෙළ යක්ෂ ගෝත්‍රික ප්‍රභූන්ගේ මධ්‍යස්ථානයක් බවත්, හෙළ දිව ආරක්ෂා කළ ජන නායකයින් ඈත අතීතයේ ද මෙම පුණය භූමියේ සිටි බවත්, ඈත අතීතය විමසා බලන විට පෙනී යන සත්‍යයකි.

ක්‍රිෂාන් වීරසිංහ.

(ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පුවත්පතකට ලබා දුන් ලිපියක් අනුව සකස්කරන ලදි)



උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2013/07/blog-post.html

 

‘සීතා’ සුව කරන්න රාවණා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ගරුඬගල

0


‘සීතා’ සුව කරන්න රාවණා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ගරුඬගල

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේ ය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාව ද එසේම ය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

“රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ ‘හනුමාන්’ නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

 


ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින් ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපදුිතව අපට දැකගැනීමට හැකි ය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේවතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය, මධ්‍යහනයේ වුව ද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින් ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

“මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි”

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

“මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථ වල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ.”

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.




ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු


එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන් ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬ ය. පාළු ය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළු ය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

“ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා.”

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිට ද දේශීය සංචාරක දෙපිරිසක් ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන් ම පරිසරය ද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා.

අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.”

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකම ය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

“මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ.”

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැති ය. විශේෂයෙන් ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුව ද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟ මඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනා ද එසේ ම ය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒක ය.

“මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න; ඒක තමයි වැදගත් ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස් ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉදින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේ ය. එය සුරැකීම එහි යන එන හැමගේ ම වගකීමයි.

*විශේෂ ස්තුතිය රාගල මේනක ධර්මප්‍රිය කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට


ඉසවි ඡායාරූප විමල් කරුණාතිලක 


උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183