-->

Sunday, September 6, 2009

හෙළබසේ උප්පත්ති මූලය සොයා යෑම....

2
123

එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්‍ර වූ මේ බස කුමක් ද? එය ඉන්දියාවෙහි භාවිතා වුණු එකක් ද?

සිංහල බසේ උපතට හේතු වුණු ඉන්දියානු බස නැගෙනහිර ඉන්දියාවේ භාවිත වුණු වංග බස යැයි බොහෝ වාග් විද්වත්හු අනුමාන කරති. ඊට හේතුව මහාවංශය වැනි වංශ කතා වල එන එකතරා පුවතකි. ඒ අනුව වංග රටින් පිටුවහල් කරනු ලැබූ පිරිසක් අහම්බෙන් මෙන් මේ දිවයිනට සේන්දු වූහ.
මේ පිරිසේ නායකයා වූයේ විජය නම් කුමාරයායි. මේ කුමාරයාගේ හැසිරීම ගැන අසතුට ට පත් වුනු ජනතාව , ඔහුත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් රති පිටුවහල් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටි බව මහාවංසය සඳහන් කරයි. අකමැත්තෙන් වුවද සිය පුත්කුමරා වංග දේශයෙන් පිටුවහල් කිරීමට සිංහබාහු රජතුමාට සිදුවිණ.
විජය කුමරා ඇතුලු මේ පිරිස මේ දිවයිනට සේන්දු වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන පිනිස කුසිනාරා නුවර සල්ගස දෙකක් අතර වැදහොත් දිනයේ බැව් වංසකතාකරුවෝ කියති. එසේ නම් විජය රජතුමා මෙරට ට පැමිණ ඇත්තේ අදට වසර දෙදාස් ගණනක ට උඩදී බව පෙනේ.
විජය කුමරා පැමිණියේ පාළු දිවයිනක ට නොවේ. ඒ වන විටත් නොයෙක් ගෝත්‍රවල මිනිසුන් මෙහි විසූහ. තවද ඔව්හු දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන්නෝද වූහ. යක්ෂ නම් ගෝත්‍රයට අයත් කුවේණි නම් කුමරියගේ නෑදෑයන් හඳුනා ගත් විජය කුමරා ඇතුළු පිරිස මෙහි පදිංචි වූහ. ඔව්හු මේ දිවයිනට තම්බපණ්ණි හෙවත් තම්මැන්නා යයි නමක් දුන්හ. කොළොම් ඔය ඔස්සේ අනුරාධපුරය දෙසට පැමිණ ඔව්හු ජනාවාස පිහිටුවා ගෙන ගොවිතන් බත් කරන්නට පටන් ගත්හ. දිවයිනේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් ඇතුළු ආදිවාසීන්ගේ උදවු උපකාර ඔවුනට ලැබිණි. විජය ඇතුළු පිරිස මෙහිපැමිණියේ වංග දේශයෙන් නිසා ඔවුන් කතා බස් කළ බස හැඳින්විය යුත්තේ වංග භාශාව යන නමිනි. කලක් යනවිට වංග දේශයේ ජනතාව හා තිබූ සන්නිවේදන සම්බන්ධකම් කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය. මෙහි විසූ ආදිවාසීන් ගේ කතා බහ ඔවුන් කෙරේ බලපාන්නට විය. මේ හේතුව නිසාවෙන් වංග බස නව මුහුණුවරක් ගනිමින් වැඩෙන්නට විය.
වංග බසේ ඇතම් පදවල යෙදුණු "ආ" ශබ්දය මෙහිදී කෙටි ශබ්දයක් බවට පත්විණ. මින් ඇතැම් "ආ" ශබ්ද යෙදුනේ පදයක ආරම්භයේදීයි.

වංග බස තම්බපන්ණි බස

ආකාශ
ආභරණ
ආරාම
ආහාර

අහස
අබරණ
අරම
අහර


ඇතැම් "ආ" ශබ්දයන් යෙදුනේ ව්‍යංජන ශබ්දයකට පසුවයි.

වංග බස තම්බපන්ණි බස

කාල
නාම
විශාල
උපාසක

කල්
නම්
විසල්
උපසක

වංග බසේ ඇතැම් පදවල ආ ව්‍යංජන ශබ්දද ක්‍රමයෙන් වෙනස් වන්නට විය. මහාප්‍රාණ ශබ්ද අල්පප්‍රාණ බවට පත්විණ.

වංග බස තම්බපන්ණි බස

සංඛ
දීර්ඝ
ධර්ම
භාෂා

සත්
දිගු
දම්
බස්

වංග බසේ ඇතැම් පදවල ආ "ප" ශබ්ද මෙහිදී " ච" බවට පත්විණ.

වංග බස තම්බපන්ණි බස

උපදේශ
අපාය
දීප
පාප

උවදෙස්
අවා
දිව්
පව්

වංග බසේ "ච" ශබ්දය මෙහිදී " ස" බවට පෙරළිණි.

වංග බස තම්බපන්ණි බස

චන්ද්‍ර
චතුර
චීවර
චෝර

සඳ
සතර
සිවුරු
සොර

වංග බසේ ඇතැම් පදවල ආ ව‍යංජන සංයෝග සරළ විණ.

වංග බස තම්බපන්ණි බස

කරම
කර්ණ
දන්ත
කාන්තා

කම්
කන්
දත්
කත්

මේ ආකාරයෙන් වෙනස් වන්නට වූ වංග භාෂාව හඳුන්වන්නට අලුත් නමක් ද යොදා ගැණින. සිංහ බාහු රජතුමා ගේ පුත් කුමරා වූ විජය රජුට සිය පියාණන් ගේ සිංහ සම්බන්දකම් මතක් වන්නට ඇත. ඒ අනුව මේ අලුත් භාෂාවට " සිංහල " යන නම ලැබිණ.
මාලදිවයිනට ගොස් පදිංචි වූ සිංහලයන් දෙවෙහි බස් නමින් නව බසක් බිහි කලාක් මෙන් ලංකාවට පැමිණ අලුතින් පදිංචි වූවෝ සිංහල නමින් අලුත් බසක් බිහි කළ හ.

[මූලය: වැඩෙන බසක රූ සොබා]

උපුටා ගැනීම - http://rasthiyadukatha.blogspot.com/2009/09/blog-post_14.html


2 Response to හෙළබසේ උප්පත්ති මූලය සොයා යෑම....

November 10, 2011 at 3:38 AM

වතාවක් මම අපේ යාලුවෝ එක්ක පොඩි සංවාදයක් ගියා අපේ මව්භාෂාව සම්බන්ධව.
ඒ වෙලාවේ මම අහල තියෙන කරුණක් මම ඔවුන්ට කිව්වත් ඔවුන් පිලි ගත්තේ නැහැ.
මම අහල තිබුන දෙමළ භාෂාව අපේ භාෂා කුලකයට අයත් නැහැ කියලා.
ඉතින් අන්තිමට අපි මේක ජාලයෙන් පරීක්ෂා කරද්දී මෙන්න මේක අපිට හමු උනා.
ලෝකයේ භාෂාව ප්‍රධානව කොටස් පහකට බෙදෙනවා. ඒකෙන් අපි ඉන්න කොටස තමයි මේ...
තව කොටස් තිබුනත් මම සේව් කරගෙන තිබුනේ මේක විතරයි.
අපේ කොටසේ භාෂා වල බෙදීයාම මැනවින් බලා ගන්න පුළුවන්.

http://upload.wikimedia.org/wikipedia/commons/4/4f/IndoEuropeanTree.svg

August 14, 2012 at 9:09 PM

එතකොට ඒ වෙනකොට කුවේණිල කතා කලේ හස්ත භාෂා වලින්ද ?
විජය කුවේණිත් එක්ක කතා කලේ , යක්ෂ ගෝත්‍රිකයින් ආක්‍රමණය කරලා මරල දාන්න සැලසුම් හැදුවේ අතින් පයින් කතා කරලද ?

ඒ වෙනකොටත් භාෂාවක් ඇති වෙලා නොතිබ්බනම් , කොහොමද භාෂාවක් නැතුව සන්නිවේදනයක් නැතුව ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ ?
මේකෙන් කියවෙන විදිහට ලංකාවේ අපි කතා කරන්නේ සිංහල නෙමෙයි වංග .. ආසියාතික භාෂා වල සමානකම් තියෙනවා තමයි..
ඒ උනාට ඒවා එකක් වෙන්නේ නෑ..

Post a Comment

අදහස් සහ උදහස්